වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙන් මෙහෙන් උඩින් යටින් ශබ්ද ඇහෙන... මොකක්ද මේ ATMOS

එහෙන් මෙහෙන් උඩින් යටින් ශබ්ද ඇහෙන... මොකක්ද මේ ATMOS

පසුගිය සතියේ කොළඹ මරදාන සිනෙසිටි සිනමා සංකීර්ණය මෙරට පේ‍්‍රක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙන ආවේ එය එහි එක් සිනමා හලක් ඩොල්බි ඇට්මොස් ශබ්ද ක්‍රමය උපයෝගී කරගෙනය. මේ අලුත් ශබ්දක්‍රමය ගැන විමසා බලමු.

පටල පටයේ ශබ්දය.

සිනමාවේ දියුණුව ඩිජිටල් තාක්ෂණය සමඟ ගවු ගණනක් ඉදිරියට ගියේය. පටල පටයේ රසායනික සංයෝගය අතීතයේදී එකක් විය. පසු කලකදී තවත් එකක් විය. කළු සුදු පටය වර්ණ විය. ඊටත් පසු කලකදී පටල පටය ලෝකයටම එපා විය. එනිසාවෙන්ම ප්‍රක්ෂේපන තාක්ෂණය වෙනස් විය. අපි එයට ඩිජිටල් පරිවර්තනයක් යැයි කියමු. ඩිජිටල් ප්‍රක්ෂේපනය යළි වෙනස් විය. සෙන්ටිමීටර 1 ක කොටුවක් තුල ඇති තිත් ගණන රූපයක අනර්ඝත්වය තීරණය කරන ප්‍රධාන සාධකය විය. මේ දියුණුව එම කොටුව තුල ඇති තිත් ගණන වැඩි කළේය. සාමාන්‍ය පේ‍්‍රක්ෂකයා දැනට බලන තිත් ගණන වැඩි අනර්ඝම රූප තත්වය 4ම් යනුවෙන් නම් තැබේ. නමුත් රසායනාගාර තත්වයේදී ඊටත් වඩා තිත් ගණනක රූප තත්වයන් විවිධ කාර්යයන් සඳහා යොදා ගැනේ. ඒ අනුව ශබ්දයටද හිමිවන්නේ ප්‍රක්ෂේපණයට හිමිවූ ඉරණමමය. නමුත් දැකිය හැකි විශේෂම ලක්ෂණයක් නම් රූපය විකාශය වීම තරම් සංකීර්ණ විකාශය වීමක් ශබ්දයේ නොවීමයි. එයට හේතුභූත වන්නට ඇතැයි යම් කාරණයක් විමසීම වටී. පටල පටිය මිමි 16 විය හැකිය මිමි 35 විය හැකිය මිමි 70 විය හැකිය. නමුත් ශබ්ද පටය සඳහා ඉඩ වෙන් වූයේ මේ පටල පටයේ රූපයත් ස්ප්‍රොකට් සිදුරත් අතර ඇති සීමිත ඉඩ උපයෝගි කරගනිමින්ය. එකී ශබ්දය පටල පටයේ සටහන් වන භෞතික ආකාරය සාමාන්‍යයි දැනගැන්මට විස්තර කළ හැක්කේ එය නියපොත්තෙන් ඇඳී ඉරක් ලෙසට පටල පටය පුරා දිගටම ඇඳී තිබීමයි.

සිනමාවේ සංගීත ශබ්දය

සිනමාවේ මුල් වකවානුවේ ව්‍යාප්තිය 1900 දශකය ලෙස සැලකුවහොත් එහිදී අපට හමුවන්නේ ශබ්ද රහිත එක දිගට ගලා යන රූප කිහිපයකි. 1920 දශකය වන විටත් මෙය වෙනස් වුයේ නැත. ශබ්දය සඳහා වඩාත් හිතකරම වාතාවරණය ගොඩ නැගුණේ කතානාද සිනමාව ලෝකයේ ජනපි‍්‍රය වීමත් සමඟය. ශබ්දයක් ලෙස මුලින්ම සිනමාවෙන් මතු වූයේ සංගීතයයි. නමුත් කිසි ලෙසකින්වත් එය පටල පටයට ඇතුල් වූවක් නොවීය. සංගීතය මුලින්ම ඇතුල් වුයේ අපූර්ව ආකාරයකටයි. පටල පටයට ශබ්ද ඇතුලු නොවූ හෙයින් සිනමාහල තුල යම් සංධ්වනියක (ORCHESTRA) ආකාරයෙන් වාදකයන් සංගීතය මෙහෙයවන්නට විය. එය රූප තිරයේ යන ආකාරය බලා ඊට අනුරූප වන ලෙස වාදකයන් සංගීතය මෙහෙයවන ක්‍රමයකි. පසුකාලීනව මෙම ක්‍රමයේ ජනපි‍්‍රයත්වයම අබිබවා යන්නට තවත් ක්‍රමයක් බිහිවිය. එනම් සජීවීව වාදකයන් දෙන සංගීතයට වඩා පොදු වූත් වෙහෙස රහිත වූත් ශබ්දය පුළුල් වූත් ක්‍රමයක් මේ වකවානුවේදී ජනපි‍්‍රය විය. එනම් රූපය හා දිවෙන සමමුහුර්ත (SYNCHRONISED) ශබ්දයක් ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා සමගාමීව සකස් කර ගැනීමට එවක සිනමාව සමත් විය. එම ක්‍රමය ග්‍රැමෆෝන් ක්‍රමයට සමාන විය. ප්‍රක්ෂේපණය පටන් ගත් විගස ශබ්ද තැටිය ග්‍රැමෆෝන් ආකාරයටම භ්‍රමණය වී ශබ්දය නිකුත් කිරීම එයින් සිදු කරයි.

ප්‍රකාශ හඬපට තාක්ෂණය

ප්‍රකාශ හඬ සඳහා ලෝකයේ භාවිත වූයේ OPTICAL SOUNDS යන ඉංගී‍්‍රසි පදයයි. හඬ පට සඳහා OPTICAL TRACKS ලෙස ව්‍යවහාර වුනි. ඇත්තෙන්ම 1930 දශකයේ සිට බහුලව භාවිත වූ මෙම ක්‍රමය අද දක්වාම පවතී. එසේ කියන්නට සිදු වන්නේ ලංකාව වැනි රටවල් අදටත් පටල පටය භාවිත කරන හෙයිනි. සරලවම මේ ප්‍රකාශ හඬ මාධ්‍යයක යනු චිත්‍රපටයේ සියලු හඬ පටල පටයට ගෙන ඒමේ වෑයමයි. එය ප්‍රකාශනයක් වන්නේ එහෙයිනි. එනම් එතුවක් කල් නොපෙනුණු හඬ පටල පටයේ පෙනෙන්නට තිබීමයි.

ඒක නාලිකා හඬ (MONO SOUNDS)

ප්‍රකාශ හඬ පට තාක්ෂණය ආරම්භයේ සිට 1970 දශකය දක්වාම ශබ්දය විකාශය වූයේ ඒක නාලිකා ක්‍රමවේදය හෙවත් සියලු ශබ්ද එක නාලිකාවකට ගෙන විකාශය කරන ක්‍රමවේදය යටතේයි. ප්‍රකාශ හඬ බිහිවූයේම මෙම ඒක නාලිකා හෙවත් මොනෝ ක්‍රමවේදය පවත්වාගනිමිනි. කාලය ඉදිරියට යත්ම ප්‍රකාශ හඬ පටද වෙනස් තල වලට ගමන් කළ අතර මොනෝ නාලිකා ක්‍රමවේදය එලෙසම රැඳුණි. පටල පට වල ශබ්දය ස්ථාන ගත කිරීමේදී බොහෝ විට එකල භාවිත කළේ පටල පටයේ එක් පැත්තක් පමණි. පසු කලකදී පටල පටයේ වම සහ දකුණු ස්ප්‍රෝකට් සිදුරු දෙපසින්ම ශබ්දය සටහන් කරන්නට පටන් ගත අතර රූප රාමුව අයත් කොටු අතර මැදද ශබ්දය සටහන් කිරීමට තරම් තාක්ෂණය දියුණු විය.

සබ්වූෆරය (SUBWOOFER)

සබ්වූෆරය යනු එසේ ශබ්ද පටවලින් එන ශබ්ද විකාශය කරන එක විකාශන යන්ත්‍රයකි. මෙය සිනමාවට යොදා ගත්තේ 1970 දශකය තරම් ඈත වකවානුවෙහිය. සබ්වූෆරයක් පිහිටුවීමේ මූලිකම අරමුණ වූයේ ශබ්දයන්ගේ නාසික්‍ය ශබ්දයට බරවූ ශබ්දය (BASS)  වඩා උසස් තලයකින් රසවිඳීමට හැකියාව දීමටයි. 1974 දී ‘අර්ත්ක්වෙක්’ (භූමිකම්පාව) චිත්‍රපටය සමඟ මේ උපාංගය සිනමාශාලා වලට පැමිණි අතර එම ශබ්ද තලය කොතරම් හොඳීන් වැඩ කලාද යත් එම ශබ්ද වලට බිය වී ප්‍රක්ෂකයන් සිනමාශාලාවෙන් පලා ගිය බවටද වාර්තා පළවෙයි. ඒ ඔවුන් සැබෑ භූමි කම්පාවක් යැයි සිතා ත්‍රාසයට පත් වූ හෙයිනි.

ලූකස් ගේ ස්ටීරියෝ

1977 දී ලෝ ප්‍රකට අධි තාක්ෂණික සිනමාකරු ජෝර්ජ් ලූකස් ‘ස්ටාර් වොර්ස්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේය. එම චිත්‍රපටය සමඟ ඔහු තාක්ෂණික විප්ලවයක් සිද්ද කළේය. එතුවක් පැවති මොනෝ හෙවත් ඒක නාලිකා ශබ්ද ක්‍රමය ඔහු ස්ටාර් වොර්ස් වෙත භාවිත කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු විසින්ම සොයා යෝජනා කළේ නාලිකා එකක් වෙනුවට 4ක්ම ඇති සිවු නාලිකා ස්ටීරියෝ තාක්ෂණයයි. (STEREO 4 TRACK)ඔහුගේ දැවැන්ත නිර්මාණයට සාපේක්ෂව මේ සොයා ගැනීම ඉදිරිගාමී විය. ඒ අනුව ඒක නාලිකාවක් නැතහොත් මාර්ගයක් වෙනුවට මාර්ග 4කින් වෙන් කරන ලද දැවැන්ත ශබ්ද පරාසයක් දීමට එම ක්‍රමයට හැකි විය. උදාහරණයක් ලෙස ඔබ චිත්‍රපටයක දර්ශනයක් මවා ගන්න. විශාල උද්‍යනයක පෙම්වතුන් දෙදෙනෙක් බංකුවක වාඩි වී සිටී. පසුපසින් ළමුන් සෙල්ලම් කරනා හඬ ඇසෙන විට යතුරු පැදියක් ඔවුන් පිටුපසින් ගමන් කරයි. අහස කළු කර ඇති අතර එක වරම අහස ගුගුරයි. ඒ සමගම පෙම්වතා පෙම්වතියව සිප ගනී. ඒ අනුව ශබ්ද නාලිකා 4 කට බෙදුවහොත් ළමුන් සෙල්ලම් කරන හඬ එකක් පසුබිමින් යතුරු පැදිය යාම එකක් අහස ගිගිරීම එකක් සහ සිප ගැනීම එකක් ලෙස ශබ්ද වෙන් කොට ගත හැකිය. ඒ අනුව එම ශබ්ද, ශබ්ද එන ස්ථානවලට අනුරූපව සිනමාකරුවන් ඒවා මිශ්‍ර කරයි. ඔබ දැන් අත්විඳීන එම ශබ්ද මුලින්ම ඉදිරිපත් කළේ ජෝර්ජ් ලූකස් විසිනි.

රේ ඩොල්බි

රේ ඩොල්බි ඇමරිකානු ශබ්ද ඉංජිනේරුවරයෙකි. තමා වැඩ කරන සමාගමින් ඉවත් වී 1965 දී පිහිටුවාගන්නා ඔහුගේම සමාගම DOLBY LABORATORIES  යනුවෙන් ඔහු නම් කළේය. ඔහුගේ රසායනාගාර සේවාව සුවිශේෂ වූයේ ශබ්ද සඳහාම වෙන් වූ පර්යේෂණයන් ඔහු විසින් සිද්ද කළ නිසාය. එකල ඔහු ඉදිරිපත් කළ ඩොල්බි NR හෙවත් ඩොල්බි නොයිස් රිඩක්ෂන් තාක්ෂණය එවකට විප්ලවකාරී එකක් විය. සියලු ශබ්ද පට විකාශය කිරීමේදී එන අනවශ්යත මුහුදු රැලි වලට සමාන ශබ්ද මෙම ක්ර මයෙන් ඉවත් කෙරිණි. ඔහුගේ ඩොල්බි සමාගම සොයාගන්නා සොයාගැනීම් පැහැදිලි ශබ්ද විකාශයකට මග පෑදූ අතර සිනමාවටද ඉවහල් විය. ඩොල්බි විසින් සිනමාව සඳහා විප්ලවයක් කරන්නේ 1990 දශකයේදීය. ඒ එතුවක් කල් තිබූ ජෝර්ජ් ලූකස් ගේ නාලිකා 4 ක්‍රමය වෙනුවට නාලිකා 6ක ක්‍රමයක් හඳුන්වා දෙමිනි. එය ඩොල්බි 5.1 ලෙස හැඳීන්වීය. ඒ නාලිකා 5ක් සහ සබ්වූෆරය ලෙසින් එන මිශ්‍රණයයි. මෙය මුලින්ම අත්හදා බැලූයේ 1992 දී එළිදැක්වුණු ‘බැට්මෑන්’ චිත්‍රපටයකිනි. 1993 දී ස්ටීවන් ස්පිල්බර්ග් ‘ජුරාසික් පාර්ක්’ එළිදකුනු අතර එයට භාවිත කොට තිබුණේ SONY සමාගම දියුණු කරන ලද DTS 5.1 ක්‍රමයයි. නමුත් කල් ගත වත්ම DTS ක්‍රමය භාවිතයෙන් ඉවත් වූ අතර ඒ වන විටත් නම් වෙනස් වී තිබූ DOLBY DIGITAL සමාගම 5.1 ක්‍රමයට අමතරව 7.1 ක්‍රමයද හඳුන්වා දී තිබුණි. සෝනි සමාගම මින් පසු බැසි අතර ඉන් පසු ඔවුන් කළේ SDDS  හෙවත් ONY DYNAMIC DIGITAL SOUNDS 7.1  ක්‍රමවේදය හඳුන්වා දීමයි. නමුත් එය එතරම් ලෝ පතල ක්‍රමයක් වූයේ නැත. ඒ නිසා ඩොල්බි 5.1 සහ 7.1 ක්රනම අදටත් අංක එක වී තිබේ.

මොකක්ද මේ ATMOS?

ATMOS ක්‍රමවේදය ඩොල්බි ලෝකයට හඳුන්වා දෙන ඉදිරි පියවරයි. මෙතුවක් කලක් ලෝකයම භාවිත කළ ඩොල්බි 7.1 ක්‍රමයටත් ඔබ්බෙන් ගොස් ඔවුන් හඳුන්වාදෙන්නේ ඇට්මොස් ක්‍රමයයි. 7.1 ක්‍රමය අනුව එහි ශබ්ද නාලිකා 8 කි. නමුත් ඇට්මොස් ක්‍රමය අනුව නාලිකා 10 කි. උඩින් සහ යටින් පවා එන මේ ක්ර මයේ අනුපාතය එන්නේ 7.1.2 අනුපාතයට යටත්වය. ශාලාවේ ඉදිරියෙන් සහ වටෙන් නාලිකා 7 කුත් ඉහලට නාලිකා 1 කුත් සබ් වූෆර 2 කුත් ශබ්ද රසය තියුණු කරයි. ඒ අනුව 2012 දී පික්සාර් සහ ඩිස්නි සමාගම් එක්ව එළිදැකි ‘BRAVE’ චිත්‍රපටය ඇට්මොස් මගින් පෙන්වන ලද පළමු චිත්‍රපටයයි. මෙකී ඇට්මොස් යන වචනය සැදී ඇත්තේ ඉංගී‍්‍රසි භාෂාවේ ATMOSPHERE යන වචනය පාදක කොට ගෙනය. එනම් ගුවන්තලය, අන්තරික්ෂය යන සිංහල තේරුමට සමාන වේ. එනම් ශබ්දයේ දැවැන්ත අවකාශයක් එයින් සපයනු ලැබේ. ඒ සඳහා සිනමාහලක නම් අවමය ශබ්ද විකාශන යන්ත්‍ර 36ක් භාවිත වේ. ලාංකේය ප්‍රේක්ෂකයා සිනෙසිටි ශාලාවේ දැන් අත්විඳින්නේ එම ප්‍රාතිහාර්යයි.