වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්

හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්

රොඩ්නි විදානපතිරණ

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන “හිම තාරකා”, මේ දිනවල තිරගත වේ. ජගත් චමිල, අමරසිරි කලංසුරිය, නදී චන්ද්‍රසේකර,විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, මානෙල් වානගුරු, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී ජනපි‍්‍රය නළු නිළියෝ රැසක් රඟති. පසුගිය සරසවිය සම්මාන උලෙළේදී ඉර සේවය චිත්‍රපටය රඟපෑම උදෙසා හොඳම නැගී එන නළුවා සරසවිය සම්මානය ඉෂාර වික්‍රමසිංහ දිනාගත්තේද රොඩ්නිගේ අධ්‍යක්ෂණය යටතේය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ජගත් ද නැගී එන නළුවා සම්මානයට නිර්දේශ වන්නේ රොඩ්නිගේ ටෙලි නාට්‍යයකින් වීම සුවිශේෂී විශේෂත්වයකි.

රොඩ්නි, කලා ලොවට පිවිසෙන්නේ සිනමා පුවත්පත් කලාවේදියකු හැටියටය. ආතර් යූ.අමරසේනයන්ගේ සුරතුර පුවත්පත ඔස්සේය. එහිදී බොහෝ කලාකරුවන් හමුවීමට ඔහුට අවස්ථාව ලැබිණ. සුරතුරීන් පසුව ඔහු අමරසේනයන්ගේම සිත්සර පුවත්පතට සිනමා ලේඛයකු ලෙස සම්බන්ධ වුයේය. කෙටි කලකින්ම ඔහු සිනමා පුවත්පත් කතුවයකු ලෙස සලරුව පුවත්පතින් ඉදිරියට ආවේය. ඉන්පසුව තරුණයා පුවත්පතට ඔහු සම්බන්ධ වන්නේ එහි කතුවරයා ලෙසය. දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කරන රොඩ්නි, දැන් ලංකාදීප පුවත්පතේ විධායක පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කරන්නේය.

පුවත්පත් කලාවේදියකු අමතරව ගීත රචකයකු ද ලෙස ද ඔහු ජනපි‍්‍රය ගීත ගණනාවක් රචනා කර ඇත. සාගර තරංගා, සද රාජීනි, කරඹ යායේ, පේ‍්‍රම මායා දැලේ. සියොතුන් ඉගිල ගියා, පෙම් සිහිනේ, මහ පාරේ එකට ගයනා, කඳුකරයේ මල් සැණකෙළියේ ආදිය ඔහුගේ ගීත වේ.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විමේ නොතිත් ආශාවෙන් පිරුණු රොඩ්නි, මුලින්ම සහය අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාවට සම්බන්ධ වන්නේ සේන සමරසිංහයන්ගේ චංචල රේඛා චිත්‍රපටය. ඉන් පසුව ඔහු ෂර්ලි පී විජේරත්නගේ වැල්ලේ තැනු මාළිගා චිත්‍රපයට සම්බන්ධ වුයේය.

ඔහු මුලින්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ සීවලි වික්‍රමආරච්චි නිෂ්පාදනය කළ ශිල්ප දෙනු මැන චිත්‍රපටයෙන්ය. අමරසිරි කලංසුරිය , වසන්ති චතුරාණි, දෙනවක හාමිනේ, විල්සන් කරු ආදී ජනපි‍්‍රය නළු නිළියන් රැසක් එහි චරිත නිරූපණය කළහ. ගීත ගායනා කළේ එච්.ආර්.ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද, නිමල් ගුණසේකර, නිරංජලා සරෝජිනි, දමයන්ති ජයසූරිය විසිනි. සංගීතය සරත් ද දසනායකගෙනි. එම චිත්‍රපටයේ අවසන් සංස්කරණ කටයුතු ද පවා නිම කළ ද එය සම්පුර්ණ කර ගැනීමට නොහැකි විණ. වසර ගණනාවකට පසුව එම චිත්‍රපටය යළි නිර්මාණය කිරීමට උත්සාහ කළද එහි සියලු දළ සේයා පට සරසවි චිත්‍රගාරයේදී විනාශ වි තිබිණ.

“ඉන් පස්සේ මම ටෙලි නාට්‍ය කලාවට ආවා. මම මුල්ම ටෙලි නාට්‍යය උඩවැඩියා මල්, ඉන්පස්සේ සාප නොකරව් දරුවනේ, හතේ වසම. හේමන්තේ වසන්තයක්,වන පස මල්, රිදී තාරකා ආදී ටෙලි නාට්‍ය දහයක් පමණ අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව වන්දනා නමින් වාර්තා වැඩසටහන් දෙසීයකට අධික ප්‍රමාණයක් රූපවාහිනියට නිර්මාණය කළා.”

* ටෙලි නාට්‍ය ගැන මොකද හිතන්නේ?

මගේ ටෙලි නාට්‍ය නළු නිළියන් කිහිප දෙනෙකුට සම්මාන ලැබුණා. එහි විශේෂත්වය වෙන්නේ ඒවා ඔවුන් ලබා ගත් මුල්ම සම්මානය විමයි. රාජා සුමනපාල හතේ වසම ටෙලි නාට්‍යයේ රගපෑම වෙනුවෙන් සම්මාන ලැබුවා. විමල් අලහකෝන් හේමන්තේ වසන්තයක් වෙනුවෙන් සම්මාන ලැබුවා. ජගත් චමිල මුල්වරට ගත් වසම ටෙලි නාට්‍යයේදී මුල්වරට හොඳම නැගී එන නළුවා සම්මානයට නිර්දේශ වුණා.

* දැන් පවතින දීර්ඝ ටෙලිනාට්‍ය රැල්ලට අකමැතිද?

අපොව් ඔව්. කිසිම නිර්මාණශීලි දායකත්වයක් දෙන්න අපහසුයි. බොහෝ කාලයක් වැයවෙනවා. ඒකාකාරියි අධ්‍යක්ෂවරයාට පමණක් නෙමෙයි නළු නිළියන්ට පවා වෙහෙසයි දැනෙනවා. එය නිර්මාණය වෙන ක්‍රමයක් වෙහෙසකරයි. නිර්මාණශිලිත්වය අමතක කරලා ආප්ප බානවා වගේ තමයි වැඩ කරන්න වෙන්නේ. ඒත් ජාත්‍යන්තර මට්ටම අනුව සාර්ථක මාලා නාට්‍යය නිර්මාණය වෙන්නේ නිශ්චිත ක්‍රමවේදයකට අනුව අපේ ඒ විදිහට වෙන්නේ නැහැ. අනෙක් කාරණය මගේ වෘත්තිය ජීවිතය අනුව එවැනි දීර්ඝ ටෙලි නාට්‍යයකට වැය කරන්න කාලයක් නැහැ.

* ටෙලි නාට්‍ය කලාව ගැන කළකිරුණු හින්දද සිනමාවට පිවිසෙන්නේ?

මම සිනමාවට එන කාලේ ටෙලි නාට්‍ය කලාවක් තියා රූපවාහිනියක්වත් ඇවිත් තිබුණේ නැහැ. ඒත් ඒ කාලේ චිත්‍රපටයක් හදනවා කියන්නේ ඉතා අසීරු කටයුත්තක්. වියදම් අධිකයි. වැඩ අධිකයි. ඒ නිසා විශාල කාලයක් වැය වෙනවා. විශාල වියදමක් යන නිසා නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමත් අමාරු වැඩක්.

ඒත් පසුකාලයේදී සිනමාව අභිබවාගෙන ටෙලිනාට්‍ය ආවා. මුලින්ම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ගෙනැත් දුන්නේ කුමුදු නිශාන්ත. ඒ ඔස්සේ මට බොහෝ දුර යන්න පුළුවන් වුණා. දැන් ටෙලි නාට්‍ය කඩා වැටිලා. ටෙලි නාට්‍යවලින් තෘප්තියක් ලබන්න බැහැ. අඩුම තරමින් නිර්මාණ ශිල්පීන්ගේ නම්වත් පෙන්නන්න තරම් ඇතැම් නාලිකාවලට වෙලාවක් නැහැ. එවන් වෙළෙඳ දැන්වීමවලින් වහල තියෙන්නේ.

ඒත් දැන් ඩිජිටල් තාක්ෂණය ආවට පස්සේ සිනමාවට එන්න නම් නවකයන්ට එන්න අවස්ථාව පෑදිලා තියෙනවා. කලින් තරම් චිත්‍රපටයක් හැදීම අමාරු නැහැ. දැන් වෙලා තියෙන්නේ චිත්‍රපට හැදුවට ඒවා රසිකයන්ට රැගෙන යන්න තිබෙන අමාරුවයි. අද සිනමාකරුවාට තිබෙන ප්‍රධාන අභියෝගය තම චිත්‍රපටයට පේ‍්‍රක්ෂකයන් සොයා ගැනීමයි. නිර්මාණ කාර්යය පහසු වුණාට පේ‍්‍රක්ෂකයෝ නැහැ. ඉතින් අද තියෙන ප්‍රධාන අභියෝගය හොඳ ජනපි‍්‍රය චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි.

* ඔබේ මුල් චිත්‍රපයට වූ ඉර සේවය නිර්මාණය කළේ කුමන පරමාර්ථයකින් ද?

ඉර සේවය බලාපොරොත්තුවකින් තොරව හැදුණු චිත්‍රපටයක්. කොහොමත් මම කැමැත්තෙන් ඉන්නේ කලාත්මක චිත්‍රපට වලට. නිර්මාණාත්මක චිත්‍රපටවල. ඉතින් ඉර සේවය නිර්මාණය කළේ ඒ විදිහට. ඒත් ඒ නිර්මාණය අතරතුර අපිට මතුවුණු ප්‍රධානම ප්‍රශ්නය වුණේ රෙබෙකා නිර්මලී හදිසියේම රෝගතුර වීමයි. ඒ නිසා එහි ඇතැම් දර්ශන රූගත කරන්න ලැබුණේ නැහැ. ඒ නිසාම කතාව ගලා යාමේදී බාධා මතුවුණා. කොහොම වුණත් ඉර සේවයට මම කැමැති මාව වසර ගණනාවකට පස්සේ සිනමාවට ගෙනාපු තිරගත වු ප්‍රථම චිත්‍රපටය හින්දා. එහි ඉතාමත්ම සතුටුදායක සිදුවීම් වෙන්නේ නොසිතු විරූ වෙලාවක එහි රඟපෑ ඉෂාර වික්‍රමසිංහ සරසවිය චිත්‍රපට උලෙළේදී හොඳම නැගී එන නළුවා සම්මානය දිනා ගැනීමයි. ඒක මට කඩාවැටුණු හිතට විශාල ධෛර්යයක් වුණා.

* එතකොට දැන් තිරගත වන හිම තාරකා?

හිම තාරකා කියන්නේ අතරමඟ හිරවුණු චිත්‍රපටයක්. ඉර සේවයෙන් පස්සේ මට හිතුණා මෙය අවසන් කළ යුතුයි කියලා. ඒ අනුවයි මෙය තිරයට එන්නේ. එය මේ දිනවල තිරගත වෙනවා. හිම තාරකා තුළින් මම උත්සාහ ගත්තේ කුතුහලය දැන වූ කතාව පේ‍්‍රක්ෂකයා වෙතට ගෙන ඒමටයි.

* “හිම තාරකා” තිරගත වෙන්නේ ගැප් චිත්‍රපටයක් විදිහට?

හිම තාරකා තිරගත වෙන්නේ ගැප් චිත්‍රපටයක් හැටියට තමයි. අපි දන්නවා ගැප් චිත්‍රපයටක් කියන්නේ චිත්‍රපට දෙකක් අතර ඇති වන කාලය යොදාගෙන තිරගත කරනු ලබන චිත්‍රපටයකටයි. පසුගිය කාලයේ මෙවැනි චිත්‍රපට කීපයක්ම තිරගත වුණා. ඉර සේවය චිත්‍රපටය වුණත් තිරගත වුණේ ඒ විදිහටයි.

* ඇයි ගැප් චිත්‍රපටයක් විදිහට හිම තාරකා චිත්‍රපටය තිරගත කරන්නේ?

අපට ගැප් චිත්‍රපට තිරගත කරන්න වෙලා තියෙන්නේ සිනමාවේ අද පවතින තත්ත්වය අනුවයි. චිත්‍රපටියක් තිරගත කිරීමට දිගු කාලයක් බලා ඉන්න සිද්ධ වෙනවා. ඒක නිෂ්පාදකවරයාගේ පැත්තෙන් අවාසියි. බොහෝ කාලයක් මුදල් හිරකර ගෙන බලා ඉන්න සිද්ධ වෙනවා. එහෙම බලා ඉඳලා තිරගත කළත් ඇතැම් විට ඒ චිත්‍රපටයට පේ‍්‍රක්ෂක ආකර්ෂණය නොලැබුණොත් තවත් පාඩු වෙනවා.

අපි කොච්චර කෑ ගැහුවත් අද ලංකාවේ චිත්‍රපටිවලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පේ‍්‍රක්ෂකයන් සිනමාහල්වලට ගෙන්වා ගැනීම. ඔවුන් ඇත්තටම සිනමාහල්වල ඇදෙනවා අඩුයි. ඉස්සර නම් චිත්‍රපටයක් සාමාන්‍ය සාර්කත්වයෙන් ලැබුවත් නිෂ්පාදකයට තමන්ගේ මුදලවත් බේරාගන්න පුළුවන්. ඒත් දැන් ඒ තත්ත්වය ඉතාම බරපතලයි.

හිම තාරකා මම ගැප් චිත්‍රපටයක් හැටියට ප්‍රදර්ශනය කරන්නේ ඒ නිසයි. නිර්මාණකරුවෝ හැටියට අපිට යමක් කිරිමේ අවශ්‍යතාවය තියෙනවා. ඒත් අපට මුහුණපාන්න තියෙන අභියෝග නිසා ඒ අවශ්‍යතාවයට විවිධාකාරයෙන් සීමා පැනවෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන වියම්. විශාල ගණන් වියදම් කරලා චිත්‍රපට නිෂ්පාදනය කළාට එම චිත්‍රපට විශාල ආදායම් ලැබුවට ඒ වියදමේ හැටියට ලාබ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිෂ්පාදකවරු පවා ආපහු චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට කලින් දෙපාරක් හිතනවා.

හිම තාරකා වලින් විශාල ලාභයක් ලැබීමේ අරමුණක් නැහැ. කාලයක් තිස්සේ තමයි රූපගත කිරීම් කෙරුණේ. අධ්‍යක්ෂවරයෙක් හැටියට “හිම තාරකා” රූපගත කරද්දී හැම විටම ප්‍රබල සිදුවීම් රැගත් අවස්ථා ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තා.

* ඔබේ නිර්මාණවලට එකම පිරිසක් සම්බන්ධ කර ගන්නේ ඇයි?

ඔව් මම කැමැති නළු නිළියන් පිරිසක් ඉන්නවා. එත් ඔවුන්ගෙන් ටෝනි රණසිංහ, රාජා සුමනපාල වැනි නළුවන් අප අතර නැහැ. අමරසිරි කලංසුරියට මම තාමත් කැමැතියි. ඒ නිසා මගේ නිර්මාණ බොහොමයකට කලං සම්බන්ධවෙනවා. හිම තාරකා චිත්‍රපටයේත් ඔහු චරිතයකට තෝරා ගැනේනනේ ඒ නිසායි. ඊට අමතරව විමල් අලහකෝන් මගේ කලා ජීවිතයට බොහෝ බලපෑමක් කර තිබෙනවා. මගේ මුල්ම චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ ඔහුගේ ඉල්ලීම අනුවයි. ජගත් චමිල මගේ ටෙලි නාට්‍ය ගණනාවකම රඟ පෑවා. මේ නළු නිළියන් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඔවුන් ඉතා ඉක්මනින් අධ්‍යක්ෂවරයාගේ හැඟිම් හඳුනාගෙන එම චරිතවලට ඉතා ඉහළ දායකත්වයක් දෙනවා.

* වානිජ සිනමාකරුවන්ගේ හිඟයක් අද පවතිනවද?

කිසිම චිත්‍රපටයක් වාණිජ මට්ටමකින් තොරව තිරගත කරන්න බැහැ. සිනමාව කියන්නේ විශාල මුදලක් වැය වන කර්මාන්තයක්. ඒ නිසා මොන චිත්‍රපටය හැදුවත් එය අඩුම තරමේ ගිය මුදලවත් පියවාගත යුතුය. එහෙම නැත්තම් ආපහු ඒ වගේ චිත්‍රපට හදන්න නිෂ්පාදකරවරු නොඑන්න පුළුවන්. හැබැයි ඒ කාලේ බොහෝ නිෂ්පාදකවරුන් පේ‍්‍රක්ෂකයකා ආකර්ෂණය කරගත හැකි චිත්‍රපට නිෂ්පාදනය කර අතර මැදට කලාත්මක යැයි කියන සිනමා නිර්මාණත් ඉදිරිපත් කළා. ඒ නිසා ඔවුන්ගේ එම කලාත්මක යැයි කියන චිත්‍රපට අසාර්ථක වුණත් ඔවුන් යළිත් එම කර්මාන්තයේ නිරත වුණා. පරිකල්පනයක් ඇති වානිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් බිහි නොවෙනවා යන චෝදනවා එල්ල වෙන්නේ චිත්‍රපට කර්මාන්තයේ කඩා වැටී ඇති නිසයි. පාඩු ලබන, පේ‍්‍රක්ෂකයන් සහභාගි නොවන කඩා වැටුණු සිනමාවකට වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් එයි කියලා හිතන්න පුළුවන් ද? ඒ කාලේ චිත්‍රපට මුදල් සෙවු නිසා කර්මාන්තයක් හැටියට සිනමාවට විශාල පිරිසක් එකතු වුණා. ඔවුන් අතරින් බොහෝ සාර්ථක වානිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් බිහි වුණා. අද චිත්‍රපට හදන්නේ චිත්‍රපටවලට දිවි හිමියෙන් ආදරය කරන, නිර්මාණයක් නොකර සිටින්නට බැරි තරුණ පිරිසක්. ඔවුන් නොහිටින්නට ලංකාවේ සිනමාවේ මේ ටිකවත් ඉතුරු නොවෙන්න තිබුණා.

* සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම පිළිබඳ ඔබේ අදහස මොන වගේද?

අනිවාර්යෙන්ම සිනමා ශාලා ඩිජිටල්කරණය විය යුතුයි. එහෙම නොවුණොත් එම සිනමා ශාලා කාලෙකදි ඉබේම වැසී යාවි. පැරැණි රීල් ක්‍රමයට චිත්‍රපට මුද්‍රණය කිරීමක් දැනට ලෝකයේ නොවෙන නිසයි. ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රාගාරවල දැන් රීල් ක්‍රමයට චිත්‍රපට මුද්‍රණය කිරීම නවත්වා දමලා. මුම්බායිහි මා දන්නා තරමින් එකම එක චිත්‍රාගාරයක පමණක් පැරැණි ක්‍රමයට චිත්‍රපට මුද්‍රණය කෙරෙනවා. එයත් වැසී ගිය පසු අපට ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනය කිරීමට නොහැකි වේවි.