|
රංග කොච්චර නරකද කිව්වොත් ජෙහාන්ට කාන්තාවක් කෙළ ගහලා
මේ දවස්වල ඔහු බොහොම ජනප්‍රිය ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ රංග නිසා. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන මාධ්‍ය තුන ම ජයගත් ඔහු ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි. සතියේ සෑම දිනෙක ම දෙරණ රූපවාහිනියේ රාත්‍රි 7.30ට විකාශය වන ‘සිඳූ’ හරහා ඔබ හමුවට පිවිසෙන ඔහු යළිත් සතියේ දින හතේ ම රාත්‍රි 7.30ට ස්වර්ණවාහිනිය ඔස්සේත් ඔබ හමුවට පිවිසෙනවා. ඒ ‘තුරුම්පු ආසියා’ ටෙලි නාට්‍යය ඔස්සේ. රංගන කටයුතුවලට තිබෙන කාර්යබහුල බවත් එක්ක ඔහුගේ ජීවිතය ගැන සෙවීමේ අදහසින් අප ඔහුව හමුවුණා. * මේ දවස්වල වැඩ ගොඩක පැටලිලා වගෙයි? ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් කෙරෙන අතරතුර ගිහාන් රෝහණගේ ‘තුරුම්පු ආසියා’ ටෙලි නාට්‍යය විකාශය කිරීමත් ආරම්භ කළා. ඊට අමතරව සේනක එදිරිසිංහගේ ‘වාමන යාමය’ ටෙලි නාට්‍යයත් ඉරිදා ඉදිරි දිනයක විකාශය වේවි. ඒ වගේ ම මගේ නාට්‍යය යෞවන සම්මාන උලෙළේ දෙවැනි වටයට තේරුණා. එය ආරම්භ කිරීමට නියමිත නිසා එහි පුහුණුවීම් ආරම්භ කිරීමටයි සිතාගෙන සිටින්නේ. මේ සියලු කටයුතුවලට අමතරව මියුසික් වීඩියෝවක් රිවස්ටන්වල රූපගත කළා. * මේ කරම් වැඩ ගොඩක් කිරීමට තරම් කාලයක් ඔබට තිබෙනවාද? මා මේ සියලු වැඩ කටයුතු කරන්නේ කැමැත්තෙන් නිසා ඊට අවශ්‍ය විදියට කාලය කොහොම හරි කළමනාකරණය කර ගන්නවා. * ‘සිඳූ’ නිසා ඔබ බොහෝදෙනා අතර බොහොම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද? මේ වනතුරු මා ටෙලි නාට්‍යවල රඟපෑවේ යම් තෝරා ගැනීමකට අනුවයි. ඒ සෑම ටෙලි නාට්‍යයක් ම රූපවාහිනි නරඹන්නන් නරඹලා තිබුණේ නැහැ. ඒත් ‘සිඳූ’ ටෙලි නාට්‍යය අපේ රටේ බොහෝදෙනෙක් නරඹන නිසා මා රඟපාන චරිතයට ලැබෙන ප්‍රතිචාර නම් එමටයි. රූපවාහිනි නරඹන්නන් සිතන්නේ මා පළමුවරට ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ රඟපාන බවයි. සමහර වෙලාවට ‘සිඳූ’ ටෙලි නාට්‍යය නරඹන්නන් අතරට ගියා වැඩි දෝ කියලා සිතෙන අවස්ථාත් නැතිවා ම නොවෙයි. * එහෙම සිතෙන්නේ ඇයි? ‘සිඳූ’ ටෙලි නාට්‍යයට නරඹන්නන් කොයිතරම් බැඳීලා තිබෙනවාද කිව්වොත් රංගට කිසිම කෙනෙකු කැමැති නැහැ. රංග කරන්නේ ඕනෑ නැති වැඩමයි. සමහර විට මටම රංගගේ චරිතය එපා වන අවස්ථා අනන්තවත්. ඒ හරහා රංගට ලැබෙන ප්‍රතිචාරත් එච්චර ම හොඳ ඒවා නොවෙයි. * රංග ගැන රූපවාහිනි නරඹන්නන් මොනවගේ දේවල්ද පවසන්නේ? රංගත් සමඟ ඔවුන් ඉන්නේ බොහොම තරහෙන්. ඒ තිබෙන තරහව මාව දැක්ක විට ම මතු වෙනවා. කොයිතරම් පැවසුවත් ඒ රඟපාන්නේ චරිතයක්, මා එවැනි කෙනෙකු නොවෙයි කියලා ඔවුන් ඒ කාරණය පිළිගන්නේ නැහැ. * කුමන අවස්ථාවලදිද නරඹන්නන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ? සමහර අවස්ථාවලදි මට විවිධ උත්සව අවස්ථාවලට යෑමට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදි සමහරු ඉන්නේ මධුවිතෙන් සප්පායම් වෙලා. ඒ අය මගේ ළඟට එන්නේ ම ‘අඩෝ රංගයා’ කියලා ආමන්ත්‍රණය කරන ගමන්. ඒ විතරක් නොවෙයි “අර කෙල්ලට ඉන්න දීපන් බං, ලැජ්ජ නැද්ද යකෝ අහිංසක කෙල්ලන්ට කැත වැඩ කරන්න කියලා” කියන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. මේ විදියට පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න සමහර දේවල් දුරදිග යන තැනට වැඩ යෙදෙනවා. * ඒ වගේ අවස්ථාවලදි ඔබ කරන්නේ මොකක්ද? පුළුවන් විදියට ඔවුන්ට තේරුම් කරලා දෙන්න උත්සාහ කරලා, හරියන්නේ නැත්නම් කරන්නේ එතැනින් හෙමින් ම මාරුවන එකයි. * එවැනි එක් අවස්ථාවක් ගැන මතකයට නඟමුද? මා දවසක් වෙනත් නාට්‍යයක රූගත කිරීමකට ගිය අවස්ථාවකදි කාන්තාවක් මා ළඟින් යද්දි කාරලා කෙළ ගහගෙන යනවා. මා කොහොමත් මිනිස්සු එක්ක බොහොම හිතවත් නිසා මෙහෙම කරන්නේ ඇයි කියලා මට හිතා ගැනීමට නොහැකි වුණා. එදා දවසේ දවල් හා හවසත් මාව දකින විට ම ඈ මේ විදියට කෙළ ගහනවා. දෙවැනි දවසෙත් ඒ විදියමයි. ඒ සිදුවීම නිසා මගේ සිතේ ඇතිවුණේ බොහොම අවුලක්. මේ ගැන නිෂ්පාදකතුමාව දැනුවත් කළේ මා ඊට පස්සේ. ඊට පස්සේ ඔහු මාත් සමඟ ම ඒ නිවෙසට ම ගියා. ඒ ගැන ඇගෙන් විමසුවට පස්සේ ඈ පැවසුවේ රංගගේ චරිතය ඈ අකැමැති ම චරිතය බවයි. කොයිතරම් අකැමැතිද කිව්වොත් ඈ මගේ මුහුණ බලන්නත් අකැමැති බවයි පැවසුවේ. ඒ නිසයි ඈ මා දුටුවිට ම කරලා කෙළ ගහලා තිබෙන්නේ. * ඒ විදියට සිදුවුණු තවත් එක් සිදුවීමක් මතකයට නැඟීමට පුළුවන්ද? මේ සිදුවීම නම් සිදුවුණේ ‘සිඳූ’ රූ ගත කරන ස්ථානය අසලමයි. එහි අසල තිබෙන මධුවිතෙන් සප්පායම් වන ස්ථානයකට පැමිණි තරුණ පියෙකුගෙනුයි මේ කරදරය මට වුණේ. ඔවුන් රංග සමඟ කොයිතරම් තරහකින් සිටියද කිව්වොත්, අවසානයේ මගේ ඇඳුමේ කොළරයෙන් පවා අල්ලා මා ඉස්සීමට තරම් ආවේගයකින් යුක්ත වුණා. මගේ සිතේ තිබුණු ඉවසීම නිසා ම එදා සියල්ල යහපත් අයුරින් විසඳුණා. ඒත් මමත් මනුෂ්‍යයෙක්. මේ වනවිට මේ සිදුවන සිදුවීම් නිසා දරාගත නොහැකි තත්ත්වයකුයි උද්ගත වී තිබෙන්නේ. * මේ පැන නැඟෙන ප්‍රශ්න නිසා රංගගේ චරිතය අත හරින්න සිතිලා නැද්ද? මා චරිතයක් භාර ගන්නේ මට රඟපෑ හැකිනම් පමණයි. ඒ වගේ ම අධ්යක්ෂවරු මට චරිතයකට කතා කරන්නේ, මට ලබාදෙන ඒ චරිතයට කළ යුතු සාධාරණය ඉටු කරන නිසා බව මා දන්නවා. මේ නිසා මට ලැබෙන චරිතය මැරයෙකුද? කාලකණ්ණියෙකුද කියන කාරණය මට අදාළ වන්නේ නැහැ. මට අදාළ වන්නේ මා රඟපාන චරිතය පමණයි. එයට මා උපරිම සාධාරණය ඉටු කරනවා. ජීවිතේදි අපට ලැබෙන සමහර චරිත මඟින් අපට අපව ම තේරුම් ගැනීමටත් හැකියාව ලැබෙනවා. අපට සමාජය තේරුම් ගැනීමටත් හැකියාව ලැබෙනවා. අපේ ළඟ ම ඉන්න අය වගේ මගේ යහළුවන් පිළිබඳත් ඒ චරිතය ඔස්සේ දැන හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා රංගගේ චරිතයට මා බොහොම ආදරෙයි. මා රංගගේ චරිතය අතහැර දමන්නේ නැහැ. * රංගගේ චරිතය ගොඩනඟා ගැනීමට ඔබ චරිතයට එකතු කළේ කුමන දේද? රංගගේ චරිතය ගොඩනඟා ගැනීමට මට අධ්යක්ෂවරයා බොහෝ උදව් කළා. එය ගොඩනැඟීමේදී තිළිණගේ සමහර අදහස් බොහොම හොඳට වැඩ කළා. ඒ අදහස් කොයිතරම් වැඩ කරාද කිව්වොත් නරඹන්නන් අල්ලා ගන්නේ එවැනි කාරණායි. උදාහරණයක් විදියට මගේ රටකජු කෑම මිනිස්සු අතර බොහොම ජනප්‍රියයි. * ඔබ ඔබට පැමිණෙන ටෙලි නාට්‍ය සියල්ල ම අල්ලා බදා ගන්නා නළුවකු නොවෙයිද? මා පෞද්ගලිකව කැමැති දේවල් වගේ ම අකැමැති දේවල් වුණත් තිබෙනවා. විශේෂයෙන්ම නිර්මාණයක් භාර ගනිද්දි දෙතුන් වරක් සිතනවා. ඒ භාර ගන්න චරියට යම් සාධාරණයක් ඉටුකළ හැකි ද යන කාරණයි මා සලකා බලන්නේ. එහෙම නැතිව ලැබෙන සෑම නිර්මාණයක්ම භාර ගන්නත් බැහැ. භාර ගන්නෙත් නැහැ. * ඔබට වෘත්තිය රංගන ශිල්පියකු වීම ගැන සතුටුයිද? රංගන ශිල්පියකු වීම ගැන මා ඉන්නේ සතුටින්. ඊට අමතරව රංගනයෙන් මා මුදල් හම්බ කරනවා තමයි. ඊට අමතරව දේවල් ටිකකුත් මා කරනවා. ඒ කරන දේවල් ඇතුළේදීත් මට මුදල් ලැබෙනවා. මුදල් ගැන කතා කළොත් මගේ පවුලට ජීවත් වන තරමට මුදල් තිබුණොත් ඇති බවයි මා සිතන්නේ. මා මුදල් පසුපස යන කෙනෙකු නොවෙයි. * එහෙත් අද බොහෝදෙනා පවසන්නේ රංගනයෙන් පමණක් ජීවත් වීම සඳහා මුදල් හම්බ කළ නොහැකි බවයි? මා සිතන්නේ ඔය කියන ප්‍රශ්න ටික එන්න තවත් ටික කාලයක් යාවි. ඒ දේවල් ගැන මා එච්චරම සිතන්නේ නැහැ. මා කැමැති බොහොම සරලව ජීවත් වන්නයි. * ඔබගේ සිතේ පුංචි කාලයේ පටන් ම සැඟවුණු ආශාවකුයි අද වනවිට ඉටු වී තිබෙන්නේ? කුඩා කාලයේ පටන්ම මගේ ආසාව තිබුණේ නළුවකු වීමටයි. එය අද වනවිට ඉෂ්ට වෙලා. ඒත් මා නළුවකු විදියට වැඩ කරනවාට වඩා කැමැත්තක් දක්වන්නේ අධ්යක්ෂවරයකු වීමටයි. * නළුවකු හා අධ්යක්ෂවරයකු දක්වා ගමනක් එන්නට ඔබ බොහොම කට්ටක් කෑවාද? ඇත්තට ම ඒ ගමනේදි මට ශක්තියක් වුණු මගේ පවුලේ සියලුදෙනාම මේ අවස්ථාවේදී ම සිහිපත් කළ යුතුයි. කොළඹ ඇවිත් නාට්‍ය කරද්දි ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදෙමින් සහෝදර, සහෝදරියන්, අම්මා, තාත්තා කළ කැප කිරීම මට කිසිම දිනෙක අමතක කරන්න බැහැ. මට මතකයි මගේ කෙටි නාට්‍යයක් වුණු ‘සින්දු පහයි කෝල්ස් පහයි’ කරද්දි ඒ අය ඒ අයගේ කරාබු උගස් තියලයි මට සල්ලි දුන්නේ. ඊට පස්සේ ‘හොරු’, ‘හැපි ජර්නි’, ‘සුරංගනා කතාවක්’, ‘සූකර අසපුව’ දක්වා කියන නිර්මාණ දක්වා පැමිණීමට මා ලොකු රස්තියාදුවක් ගැහුවා. ඒ ඇතුළේ නළුවකු, අධ්යක්ෂවරයකු විදියට මට ගොඩනැඟීමට පවුලේ අය මුලින්ම දුන්නු සහයෝගය නිසයි මට ඒ රස්තියාදුව මගේ පාඩුවේ කරන්නට හැකියාව ලැබුණේ. * විවාහයෙන් පසුව ඒ ගහන රස්තියාදුවට බිරියගෙන් සහයෝගය ලැබෙනවාද? මේ වනවිටත් බිරිය ගයත්‍රිගෙන් හා ලොකු දුව මරියා ජර්නි අප්පුහාමි, පොඩිදුව වෙරෝනිකා ජර්නි අප්පුහාමි ඇතුළු පවුලෙන් ලැබෙන සහයෝගය මතයි මා මේ කටයුතු කරගෙන යන්නේ. එහෙම නොවුණා නම් මේ තරම් දේවල් මට කිරීමට ලැබෙන්නේ නැහැ. * ඉදිරියේදි ඔබ චිත්‍රපටයක් කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවාද? ඒ මගේ ඊළඟ හීනයයි. මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගනිමිනුයි යන්නේ. ඒ වගේ ම ඉදිරියේදි තවත් වේදිකා නාට්‍යයක් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.
|