වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මේ රැල්ල ගැන මට පැහැදිමක් නෑ

මේ රැල්ල ගැන මට පැහැදිමක් නෑ

නිවාඩුවකට මව් රටට ආ මොහාන් දර්ශනගේ අලුත්ම තොරතුරු

මොහාන් දර්ශන සුපිරි තරු මාවතෙන් පෑයූ ගී තරුවක්. තරඟකරුවන් දහස් ගණනක් පරදවමින් ප්‍රථම සිරස සුපර් ස්ටාර් තරගයේ අවසන් දොළොස් දෙනා අතරට පැමිණෙමින් ඔහු සිය ගායන හැකියාවන් අපූරුවට ගෙනහැර දැක්වූයේ පැරැණි ගීතවලටත් නව පණක් ලබා දෙමින්. ඒ වුණත් සුපිරි තරු මාවතෙන් පායා ආ අනෙක් තරු තම පසුබිම සකසා ගනිද්දී මොහාන් නම් ඒ අතර වැඩිය පෙනෙන්න හිටියේ නැහැ. විවිධ පුද්ගලයන් විවිධ දේ පවසද්දී තමන්ගේ අලුත්ම විස්තර ආදරණීය රසික රසිකාවන් වෙත ගෙන එන්නට ඔහු සරසවියට පැමිණියේ ඔස්ට්‍රේලියාවේ සිට නිවාඩුවකට පසුගියදා මෙරටට පැමිණි විටදියි. ඒ ඔහුගේ අලුත්ම ගීතයත් සමඟින්.

සෙව්වන්දියේ මා හැඬුවා
මුළු ජීවිතේ පුරා
දුන් වේදනා දරා
මගේ හීනයේ පවා
සිත මගේ පෑරුවා
ඔබ ගියදා මා දමා
පාළුවේ මා රෑ දිවා . . .’

 

ගුවන් විදුලි නාළිකාවල මෙන්ම අලංකාර රූප රචනයක් සමඟින් රූපවාහිනි නාලිකාවලින් ද මොහාන්ගේ මේ අලුත්ම ගීතය ඔබ දැනටමත් රස විඳලා ඇති. අපි කතා කරමු ඔහුත් සමඟින්. ඔහුගේ අලුත්ම විස්තර ගැන.

කොහොමද මොහාන් බොහොම කාලයකට පස්සේ නේද?

ඔව්. මම දැන් පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. දැනට ටික දිනකට පෙර නිවාඩුවකට ලංකාවට ආවා.

අලුත් ගීතය නිසාම වෙන්න ඇති?

ඒකත් එක හේතුවක් තමයි. සෙව්වන්දියේ මා හැඬුවා මගේ අලුත්ම ගීතයයි. එහි පද රචනය තනු නාරම්පනාව සහ තෙහාන් සැමුවෙල් ගේ. ගායනය වගේම සංගීතයත් මගේ. ඩිලාන් කියලා මල්ලි කෙනෙක් ලස්සනට විෂුවල් එකක් කරලා දුන්නා. එහිදී මිෂෙල් සහ චතුෂ්කත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. අපි මේ ගීතය රූගත කළේ ඔස්ට්‍රේලියාවේදී.

මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගුවන් විදුලි නාලිකාවල වගේම රූපවාහිනි නාලිකාවල චාර්ට් ෂෝ වලටත් ඇතුළත් කරලා තියනවා.

තරඟකාරී තරු තරගයක අවසන් දොළොස් දෙනා අතරට පැමිණිලා ලොකු ජයප්‍රියත්වයක් ලැබෙන විටදීම ඇයි ලංකාවෙන් යන්න තීරණය කළේ?

සිරස සුපර් ස්ටාර් රියලිටි තරඟය ඔස්සේ අපට ඉදිරියට එන්න මාවත විවෘත වුණා. ඊට පෙර ලාංකික ප්‍රේක්ෂකයන් රියලිටි වැඩසටහනක අත්දැකීම ලබා තිබුණේ නැහැ. මම අධ්‍යාපනය ලැබුවේ වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන්. කුඩා කාලයේ පටන් තිබූ ගායන හැකියාව ඔප මටටම් කර ගත්තේ පාසලෙන්. ඊට පසුව බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. ඒ හැම දෙයත් සමග ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ සිරස සුපර් ස්ටාර් නිසා.

ඒ වුණත් ඒ කාලේ තිබුණු වාතාවරණය එක්ක මට යම් ස්ථාවරයකට එන්න විදෙස් ගත වෙන්න තීරණය කළේ. ඒක මගේ වැඩිදුර අධ්‍යයන කටයුතුවලටත් ලොකු පිටුවහලක් වුණා. දැන් මට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියත් ලැබුණා.

ලංකාවේදී නිර්මාණකරණයට නිසි තැනක් නොලැබුණ නිසා ද ඒ වගේ තීරණයක් ගත්තේ?

ලංකාවේදී මම විවිධ නිර්මාණ කටයුතු කළා. බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබන කාලයේදීම ‘මොහාන් ගී දැහැන’ නමින් ප්‍රසංගයක් කළා. වසන්ත කුසලාන ටෙලි නාට්‍යයේ සහ සිරස එෆ්. එම්. නාලිකාවේ විකාශය වුණු මල් සිහින යාමය ඩ්‍රාමා එකේ තේමා ගීත ගායනා කළා. ඒ වගේම පිටසක්වල කුමාරයයි පැංචො හතයි චිත්‍රපටයේ ගීතයකුත් ගායනා කළා.

මගේම ගීතයක් එළි දැක්වූයේ 2008 වසරේදී. ‘ඔබ දැන් දැන් ඒවි සිතුණා’ ගීතය මගේ කුළුඳුල් ගීතය. ඊට පසුව 2009 වසරේදී තමයි මම විදෙස්ගත වුණේ. ගිය අවුරුද්දේ දී ‘සිතින් හිඳින්න මට ලං වෙලා’ ගීතය එළි දැක්වූවා. මේ ගීතයටත් ගොඩක් ඉහළින් ප්‍රතිචාර ලැබුණා. දැනටත් ඔස්ට්‍රේලියාවේ පදිංචි වුණාට නිතරම ලංකාවට එනවා.

ලංකාවේදී රසික රසිකාවන් රාශියක් මධ්‍යයේ ඉඳලා එක පාරටම විදේශයකට ගියාම මොකද හිතුණේ?

ඔස්ට්‍රේලියාවට ගිය මුල්ම දවසේ මොකක් ද මම මේ කර ගත්තේ කියලා හිතුණා. ලංකාවේදී ගොඩක් ජනප්‍රිය වෙලා එහෙට ගිය මුල්ම දවසේ මහා තනිකමක් දැනුණා. ඒත් ටික දවසක් ගියාට පස්සේ ඒක හරි ගියා. මෙහෙත් ජීවත් වෙන ගොඩක් දෙනා ශ්‍රී ලාංකිකයෝ. මෙහෙත් ලංකාවෙ වගේම විවිධ උත්සව එහෙම තියෙනවා. මමත් දැන් ඒවාට සහභාගි වෙනවා.

කොහොමද ඔස්ට්‍රේලියාවේ ගෙවන අලුත් ජීවිතේ?

බොහොම සතුටින් එහේ ජීවිතේ ගෙවනවා. පැය අටක් රාජකාරි කටයුතුª කළාම අනෙක් වෙලාව අපට අපේ වැඩක් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඕනෑ තරම් නිදහස තියෙනවා. හැම දේම වෙලාවට ක්‍රමානුකූලව කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. සුපිරි තරු මාවතේම තවත් සුපිරි තරුවක් වුණු මලිත් පෙරේරාත් එහි සිටින මගේ මිතුරෙක්.

මලිත්ගේ අලුත්ම තොරතුරු දැනගන්නත් සරසවිය රසික හිතවතුන් ආසාවෙන් ඇති?

මලිත් පදිංචි වෙලා ඉන්නේ මෙල්බර්න් නුවර. මම ඇඩිලේඩ් නගරයේ සිටියත් සංගීත කටයුතු වෙනුවෙන් අපි දෙන්නා නිතරම හමු වෙනවා. මගේ අලුත්ම ගීතයටත් මලිත් ලොකුª සහයෝගයක් ලබා දුන්නා. ඔහු තමයි මේ ගීතයේ ගිටාර් එක වාදනය කළේ. මමත් එදා තමයි ඔහු දක්ෂ ගායනයට විතරක් නොවෙයි, හොඳ ගිටාර් වාදන ශිල්පියෙක් කියලත් දැනගත්තේ.

ඔස්ට්‍රේලියාවේදිත් සංගීත කටයුතුවල හොඳ ඉඩක් තියෙනවාද?

නවීන තාක්ෂණය එක්ක නිර්මාණකරණයට සුදුසු හොඳ පසුබිමක් එහි තියෙනවා. දැනට එහි මගේ නිවසේ ශබ්දාගාරයක් තියෙනවා. මට මගේ ගීතවල නිර්මාණ කටයුතු කරන්නේ එහිදීයි. ඔස්ට්‍රේලියාව කියන්නේ විවිධ ජාතින් වෙසෙන රටක්. එහි නිතර සංස්කෘතික සංදර්ශන සංවිධානය කෙරෙනවා. ඒ වගේමයි එහිදී ලොව විවිධ සංගීත ශෛලින් හදාරන්නට අවස්ථා රැසක් එයින් උදා වෙනවා. මම එහි තවත් කිහිප දෙනෙක් සමඟ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. විදේශිකයන්ගෙන් පවා එයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සිංහල ගීත නොතේරුණත් අපේ ගීත ගොඩක් ආසාවෙන් රස විඳීනවා කියලා බොහෝ දෙනා පවසනවා.

විවිධ සංගීත ශෛලීන් අතරේ ගැවසෙන ඔබට වර්තමානයේ මෙරට සංගීත පසුබිම දැනෙන්නේ කොහොමද?

ඇත්තටම දැන් සිංදුවක් කරනවාට වඩා අමාරුයි ඒක රසික ජනතාව අතරට ගෙන එන්න. අද බොහෝ නවකයන් මුහුණ දෙන ප්‍රශ්නයක් ඒක. රිගින් ටෝන් අද බොහෝ ගීත ජනතාව අතරට ගෙන යා හැකි හොඳ මාධ්‍යයක් බවට පත්වෙලා. ඒ නිසා මමත් ‘සෙව්වන්දියේ’ ගීතය රිගින් ටෝන් සඳහා එකතු කළා. ඇත්තටම එහෙම කළේ ගීතය ජනතාව අතරට ගෙන යන්න මිසක් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් නම් නෙවෙයි. ඒ වගේම දැන් ලංකාවේ තියෙන ගීත රැල්ල ගැන නම් මගේ හිතේ එතරම් හොඳ පැහැදීමක් නැහැ. මට දැන් තියෙන පහසුකම් සමඟ ඒ සඳහා ලොකු වෙනසක් තියෙන ගීත කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අලුත් ගීත ගැනත් විස්තර ටිකක් කියමු?

සිතින් හිඳින්න ගීතයේ ජනප්‍රියත්වයත් සමඟ මට හොඳ නිර්මාණ කිහිපක්ම සඳහා ආරධනා ලැබුණා. දැනට ඒ අතරින් කිහිපයක් තෝරා ගෙන තියෙන්නේ. ඒ අනුව ඉදිරියේදී දර්ශන රුවන් දිසානායක අයියා සමඟ වෙනස් ආකාරයේ ගීතයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඊට අමතරව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා අප අතරින් සමුගන්න පෙර මට ගීතයක් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ ගීතයත් ඉදිරියේදී එළි දක්වන්න මම සූදානම් වෙනවා. මම හැමදාම හෙමින් ගමනක් ගියේ. ඒත් ඒක ස්ථාවරයි. වේගයෙන් ගිහින් එක පාරට ඇදගෙන වැටෙන්න මට ඕනෑ නැහැ. ඒ නිසා හෙමින් වුණත් ගොඩක් සාර්ථකව මේ ගමන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

පෞද්ගලික ජීවිතයේ තොරතුරුත් කියමු නේද?

මම දැන් විවාහ ගිවිස ගෙන ඉන්නේ. ඇය තනු නාරම්පනාව. ඇය මගේ ගීත කිහිපයක්ම රචනා කරලා තියනවා. මට ඇය මුලින්ම හමු වුණේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී. ඇය හැදෑරුවේ නර්තනය. ඇයත් මම සමඟින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. සංගීත දිවියෙත් මේ දක්වා එන්න ලැබුණේ ඇයගේ සහයෝගයයි.

ඔබ වටා සිටින ආදරණීය රසික හිතවතුන් හිතවතියන් ඔබ අමතන්න ආසාවෙන් ඇති?

අපි මොන තරම් දුරින් හිටියත් අද නවීන තාක්ෂණය හැමෝම ළං කරලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ර්ධඩචද ච්චපඵඩචදච නම් මගේ ෆේස් බුක් පිටුව හරහා මාව අමතන ලෙස මගේ ආදරණීය රසික රසිකාවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම එදා සිට අද දක්වා මා සමඟ සිටි රසික ඔබ වගේම මට උදව් උපකාර කළ හැමෝටමත් මගේ හද පිරි ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. තවත් අලුත්ම ගීතයක් සමඟින් නැවත හමු වෙමු.