|
බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි - 5ස්වරා... ඔබ හරිම ලස්සනයි
හිටිඅඩියේම ලද විවේකයක් නිසා මාගේ පූනේ මිත්‍ර නිඛිල් ගොර්පද්කර්ව ඇමතුවෙමි. ආ ගිය තොරතුරු අසා ඔහු ඇසුවේ මා මේ දිනවල කුමක් කරම්දැයි කියාය. මා පැවසුවේ පූනාවේ අපුර්ව සිද්දි ගැන පත්තරේට ලියනවා කියාය. ඔහුට මා ලියනා ඒවා ගැන එවෙලේ උනන්දුවක් ඇති විය. නිඛිල් ක්ෂණයෙන් මගෙන් ඇසුයේ ඇයි ඔබ ඒවා අපේ ෆේස්බුක් සාමුහිකයේ පළ නොකරන්නේ කියාය. 2017 වසරේ පූනාවේ සිනමාව අත පත ගෑ අප සියල්ලන්ම සිටින ෆේස්බුක් සාමුහිකයක් තිබුණි. ඔහු අදහස් කළේ ඒ ගැනය. මා ඔහුට කිවේ ඒවා ලිව්වේ සිංහල භාෂාවෙන් බවත් බොහෝ දෙනාට එය සමීප කරලිය නොහැකි කමත් නිසා මම එය නොදැම්ම බවය. ‘එහෙම කියන්න එපා. අපිත් ආසයි ඒවා කියවන්න. අඩුම ගානේ කෙටි ඉංගී‍්‍රසි පරිවර්තනයක් එක්ක හරි ඒක පළ කරන්න.’ මම ඔහුගේ අදහසට එකඟ වීමි. එය කෙසේ වෙතත් අපේ කතා බහ දික් කළ තවත් එක් ආරංචියක් විය. ‘ෂෙනාල්, සප්තිකා ලංකාවට ඇවිත් නේද?’ ඔහු ඇසුවේය. ‘ඔව්. කොහොමද දැන ගත්තේ.’ මම ඇසුවෙමි. ඇය ලංකාවේ පින්තූර අපේ වට්ස් ඇප් ගෘප් එකේ දැම්මා. එතකොටයි දැනගත්තේ. සප්තිකා මදන්දේව යනු අපේ සිනමා රසවින්දන කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය පැමිණියේ දකුණු ඉන්දියාවේ චෙන්නායි සිටය. වෘත්තියෙන් ඇය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එක් දරු මවකි. නිඛිල් සහ මාගේ කතා බහ දිගු කරන්නට සුවිශේෂී වූයේ ඇත්තෙන්ම ඒ කරුණ නොවේ. ඇය ලංකාවට පැමිණීමෙන් පසු මා හට දැනුම් දුන්නේ ඇගේ ගමන් බලපත්‍රයේ අවුලක් ඇති බවත් එය නිරාකරණය කර ගැනීමට මෙරට ආගමන විගමන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවලට යා යුතු බවත්ය. මේ ප්‍රකාශය මා කරකවා අතහරිනවා තරම් ප්‍රබල විය. ඉන්දියානු පුරවැසියෙකු ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස් පාගන්නේ අසවල් කාරියටදැයි මට තේරුම් ගත නොහැකි වුණි. නමුත් කළ විමසීම් වලදී හෙළිවූයේ වෙනකකි. ඇත්තෙන්ම මා සිතා සිටියාට ඇය ඉන්දියානු කාන්තාවක් නොවේ. ඇය ශී‍්‍ර ලාංකික කාන්තාවකි. ඇයට තිබෙන්නේ චෙන්නායි මහා කොමසාරිස් කාර්යාලයෙන් ගත් ලාංකික ගමන් බලපත්‍රයකි. ගැටලුව වූයේ ඇයගේ ඉදිරි කටයුතු කර ගැනීමට සහ වීසා කාලය දිගු කර ගැනීමට ලංකාවේ හැඳුනුම්පතක් අවශ්‍ය වීමයි. ඇගේ ගම් පළාත යාපනයයි. තකහනියක්ම එහි ගොස් උප්පැන්නය සහතික කර ගන්නා ඇය පැය ගණන් ආණ්ඩුවේ කන්තෝරු පෝලිමේ හිඳ තමන්ගේ කාර්යය කර ගත්තාය. ඇයට අනුව ලංකාවේ රජයේ සේවකයන්ට ඉංගී‍්‍රසියෙන් තේරුණු එකම වචනය වූයේ ‘බායි’ ය. දෙමළ සහ ඉංගී‍්‍රසි පමණක් දන්නා ඇය ඉන් මුහුණ දුන්නේ දැඩි අපහසුතාවයකටය. කෙසේ නමුත් ඇගේ වැඩේ කෙරිණි. නිවාඩුවද අපතේ නොගියේය. ඇගේ කතාව මෙසේය. ඇයව රැගෙන ඇගේ දෙමාපියන් රට අතහැර ඉන්දියාවට යන්නේ 83 ජාතිවාදී කෝලහාල ඇවිලීමත් සමඟය. 84 වසරේදී මාස 6ක කුඩා ළදැරියක් සිටින තමා දෙමාපියන් දකුණු ඉන්දියාවට රැගෙන යන්නේ මෙහි විසීමට නොහැකි තැනය. එදායින් සිට ඇය කවදාවත් ලංකාවට පැමිණ තිබුණේ නැත. මේ ඇගේ පළමු වතාවයි. අදටත් ඇය මෙහි පුරවැසියෙකි. දරුවා සහ ස්වාමි පුරුෂයා සමඟ ඇය මෙහි සතුටින් සිටියාය. නිඛිල් සහ මම දිගට කතා කළේ මේ සිදුවීම් ගැනය. එවිටම අප හට මතක් වූයේ අප එකටම නැරඹු මනි රත්නම් ගේ ‘කන්නතිල් මුතමිට්ටල්’ චිත්‍රපටයයි. එකී කතාවත් සප්තිකාගේ කතාවට සම කිරීමට බැරි නැත. එවිටම නිඛිල් පැවසුවේ ‘මම ජීවිතේට හිතුවේ නෑ ඒ වගේ කෙනෙක් අපිට ආශ්‍රය කරන්න ලැබෙයි කියලා. බලන්න සිනමාව අපිව කොච්චර සමීප කලාද කියලා’ ඇත්තෙන්ම මටත් එය එසේමය. චිත්‍රපටයක කතාවක් බොහෝ දුරට සමාන වීම අත්දකින්නට ලැබේවි කියා මා සිහිනෙකින් හෝ සිතුවේ නැත. කෙසේ වෙතත් මම සප්තිකාගේ ජිවන අන්දරය හාර ඇවිස්සීමට ගියේ නැත. ඒ එය ඛේදයක් නම් ඇය අපහසුතාවට පත් වීම වැළක්විය යුතු නිසාය. කෙසේ වෙතත් යළි හමුවන බලාපොරොත්තුවෙන් ඇය සමුගෙන ගියාය. අපට ඇයව සමීප වූයේ ඇය උතුරේ කාන්තාවක් වීම නිසාය. මට එවැනිම තවත් පුද්ගලයකු මුණ ගැසිණි. ඔහු නමින් චන්ද්‍රකාන්ත් කම්බ්ලේ ය. චන්ද්‍රකාන්ත් මහාරාශ්ට්‍රයේ වැසියෙකි. මම උප්පැන්නෙන් වටා පිටාවෙන් බෞද්ධයෙක්මි. චන්ද්‍රකාන්ත් මා ලාංකිකයකු බව දැනගෙන මුලින්ම ඇසුවේ මා බෞද්ධයෙක් ද කියාය. මම ඔව් යැයි පැවසීමි. ඔහු ඉතා සතුටු වුයේය. එකෙනෙහිම පැවසුයේ ‘මමත් බෞද්ධයෙක්’ කියාය. ඔහු සතුටු වූ කරුණ මට වැටහුණේ එයිනි. ඉන් පසු කියන්නට සැරසුනේ ඔහු බෞද්ධයෙකු වීමේ මාවතයි. චන්ද්‍රකාන්ත් කියූ පරිදි ඔහු සහ ඔහුගේ පරම්පරාවම කුල හීනයන් ය. ඔවුන්ගේ කුල හීන කම ඔවුන්ට ගැටලුවක් වූ හෙයින් දෙමාපියන් සහ නෑසියන් පවුල් පිටින් ගොස් ආචාර්ය අම්බෙද්කාර්ගේ ව්‍යාපාරය හා එක් වී තිබේ. එමගින් ඔවුන් බෞද්ධ ආගම වැලඳගෙන ඇති අතර සමාජීය වශයෙන් ඔවුන් ජීවයක් ලබා ඇත. ඔහු අධ්‍යාපනයෙන් විපුල පල නෙළා ඇත. ඒ බොහෝ දුරට ඔහුගේ බුද්ධාගම් සම්ප්‍රාප්තිය නිසා විය හැකිය. කෙසේ වුවත් මා දරනා අදහස නම් රාජ්‍ය, ජාතිය, ආගමට වඩා ප්‍රගතිශීලි යමක් මේ මොහොතේ සිනමාව කරමින් සිටින බවයි. එසේ නොමැති නම් මා සහ ඔවුන් කිසි දිනෙක හමු නොවනු ඇත. ඒ කතා කෙසේ වුවද අපේ විඳීමට අවශ්‍ය කරන කාරක නිතිපතා ඉන්දීය චිත්‍රපට ආයතනයෙන් මෙන්ම ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයෙන් ලැබිණි. ඉන්දියාවේ අලුත් චිත්‍රපට කරුවන් බොහෝ දෙනා තමන්ගේ චිත්‍රපටය එළිදකින්නට කැමති තැනකි ජාතික සංරක්ෂණාගාරය. අපටද එවැනි චිත්‍රපට කිහිපයකට යාමට අවස්ථාව උදා වුණි. ඒ අතර අවිනාෂ් දාස් නම් අලුත් සිනමාකරුවා තමන්ගේ චිත්‍රපටය රැගෙන ආවේ සංවාදයකටද සහභාගී වීමේ අරමුණ ඇතිවය. ඊට සති කිහිපයකට කලින් ඔහු චිත්‍රපටය මුදා හැර තිබුණි. චිත්‍රපටය ‘අනර්කලී ඔෆ් ආරා’ නම් විය. විදුලි එලි නිවා දමා චිත්‍රපටය තිරයට පතිත කෙරිණි. ආරා යනු බිහාරයේ එක්තරා ගමකි. ඒ ගමේ සින්දු කියමින් වීදියේ නටන රූමත් තරුණියකි. ඇය අනර්කලී නම් වුවාය. චිත්‍රපටය දිගහැරිණි. අනර්කලීට ඉතා හොඳ ප්‍රාසංගික හැකියාවක් ඇත. විටෙක හරි ගණන්කරියකි. නමුත් හිත හොඳය. ඕනෑම අයෙක් සමඟ මුහු වීමට ඇය ඉතා දක්ෂය. වඩාත් ලොකුම දේ (මට අනුව) ඇගේ මන බඳීන රූපයයි. චිත්‍රපටය පුරාවටම ඇගේ විශේෂත්වයක් පෙනිණි. නමුත් මට විස්තර කරන්නට වචන ආවේ නැත. චිත්‍රපටයේ මොනවා සිදු වුණි දැයි මට නිච්චි නැත. නමුත් අනර්කලී ගේ ආකර්ෂණීය කෙළිලොල් වදන් ඉංගිතයන් මා ඇද බැද තබා ගත්තේය. ‘වශී වීම’ ඊට මා යොදන ආදේශක වචනයයි. ඇය අඩිය ගසා නටන විටත් පිරිමින්ට ගණන් උස්සන විටත් බුලත් විටක් කටේ දමාගන්න විටත් ඇගේ ලාලිත්‍ය ඇය හැර නොගියේය. ඇත්තෙන්ම ඇගේ නම ස්වරා භාස්කර් ය. බොලිවුඩයේ නවක නිළියකි. අනර්කලී ගැන පන්ති කාමරයේ කතා කළේ පසුදාය. මට වචන නැතුව ලතවෙන ඒ කාරණය කොතනින් හෝ විස්තර වේවි යැයි මම සිතුවෙමි. ගනේෂ් සවලේශ්කාර් යනු හිටපු පූනේ පොස්ට් මාස්ටර් ජෙනරාල් වරයාය. දැන් ඔහු ජීවිතයේ සැන්දෑ සුවය ගෙවයි. එමෙන්ම අප සමඟ සිනමාව කියවයි. ඔහු එක වරම අත් ඔසවා පැවසුවේ. ඇගේ විශේෂත්වය තමා විශාල තිරයක ඇය ලස්සනට පෙනීම. ලොකුවට පේනකොට ඇය ලස්සනයි. හරියටම හරිය. අපමණ තරුණ කොල්ලන් හිටි තැනක ස්වරාගේ විශේෂත්වය ගැන කිව්වේ වැඩිහිටි පොස්ට් මාස්ටර් ජෙනරාල් වරයාය. මා හට වචන කර ගැනීමට බැරි වූයෙත් ඒ ගැනයි. ළඟට නම් ඇය පෙනෙන විදිහ මා දන්නේ නැත. එහෙත් දුරටනම්... ස්වරා.. ඔබ හරිම ලස්සනයි.
‘සමුගැන්ම ලබන සතියේ...
|