වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අහස්කූර කපුවා ගේ ඇඟේ වැදිලා මගේ ඉහමොළ රත්වුණා

අහස්කූර කපුවා ගේ ඇඟේ වැදිලා මගේ ඉහමොළ රත්වුණා

“ලොකු පුතත් ඔයා වගේ හටන්කාරයෙක්ම වෙයි. අම්මා අප්පච්චිට නිතර එහෙම කියනවා. එතකොට මං පුංචිම පුංචියි. සරම් කෙටියක් ඇඳලා මාත්, අප්පච්චි ගෝලයන්ට සටන් පුරුදු කරන පන්තියෙ පිටිපස්සටම වෙලා වරද්ද වරද්ද සටන් හුරු වෙනවා. අපේ ගම හඟුරන්කෙත පොරමඩුල්ලෙ. නංගිලායි මල්ලිලායි තුන්දෙනා ගාණෙ හිටිය පවුලෙ වැඩිමලා මං. පුංචි කාලෙදිත් මං රණබෙර සද්දෙ අතරෙ අංගම් සටන් පුරුදුවෙන තාත්තලා දිහා ඇහිපිය නොහෙළා බලා හිටියා.

පොරමඩුල්ලේ සිංහල වගේම දෙමළ පවුල් හිටියා. හින්දු ආගම අදහන එයාලා තිරුවලා කියන කරත්තෙ හැඩට සරසලා අපේ ගම මැදින් පෙරහැරේ යනවා. මේ තිරුවලා කරත්තෙ දෝලාවක් වගේ. මිනිස්සු තමයි ඒක කර තියාගෙන යන්නේ. මෝලම් සද්දෙ ඇහෙද්දි පොඩි කමට අපිත් ඒ පෙරහැර එන පාරට දුවනවා. අපි හිටියෙත් තේ වත්තක් මැද. තේ පඳුරු පීර පීර පල්ලම බැහැගෙන එද්දි අම්මා ගෙනැත් දුන්න රතිඤඤා, ආකාස කූරුත් මගේ අතේ තිබුණා. රතිඤ්ඤයක් දෙකක් පත්තු කරලා දාලා ඉවර වුණාම ආකාස කූරකුත් පත්තු කරන්න ඕනැයි කියලා හිතෙන කොට මං ආකාස කූරකුත් පත්තු කෙරුවා.

එතකොටත් මං පුංචියි. අවුරුදු පහක් විතර ඇති. ඒත් අහස් කූර ගියේ ඉහළ නෙවෙයි. මේ කූර තේ පඳුරුවල ගෑවී නොගෑවී ගිහින් නැවතුණේ දෙනෝ දාහක් හිටිය පෙරහැර මැද. හරියටම තිරුවලා කියන දෝලාවෙ. ඒ දෝලාවෙ ඒ පැතිවල ගෙනියන්නේ පිළිමයක් නෙවෙයි. දේවාභරණයක් හිස තබාගෙන භක්තියෙන් දෝලාවේ තියූ පුටුවේ ඉඳගෙන ඉන්නෙ කපු මහත්තයෙක්. මං පත්තු කෙරුව අහස් කූර නැවතුණේ කපු මහත්තයගේ ඇඟේ වැදිලා.

මං එහෙම කළේ වුවමනාවෙන් නෙවෙයි. ඒත් වෙච්චි දේ දැක්කම මගෙත් ඉහමොළ රත්වුණා. මේ අලකලංචිය දැක්ක පෙරහැරේ හිටිය මිනිස්සු කඩිගුල වගේ ඇවිස්සුණා. මට වුණේ හොඳහැටි ගුටි කන්න. ගුටි කාගෙන මං ගෙට ගොඩවද්දි අපේ අප්පච්චි දැක්ක. මොකද අහුවාම මං කාරණේ කිව්වා. අප්පච්චිට යකා නැග්ගා. හටන් කරන රිටි මුගුරු ගෙනිහින් අප්පච්චි තනියෙන්ම පෙරහැරේ ගිය රොත්තකට දෙසාබෑවා. හිතුවට වඩා අවුල දුරදිග යන ලකුණු පෙණුනා. ඒ වෙලාවේ ඉඳන් අප්පච්චි අතුරුදන්.

පොලිසියත් ඇවිදින් අප්පච්චිව හෙව්වා. ගමම හෙව්වත් අප්පච්චිව හොයාගන්න බැරිවූණා. රෑ බෝ වුණා. අපේ දොරකඩ නැවතුණේ කළු පාට මයිනර් කාර් එකක්. ඒකෙ අප්පච්චි හිටියා.

‘දරුවන්ගෙ පොත්පත් ටිකයි වටිනාම කියන දේවල් ටිකයි පොදි බැඳගෙන එන්න යන්න’

මට හොඳට මතකයි අපේ අම්මා වටිනාම කියන දේවල් ටික ලහි ලහියේ පුරෝගත්තේ පිත්තල කලයකට. ඒ පිටමං වෙච්ච ගමන නැවතුණේ වේයන්ගොඩින්.

මෙතැනින් එහාට අපි හැදුණෙ වැඩුණේ වේයන්ගොඩ. ඉස්කෝලෙ ගියෙත් එහේ. තනියෙන් ඉස්කෝලෙ යන, එන වයසෙදිම මටත් චණ්ඩි උණේ හැඳුණා. කොල්ලන්ට මං කතා කළේම චැලේන්ජ් කරලා ගහගන්නමයි. ගෙදරින් මට දවසකට සත විසිපහක් දෙනවා. මං කොහොම හරි ඒකෙන් සත අටක් ඉතිරි කරගන්නවා. එහෙම දවස් එකොළහක් ඉතිරිකරගෙන මමයි, ලාල් කියන යාළුවයි දෙන්නා දවසක් ගෙදරටත් හොරෙන්ම ගියේ ගල්කිස්සට. ‘කහ බළල්ලු’ චිත්‍රපටයේ ෂූටිං තිබුණේ බීච් එකේ. සටන් නළුවන්ට ඒ කාලෙදිත් මං හරි කැමැතියි. මං මගේ අතේ තිබිච්ච පොඩි කැමරාවකින් චිත්‍රපටයේ රඟපෑ බ්‍රැඩ් හැරිස් එක්ක පින්තූරයක් ගන්න ආසා කළා. මං ඒ බව එයාට කිව්වා. ඒත් දැන් මට හොඳටම වැඩ දැන් බෑ කියලා කීවාම මට හරියට දුක හිතුණා. ඒත් හවස්වන තුරුම ආසාවෙන් ෂූටිං බල බලා ඉඳලා ගෙදර ආවා. ඉස්කෝලෙදි නාට්‍යවලටත් හිටියා. ‘යකෙක් කන්න බඩගිනියි’ වේදිකා නාට්‍යයෙදි ගමරාලට රඟපෑවේ මං.

තව ටික කාලයක් ගතවෙද්දී මං වගේම කරාතේවලට ආසා කළ යහළුවකුට ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා ගේ ෆිල්ම් එකක ෆයිට් පැත්ත පැවරිලා තිබුණා. රවීන්ද්‍ර රන්දෙණිය තමයි මේන් රෝල් එක කළේ. මගේ යාළුවා මිල්ටන් ප්‍රනාන්දු. මං ලොකේෂන් එකට ගියේ මිල්ටන්ට උදව් වෙන්න. මං සටන් පුරුදු කරන විදිය එතැනදි දැක්ක කෙනෙක් මට කතාකළා. ඒ එයාලගේ ෆිල්ම් එකේ තිබිච්ච එකම එක සටන් ජවනිකාව කරන්න. ඒකට මං පැනලා කැමැති වුණා.

මටත් ඕනෑ කළේම ඇඟපත හදාගන්න. ඒකට මං සෑහෙන්න මහන්සි ගත්තා. මහන්සියෙ හැටියට ප්‍රතිඵලත් ලැබුණා. මේ විසි අවුරුද්දක් විතර පරණ සිද්ධියක්. ජර්මන් අධ්‍යක්‍ෂවරයකුගේ චිත්‍රපටයකට නළු නිළියො තෝරන ඉන්ටර්වීව් තිබුණේ කුරුඳුවත්ත පොලිසිය ළඟ. එදා චන්ද්‍රන් රත්නම් එහෙමත් එතැන හිටියා. ඉන්ටර්වීව් එකත් වීඩියෝ කෙරුණා. මගෙ වාසනාව පෑදුණා. සිගේරා කියන චරිතෙට මාව තේරුණා. පස්සෙයි මං දන්නේ ඒ ෆිල්ම් එකේ සටන් අධ්‍යක්‍ෂ බ්‍රැඩ් හැරිස්මයි කියලා. මේන්රෝල් එක කළෙත් එයාමයි. මාව තේරුණාම බ්‍රැඩ් හැරිස් ඇවිදින් මට සුබ පැතුවා. එදා මාත් එක්ක පින්තූරයක් ගන්න එන්න බැහැයි කියපු කෙනා මට සුබ පතද්දී මට ලොකු ධෛර්යයක් ඇතිවුණා. ලංකාවෙන්ම ඒ ෆිල්ම් එකට තෝරාගෙන තිබුණේ රවීන්ද්‍ර රන්දෙණියයි, නදීකා ගුණසේකරයි, මමයි විතරයි.

ඔහොම ටිකෙන් ටික ෆීල්ඩ් එකේ ඉදිරියට යද්දී දවසක් කාර් එකක් ඇවිදින් අපේ ගෙදර දොරකඩ නැවතුණා. ටෙඩී විද්‍යාලංකාර එහෙම ඒකෙ හිටියා. ‘ඔයා නේද මුදන්නායක’ කියලා අඳුනගෙන ‘දවසක් අපි ඔයාගේ ෆයිටින් පැත්ත ටිකක් බලමුද’ ඇහුවා. ඒ විදියට සති අන්ත දවසක් යොදාගෙන එයාලා ඇවිත් මාව කැලණියට එක්කරගෙන ගියා. ඒ යනතුරුත් මං දැනගෙන හිටියෙ නෑ මේ මාව එක්කරගෙන යන්නේ දේවේන්ද්‍ර මාක් (ඩිංගි) එක්කලා ෆයිට් එකකට දාන්නයි කියලා. ඔය විදියට තමයි මං ටෙඩී විද්‍යාලංකාර අඳුනා ගත්තේ.

කොළඹ කම්පැනියක මං ඒ කාලෙ වැඩ කළා. ඒත් මට නිවාඩු තිබුණෙ මාසෙකටම වරුවයි. මාස දෙක තුනක් නිවාඩු ඉතිරිකරගෙන තමයි දුරබැහැර ගමනක් එහෙම ගියෙත්. ඔහොම තියෙද්දි තමයි පොළොන්නරුවෙ අපේ ඥාති නංගි කෙනෙකුගේ වෙඩින් එකක් යෙදුනේ. එදා යන්තම් මං රෑ වැඩමුරය යොදා ගත්තා. ඒත් වෙඩින් එකට ගිහින් වැඩි වෙලාවක් ඉන්න ලැබෙන්නෙත් නැහැ. ඉතින් මං යාළුවට කිව්වේ මොන විදියෙන් හරි මාව දවල් වෙද්දි වෙඩින් එකෙන් එළියට ගන්නයි කියලයි. ඒත් කලින් එන්න හිතාගෙන ගියත් වෙඩින් එකේදි මගේ හිත දෙවැනි මනමාලි ළඟ නැවතුණා. මං එයා දිහෑ බල බලා ඉදිද්දි යාළුවෙකුටත් තෙරුණා. මමත් ‘කවුද ඒ’ කියලා ඇහුවාම, යාළුවා හිනාවෙලා කිව්වේ ‘ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ නංගි, මං අඳුන්වලා දෙන්නම්’ කියලා.

ඔහොම ගිහින් මං කාලා බීලා ඉවරවෙලා කොළඹ එන්න එළියට බහිද්දිම, මං මාව එළියට ගන්නයි කියලා පැවරුව යාළුවා මට යන්න බල කළා. ඔය වෙලාවෙදිමයි දෙවැනි මනමාලිට මාව අඳුන්වලා දෙන්න එන්න කියලා අනෙක් යාළුවත් කතා කළේ. මං මිනිත්තු පහක් ඉල්ලුවත් කොළඹ යාළුවා ඒකට ඉඩ දුන්නේ නැහැ. මාව අතින් ඇදගෙන ගිහින් කර් එකට නග්ග ගත්තා. ඒකෙන් එදා මට එයාව මඟ හැරුණා.

නංගිට ජීවිතේ හැම දෙයක්ම කියන පුරුද්දක් මට තිබුණා. ඉතින් වෙඩින් එකෙන් පස්සෙ දවසක ගෙදරදි මං එදා හිටිය දෙවැනි මනමාලි කවුද කියලා ඇහැව්වා. ඒ වෙද්දි මං බලා බලා හිටිය විත්තිය එයාලටත් තේරිලා. ඉතින් අම්මලා ඒ ගෑනු ළමයගේ ඇඩ්ඩ්‍රස් එකත් අරුගෙන ඇවිත්. ඒත් මගෙ වෙලාවට අම්මා අතින් ඒකත් නැතිවෙලා. මුළු ගේම කනපිට පෙරළලා හෙව්වත් නැතිවෙච්ච කොළ කෑල්ල නම් හොයාගන්න බැරිවුණා.

ෆිල්ම්වල වැඩ අතරෙදි වුණත් මට මතක් වුණේ එයාවමයි. එහෙම තව ටික කාලයක් ගෙවුණා. ප්‍රදීපා ෆිල්ම් එකේ වැඩ ඇරඹුණා. පුණ්‍යා බුලත්සිංහල තමයි ඒකෙ සහාය අධ්‍යක්‍ෂ. ෆයිට් ඩිරෙක්ටර් විදියට මට ආරාධනාවක් ලැබුණා. මං පුණ්‍යා එක්කලා එයාලගේ ගෙදර ගියේ ස්ක්‍රිප්ට් එක ගන්න. එහෙ ගිහින් ඉඳගෙන ඉඳිද්දි තරුණ ගෑනු ළමයෙක් මට තේ එකක් ගෙනාවා. මං මුලින් දැක්කේ එයාගේ කකුල් විතරයි. ඒත් තේ එක අතට ගනිද්දි මට නිකමට එයාගෙ මූණ බැලුණා. මාව ගල් ගැහුණා වගේ වුණේ එයා මං හොය හොය හිටිය පොළොන්නරුවෙදි දැක්ක දෙවැනි මනමාලි එයයි. මට ඇස් අදහාගන්නත් බැරිවුණා. පුණ්‍යා ඒත් එක්කම එතැනට ආවා. ඇවිදින් ‘මේ ගෑනු ළමයව කලින් අඳුනනවද’ කියලා ඇහුවත් මං නොදන්න විදියට කලින් මුණ ගැහුණු තැන මතක් කළා. එතකොට ගෑනු ළමයම ‘පොළොන්නරුවෙ වෙඩින් එකකදි’ යි, කියාගෙන ගෙට ගියා.

මං ඉවසිල්ලක් නැතිව හිටියේ මේ අහඹු හමුවීම අපේ නංගිට කියන්න. ඒත් නංගි ළඟට ගිහින් දන්නවද මං කියන්න යනදේ කියලා කියද්දිම ඔව්, ඔව්, අපි දන්නවා යි කිව්වා. ඉතින් මුලින් දන්නෙ මොකක්ද ඇහුවාම මටත් පුදුම හිතෙන සතුටුදායක උත්තරයක් ලැබුණා. අම්මලට නැත්වෙච්ච ඒ ළමයගේ ඇඩ්ඩ්‍රස් එක හමුවෙලා. අම්මලා විවාහ යෝජනාව කරලා යවලා තිබිච්ච ලිපියට ඒ පැත්තෙන් කැමැත්ත දන්වලා උත්තරත් ලැබිලා. එදායින් තුන්මාසයක් ගතවෙන්නත් කලින් අපි බැන්දා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි. පුණ්‍යා බුලත්සිංහලගේ සහෝදරිය පද්මිණී බලත්සිංහල.”

මං සුමිත් මුදන්නායක