වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මහනුවර මැද ඇළ ගලා රෝහිත් මාන්නගේට කරදරයක්

මහනුවර මැද ඇළ ගලා රෝහිත් මාන්නගේට කරදරයක්

දුෂ්ටයෝ ප්‍රේමවන්තයි ප්‍රේමවන්තයෝ දුෂ්ටයි

රෝහිත් මාන්නගේ

දශක හතරක් පුරා කලා ක්ෂේත්‍රයේ සිනමාවත්, ටෙලි නාට්‍යයත් තුළ අපූරු රංගන ශිල්පියකු වන රෝහිත් මාන්නගේ මෙරට සිනමාලෝලීන් සහ ප්‍රේක්ෂකයන් අතරට වඩාත් සමීප වන්නේ සටන් ජවනිකා නළුවකු ලෙසය.

ක්ෂේත්‍රය තුළ දශක හතරක් ගෙවා දැමුව ද රෝහිත්ගේ ජීවිතයේ එදා තිබූ සලරකම අද ද ඔහු තුළින් දක්නට ලැබේ.

සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් දායක වූ බොහෝ චිත්‍රපටවල සිට මෑත යුගයේ චිත්‍රපට දක්වා සිනමා කෘති රැසකට දායක වූ ඔහු පසුගිය දිනවල සිනමාවේ හෝ රූපවාහිනියේ එතරම් දක්නට නොලැබිණි.

මේ නිසා රෝහිත් පිළිබඳව අපට හදිසියේම අසන්නට ලැබුණේ ඔහු මුහුණ දුන් හදිසි ආපදාවක් පිළිබඳවය.

මහනුවර නගරය මධ්‍යයෙන් ගලා යන මැද ඇළ උතුර යාමෙන් විනාශ වූ දෙසීයකට අධික නිවාස අතර රෝහිත් මාන්නගේ ගේ නිවසට ද දැඩි අලාභ හානි සිදුව විනාශ වී තිබිණි.

මහනුවර ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා හීරැස්ගල ප්‍රදේශයේ මැද ඇළ හරස් කැර පාලමක් ඉදි කිරීම සඳහා සිදු කළ සංවර්ධන කටයුත්තක් නිසා මෙලෙස මැද ඇල පිටාර ගැලීය.

එම පිටාර ගැලීමෙන් අඩි හතක් පමණ ජලයෙන් රෝහිත්ගේ නිවසත් යට විණි. ඉකුත් 29 දා අලුයම 5.00 ට පමණ ආ ජලකඳ සිත් පිත් නැති අයුරින් ඔහුගේ නිවසෙහි බඩුමුට්ටු සියල්ලම පාහේ විනාශයට ලක් කළේය.

අප යන විට ඔහු නිවසෙහි සිටියේ තනිවමය. ඒ වන විට නිවසෙහි ජලකඳ හා රොන් මඩ ඉවත් කරමින් සිටි රෝහිත් සමඟ අප කතා කළේය. ඔහු පවසන ආකාරයට දියණියන් දෙදෙනාගේ හා ඔහුගේ ජීවිතය හැරුණු විට වටිනා අන් සියල්ල ජලකඳට ගසාගෙන ගොස් තිබිණි. ස්වර්ණාභරණ, ලිපි ලේඛන, කැමරා, දුර්ලභ ඡායාරූප රැසක් ඒ අතර වේ.

මෙම ජ්‍යෙෂ්ඨ කලාකරුවා අප සමඟ කතාබහ කරන විටත් ඔහු හැඳ සිටියේ මුහුණ පිසින තුවායකි. එය ද පරිත්‍යාගශීලී භාණ්ඩ අතර තිබූ එකක් බැව් ඔහු පැවසීය. ඒ තරම්ම මෙම ජල පහරින් රෝහිත් මාන්නගේ ගේ නිවසත් නිවසේ තිබූ සියලු දෑත් විනාශයට පත්ව ඇත. 'අහිමි වූ බොහෝ දේවල් යළි කෙසේ හෝ ලබා ගැනීමට පුළුවන්.අපට අපේ ජීවිත නැති වුණේ නැහැනේ' ඒ ඔහුගේ හඬයි.

1976 දී කිංස්ලි රාජපක්ෂගේ 'රාං කුරුල්ලෝ' චිත්‍රපටයෙන් සිංහල සිනමාවටත් කලාවටත් පා තැබූ හේනගම මාන්නගේ රෝහිත හෙවත් රෝහිත් මාන්නගේ අප සමඟ මෙලෙස කතාබහට එක් විය.

* දශක ගණනාවක් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින ඔබ මේ දිනවල ඇයි ක්ෂේත්‍රයේ දක්නට නැත්තේ?

රංගන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයේ එතරම් දක්නට නොලැබුණ ද කලා කටයුතුවල දිගටම රැඳී සිටිනවා. විශේෂයෙන් මේ දිනවල රූගත කිරීම් කෙරෙන දේවින්ද කෝන්ගහගේ ගේ 'ගිරි වැඩ පුර' චිත්‍රපටය සඳහා අතිරේක නළු නිළියන් සැපයීම, සම්බන්ධීකරණය මා කරනවා. ඉදිරියේදී තිරගතවීමට නියමිත හරේන් නාගොඩවිතානගේ ගේ 'රයිගමයයි ගම්පොළයයි' චිත්‍රපටයට මං රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

'මං රඟපෑ චිත්‍රපට අතරින් අවසන්වරට තිරගත වුණේ ' පටිබාන' චිත්‍රපටයයි. උඩු සුළඟ, මිලා හා මොහාන් නියාස්ගේ තවත් ටෙලි නාට්‍යයකට පසුගිය කාලයේ සම්බන්ධ වී සිටියා.

* ඔබ කලාවට අවතීර්ණ වන්නේ කොහොමද?

අපේ තාත්තා විදුලිබල මණ්ඩලයේ සේවය කළේ. ඒ නිසා ඉඟිනියාගල, නුවර කොළඹ වගේ ප්‍රදේශවල පදිංචි වෙන්න අපේ පවුලේ අයට සිද්ධ වුණා. මං පාසැල් ජීවිතය හමාර කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. උසස් පෙළට මුහුණ දෙන කාලයේ ඉඳලම ජිම්නාස්ටික්, අත්ම ආරක්ෂක සටන් ක්‍රම වගේම සිනමාව ගැන ලොකු ආශාවක් තිබුණා. ගාමිණී ෆොන්සේකා තමයි ඒ කාලයේ අපේ වීරයා. අදටත් එහෙමයි. 1976 දී 'රාං කුරල්ලා' චිත්‍රපටය තමයි මා එක් වූ පළමු චිත්‍රපටය. මාලිනී ෆොන්සේකා, තිස්ස විජේසුරේන්ද්‍ර, අශෝක පොන්නම්පෙරුම, ජයසේකර අපොන්සු ඒ සඳහා රංගනයෙන් දායකත්වය දැක් වූවා. සුදත් මාරසිංහ කියන මගේ පාසැල් මිතුරකුගේ අයියා හොඳ ආත්ම ආරක්ෂක සටන් ශිල්පියෙක්. ඔහු තමයි මාව කිංස්ලි රාජපක්ෂ ළඟට එක්කරගෙන ගියේ.

* ඔබේ පළමු චිත්‍රපටයෙන් පසු සිනමාවේ කොහොමද ඉදිරියට එන්නේ?

රාන් කුරුල්ලා චිත්‍රපටයෙන් පසු මම අශෝක පොන්නම්පෙරුමගේ ප්‍රදීපා චිත්‍රපටයේ සටන් නළුවකු ලෙස රංගනයෙන් දායකත්වය දෙනවා. පසුව 'අපේක්ෂා' ඇතුළු චිත්‍රපට කිහිපයකට එක් වෙනවා. අපේක්ෂාත් සමඟ සාගරයක් මැදට සෙට්වීම තමයි මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය. කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි ලබා දෙන එම චිත්‍රපටය ඔස්සේ ගාමිණී ෆොන්සේකා මාව ඉහළ තැනකට ගෙන එනු ලැබුවා. අනතුරුව ඔහු විසින්ම මා කොටි වලිගය චිත්‍රපටයට එක් කර ගනිමන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ චරිතයක් ලබා දුන්නා.

යසපාලිත නානායක්කාර තමයි මාව චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට යොමු කළේ. ඒ 'ජය ශ්‍රීවේ කුමරිය' චිත්‍රපටයේ දුෂ්ටයාග් චරිතය ලබා දෙමින්. රෝයි ද සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, දිල්හානි, අජිත් ජිනදාස වැනි අය එහි රඟපෑවා. මේ වන විට සිංහල චිත්‍රපට පනහකට අධික ප්‍රමාණයක රඟපා තිබෙනවා. තිරගතවීමට නියමිත තවත් චිත්‍රපට කිහිපයක් ද තිබෙනවා. ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ විදෙස් චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා. 'ටාසන් ද ඒප් - මැන්' විදෙස් චිත්‍රපටයට 1979 - 1980 දී මං සම්බන්ධ වෙනවා. ඊටන් අලයිව් ඉතාලි චිත්‍රපටයට ද අනතුරුව මා රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

* ඇයි ඔබ සටන් නළුවකු විදිහටම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ?

ඔව්. ඒකේ යම් ඇත්තක් තිබෙනවා. සිනමාවේ මා සිටි බොහෝ චරිත සටන් ජවනිකා චරිතයි. මං දුෂ්ඨයාගේ චරිතය රඟපාන්න බොහෝම කැමැතියි. හැබැයි ටෙලි නාට්‍යවල මං විවිධ චරිත කළා. මුරුගංගනාවියක්, සංත්‍රාසය, නිලංජනා ආදි ටෙලි නාට්‍යවල විවිධ චරිත රඟපෑවා.

* මේ වන විට ටෙලි නාට්‍ය කීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවාද?

ටෙලි නාට්‍ය අසූවකට පමණ සම්බන්ධ වී තිබෙනවා. ඒත් එක් වේදිකා නාට්‍යයකට තමයි සම්බන්ධ වුණේ. ඒ නම් එඩ්වඩ් පීරිස්ගේ 'දැළ' වේදිකා නාට්‍යය.

* ඔබ සිනමාවේ, ටෙලි නාට්‍යයේ දකින්නේ මැර, දුෂ්ට චරිතවල. සැබෑ ජීවිතයේත් එහෙමද?

අපෝ නෑ. සාමාන්‍ය ජීවිතයේ බොහෝ වෙනස්. මං වගේම තමයි රංගන ජීවිතයේ ඔය චරිතවලට දායකත්වය දෙන සියලු දෙනාම. ක්ලීටස් මෙන්ඩිස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු මේ අය මං ඇසුරු කළ. රංගන ජීවිතයේ දුෂ්ටයන් වුණාට මේ අය සැබෑ ජීවිතයේ බොහෝ මනුස්සකම තිබෙන සුන්දර මිනිස්සු. හැබැයි ප්‍රේමවන්ත නළුවෝ සැබෑ ජීවිතයේ හරිම වෙනස්. ඔවුන්ගෙන් බොහෝ අය ඒ ජීවිතයේ දුෂ්ටයන්.

* ඔබේ කලා ජීවිතයේ චරිත කවුද?

ගාමිණී ෆොන්සේකා තමයි මගේ වීරයා. වොලී නානායක්කාර, සොමී රත්නායක, සේනාධීර රූපසිංහ, ඔස්වල්්ඩ් ජයසිංහ, අමරසිරි කලංසූරිය හා මෑත කාලයේ ජැක්සන් ඇන්තනි තමයි මගේ චරිත වන්නේ.

* පාසල් වියේ කොළඹ පරිසරයත් එක්ක හිටපු ඔබ මහනුවර පැමිණීම කලා කටයුතුවලට බාධවක් නොවේද?

පාසැල් අධ්‍යාපනයත් එක්කම අපි නුවරට එනවා. නුවර ඉඳලා තමයි කලා කටයුතුවලට කොළඹ ඇතුළු රට පුරා ගියේ. එදා කොළඹ යන්න රුපියල් දෙකයි ශත විසි පහයි වැය වුණේ. 76 දී මට පළමු චිත්‍රපටයෙන් රුපියල් 500 ක් ලැබෙන විට මේ සියල්ලටම මුදල් හොඳටම ඇති වුණා. නමුත් අද තත්ත්වය වෙනස්. මං නුවරට කැමතියි. නුවර පරිසරය හරිම සුන්දරයි. ඒත් එක පැත්තකින් අපේ කලා කටයුතුවලට යන එන ගමන්වලදී පොඩි පොඩි බාධා තිබෙනවා.

* එදයි අදයි කලාකරුවනට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ඔබ කොහොමද දකින්නේ?

අපි එදා චිත්‍රපටවල ටෙලි නාට්‍යවල රඟපාලා යන විට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. විශේෂයෙන් චිත්‍රපටවල චරිත ජනතාවට කාවැදිලයි තිබුණේ. නමුත් අද එහෙම නැහැ. මගේ ළමයි මං රඟපාන ඒවාවත් බලන්නේ නැහැ. ඒ අයත් ඉන්දියන් ටෙලි නාට්‍යවලට නතුවෙලා ඉන්නවා.

* සටන් නළුවකු ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින විට විවිධ අනතුරු සිදු වෙලා ඇති නේද?

සටන් නළුවෙකු වුවත් කවදාවත් මගේ පහරදීමකින් කාටවත් අනතුරක් සිදු වෙලා නෑ. නමුත් මට විවිධ පහරකෑම්වලට ලක්වෙන්න සිදු වෙලා තියෙනවා. සමහරුන් රංගනයක් කියන එක අමතක කරලයි කටයුතු කරන්නේ.

* ඔබේ රංගන ජීවිතයේ කැපිලි කෙටිලිවලට ලක්වෙලා නැද්ද?

අපෝ ඕනෑ කරම් තියෙනවා. මෑතකදී පවා එහෙම දේවල්වලට මුහුණ දුන්නා. ක්ෂේත්‍රයට අපි ගෙනාපු අයම තමයි අපිව වට්ටන්න හැදුවේ. වට්ටන්න හදන්නේ.

* ඔබේ පවුල් ජීවිතය ගැන විස්තර කොහොමද?

වසර පහළොවක් පමණ පෙම්වතුන් ලෙස ඉඳලයි අපි විවාහ වුණේ. බිරිඳ මාලනී. මට ඉන්නේ දුවලම තුන් දෙනයි. ලොකු දුව ඉමංගනා සයිප්‍රස්වල උපාධියක් හදාරනවා. ඇය සමඟ මගේ බිරිඳ එහි ඉන්නවා. සුමාලා රූසරනී, රෝෂනා ඕමන්තා අනෙක් දුවලා උසස් පෙළ හදාරා මේ වන විට ඒ අය විවිධ පාඨමාලාවලට යොමුව සිටිනවා.