වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි

‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි

- සංගීත අධ්‍යක්ෂ මංජුල බණ්ඩාර

‘පත්තනි' මේ දිනවල හිරු නාලිකාව තුළින් විකශය වන ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ ටෙලි වෘත්තාන්තයකි. එහි පූර්ව ප්‍රචාරක දර්ශන පුංචි තිරය ඔස්්සේ විකාශය වන්නට පටන් ගැනීමත් සමඟ ඊට අන්තර්ගත රූප රාමු හා මනා ලෙස සංකලනය වූ නාද රටා පිළිබඳ ප්‍රේක්ෂක අවධානය යොමු වන්නට විය. භාරතීය ආභාසය රැගත් ප්‍රස්තුතයක් රූප මාධ්‍යයට නතු කරලීමෙන් පසු එහි අන්තර්ගතය එකි ඌරුවෙන් මුදා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට සමීප කරවීමට සමත් ස්වර හා නාද රටා ගළපමින් 'පත්තිනි' අපේම නිර්මාණයක් කරවීමට තරම් එහි නිර්මාණකරුවා සමත් වී තිබේ. ලාංකික සන්තානයන් හි මුල් බැසගත් 'පත්තිනි' සංකල්පයට අබමල් රේණුවකුදු හානියක් නොවී ඊට උචිත රිද්මයකට අනුගත වෙමින් මනා සංයමයකින් යුතුව එහි පර්යේෂණාත්මක නිර්මාණකරණයේ යෙදුණු ඔහු නමින් මංජුල බණ්ඩාරය.

මංජුල වත්මන් නිර්මාණකරණය ඔස්සේ අපේ රිද්මය හඹා යන හිරිමල් තාරුණ්‍යයේ සංගීතඥයෙකි, ශබ්ද තාක්ෂණය පිළිබඳ ඉන්ජිනේරුවෙකි. ඊට අවශ්‍ය පසුබිම ඔහු සකසා ගන්නේ සිය උපන් ගම්පියස වන නාවලපිටිය ප්‍රදේශයේදීමය.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මංජුල තුළ පැවතියේ හිතුවක්කාරි ස්වරූපයකි. ඒ අන් කිසිවක් උදෙසා නොවන බවත් නව නිර්මාණකරණය සඳහා පමණක් බවත් ඔහුගේ සංගීත ගුරුවරයා වූ විශාරද පරාක්‍රම කුලරත්නයන් හඳුනාගෙන තිබිණි. පාසල් මට්ටමින් සමස්ත ලංකා තරගවලින් ඔහු ලද ජයග්‍රහණයන් කොතෙක් වුව ද පාසල් සංගීත කාමරයේ කෙරෙන ස්වර අභ්‍යාස වෙනුවට සිය වයලීනය තුරුලු කරගෙන එහි තත් එකිනෙක අතැඟිලි තුඩින් කම්පනය කරන ඉන් මතුවන වෙනත් ධ්වනි පරාසයක රසය සෙවීමට ඔහු තුළ පැවතියේ මහත් උනන්දුවකි. මේ පිළිබඳව විපරමින් සිටි ගුරුවරයා ඔහුට නිසි මාර්ගයට යොමු කරලීමට වැඩි අවධානයකින් යුතුව වග බලා ගත්තේය. එලෙස ගමනාරම්භ කළ මංජුල අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බිහි වූ ව්‍යවහාරික සංගීතය සහ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධරයෙකි. එලෙසම මේ වන විට ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරයි.

විශ්ව සන්නිවේදනය සඳහා සංගීතය භාවිතාව වෙනුවෙන් මහා සම්ප්‍රදායක අධ්‍යයනය අත්‍යාවශ්‍ය බව තරයේම අදහන මංජුල ඊට අදාළ නාද තාක්ෂණය පිළිබඳ හසළ දැනුම් සම්භාරයක් විශ්වවිද්‍යාලයේ ඔහුගේ ගුරුවරයා වූ ප්‍රවිණ සංගීතඥ රංග දසනායකගෙන් ලැබු බව සඳහන් කළේය. අවශ්‍ය මෘදුකාංග භාවිතය පිළිබඳව ද නිපුණත්වයට පත් වී ඒ තුළින් නිර්මණකරණය සඳහා යොමු වූ ඔහු ශිල්පය හා තාක්ෂණය අතින් අනූනව සන්නද්ධය.

මීට ප්‍රථම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ 'මං පොඩි කාලේ' ටෙලි නාට්‍යය සඳහා ද, සූර්යා දයාරුවන් ගයන 'මගේනේ' ගීතය සඳහා ද සංගීතය නිර්මාණයෙන් දායක වූ මංජුල චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටයේ ශබ්ද ඉන්ජිනේරුවරයා ද වෙයි. ඊට අමතරව ඔහු අතින් වෙළඳ දැන්වීම්, කෙටි චිත්‍රපට, වාර්තා වැඩසටහන් සහ ගීත සඳහා සංගීතය හා හඬ තාක්ෂණය මුසුව කොතෙකුත් නිර්මාණ එළි දැක්වුව ද 'පත්තිනි' ඔහු විසින් පර්යේෂණාත්මකව කළ සංගීත අධ්‍යක්ෂණය අන්තර්ගත උසස් නිර්මාණයක් වනවා සේම ප්‍රේක්ෂක අවධානය හා ආකර්ෂණය රඳවා ගනිමින් එහි දැක්වෙන හැඟීම වඩාත් තීව්‍රව ප්‍රේක්ෂකයාට නිරායාසයෙන් ග්‍රහණය කරගත හැකිවන අයුරින් සිය සංගීතමය දායකත්වය ලබාදීමට ද මංජුල මෙහිදී සමත් වී තිබීම විශේෂත්වයකි.

වාණිජ පරාමාර්ථයෙන් බැහැරව නිර්මාණකරණයේ නව හැඩතල, අරුත් සොයා යන මෙවැනි නිර්මාණ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වයන් හමුවේ ප්‍රේක්ෂකයා අතරට ගෙනයෑම ඉතාම අභියෝගාත්මක බව ද ඔහු සඳහන් කළේය.

මංජුල බණ්ඩාර හුදු ස්වර හා තාල මත පමණක් පදනම්ව නිර්මාණකරණයේ නෙයෙදෙන්නෙකි. මහා සම්ප්‍රදාය අධ්‍යයනය ඔස්සේ ස්වර හා නාද රටා උපයේගී කර ගනිමින් ශ්‍රාවක, ප්‍රේක්ෂක සමූහයාගේ සවන් නෙත් පිනවීමට පමණක් නොව ඉන් එහා ගිය භාවමය රූප සමුදායක් සිය නිර්මාණ තුළින් ඔවුනට ලබාදීමට සමත් විරල ගණයේ නිර්මාණ ශිල්පියෙකි. එකී උසස් වින්දනීය නිර්මාණ රස විඳින සුවහසක් ප්‍රේක්ෂකයින්, ශ්‍රාවකයින් හෙට දිනයේද එවන් නිර්මාණ අපේක්ෂා කරනු ඇතැයි යන විශ්වාසය මත මංජුල සිය නිර්මාණකරණයේ නියැළෙයි. ඔවුන් වෙනුවෙන් ඉතා සොඳුරු නිර්මාණ හෙට ලොවට ගෙන ඒමට ඔහුට හැකි වේවායි අපි සුබ ප්‍රාර්ථනා කරමු.