වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




රූපාන්තරණ සමඟ ගායනයට එන සනුක වික්‍රමසිංහ

රූපාන්තරණ සමඟ ගායනයට එන සනුක වික්‍රමසිංහ

පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසිවෙයිදෝ දැන්
හදවත පුපුරයි තරහින්
සෙනෙහස පැතූ ඇගෙන්

නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි. ඒ පිය උරුමයෙන් ගායනයට පැමිණි සනුකව හඳුන්වා දෙන්නයි මේ සූදානම.

සනුක පුංචි කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ සංගීතමය පරිසරයක. තාත්තා කීබෝඩ් එක වාදනය කරමින් ගීත නිර්මාණයේ යෙදෙද්දී ඔහු ළඟට වෙලා ඒ දෙස බලා සිටියේ කවදා හරි මමත් තාත්තා වගේ වෙනවා කියලා හිතාගෙන. ටික කාලයකට පසු ගිටාරය අතට ගත් සනුක එය වාදනය කරන්න පටන් ගත්තා. ඒ අතරවාරයේ සංගීත් තම පුතාගේ උනන්දුව දැකලා අමරනාත් රණතුංග මහතා ළඟට සංගීතය පිළිබඳ වැඩිදුර හදාරන්නට යැව්වා.

සනුක ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඔහු සංගීත්ගේ පුතා බවට වැඩි දෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ඒ රහස එළිවුණායින් පස්සේ විද්‍යලය මඟින් සංවිධානය කරන ‘සා ගා’ ප්‍රසංගයට සංගීත්ගේ ගීත කියන්න සනුකට සිද්ධ වුණාලු.

මම තාත්තගෙ ගීත කියන්න ආස නැහැ. ඔහුගේ නමින් වැජඹෙන්න. ඉස්කෝලයෙත් බැරිම තැන තමයි තාත්තගේ සිංදුච කිව්වේ. මට ඕනෑ මගේ ශෛලියක් ගොඩනඟා ගන්න. රූපාන්තරණ ගීතය කිව්වේ මගේ විදිහට.

සනුක ගයන රූපාන්තරණ ගීතය මේ වන විට අන්තර් ජාලයේ හරිම ජනප්‍රියයි. ඔහු මීට ප්‍රථම මවු ගුණ ගීතයක් ගැයුවා. ඒකේ නම ‘මා’. දෙවැනි ගීතය විදිහටයි රූපාන්තරණ ගීතය එළිදැක් වූයේ. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ එම ගීයෙන්. සනුක ග්ලොරි නම් වූ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය පිළිබඳත් වැඩිදුර හදාරනවා. කවදා හරි ඒ අංශ දෙකෙන්ම ඉදිරියට යන්නයි සනුක හිතාගෙන ඉන්නේ. සංගීත්ගේ ශබ්දගාරයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සනුකගේ තවත් බලාපොරොත්තුවක්. ඒ වගේම හොඳ චිත්‍රපට පසුබිම් ගායකයකු වන්නත් සනුක හිතාගෙන ඉන්නවා.

සනුක ගයන රූපාන්තරණ ගීයෙහි සම්පූර්ණ පදමාලාව:

පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසි වෙයිනේ දැන්
හදවත පුපරයි තරහින්
සෙනෙහස පැතූ ඇගෙන්

උණුසුම නොලැබෙයිදෝ දැන්
හදවත විඳි දුක මෙතරම්
ඇයි මෙලෙස කරන්නේ දැන්

අඩමාණෙන් සිටියේ
මගෙ හිත කිව්වත් නෑ ඇසුවේ
නෙතු මානෙන් මැකුණේ
ඔබේ සිතුවම් දැන් බොඳ වී යන්නේ

සංගීතය – ලහිරු පෙරේරා

පද රචනය – මනුරංග විජේසේකර

සනුක සමඟ ලහිරු සහ රන්ධීර් ද මෙයට ගායනයෙන් එක්වෙනවා.