වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට දුන්නා කියලා වෙනසක් වුණාද?

චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට දුන්නා කියලා වෙනසක් වුණාද?

ලංකාවේ වැඩිම හින්දි හා දෙමළ චිත්‍රපට ආනයනකරු බී.නස්රුල්ලාගෙන් අසමු

අපේ රටේ හොඳ කතා පුවත් රැගත් චිත්‍රපට හැදෙනවා. නමුත් වෙලා තියෙන්නෙ මේකයි. ඉස්සර චිත්‍රපට හොඳට සල්ලි හෙව්වනෙ. ප්‍රේක්ෂකපොක් පොදි කකා ඒවා බැලුවා. ඒක වුණේ ඒ කාලෙ රඟපාපු නළු නිළියන්ට තිබුණු ස්ටාර් ලෙවල් එකට. බලන්න කොච්චර ස්ටාර් ලේවල් එකේ ආර්ටිස්ලා ඒ කාලෙ හිටියද. අද වන විට එක්කෙනෙක්වත් ඉන්නවද නැහැනෙ. ඒක නිසා චිත්‍රපට බලන්න මිනිස්සු එන්නෙ නැහැ. නමුත් වෙන රටවල බලන්න. අපි දැන් ශාරුක්ගෙ ෆිල්ම් එකක් ආවොත් කාගෙන් හරි අහන්නෙ ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක බැලුවද කියලා. රැජිනි කාන්ත්ගෙ වුණත් එහෙමයි. ඇතැම්විට චිත්‍රපටයේ නමවත් මතක නැහැ. නමුත් නළුවට මතකයි.

බී.නස්රුල්ලා පිළිබඳ කෙටියෙන් හඳුන්වාදුනහොත් මෙසේය. ලංකාවට නවතම විදෙස් සිනමාපට ගෙන එන්නේ ඔහුය. මේ දිනවල තිරගත වන ශාරුක් ඛාන්ගේ නවතම සිනමාපටය වන ජබ් හැරි මෙට් සෙජල් සිනමාපටය ඇතුළු ඉකුත් දිනවලදී මෙරට තිරගත වු බහුතරයක් දමිල හින්දි සිනමාපට ආනනයනය කරන්නේ නස්රුල්ලාය. චිත්‍රපට ප්‍රදර්ශකයෝ හැර වැඩිදෙනකු ඔහුව හඳුන්නේදැයි සැකයකි. ඒ නමුත් නස්රුල්ලා මෙරට විදෙස් සිනමා ලොලීන්ගේ සිනමා පිපසාව සංසිදුවීමට ගන්නා මෙහෙවර අගය කළ යුතු වන්නේය. එවන් සේවාවක් සිදුකරන නස්රුල්ලාව අප සරසවියට කැඳවුයෙමු.

නස්රුල්ලා, අප ඔබව හඳුනාගත්තේ මෙරටට විදෙස් චිත්‍රපට ගෙන්වන්නෙකු හැටියට?

ඒක හරි. නමුත් මං ලංකාවට පමණක් නොවෙයි චිත්‍රපට බෙදාහරින්නෙ. සිංගප්පුරුව, හොංකොං, තායිලන්තය වගේ රටවලත් මං චිත්‍රපට බෙදා හරිනවා.

ඔබේ ආයතනයේ නම සඳහන් කළොත්?

නෑෂ් හෝල්ඩිං. එනමින් තමයි අප ජාත්‍යන්තර ගනුදෙනු සිදු කරන්නෙ.

කොහොමද ඔබ චිත්‍රපට ආනනයට යොමුවුණේ?

අපිට ත්‍රිකුණාමලය හෝල් එකක් තිබුණා. ඒකෙ නම සිහාරා සිනමා. තාත්තා තමයි එහි හිමිකරු. මං පොඩිකාලෙ පටන් සිනමාව එක්කමයි හිටියෙ. ඔය අතරෙ යුද්දේ පටන් ගත්තා. එතකොට හෝල් එක වහන්න වුණා. මං මේ කියන්නෙ 94ට කලින්. යළිත් හෝල් එක විවෘත වෙනවා 94 දී. එතැන් පටන් ආයෙත් මට සිනමාවට ආසාව ඇතිවෙන්න පටන් ගත්තා. ඒ ඇල්ම මත මං පළමුවරට චිත්‍රපටයක් ආනයනය කළා. 96 දී අවුරුද්දෙදි ඒකෙ නම අමරාවදී.

ඒත් ඔබට එය ශාලවේ පෙන්වාගන්න බැරිවෙනවා නේද?

ඔව්. මට එතකොට වැඩි අත්දැකීමක් නැහැනෙ. මං පොඩි කොල්ලා. ඒ හින්දා මං චිත්‍රපටය ගත්තු අය මාව රවට්ටලා. ඉන්දියාවේ පාවිච්චි කරපු රීල් එකක් දීලා තියෙන්නේ. ඒක අපේ හෝල් එකේ වැඩ කරන්නෙ නැහැ. මං එවලෙ ඇන්දුනා. ඕනම දෙයක් කරද්දී මුල දී කොහොමත් වරදිනවනෙ. මට ඒ කාලෙ ලක්ෂ එකහමාරක් වියදම් වුණා. අමරාවදි ගෙන්න. ඒකත් පාඩුයි. ඒ හේතුවෙන් මං වසර දෙකක් පමණ ඒ බිස්නස් එකට අත තිබ්බෙ නැහැ.

ඒ කියන්නේ දෙවැනි චිත්‍රපටය ඔබ ගෙන්වුයේ අවුරුදු දෙකක පස්සෙ?

අනුඅටේදි විතර තමයි දෙවැන්න ගෙන්වුයෙ. එවලෙ වැඩේ සාර්ථකයි. බිස්නස් එක අල්ලා ගත්තා. එදා ඉඳලා අද දක්වා මං චිත්‍රපට ආනයනය කරනවා.

මේ වන විට චිත්‍රපට කීයක් විතර ගෙන්වලා තිබෙනවාද?

පන්සීයක් විතර

කොහොමද බිස්නස් එක දියුණු කරගත්තෙ. බාධක ආවෙ නැතිද?

ලොකුවට බාධා ආවෙ නැහැ. මං මුලින්ම කළේ මට අවශ්‍ය සබඳකම් හදා ගත්තු එක. ඒත් එක්කම පිටරට කම්පැණිත් එක්ක ජොයින් වුණා. එතකොට ලෙහෙසියි. පහසුයි.

ඔබ ගෙනාව ජනපි‍්‍රය චිත්‍රපට කිහිපයක් මතක් කළොත්?

හැරී පොටර් චිත්‍රපට මාලවම ලංකාවාට ගෙනාවෙ මං. මෑත කාලීනව බයිරවා, බාහුබලි, වික්‍රමවේදා ආදී චිත්‍රපට නම් වශයෙන් කිව හැකියි.

අප රටේ බහුතරයක් චිත්‍රපට අධ්‍යක්ෂවරු අකැමැතියි විදෙස් චිත්‍රපට මෙරටට ගෙන් වනවවිට ඔබටත් ඒක දැනිලා ඇති?

ඔබ කියන කතාව හරි. සිංහල අධ්‍යක්ෂවරු ආස නැහැ විදෙස් චිත්‍රපට ගේනවට. විශේෂයෙන්ම ටැමිල් සහ හින්දි චිත්‍රපට ගේන්වට. හැබැයි එයාලා වැඩිදෙනෙකු දන්නෙ නැහැ එම චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නෙ විදෙස් චිත්‍රපට පමණක් පෙන්වන ශාලාවල් වල පමණයි කියලා.

ඔබ ඔහොම කිව්වට ඇතැම් සිංහල චිත්‍රපට ශාලාවලත් හින්දි දමිළ චිත්‍රපට පෙන්වනවා නේද?

මෙහෙමයි. එහෙම චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ එම ශාලාවෙන් ඉල්ලුවෙත් පමණයි. එතකොට වෙනමම ෂෝටයිම් එකක විදෙස් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා.

ඔබ දකින අන්දමට මේ වන විට සිංහල චිත්‍රපට කර්මාන්තයේ පසුබෑමට හේතුව කවරේද?

අපේ රටේ හොඳ කතා පුවත් රැගත් චිත්‍රපට හැදෙනවා. නමුත් වෙලා තියෙන්නෙ මේකයි. ඉස්සර චිත්‍රපට හොඳට සල්ලි හෙව්වනෙ. ප්‍රේක්ෂකයොත් පොදි කකා ඒවා බැලුවා. ඒක වුණේ ඒ කාලෙ රඟපාපු නළු නිළියන්ට තිබුණු ස්ටාර් ලෙවල් එකට. බලන්න කොච්චර ස්ටාර් ලේවල් එකේ ආර්ටිස්ලා ඒ කාලෙ හිටියද. අද වන විට එක්කෙනෙක්වත් ඉන්නවද නැහැනෙ. ඒක නිසා චිත්‍රපට බලන්න මිනිස්සු එන්නෙ නැහැ. නමුත් වෙන රටවල බලන්න. අපි දැන් ශාරුක්ගෙ ෆිල්ම් එකක් ආවොත් කාගෙන් හරි අහන්නෙ ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක බැලුවද කියලා. රැජිනි කාන්ත්ගෙ වුණත් එහෙමයි. ඇතැම්විට චිත්‍රපටයේ නමවත් මතක නැහැ. නමුත් නළුවව මතකයි.

ලෝබජට් එකට චිත්‍රපට හැදීම නිසාත් සිංහල සිනමාව කඩන් වැටිලා කියලා ඇතැම් අය කියනවා?

බජට් එකේ නෙවෙයි වැඩේ තියෙන්නෙ. නිර්මාණශීලි ගුණය තිබිය යුතුයි. දැන් බලන්න ලංකාවෙ ප්‍රදර්ශනය වන වික්‍රමවේද චිත්‍රපටය ගැන. ඒක ලෝබජට් වැඩක්. නමුත් එහි නිර්මාණශීලිත්වය බපට් එක පරයා ගිහින් තියෙනවා.

ලංකාවෙ පවතින චිත්‍රපට ශාලා ගැන මොකද කියන්න තියෙන්නෙ?

දෙදහ අවුරුද්දෙ චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලිකරණය කළානෙ. අද වනවිට වසර දහහතක් ගතවෙලා. මොනවද වෙලා තියෙන වෙනස. මුකුත් නැහැ. හෝල් හැදිලා නැහැ. චිත්‍රපට හැදිලා නැහැ. පරණ සිස්ටම් තියෙන්නෙ. සභාපතිවරු පුුටු මාරුවෙනවා විතරයි. වැඩක් වෙලා නැහැ. මං මේ කතා කරන්නෙ ඇත්ත.

ඔබ චිත්‍රපට නිෂ්පාදනයටත් කැමැත්තෙන් හිටියා නේද?

තවමත් කැමැතියි. මට ඕන තරම් ආයෝජකයෝත් ඉන්නවා. නමුත් මේ පරණ සිස්ටම් එකක් තියාගෙන මොනවා කරන්නද.යල් පැනගිය ශාලා තියන කර්මාන්තයක් වෙනුවෙන් ආයෝජනය කරන්න ආයෝජකයෝ බයයි. මටත් බයත් තියනවා. ඒ අතර සුභවාදි දිනයක් සිංහල සිනමාවට උදාවේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.