|
ළමයි කොහොමටත් දඟයි ඒක තේරුණාම ප්‍රශ්න නැහැ
අධ්‍යක්ෂ රොහාන් පෙරේරා
හීන හොයන සමනල්ලු සමඟ අපට විශිෂ්ට සිනමාකරුවෙක්
හෙට සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිත ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ රොහාන් පෙරේරායි. කෙටි චිත්‍රපටකරුවකු ලෙස සිය සිනමා ගමන අරඹන ඔහු පළමුව නිර්මාණය කිරීමට යොමුවූයේ ‘සමනල සිත්තම්’ නම් චිත්‍රපටය වුවත්, එය නිර්මාණය නොවීම නිසා ඔහුගේ අවධානය යොමුවන්නේ ‘හීන හොයන සමනල්ලු’ නිර්මාණය දෙසට ය. ඒ අනුව රොහාන්ගේ තිරගත වන පළමු දිගු චිත්‍රපටය වන්නේ ‘හීන හොයන සමනල්ලු’ ය. වර්තමානයේ තරුණ සිනමාකරුවන් අතරට එකතු වන නවතම තරුණයා මෙන්ම අනාගතයේ බලාපොරොත්තු තබාගත හැකි තරුණ අධ්‍යක්ෂවරයකු වන රොහාන් පෙරේරා ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය අවසන් කර වසර දෙකක කාලයක් ගත වී ගිය ද සිනමාවට බෙහෙවින් ආදරය කරන්නෙකි. ඒ නිසා ම මේ වනවිටත් සක්‍රීයව චිත්‍රපට නිර්මාණකරණයේ නියැළී සිටින ඔහු ‘හීන හොයන සමනල්ලු’ පිළිබඳත්, සිය සිනමා ආගමනය පිළිබඳත් හෙළි කළ කතාබහකින් මේ ලිපිය සැකසිණි. * ඔබ අද පැමිණි ස්ථානය දක්වා ගමන්මඟ නිර්මාණය වන්නේ කෙසේද? මා උසස් පෙළ ගණිතය අංශයෙන් අධ්‍යාපනය ලබන්නේ කැලණිය ධර්මා ලෝක විද්‍යාලයෙන්. ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන මා පරිගණක විද්‍යාව හා ගණිතය පිළිබඳ හදාරනවා. ඊළඟට මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය අවසන් කරනවා. ඒ කටයුතුවලින් පසුව ශ්‍රී ලංකාවේ වගේ ම විදේශ රටවලත් කාලය ගත කරනවා. මා අවසාන වශයෙන් රැකියාව කළේ අපේ රටේ පෞද්ගලික ආයතනයකයි. 2011 වසරේ ඉන් ඉවත් වන මගේ අවධානය යොමු වන්නේ කෙටි චිත්‍රපට නිර්මාණය කෙරෙහියි. වර්තමානය වනවිට මා නියැළී සිටින්නේ පූර්ණ කාලීනව චිත්‍රපට නිර්මාණය කිරීමත් සමඟයි. * අපේ රටේ සාමාන්‍ය පවුල්වල මව්පියන්ගෙන් දරුවන්ට ගණිත හෝ විද්‍යා විෂයයන් කළ යුතු යැයි තිබෙන බලපෑම ඔබටත් එල්ල වූවාද? මගේ නිවෙසේ අය ඇඟිල්ලෙන් ඇණලා මෙහෙම කෙනෙක් වෙන්න වුවමනායි කියලා නැහැ. ඒත් අප ජීවත් වන වටපිටාවම නිර්මාණය වී තිබෙන්නේ ඒ අදහස්වලට අනුබල දෙන ආකාරයෙන්. ඒ කාලයේ ම මට චිත්‍රපට නිර්මාණය කිරීමට වුවමනා වුණා නම් යන්න බැරි කමක් තිබුණෙත් නැහැ. පාසල් කාලයේ වුණත් මට ඒලෙවල් කරද්දි කලා විෂයයන් තෝරාගෙන නාට්‍ය හා රංග කලාව වගේ විෂයයක් හදෑරීමට වුවමනයි කියලා කිව්වා නම් මගේ නිවෙසේ අය ගණිතය හැදෑරිය යුතු යැයි නොකියන බව මා දන්නවා. එහෙම නොවුණත් මේ සමාජ වටපිටාව අපව පොලඹවන්නේ ම එතැනටයි. * ඒ පොදු පෙලඹවීම ඔබටත් බලපානවා? අපේ රටේ තිබෙන මේ ක්‍රමයත් එක්ක අපට නිදහසේ හිතලා තීරණ ගැනීමට හැකි සමාජ, ආර්ථික වටපිටාවක් නිර්මාණය වී නැහැ. ඒ නිසා පුංචි කායේ පටන් ම මේ මේ දේවල් කළ යුතු යැයි පවසමින් විවිධ දේ මොළයට දැමීමයි සිදුවන්නේ. ඔවුන් කරන්නේ අපට සිතන්න උදව් කිරීම නොවෙයි. ඔවුන් කරන්නේ සිතීම පුරුදු කිරීමයි. ළමයින් සියයකගෙන් අප කවුරුන් වනවා දැයි යන්න විමසුවොත් ඔවුන් ළඟ තිබෙන්නේ උත්තර පහක් හෝ හයක්. ඔවුන් පවසන්නේ “මම දොස්තර කෙනෙකු වෙනවා. නැත්නම් මම ඉන්ජිනේරුවකු වෙනවා” යන්නයි. ඒ විදියට කියාගෙන කියාගෙන යෑම අද වනවිට පුරුද්දක් බවට පත්වෙලා. ළමයකු ගණිතයට හෝ විද්‍යාවට දක්ෂ නම් ඔවුන් එතැනයි නතර වන්නේ. එහෙම නැතිව ඔවුන් පැමිණි ගමන්මඟ දෙස ආපස්සට හැරී බලා “ආ... මට වැරැදුණා නිවැරැදි කරගත හැකිද?” යන සිතුවිල්ලට අවස්ථාවක් අපේ රටේ නිර්මාණය වී නැහැ. හයේ, හතේ පන්තිවලින් ඉහළදි අප ඇත්තට ම කැමැති මොකකටද කියන කාරණය විමසා බලන අධ්‍යාපන ක්‍රමයක් සකස් වී තිබුණා නම් මේ තත්ත්වය වෙනස් වීමට හැකියි. ඒ වගේ ම නීතිඥයකු, දොස්තරවරයකු, ඉංජිනේරුවරයකු වෙනවා කියන එක ම කවිය කටපාඩම් නොකර සිටියා නම් මේ තත්ත්වය වෙනස් වීමට හැකියාව තිබුණා. ඒත් එවැනි පරිසරයක් එදා නිර්මාණය වී තිබුණේ නැහැ. * ඒ සිදුවුණු දෙය නිසා ඔබ අද පසුවන්නේ පසුතැවීමෙන්ද? එහෙම වුණා කියලා මට අද කොහෙත්ම පසුතැවීමක් නැහැ. එහෙම වන්නේ මා සම්ප්‍රදායික විදියට සිංහල හරි කලාව හරි ඉගෙන ගෙන පැමිණෙනවාට වඩා ගණිතය හරහා මට ලෝකය වටා යන්න හැකියාව ලැබීම නිසයි. ඒ නිසා මා ජීවිතය වෙනස් විදියට දැක්කා කියන අදහසයි මගේ සිතේ රැඳී තිබෙන්නේ. මට අපේ රටේ තිබෙන සිනමා කර්මාන්තය පිළිබඳ, අපේ රට ගැන අගයක් දැනෙන්න ගන්නේ ඒ හරහායි. එළියට ගිහින් වසර අටක කාලයක් ඇතුළත කැනඩාවේ වසර පහක කාලයක්, ඇමෙරිකාවේ වසරකට වඩා කාලයක්, ජර්මනියේත් ගත කළ කාලය ඇතුළේ මා විවිධ දේ දැක්කා. ඔවුන්ගේ භාෂා පිළිබඳ දැනුම වැඩිවුණා. විදේශීය නිර්මාණ හොඳට රසවිඳීන්න පුළුවන් වුණා. මගේ නිර්මාණවල වෙනස් ම හැඩයක් දකිනවා නම් ඒ දේ වුණේ මා එළියේ සිටි කාලය ඇතුළේ ලබාගත් දේ නිසයි. * ඔබ පවසන්නේ ඔබගේ නිර්මාණ ජීවිතයට ඒ විදේශ ගමන් යම් බලපෑමක් කළ බවද? මුලදිම මා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගෙන විශ්වවිද්‍යාලට ගිහින් ආවා නම්, ගණිතය කිරීමෙන් මට මෙතෙක් ලැබුණු අවස්ථා මගෙන් ගිලිහී යන්නට ඉඩ තිබුණා. වෙනත් නිර්මාණ හොඳට රසවිඳීමේ අවස්ථාත් මට නැතිව යෑමට ඉඩ තිබුණා. * අපේ රටේ සිනමා රසිකයන්ට අත්විඳීමට නොහැකි වන යම් යම් අවස්ථා ඔබ සජීවව අත්විඳීන්නේ ඒ විදෙස් ගමන් හරහායි? ඒ රට රටවල නිර්මාණය වූ නිර්මාණ මට එහිදීම නැරැඹීමට ලැබෙන්නේ මේ සංචාරවල ප්‍රතිඵලයක් විදියටයි. මා යුනිවර්සල් ස්ටුඩියෝ එකට ගියා. ඒ හරහා කෙරුණු දැවැන්ත නිර්මාණ කෙරෙන තැන්වල මා ඉඳලා තිබෙනවා. * ඒ කියන්නේ ඔබ සිනමාව හා සම්බන්ධව යම් හැදෑරීම් කළාද? අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, සෝමරත්න දිසානායක වගේ ප්‍රවීණ නිර්මාණකරුවන් එකතු වෙලා කරන ඇකඩමියක් තිබෙනවා නම් ඒ වගේ ආයතනයකට ගොස් හැදෑරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ රටේදි මා සිනමාව පිළිබඳ හැදෑරීමට තිබෙන විවිධ ස්ථානවලට ගියා. එවිටයි මට හැඟුණේ මට හදාරන්න හොයන දේ මේ ආයතනවල නොමැති බව. ඒ ඒ තැන්වලට ගිහින් අපි විමසුවොත් මේ පාඨමාලාව නිර්මාණය කරලා තිබෙන්නේ කවුද? කවුද මේ ආයතනයේ කැමරා කරන්නේ? කියලා. ඒවා දැවැන්ත චිත්‍රපටත් සමඟ සම්බන්ධ වී තිබිය යුතුයි. එහෙම නමක් ඇසුණා නම් අපට ඇසෙන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වගේ ස්ථානයකදියි. * එහෙම නම් කොහේ ගිහින්ද මේ විෂයයන් හදාරන්නේ? ඕනෑම විෂයයක් හදාරන අය මේ ප්‍රශ්නයේදි කොටු වෙනවා. යම් තැනකට ආවාට පස්සේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කළ දේයි අප සොයන්නේ. එවිටයි ඉන් එහාට අපට යා හැක්කේ. එතැනදි විධිමත් අධ්‍යාපනය කොහොමත් ගැළපෙන්නේ නැහැ. මා හැදෑරුවේ නොවිධිමත් අධ්‍යාපනයයි. චිත්‍රපට නැරැඹීම, චිත්‍රපට ගැන ලියැවුණු පොතපත කියැවීමයි මා කළේ. එහිදි හොඳ චිත්‍රපටවල තිරරචනා, ඉංග්‍රීසියෙන් ලියැවුණු පොතපත අරගෙන මා කියෙව්වා. මා ළඟ චිත්‍රපට දහස් ගණනක එකතුවක් තිබෙනවා. බොහෝ චිත්‍රපට මා නරඹා තිබෙනවා. ඒ අතරින් මා නැරැඹුවේ නැති චිත්‍රපටයක් පිළිබඳ යම් අයකු පැවසුවොත් මා ඒ චිත්‍රපටය සොයාගෙන නරඹනවා. ඒ නිසා මා හැදෑරීම් කටයුතු කරන්නේ චිත්‍රපට මඟින්මයි. සිනමාවට පිවිසෙන අයකුට පොතපත කියවා ඒ මඟින් නිර්මාණය වුණු නිර්මාණ නැරැඹීමෙන් යම් හැදෑරීමක් කළ හැකි බව කිව යුතුයි. කියැවීමයි මා මෙතැනට ගෙනාවේ. * අපේ රටේ දැවැන්තයන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ඔබට ලැබිලා තිබෙනවාද? මුලින්ම නම් මට සිතුණේ ප්‍රසන්න විතානගේ වගේ ප්‍රවීණයකු ළඟ සහය අධ්‍යක්ෂවරයකු විදියටවත් වැඩ කරලා තිබුණා නම් කියලයි. ඒ සිතුවිල්ල ඇතිවුණේ අපේ රටට ඇවිත් කෙටි චිත්‍රපට නිර්මාණය කරමින් සිටින අවස්ථාවලයි. එහෙම වුණා නම් වඩා හොඳයි. ඒත් මට එතුමා මුණ ගැසෙන්නේ ගොඩක් පහුවෙලයි. * එවැනි අත්දැකීම් නැතිව මේ වනවිට ඔබ කටයුතු කරන්නේ කුමන විදියකටද? මේ වනවිට මා මගේ ක්‍රමයකට අනුවයි නිර්මාණවල නියැළෙන්නේ. තිරරචනා කියැවීමකදි වුණත්, පුහුණු වීම් කරත්, මා මගේ ක්‍රමයකුයි සෙට්එක ඇතුළේ අනුගමනය කරන්නේ. සමහර වෙලාවට සහය අධ්‍යක්ෂවරයා හෝ කලා අධ්‍යක්ෂවරයා ඇවිත් මට කියන්නේ “නැහැ රොහාන් මේක මේ විදියට කරා නම් පහසු බවයි.” ඒත් මා මේ විදියට කැමැතියි. සමහර නළු නිළියොත් මට පවසන්නේ “මේවා සාමාන්‍යයෙන් සිදුවන සම්ප්‍රදායික විදිය මේකයි. ඒත් ඔයා අනුගමනය කරන මේ විදියේ අමුත්තකුත් තියෙනවා. ඒක වඩා හොඳයි. සමහර දේවල් නම් වඩා හොඳ නැහැ. මට කරදරයි.” කියලයි. ඒත් මා වෙනස් විදියකටයි කටයුතු කරන්නේ. මා මගේ ක්‍රමයට කැමැතියි. * ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය සාර්ථක වීමට හේතු වන්නේ ඔබගේ ක්‍රමය අනුව කටයුතු කිරීමද? මම දර්ශන තලයක්වත් දැකලා නැහැ. මගේ චිත්‍රපටවලදි රූපරචනය කර ගත්ත දර්ශන තල ඇරෙන්න වෙනත් ඒවා දැකලාවත් නැහැ. ඒත් මගේ නිර්මාණවල වෙනස් හැඩයක් දකිනවා නම් ඊට හේතුව මගේ ක්‍රමයයි. මේ විදියට මා කැමැතියි. * ඒත් ඔබ චිත්‍රපට නිර්මාණයේදී ආධුනිකයකු ම බව සිනමා ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නැහැ? ඊට හේතුව ලෙස මා දකින්නේ අධ්‍යක්ෂවරයකු කියන්නේ සමාජයේ තිබෙන චරිත ප්‍රතිනිර්මාණය කරන්නකු යන්නයි. අපේ රටේ යම් ක්ෂේත්‍රයක ඉහළ ම නම් තුන, හතරක් කියවෙනවා නම් ඒ ක්ෂේත්‍රයේ ඉහළ ම ඉන්න නම් තුන, හතරත් එක්කයි මා වැඩ කරන්නේ. මා කළේ සමාජයේ යම් චරිත ප්‍රතිනිර්මාණය කරද්දි මගේ මනසේ වැඩෙන චරිත, මා වැඩ කරන ප්‍රවීණයන් ගෙනෙන පළපුරුද්ද ඒ ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් යොදාගෙන තිරයට රැගෙන පැමිණීමයි. එහිදි ඒ චරිතයට උචිතම කෙනා තෝරා ගැනීමයි. සමහර නිර්මාණ අභව්‍ය යැයි දකින්නේ ඒ ඒ නිර්මාණවල නිවැරැදි ම පුද්ගලයා නැති නිසයි. ඒ නිසා අධ්‍යක්ෂවරයා පළමුව කළ යුත්තේ සංගීතය වේවා, කලා අධ්‍යක්ෂණය වේවා, කැමරා අධ්‍යක්ෂණය වේවා නිවැරැදි පුද්ගලයා තෝරා ගැනීමයි. ඊට පසුව ඔහුට ඒ කාර්යය කිරීම පහසුයි. මා කටයුතු කළේ එලෙසයි. මගේ නිර්මාණයක් සාර්ථක යැයි කවුරු හෝ දකින්නේ නම් ඒ කාරණායි මූලික වන්නේ. * ඔබ පවසන්නේ සිය නිර්මාණයට කිසිම විදියකින් ඔබගේ පෞද්ගලික හැඳුනුම්කමකට හෝ වෙනත් විදියකින් කිසිවකුත් තෝරාගන්නේ නැති බවද? මගේ පවුලේ ගිටාර් එකක් ප්ලේ කිරීමට දන්න අයකු සිටී නම් ඔහු ලවා සංගීතය සපයා ගත යුතුයැයි මා කොහොත්ම සිතන්නේ නැහැ. ඒ වගේ ම මේ චිත්‍රපටයේදි ළමයි ගොඩක් සහභාගි වී සිටියා. ඒ චරිත තේරීමේදී වුණත් මා පෞද්ගලිකව දන්න ළමයි, මගේ පවුලේ ළමයි ඕනෑ තරම් සිටියා. ඒ කිසිම දරුවකු මගේ කිසිම නිර්මාණයකට සහභාගි වී නැහැ. ඔවුන් සම්බන්ධ වේවි ඒ ඒ චරිතයට අදාළ ම පුද්ගලයා වන්නේ ඔහු නම්. එහෙම නැතිව මා ළමයි සොයාගෙන යද්දි අදාළ ම ළමයා මට මුණ ගැසුණේ සීගිරියේදී නම් මා ඔහුවයි මගේ නිර්මාණයට දායක කර ගන්නේ. ඒක මගේ නිර්මාණවලට වාසියක්. * ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ කතාව නිර්මාණය වූයේ කෙසේද? මගේ ඔළුවේ චිත්‍රපට හතක්, අටක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේ ම ඔළුවේ තිබුණු නිර්මාණයකිනුයි ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය බිහිවෙන්න ඇත්තේ. මේ නිර්මාණය බිහිවීමට හරියටම හේතුවක් සඳහන් කළ නොහැකි වුවත් මා ඒ කාලයේ චිත්‍රපටය කරන විට ඉලක්කගත ප්‍රජාව ගැනත් සොයන්න ඇතැයි සිතනවා. * මේ චිත්‍රපටය ළමයින් සම්බන්ධ කරගෙන කළත් ළමා චිත්‍රපට ගණයට ගැනෙන්නේ නැහැ? සමහරු කියන්නේ මෙය ළමා චිත්‍රපටයක් බවයි. ඒ අදහසට මා එකඟ වෙනවා. ඒ ළමයින්ගේ ප්‍රශ්න පිළිබඳ චිත්‍රපටය හරහා කතා කරන නිසා වගේ ම ළමයින් සියලුදෙනාටමත් නැරැඹිය හැකි නිසයි. සමහරු කියන්නේ මේ චිත්‍රපටය ළමයින්ටත් වඩා අම්මලාගේ චිත්‍රපටයක් බවයි. කාන්තාව පවුල ඇතුළේ මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් නිවැරැදි දේ කළ යුතු බවත් කියනවා. මේ කාරණා දෙක ම මැද්දෙයි මා ඉන්නේ. * නළු - නිළියන් තෝරා ගැනීමේදී බොහොම වෙහෙසකර බවක් අත්විඳීන්න ලැබුණාද? ප්‍රධාන වැඩිහිටි චරිත සඳහා නළු - නිළියන් තෝරා ගැනීමට හිතද්දි ම තාත්තාගේ චරිතය සඳහා සෞම්‍ය ලියනගේත්, අම්මා විදියට දිල්හානි ඒකනායකත්, ගුරුතුමිය විදියට ජයනි සේනානායකවත් මා තෝරාගෙන තිබුණා. ළමයින් තෝරා ගැනීමේදී ඒ ඒ ළමයා පිළිබඳ මගේ මනසේ මැවිලා තිබුණු හැඩතල අනුවයි තෝරා ගත්තේ. මුලින්ම තෝරා ගත්තේ සුමීගේ චරිතයයි. ඒ ළමයාගේ හිනාව කන්දෙක දක්වා දිවෙන හිනාවකින් යුක්ත ළමයකුයි මා සෙව්වේ. මීරිගමදි පැවැතුණු පරීක්ෂණයේදියි ඔහු මුණ ගැසුණේ. ඒ විදියට අදාළ චරිත සඳහා ළමයි සොයා ගන්නතුරුම අපි ඇවිද්දා. ඊට පසුවයි මා ළමා නළුවන් සොයන පරීක්ෂණය නැවැත්තුවේ. මේ සඳහා ගම්පහ, කොළඹ, ගලේවෙල, කුරුණෑගල, අනුරාධපුර, දඹුල්ල ආදී ප්‍රදේශවල ළමයි පන්දහසක් පමණ පරීක්ෂණයට සහභාගි වුණා. ඔවුන් සොයන්න පාසල් තිහකට පමණ ගියා. ඒ අනුව චිත්‍රපටයේ ළමයින් තිහක් පමණ රඟපානවා. සංගීතයෙන් නවරත්න ගමගේ, කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කොස්තා ඇතුළු බොහෝදෙනෙකු ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය සඳහා සහභාගි වනවා. ඒ සඳහා වෙහෙසුණු සියල්ලන්ගේ ම සහයෝගයෙනුයි ‘හීන හොයන සමනල්ලු’ මෙලෙස තිරගත වන්නේ. * ළමයින් සමඟ කටයුතු කිරීමේදී ලැබුණු අත්දැකීම මොන වගේද? ළමයින් සමඟ මීට පෙර මා කටයුතු කර තිබුණේ නැහැ. ඔවුන් සමඟ වගේ ම සත්තු සමඟත් කටයුතු කිරීම බොහොම සුන්දරයි. ඔවුන්ගෙන් මට කරදරයක් වුණේ නැහැ. ළමයි දඟයි. චිත්‍රපටයේ තිබෙන්නේත් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට ඉඩදෙන්න යන්නයි. ඒ නිසා ළමයි කියන්නේ කොහොමත් දඟ අයයි. ඒක තේරුම් ගත්තාට පස්සේ කරදරයක් ඇති වන්නේ නැහැ. ඒත් වැඩේදි යම් පාලනයක් තියා ගත්තට පස්සේ වැඩ කටයුතු බොහොම පහසුයි. * ඔබ තිරරචනය ලිවීමේදී අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? මා තිරරචනාව පිළිබඳ විශේෂ ම අවධානයක් යොමු කරන කෙනෙක්. ඒ අනුව මා තිරරචනයක් ලියන්නේ පියවර දහයකින්. මුලින් ම කතා ශාරාංසය එකත්, ඊට පසුව දර්ශනත් වෙන්කර ගන්නවා. දෙබස් ඇතුළත් කර ගන්නවා. මුලින්ම පිටු පහළොවකටත්, ඉන් පසුව එය පිටු සියයක් දක්වා වර්ධනය කර ගැනීමෙන් පසුව දර්ශන සියයක් වෙන්වුණාට පස්සේ ඒ දර්ශනයෙන් දර්ශනය අරගෙන විෂුවල් එක ඔළුවේ හද හද නැවත ලියනවා. අඩුම ගණනේ හරියට තිරරචනයක් ලියන්න මාස අටක විතර කාලයක්වත් යනවා. ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ යම් යම් අඩුපාඩු තිබෙන බව මට පෙනෙනවා. ඒත් අනෙක් චිත්‍රපටවල තිබෙන තරම් අඩුපාඩු මේ නිර්මාණයේදී මා අසන්නේ නැහැ. * ඔබ මෙතෙක් අධ්‍යක්ෂණය කළ තිරරචනා ඔබ විසින් ම ලියන ලද ඒවායි? මා දැන් නම් අධ්‍යක්ෂණය කරන්නේ මගේ තිරරචනායි. කාලයක පටන් අපේ ඔළුවේ තිබෙනවා නේ එකක් කළාට පස්සේ කරන්නේ මොකක් ද කියලා. මේ වනවිටත් ඊළඟ කරන්නේ මොන වගේ නිර්මාණයක් ද කියලා සැලසුම් කරලා අවසන්. තෙවැනි චිත්‍රපටය කරන්නේ මහාරාජා ආයතනයත් සමඟයි. එය නම් කරලා තිබෙන්නේ ගෝල් නමින්. ෆුට් බෝල් තරග කිහිපයක් පිළිබඳ කතා කරන චිත්‍රපටයක්. මෙය ළමයින් සම්බන්ධ ළමා චිත්‍රපටයක් වේවි. මගේ දෙවැනි චිත්‍රපටය ඉදිරි කාලයේදී තිරගත වේවි. එය නම් කරලා තිබෙන්නේ ‘ඒලෙවල්’නමින්. * චිත්‍රපට නිර්මාණකරණයේ දිගින් දිගටම නියැළීම අවදානම් සහගත නැතිද? අපේ රටේ චිත්‍රපට කිරීම පිළිබඳ ලොකු අවදානමක් තිබෙනවා. හොඳ නිර්මාණයක් නම් ඒ සඳහා යෙදවිය යුතු අවම පිරිවැය යෙදවිය යුතුයි. එහිදි අපේ රටේ ගුණාත්මක බවෙන් යුතු චිත්‍රපටයක් කිරීමට නම් ලක්ෂ දෙසීයක්වත් තිබිය යුතුයි. මේ තරම් මුදලක් වියදම් කරලත් තිරගත වන මණ්ඩලවලින් ප්‍රතික්ෂේප වුණොත් ඒ තත්ත්වය තවත් අවදානම්. මගේ මුල් ම චිත්‍රපටය කරද්දි මට සියලු ම දෙනා බොහෝ උදව් කළා. දෙවැනි චිත්‍රපටයත් එහෙමමයි. * බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තවමත් පෝලිමේ. ඔබ මේ වනවිටත් තෙවැනි චිත්‍රපටය නිර්මාණය කිරීමටයි සැරැසෙන්නේ. එහෙම වන්නේ ඒ ඔබ යම් වාසනාවන්ත තරුණයකු නිසාද? මම නම් ඒ කාරණය ගැන එහෙම සිතන්නේ නැහැ. හැදෑරීමෙන් යුතුව හරියට සැලසුම් කරලා නිර්මාණයක් කළොත් අවදානම අඩුයි. අපේ රටේ නිර්මාණ ගත්තොත් බොහෝ අය ඒ නිර්මාණ කරන්නේ හැදෑරීමක් නැතිවයි. ඒ හැදෑරීම කරනවා නම් අපට හොඳ සිනමාවක් ගොඩනඟා ගත හැකියි. එවිට අප අසමත් වනවා අඩුයි. නිතරම අපගේ ඉලක්කගත ප්‍රජාව කවුද යන අවබෝධයත් මේ කාරණයේදී බොහොම වැදගත්. මේ පිළිබඳ හොඳ අවධානයකින් සිටි නිසා මට නම් මගේ නිර්මාණවලදි අවදානමක් දැනුණේ නැහැ. ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයට මම වගේ ම මගේ යහළුවකුත් මුදල් යොදවනවා. ඒ නිර්මාණය හොඳීන් අවසන් වෙනවා. මට චිත්‍රපට ක්ෂේත්‍රයට එන අයට කියන්න තිබෙන්නේ දැවැන්තයොත් එක්ක එකතු වී වැඩ කරන්න. හැබැයි ඔවුන් එක්ක එකතු වී වැඩ කරන්න නම්, තමන් යමක් ගෙන ආ යුතු බවයි. * ඉදිරියේදී ඔබ අපට මුණ ගැසෙන්නේ සිනමාව හරහා පමණක්ද? මා එකපාරට ම ඇවිත් චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය කළා. ඒ වුණාට කලාවේ චිත්‍රපටවලින් එහාට ටෙලි නාට්‍ය හෝ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීම ගත්තොත් ඒ කෙරේ මගේ දක්ෂතාවක් තියෙනවා කියලා මා සිතන්නේ නැහැ. ඒ අංශ කෙරේ මගේ කිසිම උනන්දුවක් ඇත්තේ නැහැ. ඒත් චිත්‍රපට නිර්මාණය කෙරේ නම් මගේ උනන්දුවක් තිබෙනවා. ඒ සඳහා මා ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේ ම ඉදිරියේදී නිෂ්පාදකවරයකු විදියට සත්‍යජිත්, වින්දන, ජගත් ඇතුළු අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු ම සමඟ කටයුතු කිරීමටයි මා සිතාගෙන සිටින්නේ. සමහර විට අවසානයේ අප සියලුදෙනා ම යම් තැනක නතර වෙනවා. සමහර විට ටික කාලයක් යනවිට මා චිත්‍රපටකරණය අතහැර දමාවි. ඒත් මේ මොහොතේ මා මේ කාර්යය විඳීනවා.
|