|
එම්.එස්ගේ ගීත එක්ක ‘පුද්ගලිකයි රහසිගතයි’
ආරියවංශ ධම්මගේ නවතම වේදිකා නිර්මාණයේ මංගල දර්ශනය 'පුද්ගලිකයි රහසිගතයි' මේ මස 18 වැනිදා 19 වැනිදා පසුවරු 3.30 හා 6.30ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්යිදී වේදිකා ගතවෙයි. ආදරය, විවාහය, පවුල අරවුල හා නිරවුල මූලික කරගනිමින් නිර්මාණය වුණු 'පුද්ගලිකයි රහසිගතයි' වේදිකා නාට්‍යය බ්‍රිතාන්‍ය ජාතික නොයෙල් කොවාර්ඩ්ගේ ප්‍රයිවට් ලයිව්ස් වේදිකා නිර්මාණයේ අනුවර්නයකි. එය අනුවර්තනය කරන ලද්දේ සමන් පුෂ්ප ලියනගේයි. මෙහි රංගනයෙන් ජගත් චමිල, වසන්ති රන්වල, උමයංගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න යන නළු නිළියෝ සහභාගි වෙති. වේදිකා පසුතල සනත්, වේදිකා ආලෝකකරණය මංජු, ඇඳුම් නිර්මාණය ඉරේෂා, වේෂ නිරූපණය නෙලුම්, වේදිකා පරිපාලනය මලිත්, පෙළමතක් කිරීම නිමේෂ්, නිෂ්පාදන කළමනාකරණය නාමල්, සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී සරත් ප්‍රනාන්දු ගෙනි. නිෂ්පාදනය නිමල් රණවීර හා ඉඳවීර ධම්මගේයි. 'පුද්ගලිකයි රහසිගතයි' වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ එම්.එස්.ප්‍රනාන්දුගේ පුත්සංගීතවේදී සරත් ප්‍රනාන්දු විසිනි. මෙම නාට්‍ය එම්.එස්. ප්‍රනාන්දු ගයන ලද ගීත 16කින් සමන්විත නව ආරක සංගීත නිර්මාණයකින් යුක්ත වීම සුවිශේෂත්වයකි.
දාහතර වසරකට පසු ඇසුණ නව ගී එකතුවක්සුදු වැලි මතුපිට දිය බිඳ ඉස ඉස
ගීතයේ රචකයා මෛත්‍රී පනාගොඩ
ශ්‍රී ලාංක්ය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය වශයෙන් බොහෝ දෙනෙක් සලකන්නේ 70 දශකයයි. අදටත් බොහෝ ගීත ශ්‍රාවකයන් 70 දශකයේ බිහි වූ ගීතයන්ට පෙම් බඳින්නේ ඒ නිසාවෙනි. මෙරට ගීත රචනා කලාවට 70 දශකයේ ප්‍රවිෂ්ට වූ ගීත රචකයෙකු වූ මෛත්‍රී පනාගොඩ පසුකාලීනව වසර 30 ට අධික කාලයක් ගීත රචනා කලාවෙන් ඈත් වී සිටියේය. එහෙත් එදා ඔහු අතින් රචනා වූ ගීත තවමත් මෙරට ශ්‍රාවක ජනතාවගේ සිත් සතන්හි අමතක නොවන සිහිවටන සේ රැඳී තිබෙනු නොඅනුමානය. 'සුදු වැලි මතුපිට - දිය බිඳු ඉස ඉසවැලි සෙල්ලම් බත් ඉවූ අතින්සමව බෙදා දුන් නිමල සිතින්'නිරංජලා සරෝජිනී ගායනා කරනු ලබන මෙම ගීතය එකල ගුවන් විදුලි ගී අතර අතිශයින්ම ජනප්‍රිය විය. මෛත්‍රී විසින් ලියන ලද ගීත අතරින් වඩාත්ම ජනප්‍රිය වූයේ මේ ගීතයය. එසේම නීලා වික්‍රමසිංහ ගායනා කරන 'අහස බලාපන් පුතුනේ' ගීතය ද මේ අතරට එක් වේ. පුරා දශක තුනකට ආසන්න කාලයක් ගීත රචනයෙන් දුරස් වී සිටි ඔහු දැන් නැවතත් ගීත රචනා කලාවට ප්‍රවිෂ්ට වී සිටියි. 'මම ගීත රචනා කලාවට එක් වුණේ පාසල් යන කාලෙදිමයි. මගේ ගම ගම්පහ මිනුවන්ගෙඩ ප්‍රදේශයේ වතුමුල්ලයි. අපි හුඟාක් ගැමි පරිසරයක සුවසේ හැදී වැඩුණ අය. මගේ අධ්‍යාපන කටයුතු කෙරෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. මම හිතන්නේ ලිවීමේ කැමැත්ත වැඩි දියුණු වෙන්නේ ආනන්ද විද්‍යාලයෙන් කියලයි. ඒ කාලේ සිංහල විෂයයට ආනන්ද විද්‍යාලයේ රන් සම්මානය (1969) හිමිකර ගන්නේ මම. භාෂාවට මගේ ලොකු ඇල්මක් තිබුණා. ශිෂ්‍යයෙක්ව ඉන්න ගමන්ම තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. ඊට පස්සේ ගීත ගියන්න පටන් ගත්තා. 'පාවී පාවී මේ එන්නේඅතීතයේ සිට එන සුළඟයි . . .'ටී එම්. ජයරත්න ගායනා කරනු ලබන මෙම ගීතය ද මෛත්‍රී විසින් රචනා කරන ලද්දකි. මෙවන් ගීත රැසක් ජනප්‍රිය තලයේ තිබියදී ඔහු ගීත රචනා කලාවෙන් සමුගෙන විදේශ ගත වන්නේය. 'ඇත්තටම 1975 දී තමයි මම ලංකාවෙන් පිටවෙන්නේ. ඒ වෙනකොට මම ලියපු ගීත කිහිපයක්ම ජනප්‍රිය තලයේ ගීත බවට පත්වෙලා තිබුණේ. නමුත් ඒ වෙනකොටත් මම මගේ උසස් අධ්‍යාපනය නීති අංශයෙන් පටන් අරගෙන තිබුණේ. වැඩිදුර අධ්‍යාපන කටයුතු හා රැකියාව පිණිස මම විදේශ ගත වුණා. දරුවෝ හැදුවා. ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන්නා. ඔය ආදී වගකීම් ඉටු කරන කොට දන්නෙම නැතුව දශක තුනකට ආසන්න කාලයක් ගෙවිලා. ඔය කාලේ ඇතුළත මා අතින් ගීතයක් ලියවුණේම නෑ. මාත් එක්කම ගීත රචනා ක්ෂේත්‍රයට එක්වුණු අජන්තා රණසිංහලා, කුලරත්න ආරියවංශලා ඒ අංශයෙන් දුර ගමනක් ගියා. ඔය කාලය ඇතුළත ඒ අය මාව නිතරම දිරිමත් කළා නැවත ලියන්න පටන් ගන්න කියලත්. කොහොම වුණත් දැන් මගේ දරුවෝ විවාහ වෙලා, වැඩි වගකීම්වලින් මම නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා දැන් නැවතත් මම ගීත ලියන්න පටන් ගත්තා. ජීවිතේ විවිධ කාලවලදී අප කරා පැමිණෙන බොහෝ දේ අප සතුටින් විඳ දරා ගත යුතුය. මෛත්‍රී ද ගීත ලිවීමේ හැකියාව මැනවින් ඔහු තුළ තිබියදී සිය පෞද්ගලික දිවියේ සුබසෙත පතා හෝ ඉන් මඟහැර වෙනත් පාරක ගමන් කළේය. එහෙත් ඔහුගේ හැකියාව, දක්ෂතාවය ඔහු කෙරෙන් කිසි විටෙකත් පලා ගියේ නැත. බොහෝ යුතුකම්, වගකීම් ඉෂ්ට කොට විවේකී සමයන් එළඹෙත් දී නැවතත් යටපත් වූ කලා සිතුවිලි ඉස්මතු වීම පුදුමයට කාරණයක් නෙවේ. කලාව ඇඟේ තිබෙන ඕනෑම කෙනෙකුට එය එසේමය. දැන් ඔහු නැවතත් ගීත ලියන්නට පටන්ගෙන ඇත. 'අපේ ප්‍රවිණ සංගීත අධ්‍යක්ෂ ෂෙල්ටන් ප්‍රේමරත්න වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. මමත් පදිංචි වෙලා ඉන්නේ එහේ. අපි එකතුවෙලා පහුගිය දිනවල ගීත 14 ක් කළා. ගීත 14 ම ලිව්වේ මම. මේ ගීත අපි කළේ සිඩ්නිවල පදිංචි වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්. මගේ ගීත රචනා කලා දිවියේ සුවිශේෂී අවස්ථාවක් සපුරා ගන්නත් මට පසුගිය කාලයේ හැකියාව ලැබුණා. පණ්ඩිත් අමරදේවයන් මිය යන්නට කලින් එතුමාට ගීතයක් රචනා කිරීමේ අවස්ථාව මට ලැබුණා. ඒ ගීතයෙන් කියවුණේ පිටරටක වාසය කරන තම පුතා එනතුරු බලා සිටින තාත්තා කෙනකුගේ සංවේගජනක සිතුවිලි. මේ ගීතයේ වචන ටික බලලා මට අමරදේවයන් කතා කළා. ඔහු මගෙන් ඇහුවා ඔහුගේ අත්දැකීම මම ඒ විදියට ලිව්වේ කොහොමද කියලා. ඔහු ඒ ගීතයට හුඟක් කැමති වෙලා ඒක ගායනා කළා. වර්තමාන ගීත රචනා ක්ෂේත්‍රයේ ගීත පිළිබඳ සතුටු විය හැකි තත්ත්වයක් අද අපට දක්නට නොලැබේ. අරුත් සුන් පද සහිත කිසිදු සාහිත්‍ය රසයක් ලැබිය නොහැකි එහාට මෙහාට හුවමාරු වන වචනවලින් පමණක් හරඹ කරන ගීත රචනා කලාව තුළ වර්තමානයේ අපේ ප්‍රවීණ ගී පද රචකයෝ ද ගී රචනා කලාවෙන් දුරස් වී සිටින්නේය. මේ තත්ත්වය තුළ මෛත්‍රී වැනි 70 දශකයේ නිර්මාණකරුවෝ නැවත ගීත නිර්මාණ ක්ෂේත්‍රයට එළඹීම එක්තරා අන්දමක සතුටට කරුණකි. 'ඇත්තටම වර්තමානයේ ඇහෙන ගීත පිළිබඳ නම් කියන්න තිබෙන්නේ කණාගාටුයි කියන එක තමයි. එහෙම වුණත් මම විශ්වාස කරනවා තවමත් මම ඉන්නේ 70 දශකයේ කියලා. තවමත් මට 70 දශකයේ ලියවුණු ගීත ලියන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. ඉස්සරහට දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. වසරකට දෙපාරක් විතර ලංකාවට ඇවිත් නිර්මාණ කටයුතුවල යෙදෙන්නයි අපේක්ෂා කරන්නේ.
|