වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




නලීන් ගිය ඔරුවට වතුර පිරෙයි

නලීන් ගිය ඔරුවට වතුර පිරෙයි

සොඳුරු නිර්මාණයක ඇත්තේ රස වින්දනයකි. එහෙත් මේ ඔබව රැගෙන යන්නේ ඒ සොඳුරු රස වින්දනයෙන් ඔබ්බට අරුත්බර සංවාදයකටයි. එන්න . . . අපත් සමඟ හරබර ඉරිදාවක මිහිර විඳගන්න . . .ජීවිතයට අරුතක් එක් කර ගන්න . . . ජීවිතේ ගැඹුර ස්පර්ශ කරන්න . . . අපි දැන් පිවිසෙන්නේ ඒ අපූර්වතම අඩ හෝරාවටයි. එදා ‘හරබර ඉරිදා’ ස්වර්ණවාහිනියේ ඇරැඹුණේ එලෙසිනි.

එහි වැඩසටහන් අධ්‍යක්ෂවරයාගේ සිත් හි ලිය වී තිබූ ඒ ගැඹුර ගැන අපි අද නිදහසේ කතා කරමු. ‘හරබර ඉරිදා’ හරබරව අරඹන්නට වැඩසටහනට හොඳම ප්‍රවේශයක් ගන්නට එහි අධ්‍යක්ෂවරයා බොහෝ වෙහෙසුණේය. එය තේමාවට අනුගත වූ හරවත් වූ අරුත්බර වැඩ සටහනක්ම විය යුතුª බව ඔහු තරයේ විශ්වාස කළේය. ඒ නිසාම ඔහුගේ මුල්ම වැඩසටහන අරඹන්නේ වැට ඉන්නක් ඇනී එය ඇඟ හරහා ගොස් අතක් ද පසාරු කර ගනිමින් ගිය පුද්ගලයකු රෝහලට ගෙන ගොස් ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ විශ්මිත සිදුවීමකිනි. මේ සිදුවීම ප්‍රචාරයවීමත් සමඟ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ද බොහෝය. එයින් සමාජයට ලැබුණු පණිවුඩය ද අපිරිමිතය. මෙම වැඩසටහන විකාශය වී ටික දිනකින් තවත් ප්‍රදේශයකින් වාර්තා වෙන්නේ මෙවැනිම අවාසනාවන්ත සිදුවීමකි.

දරුවකු ගසකින් වැටී මේ ආකාරයට ඇඟ හරහා වැට ඉන්නක් ඇනුණ මොහොතේ ඒ සිදුවීමට මුහුණ දුන් දරුවා පෙර විකාශය වූ වැඩසටහන නරඹා තිබීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මඟක් විය. ඔහු කෑ ගසා පවසා ඇත්තේ වැට ඉන්න පිටින්ම ඔහුව රෝහලට රැගෙන යන ලෙසටය. තවත් නොබෝ දිනකින් දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු මුහුණ දෙන්නේ මෙයටත් වඩා දරුණු අවස්ථාවකටය. ළිඳක් කැපීමට යෑමේදී ඇඟ හරහා යකඩ ඉන්නක් ඇනුණු මේ පුද්ගලයා රෝහල රැගෙන එන්නේ ඉන්න ගලවා ගැනීමට නොහැකිව එහි කොටසක් ද සමඟය. මෙවැනි අරුත්බර වැඩසටහනක මුලින්ම දැකීම නිසාම අහිමිවීමට ගිය ජීවිත දෙකක්ම බේරා ගැනීමට තරම් ප්‍රබල පණිවුඩයක් සමාජගත කළ අධ්‍යක්ෂවරයා කොහේදැයි සොයා යන්නට මට සිත් වූයේ ඔහුගේ සුපුරුදු සිනහවෙන් පිරි රුව අපේ නිවෙසේ ආලින්දයේ කාලයකින් මුණ නොගැසුණු නිසාමය.

හේම නලීන් කරුණාරත්න . . . ඔහුගේ ළෙන්ගතු ආමන්ත්‍රණය හා දෙකොපුල් පුරා කැඩා හැලෙන ආකර්ෂණී¼ය සිනහව ගැන නම් පසුගිය දශකය දෙක පුරා රූපවාහිනිය නැරැඹූ අයකුට නම් අමුත්තක් නොවනු ඇත. පසුබිම් කථන නිවේදකයකු ලෙසින් මාධ්‍ය ජීවිතයට එක්වන හේම නලීන් පසුව ජාතික රූපවාහිනියේ ජනප්‍රිය නිවේදකයකු බවට පත්වන්නේ අසූව දශකයේ ජනප්‍රියත්වයේ ඉහළම තලයට පැමිණෙමිනි. 9.05 වැඩසටහනේ ඒ ආකර්ෂණීය ආමන්ත්‍රණය අපට හොඳට මතකය. ඉන් පසුව ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා බවට පත්වන ඔහුගේ මාධ්‍ය ජීවිතයේ අවුරුදු 30 ක් පුරා ලැබූ අත්දැකීම් නම් කෙතරම් ඇති ද . . .? අපේ හමුවේ සතුටු කතාබහ ඇරැඹෙන්නේ ඒ අතීත ආවර්ජනයත් සමඟිනි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක වැඩසටහන් රැසක් ඉදිරිපත් කළ ඔබ ඇයි දැන් නිහඩ . . . සරසවියේ පාඨකයෝ සමහර අවස්ථාවල අපෙනුත් අහන ප්‍රශ්නයක්.

ඇත්තට නිහඬතාවය කියන දේ සාපේක්ෂකයි. මාධ්‍යවේදියකු විදිහට අවුරුදු 16 ක් ජාතික රූපවාහිනියේ සේවය කරලා ස්වර්ණවාහිනියේ අවුරුදු 08 ක් කටයුතු කරලා දැන් මම මගේම නාලිකාවක් පවත්වාගෙන යනවා. හෙරිටේජ් ටී වී කියන ඒ නාලිකාව ඩයලොග් ටී වී ඔස්සේ විකාශය වෙනවා. මෙය රූපවාහිනී නාලිකාවක් වගේ රට පුරාම සිටින ජනතාවට නැරැඹීමට අවස්ථාව නොලැබුණත් විශාල පිරිසක් අපේ වැඩසටහන් නරඹනවා. ඉදිරියේදී අපේ රටේ ඇතිවන තාක්ෂණ දියුණුවත් සමඟ මේ වැඩසටහන් සැටලයිට් ඔස්සේ ජනතාවට සමීපවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මගේ මූලිකත්වයෙන් ආරම්භ කළ හෙරිටේජ් මාධ්‍ය ඇකඩමිය ඉතා සාර්ථක ලෙසින් පවත්වාගෙන යනවා. පසගියදා එහි අටවැනි කණ්ඩායමත් පුහුණුව ලබා අවසන් වුණා. දැනට අපගේ වැඩසටහන් වෙබ් ඊ ඍ ඔස්සේ විකාශය කිරීමත් ආරම්භ කර තිබෙනවා.

ලෝකයේ කොතැනක හිටියත් නැරැඹීමට හැකි ආකාරයෙන් පැය 24 පුරාම විකාශය කිරීමයි අපේ ඉදිරි ඉලක්කය වී තිබෙන්නේ. හෙරිටේජ් නාලිකාව ආරම්භ කිරීමේ මගේ මුල් අරමුණ වුණේ අප රටේ තියෙන වටිනාකම, උරුමය මුළු ලෝකයටම දැක ගැනීමට අවස්ථාවක් ඇති කරන්න. එය සිංහල භාෂාවෙන් කරලා ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. දැන් අපේ රටට යම් යම් ගැටලු ඇති වී තියෙනවානේ. ඒ දේවල් දිහා බැලුවම පේන දෙයක් තමයි ලෝකේ මිනිස්සු රටේ වටිනාකම දන්නේ නැහැ. අපේ රටේ ප්‍රශ්න ගැන ලෝකයට ආරංචි වෙනවා. නමුත් රටේ වටිනාකම දන්නේ නැහැ. එය දකින්න දැනට එකම මඟ වෙලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරය විතරයි. ඉතින් සංචාරක ව්‍යාපාරය කියන්නේ අපේ සංස්කෘතිය ගැන දැනගන්න තියෙන සීමාසහිත ක්ෂේත්‍රයක් විතරයිනේ. උදාහරණයකට ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය වැනි සංචාරකයෝ අපේ රට ගැන දන්නවා වුණත් ඇමෙරිකාව වගේ රටවල අය අපේ රටේ වටිනාකම ගැන දන්නේ සාපේක්ෂව අඩුවෙන්.

නමුත් දන්න අය සොයා බලනවා. නමුත් එතනට පාරක් නැහැ. අපේ රටේ ටෙලි නාට්‍ය බලන්න ඇමෙරිකාවේ කවුරුවත් සූදානම් වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් අපේ රටේ වටිනා චිත්‍රපටයක් සමහර රටවල දකියි. නමුත් රටෙන් එළියට අරන් යන්න පුළුවන් හොඳම දේ වෙන්නේ වාර්තා වැඩසටහන්. ඒ දේ කරන්න අපි හිතනවා අඩුයි. අල් ජසිරා නාලිකාව මුළු ලෝකයම බලනවා. ඇත්තටම ඒ විදිහට අපි හිතනවා නම් අපේ රට මීට වඩා ඉදිරියෙන් සිටිනවා. දැන් ටෙලිවිෂන් බලන ක්‍රමය ඈත් වෙමින් යන්නේ. කොයි තරම් නාලිකා තිබුණත් අපි ටෙලිවිෂනය බලන්නේ සුළු වෙලාවක්. හේතුව අපිට පහසු දේ බලන්නයි කැමැති. අද අපට වඩා ලෝකය ඉදිරියට ගිහින් තියෙන්නේ. ඉතිං ඒකට යමක් කරන්න ලෑස්ති වෙනවා. ඒ සඳහා අපි ආයතනයක් ලෙස වෙන වෙන වැඩසටහන් වෙනත් නාලිකා සඳහා සකස් කර දීලා තියෙනවා. නිහඬ නැහැ. අපි ගැන කතා කරන පිරිස තවමත් සීමාසහිතයි. එය ඇතැමුන් සිතන්නේ නිහඬභාවයක් ලෙසයි.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආ දක්ෂ මාධ්‍යවේදියෙක්. ඔබේ මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම ගැන කතා කළොත්?

ඔව්, මම මුලින්ම 85 – 86 කාල වකවානුවේදී රූපවාහිනී පසුබිම් නිවේදකයකු ලෙස කටයුතු කළා. මට ඒ තරම් ලස්සන සුන්දර රූපකායක් තිබුණේ නැති නිසා රූපවාහිනී නිවේදනයට එන්න පහසු වුණේ නැහැ. ඒත් මට තිබුණු භාෂා හැකියාව නිසා ඉංග්‍රීසි දැනුමත් නිසා රුපවාහිනියේ නිවේදන කටයුතුවලට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව තමයි ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ දක්වා දිගු ගමනක් පැමිණියේ.

ඇත්තටම ඔබ කාලයක් පේ‍්‍රක්ෂකයන්ගේ සමීපතම නිවේදකයකු වුණා. ඔබ ඒ කාලයේ වැඩසටහන් ඉදිරිපත් කරද්දී මොන වගේ ප්‍රතිචාර ද ලැබුණේ?

9.05 ඉතාම ජනප්‍රියයි. ඒ කාලේ මට ලියුම් 500 – 1000 ක් විතර ලැබෙනවා. ඒ හැම ලියුමක්ම මම බලනවා. මම ඒ කාලේ මින් මැදුරෙ වැඩසටහනක් ඉදිරිපත් කළා බිත්තියකට හේත්තු වෙලා. එක්තරා පාසලක දැරිවියෝ දෙදෙනෙක් ලිපි දෙකක් එවනවා. නලින් අයියේ . . . ඒ කාලේ කවුරුත් මට ආදරයට කිව්වේ නලීන් අයියා කියලා. අයියේ, ඔය සොඳුරු වඳන් සමඟ මැදුරේ තබා යන පා සටහන් නොමැකුණොත් මොකද කියන්නේ. මට ඇත්තටම ඔය ලියුම් දෙක කුණු කූඩයට දාන්න තිබුණා. ඒත් මම ඒ කළ වැරැද්දට සමාව ඉල්ලුවා. එත් අද ඉන්න නිවේදකයෝ සමාව කියන වචනයවත් දන්නේ නැහැනේ. නිවේදකයා ගැන තියෙන පිළිගැනීම නාලිකා මඟින්ම බිඳ දමනවා. අපි ඉගෙන ගත්තේ එඩ්වින් ආරියදාස, එච්. එම්. ගුණසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල වගේ අයගෙන්නේ. දැන් කෝ පාලිත පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ අය.

ඒ වගේම මම වැඩසටහන් කිරීමට යෑමේදී අනූ නවයෙන් ජීවිතය බේරුණු අස්ථාවන් මට මතකයි. මම රූපවාහිනියේ ඉන්න කාලේ පරාක්‍රම සමුද්‍රයේ ඉර බැසගෙන යන දර්ශනයක් පටිගත කරන්න තිබුණා. ඒ වැඩසටහන භාර සහාය අධ්‍යක්ෂවරයා වුණෙත් මම. අපේ කැමරා ශිල්පියාට මේ දර්ශනය පටිගත කරන්න තිබුණු හදිස්සියට අපි එතන තිබුණු ඔරුවකට ඉක්මනට නැග්ගා. දැන් වැව මැද දර්ශනය කරමින් යද්දී මගේ කකුල් දෙක තෙමෙනවා තේරුණා. ඒ එක්කම තොටියා ඇහැව්වා මහත්තයා මේ ඔරුව තෝර ගත්තේ හොඳට බලල ද කියලා. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. අපි කෑගැහැව්වා. අපේ වාසනාවට ඒ ළඟම ගිය ඔරුවක් මේ සද්දෙට එහාට සේන්දු වුණා. ඒ ඔරුවේ හිටියේ තොටියා විතරයි.

අපේ වාසනාවට ඒ ඔරුවට නැගලා යන්තමින් ජීවිත බේරා ගත්තා. මට තවත් අවස්ථාවක රූපවාහිනියේ භක්ති ගී ප්‍රසංගයක් පටිගත කරන්න භාර දුන්නා. මේ පටිගත කිරීමට ගල් කණු තියෙන, බෝ අතු නැමුණු බෝ ගහක් තියෙන පන්සලක් ඕනෑ වුණා. අපි සෑහෙන මහන්සි වෙලා යාන්තමට මේ වැඩේට ගැළපෙන පන්සලක් රාජගිරිය ආසන්නයේ හොයා ගත්තා. අපි පන්සලට ගිහින් හාමුදුරුවොත් එක්ක කතා කළාම හාමුදුරුවෝ හුඟක් සතුටු වුණා වැඩේට. සුමානෙකට පස්සේ අපි කණ්ඩායම අරගෙන ගියා පන්සලට. ඒත් දැකපු පන්සල එතන නැහැ. හොඳට හුණු ගාපු වෙහෙරක් විතරයි තිබුණේ. මම ගිහින් ඇහැව්වා අපේ හාමුදුරුවනේ කෝ මෙතන තිබුණු බෝ ගහේ අතු, අපට වැරැදීමක් වුණාද කියලා. හාමදුරුවෝ කිව්වා මහත්තයා එනවා කියපු නිසා අපි බෝ අතු ටික එහෙම කපලා පිළිසකර කරලා හුණු ටිකක් එහෙම ගෑවා. ඒකට බෝ ගහේ අතු ටික පිංකමක් කරලා කපලා දැම්මා කියලා. ඉතිං මොනවා කරන්නද, ඒ වැඩේ කරන්න බැරුව ගියා. නමුත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා කවදාවත් ලොකේෂන් තෝර ගන්න කොට පෙර සූදානම් කරද්දී අපි ඒ දේවල් වෙනස් කරන්න එපා කියලා කියන්න අමතක කරන්න හොඳ නෑ කියලා.

ඒ වගේ මට ජීවිතයට අමතක නොවෙන සිද්ධියක් තියනවා. මම 9.05 කරන ජනප්‍රියම කාලේ. ඉරිදා වැඩසටහනක් කරලා මම සඳුදා උදේ බෞද්ධාලෝක මාවතේ ඇවිදගෙන එනවා. ඒ එද්දී මාව පහු කරගෙන ගියා නගර සභාවෙ කුණු ලොරිය. ඒ ලොරියේ පිටි පස්සේ එක අතකින් එල්ලිලා ගිය කම්කරුවෙක් මාව දැකලා කෑගහලා මට අනෙක් අතින් අත වනලා කිව්වා ‘මහත්තයා ඊයේ 9.05 නියමයි, එළකිරි’ කියලා. ඇත්තටම ඒ තමයි මම ලබපු ඉහළම සම්මානය කියලා ඒ වෙලාවෙ මට හිතුණා.

දැන් ඔබගේ නාලිකාවේ විකාශය වෙන්නේ මොන වගේ වැඩසටහන් ද? එහි යම් වෙනසක් තියෙනවාද?

ඇත්තටම අපේ නාලිකාවේ ටෙලි නාට්‍ය විකාශය වීමක් නැහැ. අද මාධ්‍ය හැසිරෙන්නේ එකම රාමුවකට කොටු වුණු කලාවකට. වසර ගණනාවකම තියෙන්නේ අධ්‍යාපන වැඩසටහන්. ගුරුවරයා උගන්වන දේ සුදු පාට බෝඩ් එකක කියා දීම පටිගත කරලා පෙන්වනවා. ඇත්තට ඒ අධ්‍යාපන වැඩසටහනක් කිරීමක් නොවෙයි. ඊට වඩා අධ්‍යාපන වැඩසටහන් ඉදිරියට යා යුතුයි. ඒ නිසා මම හිතුවා ඒ කටයුත්තට දායකත්වයක් දෙන්න. ඩයලොග් නාලිකාවේ විකාශයට අමතරව අපි ඍ ර්‍ණ ච් ක්‍රමයට වැඩසටහන් ඉදිරිපත් කරනවා. එහිදී තමාට අවශ්‍ය වැඩසටහන තෝරා ගෙන නරඹන්න අවස්ථාව ලැබෙනවා. එයට අපි ‘රම්‍යවාහිනී’ කියන නම ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. අපි පසුගිය සා/පෙළ විභාගයට සිංහල, බුද්ධාගම, දේශපාලන විද්‍යාව විකාශය කළා.

ඇත්තටම අපේ රටේ පන්සල් තියෙනවනේ. ඒත් භාවනාව ගැන කියලා දෙන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි. මගේ උත්සාහය වෙලා තියෙන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන හිඩැස පිරවීම. ඒ කියන්නේ කවුරුත් නොකරන කොටස මම කරනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු තිහක් තුළ මා ලැබූ අත්දැකීම් අද මම හෙරිටේජ් ටී. වී. ඔස්සේ බෙදා හදා ගන්නවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබ පවසන හිඩැස ඔබට තනිවම පුරවන්න පුළුවන්ද?

එය මට තනියෙන් කරන්න බැහැ. ඒ සඳහා එක විදිහට හිතන පිරිසක් සිටිය යුතුයි. විශේෂයෙන් තරුණ පිරිසක්. ඒක නිසා ඇකඩමියක් හරහා උත්සාහ කරන්නේ එවැනි නිර්මාණාත්මක තරුණ පිරිසක් බිහි කිරීමයි. ඒ අය දැන් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. එක පාරටම අපට විශාල වෙනසක් කරන්න බැහැ. ඒ වෙනස සිදු වෙමින් පවතිනවා. අද අපේ නටඹුන්, සොබා සුන්දරත්වය කියන දේ ක්‍රමයෙන් අඩු වෙමින් යන්නේ. මේ දේවල් අද පටිගත කරලා අපි තිබ්බොත් අඩුම ගානේ මේ දේවල් අපට තිබුණා කියන්නවත් ලැබෙයි. ඒ වෙනුවෙන් මම අද කැප වෙලා ඉන්නවා.

ඔය වගේම ඔබට සුබපතන්න අපේ සරසවියේ පාඨකයොත් බලාගෙන ඇති. ඒ අයට ඔබේ දුරකතන අංකයත් ඔය ගමන්ම කියන්නකෝ.

077-2516345.