වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ගොඩනැගිල්ලයි - මිස්ටර් පෙරේරාවයි මම අමතක කරන්නේ කොහොමද?

මේ ගොඩනැගිල්ලයි - මිස්ටර් පෙරේරාවයි මම අමතක කරන්නේ කොහොමද?

විජය කුමාරතුංග පැවසුවා

විමලදාස පෙරේරා විස්තර කරයි

කලාකරුවන්ට නවාතැනක් වූ මරදානේ රවුෆ් බිල්ඩිමේ කතාව

පසුගිය සතියෙන්...

මෙහි සම්බන්ධිකරණ කටයුතු මා පවරා තිබුණේ අර්නස්ට් වඩුගේ මහතාටය. මගේ මුහුරත් උලෙළ තිබෙන දිනයේම විජයට චිත්‍රපට තුනක් වෙනුවෙන් අත්සන් කිරීමට සිදුව තිබිණි. මගේ ආරාධනය උදේ දහයටය. විජය මට කතා කොට කීවේ අර චිත්‍රපට තුන අත්සන් කොට මම මිස්ටර් පෙරේරාගේ වැඩේට එනවා කියාය. කියූ පරිදි උදේ දහයට මිනිත්තු කීපයක් තිබියදි විජය කාර්යාලයට පැමිණියේය. ඒ වෙන කොට සෙසු නළු නිළියන්ගේ ගිවිසුම් සියල්ල සකස් කර අවසන් කර සිටි අර්නස්ට් වඩුගේ විජයගේ ගිවිසුම් පත්තරයේ මුදලට හිස්තැනක් තබමින් රඟපෑමට කොපමණ මුදලක් අපේක්ෂා කරනවාද යනුවෙන් විමසීය. විජයගේ පිළිතුර වූයේ රුපියල් එක් ලක්ෂ විසිපන්දහස ගාණේ අනෙක් චිත්‍රපටවලට අත්සන් කළ බවකි.

මුද්‍රණ ශිල්පීන්ගේ සමුපකාර ගොඩනැගිල්ලේ පිහිටි තුන්වෙනි මහල තුළ චිත්‍රපට පවා නිර්මාණය විය. මගේ කාර්යාලයේ ඉඩකඩ හැරුණු කොට ඉතිරි විශාල ඉඩ ප්‍රමාණය අවශ්‍ය අයට ලබා දුන්නේ සතුටකින් මිස මුදලක් බලාපොරොත්තුවෙන් නොවේ. මගේ මතකය හැටියට මෙහි චිත්‍රපට දොළහක් රූපගත කෙරිණි. චිත්‍රපටවලට අවශ්‍ය කාර්යාල දර්ශන බොහොමයක් ගනු ලැබුවේ මගේ මේ කාර්යාලය පිහිටි තෙවන මහලේය. සමහර දර්ශන සඳහා අවශ්‍ය කරන පසුතල පවා මෙහි නිර්මාණය කොට රූපගත කිරීම් සිදු කරන ලදී. එවන් අවස්ථාවල මගේ කාර්යාලය පිහිටි තෙවන මහල චිත්‍රාගරයක් බඳු විය. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වැනි සිනමා අධ්‍යක්ෂවරු පවා මෙහි චිත්‍රපට සඳහා දර්ශන ගනු ලැබීය.

මගේ මතකයේ හැටියට ධර්මසේන පතිරාජයන්ගේ පාර දිගේ චිත්‍රපටය සඳහා මගේ කාර්යාලය රූපගත කිරීමක් සිදු වූ දිනයක මෙවන් සිද්ධියක් සිදු විය. මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ විජය කුමාරතුංගය. ප්‍රධාන නිළිය ලෙස රගපෑවේ ඉන්දිරා ජොන්ක්ලාස්ය. ඔවුන් දෙදෙනාගේ දර්ශනයක් රූපගත කර අවසන් වූ මොහොතක විජය මගේ කාර්යාලයට ඇතුළු වී මට කතා කළේ මිස්ට පෙරේරා එළියට එන්න කෝ කියාය. මම ද විජයගේ කීමට කාර්යාලයෙන් එළියට ආවෙමි. විජය මාව පැත්තකට කැඳවාගෙන ගියේය. මේ චිත්‍රපටයේ ඔහුත් සමග රඟපෑ ඉන්දිරාට මාව හඳුන්වා දුන්නේ හරි අපූරු ආකාරයටය.

මෙයා තමයි මගේ මුල ආරම්භ කරලා දුන්නේ. මෙතන තමයි ඒ ආරම්භ කරපු ස්ථානය. මට බත් කටක් හරි දුන්නේ, ඉන්න දුන්නේ මේ මහත්තයා. මම බත් කටක් හරි කාපු තැන තමයි මෙතන. එහෙම කෙනෙක්, එහෙම තැනක් මට ජීවිතේට අමතක වන්නේ නෑ කියලා. ඒ වෙන කෙට විජය මෙරට ජනප්‍රිය කිරුළ පළඳිමින් සිටි වකවානුවය. විජය මෙහෙම කියන කොට මගේ දෑසටත් කඳුළක් ඉණුවේ මටත් නොදැනී බව මට අද වගේ මතකය. මගෙන් උදව් ලැබූ අය අතරින් කෙලෙහි ගුණ තිබූ එකම මිනිහා වූයේ විජය කුමාරතුංගය.

එවක චිත්‍රපට නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් ගැන තොරතුරක් ලබන්නට බොහෝ දෙනෙකු පැමිණියේ මගේ කාර්යාලයටය. එයට විශේෂ හේතුවක් වූයේ කොහේ හිටියත් ඒ කාලයේ ක්ෂේත්‍රයේ මතයක් තිබුණේ කවුරු හෝ කලාකාරයෙක් හමුවීමට අවශ්‍ය වුවහොත් මරදානේ විමලදාස පෙරේරාගේ ඔෆිස් එකට යා යුතු බවය. ඒ විශ්වාසයටම නොයෙන කෙනෙක් නැති තරම්ය. ගායකයනුත් එහෙමය. සවසට මිනි බාරයෙන් සප්පායම් වී ගී රස බලන්නට මෙතනට එන අය වගේම ෂූටින් අවසන් කර නාලා කාලා බීලා විවේකයක් ලබා ගන්නට පැමිණි අය ද අඩුවක් නොවිණි. ලෙනින් මොරායස්, ජේ. සෙල්වරත්නම්, වසන්ත ඔබේසේකර එසේ නිරන්තරයෙන් පැමිණිය අය අතර විය.

මේ ගොඩනැගිල්ල තුළ සිදු වූ අපුූරු සිද්ධියක හෘදයංගම මතකයක් ද මා සිත තුළ අදත් නිධන්ගතව ඇත. මා අවසන් වරට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරමින් සිටියේ පොඩි නංගී චිත්‍රපටයයි. චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වෙමින් තිබෙන කාලයේදීම විජය කුමාරතුංගයන් සිර භාරයට ගැනීමත් එහි කැමරා ශිල්පියකු වූ එම්. ඩී. තලේ අසනීපවීමත් හේතුවෙන් චිත්‍රපටයේ වැඩ අවසන් කර ගැනීමට නොහැකි විය.

මේ චිත්‍රපටය සඳහා සනත් ගුණතිලක, විජය නන්දසිරි, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, ලීනා ද සිල්වා, මැණික් කුරුකුලසූරිය, විජයරත්න වරකාගොඩ, විජය කුමාරතුංග ඇතුළු විශාල නළු නිළි පිරිසක් දායක කොට ගෙන තිබුණේය. චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාව සඳහා මා තෝරාගෙන තිබුණේ විජය කුමාරතුංගය. ඒ වෙන කොට විජය කුමාරතුංග ජනප්‍රිය තලේ වැජඹෙන කාලයයි. විජයගෙන් චිත්‍රපටයක් සඳහා දින ලබාගන්නටත් නිෂ්පාදකයන්ට පොරොත්තු ලෙඛනයේ සිටින්නට සිදු වූ කාලයක් විය. මා විජයට කීවේ චිත්‍රපටයක් කරන්න යනවා කියා පමණි. ඒ ආරාධනාව ඔහු සතුටින් බාර ගත්තේ දින කල් ඇතිවම කියන්න කියාය.

චිත්‍රපටයේ මුහුරත් උලෙළ මම සංවිධානය කළේ මගේ ඔෆිස් එකේමය. රංගන ශිල්පින් හැරුණු කොට මා මිත්‍ර පුවත්පත් කලාවේදීන් ඇතුළු විශාල පිරිසක් ඒ අවස්ථාවට ආරාධනා ලැබ තිබුණේ මගේ තිබූ මිත්‍රකම් හේතුවෙනි.

මෙහි සම්බන්ධිකරණ කටයුතු මා පවරා තිබුණේ අර්නස්ට් වඩුගේ මහතාටය. මගේ මුහුරත් උලෙළ තිබෙන දිනයේම විජයට චිත්‍රපට තුනක් වෙනුවෙන් අත්සන් කිරීමට සිදුව තිබිණි. මගේ ආරාධනය උදේ දහයටය. විජය මට කතා කොට කීවේ අර චිත්‍රපට තුන අත්සන් කොට මම මිස්ටර් පෙරේරාගේ වැඩේට එනවා කියාය. කියූ පරිදි උදේ දහයට මිනිත්තු කීපයක් තිබියදි විජය කාර්යාලයට පැමිණියේය. ඒ වෙන කොට සෙසු නළු නිළියන්ගේ ගිවිසුම් සියල්ල සකස් කර අවසන් කර සිටි අර්නස්ට් වඩුගේ විජයගේ ගිවිසුම් පත්තරයේ මුදලට හිස්තැනක් තබමින් රඟපෑමට කොපමණ මුදලක් අපේක්ෂා කරනවාද යනුවෙන් විමසීය. ඒ පාර විජයගේ පිළිතුර වූයේ රුපියල් එක් ලක්ෂ විසිපන්දහස ගාණේ අනෙක් චිත්‍රපටවලට අත්සන් කළ බවකි. විජය මා නිසා ගණන අඩු කරතියි විශ්වාසයෙන් අර්නස්ට් හිස් තැනක් තබා ගිවිසුම් පත්තරය ලෑස්ති කර තිබුණේ විජය කියන මුදල එතනට ඇතුළත් කරන්නටය. විජයගේ පිළිතුර වූයේ මම අත්සන් කරන්න ඕනෙද මම ඇට් කරනවානේ යනුවෙනි. මේ බව හනික ඇවිත් අර්නස්ට් මට කීවේය. මම විජය ළඟට ගොස් ගාණක් කියන්න යැයි පැවසීමි. මුලින්ම මම විජයට සමනල කුමරියෝ රඟපැම සඳහා ගෙවනු ලැබුවේ රුපියල් දෙසිය පණහකි. ඒ ඒ කාලයේ්ය. දැන් විජය ජනප්‍රිය තලයේ අංක එකේ නළුවා වී හාමරය. අද ඔහුගේ ගාණ තිරණය කරනුයේ මා නොව ඔහුය.

ගිවිසුම් ඕනේ නෑ මිස්ටර් පෙරේරා විජය කීවේය. නෑ එහෙම බෑ ගාණක් කියන්න. මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ නොමිලේ.

එහෙම එපා විජය, කීයක් හරි ගන්න ඕනේ මම කීමි. නැහැ මට එපා. එහෙම කියන්න එපා විජය. හරි එහෙනම් මිස්ටර් පෙරේරා මට දෙන්න රුපියල් එක් ලක්ෂ පනස් දහසක්. එහෙම කියලා ගිවිසුම් ගහන්න. හැබැයි ඒ සල්ලි මට නම් එපා. ඒ සල්ලි තුනට බෙදලා මිස්ටර් පෙරේරාගේ පුතාලා තුන්දෙනාගේ නමින් බැංකු පොත් තුනකට දාන්න. එහෙම කියමින් විජය මගේ අත අල්ලල මට සුබපැතුවේ මේ ගොඩනැගිල්ලයි, විමලදාස පෙරේරායි මම කොහොමද අමතක කරන්නේ කියාය.