වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කැලෑ හඳ හෙට ඇරැඹේ

තාරකා -මාලනී

අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ

 

 

නවකතාවක් ඇසුරෙන් මෙරට නිර්මාණය වූ පළමු සිංහල සිනමාපටය වූ කැලෑ හඳ ඇසුරෙන් තැනෙන ටෙලිසිතුවමේ වැඩ කටයුතු හෙට පැවැත්වෙන මුහුරත් උලෙළකින් පසුව ආරම්භ වේ. කැලෑ හඳ නමින්ම නිර්මාණය වන එම ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරනු ලබනුයේ සම්මානනීය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර විසිනි. ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රටගෙදර බෝගල සවුන්දිරිස්, දැකැති මුවහත ආදී විශිෂ්ට නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කරන ලදී.

එදා ජෝන් ජයපාල ලෙස ස්ටැන්ලි පෙරේරා රංගනයෙන් දායක වූ චරිතය පුංචි තිරයේ විචිත්‍රවත් කරනුයේ අරවින්ද දොඹගහවත්ත විසිනි. රුක්මණී දේවී මැවූ මාලනී මෙවර තාරකා වන්නිආරච්චි විසින් නිරූපණය කරනු ලබයි. අනෙකුත් චරිත විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල් ආදී නළු නිළියන් විසින් නිරූපණය කරනු ලබයි. කැලැ හඳ සිනමාපටයට අන්තර්ගත වූ ඉතාමත් ජනප්‍රිය ගීත යුවළක් වන මායා සහ මැවිලා පෙනේවි රූපේ කැලෑ හඳ ටෙලි සිතුවමට ද ඇතුළත් වේ. ජාතික රූපවාහිනිය සමඟ නිමල් උඳුගොඩ සහ ආරියනන්ද දොඹගහවත්ත නිෂ්පාදනය කරන කැලෑ හඳ ටෙලි සිතුවමේ කලා අධ්‍යක්ෂණය හීනටිගල ප්‍රේමදාසගෙනි. දීපාල් ගුණවර්ධන සහ නාරද රත්නායක සහාය අධ්‍යක්ෂවරුන්ය. ප්‍රියනාත් රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. කැලෑ හඳ කෘතිය රචනා කරන ලද්දේ විශිෂ්ට නවකතාකරු ඩබ්ලිව්. ඒ. ද සිල්වා විසිනි. ඒ ඇසුරෙන් අජිත් මෙන්ඩිස් කැලෑ හඳ ටෙලි සිතුවමේ රචනය නිමකොට තිබේ. කැලෑ හඳ සිනමා සිතුවම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ අධ්‍යක්ෂණයකි.


කලාකරුවනට වෛද්‍ය සායනයක්

එක්සත් ජාතික කලා සංසදය මඟින් කලාකරුවන් උදෙසා සංවිධානය කළ වෛද්‍ය සායනයක් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී පැවත්විණ. මෙය අග්‍රාමාත්‍යතුමන්ගේ හතළිස් වැනි පාර්ලිමේන්තු දිවිය සමරමින් සංවිධානය කොට තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, සංස්කෘතික අමාත්‍ය එස්. බී. නාවින්න යන අමාත්‍යවරුන් මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි විය. එක්සත් ජාතික කලා සංසදයේ සභාපති වශයෙන් අනුර ශ්‍රීනාත් කටයුතු කරනු ලබයි.


සරත් මධු රෝහලේ

ඉමහත් ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ ඉතින් ඊට පස්සේ ඇතුළු චිත්‍රකතා රැසක් සිතුවම් කළ බලංගොඩ සරත් මධු දැඩි ලෙස රෝගාතුරව කළුබෝවිල රෝහලේ විසි හය වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට ඉක්මන් සුවය 'සරසවිය' ප්‍රාර්ථනා කරයි.


ගී ලොව කුමාරයා වෙනුවෙන් තෑග්ගෙන් තෑග්ගක්

අප අතරින් සදහටම සමුගත් ගී ලොව කුමාරයා ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් බිල ගෙවා දැමීම අරමුණෙන් පැවැත් වූ ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය ඉතාම සාර්ථකව නිමාව දුටුවා. ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්ගේ සිතුවිල්ලක් අනුව පස් දෙනකුගේ සමන්විත සංවිධායක මඩුල්ලක් එකතුව මෙම ප්‍රසංගය සංවිධානය කළා. එහිදි බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වුණා. පළමුව ලක්ෂ විසිපහක් ඉක්ම වූ ප්‍රින්ස්ගේ රෝහලහි බිල ගෙවා දැමුවා. ඉතිරි වූ අතිරික්ත මුදල් ලක්ෂ පහමාරකි. එයින් ලක්ෂ එකහමාරක් ප්‍රින්ස් වෙනුවෙන් පුණ්‍ය කටයුතුවලට ඔහුගේ නැගණියට ලබා දුන්නා. අනෙකුත් මුදල මේ වන විට අසරණව සහ රෝගාතුරව සිටින කලාකරුවන් හය දෙනෙකුට ප්‍රින්ස්ගේ නැගණිය අතින් ප්‍රදානය කළා. එම කලාකරුවන් වූයේ ගායන ශිල්පිනි අයිරින් ද අල්විස්, නිවේදක ධම්මික පී. රත්නායක, වයලින් වාදන ශිල්පී රුවන් වීරසේකර, රංගන ශිල්පිනි සමන්ති ලැනරෝල්, ප්‍රවීණ රංගනවේදීන් වන බර්ටි ගුණතිලක සහ සුමින්ද සිරිසේනයි. නවලෝක රෝහලේදි පැවති විශේෂ උත්සවයකදී මෙම මුදල් ප්‍රදානයන් සිදු කෙරුණා.


අරෝෂ - සිනෙලින්ක්

අධිපති වෙයි

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදක ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සිනෙලින්ක් සමාගමේ සභාපති ධුරයට පත් විය. එහි නව කාර්යාලය ඉකුත් දා කෝට්ටේ මාදිවල නව ස්ථානයක ආරම්භ කරන ලදී. මේ අවස්ථාව සඳහා ලකි ඩයස්, අර්ජුන කමලනාත්, අනුරුද්ධ ජයසිංහ ඇතුළු කලාකරුවන් සහභාගී විය. සිනෙලින්ක් ආරම්භ වූයේ 1986 වසරේදීය. එතැන් පටන් මෙරට නිර්මාණය වු ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වෙනත් වැඩසටහන් රැසකට එය තාක්ෂණික උපකරණ සපයන ලදී.


යශෝධා හෙට

යුද්ධය තේමා කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ 2008 වසරේ කලා පීඨයේ සිනමාකරණ පාඨමාලාව හැදෑරූ ධනුෂ්ක විජේසූරිය තිරරචනය හා අධ්‍යක්ෂණය කරන ලද 'යශෝධා' කෙටි චිත්‍රපටය මේ මස 11 වැනිදා පසුවරු 4.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී තිරගත කෙරයි.

මෙහිදි දේශන දෙකක් පැවැත්වෙයි. එහිදි ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුගේ පූර්ව දේශනයක්ද, කෙටි චිත්‍රපට කලාව සම්බන්ධයෙන් විචාරාත්මක කියැවීම නමින් නර්මදා වික්‍රමආරච්චිගේ දේශනයක් ද පැවැත්වෙයි. මේ කෙටි චිත්‍රපටයට අනෝමා ජනදරි හා දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වෙයි.


හීන හොයන සමනල්ලු හෙට සිට

රොහාන් පෙරේරාගේ හීන හොයන සමනල්ලු සිනමාපටය හෙට සිට තිරගත වෙයි. අතිශය සංවේදී කතා පුවතක් ඇතුළත් හීන හොයන සමනල්ලු රොහාන්ගේ පළමු අධ්‍යක්ෂණය වන අතර සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැටහය වැනි නිෂ්පාදනයයි. හේමසිරි ලියනගේ, ලූෂන් බුලත්සිංහල, දිල්හානි ඒකනායක, සෞම්‍ය ලියනගේ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක සහ උමාලි තිලකරත්න ඇතුළු පිරිස මෙහි චරිත මැවූහ.