වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




සැබෑ මවගේ ගුණය කොතනත් එකයි

සැබෑ මවගේ ගුණය කොතනත් එකයි

‘ධර්ම යුද්ධය’ - ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපට යුගලේ අම්මාවරුන් ලෙස රඟන

දිල්හානි ඒකනායක

ලෝකයේ බොහෝ නළු නිළියන්ගේ චරිතාංග රංගනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී තම ජීවිත අත්දැකීම් බොහෝ අවස්ථාවල තම රංග කාර්ය පිණිස යොදාගෙන ඇති බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. දිල්හානිගේ රංග කාර්යය තුළදී ද නොයෙක් විට මෙවන් අවස්ථා හමු විය හැකිය. ඇය ඉතාම කෙළිලොල් දඟකාර යුවතියකව සිටියදී මෙරට වාණිජ සිනමාව තුළ දඟකාර පෙම්වතියගේ චරිතය මොනවට නිරූපණය කළාය. ඈ විවාහ පත්ව දරුවෙකු ලබා බිරිඳක්, මවක් වූ පසු රිදී තිරයේ බිරිඳ, මව චරිත නිරූපණයට අවැසි අමුද්‍රව්‍ය ද ඒ ඇසුරෙන් ලබන්නට ඇත.

අපේ ජීවිත විවිධ කාල වකවානුවලදී විවිධාකාරයෙන් වෙනස් වෙනවා. බොහෝ වෙලාවට කාලයෙන් කාලයට අපි රුචි කරන දේවල් ද වෙනස් වෙනවා. ස්වභා දහමට අනුව කාලයත් සමඟ වියපත් වනවිටත් මේ වෙනස්කම් ඇති වෙනවා. මේ වෙනස අවබෝධකර ගෙන ජීවත්වෙන එක හිතන තරම් පහසු නෑ. බුදු දහමට අනුව අපි කාටත් තවමත් තිබෙන්නේ ක්ෂණිකව වෙනස් වන සිතුවිලි සමුදායක්. මේ මොහොතේ ඇතිවන සිතුවිල්ලට හාත්පසින් වෙනස් සිතුවිල්ලක් තව මොහොතකින් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි මිනිස් සිතේ ස්වභාවය. සිතුවිලි පාලනය කර ගැනීමට එක්තරා අයුරකින් හුදකලාව උදව් වෙනවා. බොහෝ බැඳීම්වලින් දුරස්ව නිරන්තර කලබලකාරී දිවියෙන් ඈත්වීම එක්තරා අන්දමක සැනසිලි දායකත්වයක් සිතට ඇති කරනවා. මේ හුදකලාව, සැනසිලිදායක බව පිළිබඳ වැඩි වැඩියෙන් කතා කරන්න හිතුණේ හුදකලාව ප්‍රිය කරන අපේ සිනමාවේ අපූරු නිළි චරිතයක් නිසා. ඈ දිල්හානි අශෝකමාලා ඒකනායක.

ඒ කාලේ අපි දිල්හානිව හැඳින් වූයේ ‘දේදුන්නෙන් ආ සමනළිය’ ලෙසට. ඇත්තටම එහෙම කියන්න හේතු වුණේ ඈ සිනමාවට එක්වෙන්නේ යසපාලිත නානායක්කාරගේ ‘දේදුන්නෙන් ආ සමනළියක්’ චිත්‍රපටයෙන් වීම නිසයි.

එකල වාණිජ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිණියක් වූ ඇය වර්තමානය වන විට කලාත්මක සිනමාව තුළ සිය සුවිශේෂ දක්ෂතා ඉස්මතු කොට හමාරයි. මේ දිනවල විශේෂයෙන් ඈ ගැන කතා කළ යුත්තේ ඇගේ රංගනයෙන් ඔපවත් වුණු සිනමා සිත්තම් දෙකක් ප්‍රදර්ශනය වෙන නිසාය. එකක් සිරස නිෂ්පාදනයක් ලෙසින් දොරට වැඩි ‘ධර්ම යුද්ධය’. අනෙක’ හීන හොයන සමනල්ලු’ය.

‘මේ දිනවල තිරගත වන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන් දිනාගත්ත චිත්‍රපටයක් කියලා මට හිතෙනවා. පාරේ තොටේ යනකොට ලැබෙන ප්‍රතිචාරයත් ඉහළයි. ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ මම රඟපාන්නේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙකුගේ චරිතය. මේ චිත්‍රපටය ඇතුළේ ඉන්න සියලු දෙනා මුහුණ දෙන ගැටලු අපේ සමාජය තුළත් නොඅඩුව තිබෙනවා. ඒ හින්දා ඒක මට ළඟ අත්දැකීමක්. මේ චිත්‍රපටය සම්පූර්ණ වශයෙන්ම දෙමළ චිත්‍රපටයක කොපියක්. නමුත් මට හිතෙනවා මේ තේමාව හැම රටකටම පොදුයි කියලා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක්. මුලින් මුලින් අපට තිබුණේ අපි අතර සන්නිවේදනය කර ගැනීමේ භාෂා ප්‍රශ්නය පමණයි. ටික කලක් යනකොට ඒකටත් හුරු වුණා. ඔහු නළු නිළියන්ට ඉතාම ඉහළින් ගරු කරන කෙනෙක්. කිසි නළුවෙක්, නිළියෙක්ව අපහසුතාවයකට පත් කළේ නෑ. අධ්‍යක්ෂණයේදී වුණත් ඔහුගෙන් මම ලොකු වෙනසක් දැක්කේ නෑ. කතා කරන ශබ්දය ටිකක් හඬ වැඩියි. එච්චරයි. මේ චිත්‍රපටය පවුලේ කතාන්දරයක් විදියට තමයි අපට ගන්න වෙන්නේ. මේ පවුල මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු පසුගිය කාලයේ ඕනෑ තරම් අපේ සමාජයේ පවුලුත් මුහුණ දුන්නා. ඒ චරිත අඩු වැඩි වශයෙන් අදටත් අපේ සමාජයේ ජීවත් වෙනවා.

‘ධර්ම යුද්ධයේ’ අම්මා ලෙසින් අපට හමුවෙන දිල්හානිම ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයෙත් ‘අම්මා’ විදියට අපට මුණ ගැහෙනවා. ‘අම්මා’ කියන චරිතය ලෝකේ කොතැනක කොහේදි හමු වුණත් ඒ තුළ කැටිවුණ ආදරණීයත්වයේ වෙනසක් වෙන්නේ නෑ. හීන හොයන සමනල්ලු නරඹන්නාට සමස්ත චිත්‍රපටය පුරාම දිවෙන අම්මාගේ සෙවණැල්ල දිල්හානි ඉතා ප්‍රබල ලෙස නිරූපණය කරන ආකාරය විශිෂ්ට ලෙස පිළිබිඹු වෙනවා.

‘මට හිතෙනවා මානවවාදී ගුණාංගය මේ චරිතය තුළින් ප්‍රබල ලෙස ඉස්මතු කරනවා කියලා. වර්තමාන සමාජය තුළ තමන්ගේ දරුවන්ට සුව පහසුව නිර්මාණය කරන්න අම්මලා නොකරන දෙයක් නෑ. හැබැයි හින හොයන සමනල්ලු චිත්‍රපටයේ අම්මාට තමන්ගේ දරුවා පමණක් නොවෙයි කාගේ දරුවත් දරුවා. තමන්ගේ දරුවා වෙනුවෙන් අනුන්ගේ දරුවෙකුගේ අයිතිවාසිකම් උදුරා නොගත් අම්මා කෙනෙක්. මේ අම්මා මගේ ජීවිතේට සමීපයි. අපේ ගෙදර අයත් මේ චිත්‍රපටය බලලා මට මේ චරිතය ගැන කියත්දී ගෙදර ඉන්න කෙනාම තමයි චිත්‍රපටයෙත් ඉන්නේ කිව්වා. ඇත්තටම ඈ තුළින් මම ‘මම’ දකිනවා. ඒ චිත්‍රපටයේ ඉන්න අම්මා ‘මම’ කියලා තමයි මට හිතෙන්නේ.

ලෝකේ බොහෝ නළු නිළියන්ගේ චරිතාංග රංගනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී තම ජීවිත අත්දැකීම් බොහෝ අවස්ථාවල තම රංග කාර්ය පිණිස යොදාගෙන ඇති බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. දිල්හානිගේ රංග කාර්යය තුළදී ද නොයෙක් විට මෙවන් අවස්ථා හමු විය හැකිය. ඇය ඉතාම කෙළිලොල් දඟකාර යුවතියකව සිටියදී මෙරට වාණිජ සිනමාව තුළ දඟකාර පෙම්වතියගේ චරිතය මොනවට නිරූපණය කළා. ඈ විවාහ පත්ව දරුවෙකු ලබා බිරිඳක්, මවක් වූ පසු රිදී තිරයේ බිරිඳ, මව චරිත නිරූපණයට අවැසි අමුද්‍රව්‍ය ද ඒ ඇසුරෙන් ලබන්නට ඇති.

‘ඇත්තටම මට හිතෙනවා සිනමාවේ මෑත භාගයේ මම නිරූපණය කළ චරිත ඉස්සර මට ලැබුණ නම් ඔය විදියට කරන්න බැරි වෙයි. ඒක ලැබෙන්නේ කාලයත් එක්ක. අත්දැකීම් ලබමින් ගමන් කරපු දීර්ඝ ගමනින් කියලයි මට හිතෙන්නේ. මම වියපත් වෙන්න වෙන්න මට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය වැඩියි. දැන් මට හිතෙනවා මගේ හොඳම රංගනයන් ටික දකින්න ලැබෙන්නේ ඉස්සරහට ද කියලා. හැබැයි ඉතින් මගේ ජීවිතේ එහෙම සුවිශේෂී බලාපොරොත්තු නෑ. මේ දුරත් ආවේ එහෙමයි. දැන් මගේ ජීවිත කාලෙන් සෑහෙන ප්‍රමාණයක් ගෙවිලා. ඉස්සරහටත් ජීවිතේ ඒ විදියටම තීන්දු වෙයි.

දිල්හානි සිනමාව වෙනුවෙන් තම ජීවිතයේ බොහෝ කාලයක් කැප කළ තැනැත්තියක්. එහෙත් ඈ ඒ අතරතුරම ඇගේ පෞද්ගලික ජීවිතයේ විවිධ අවස්ථාවන්වල ළඟා කර ගත යුතු බොහෝ දේ නිසි කලට ළඟා කර ගන්නටත්, ආදරණීය බිරිඳක් මෙන්ම දයාබර මවක් ලෙසින් ද සිය පවුලේ උදවියට ඉටු විය යුතු යුතුකම් කොටස ද ඈ හැම විටම නොපිරිහෙලා ඉටු කළා. ඇගේ එකම පුතු අද නව යොවුන් විය පසු කරමින් ්සිටින තරුණයෙක්. මවක් විදියට සිය පුතුට යහමඟ කියා දෙන්නට, අධ්‍යාපනය ලබා දෙන්නට ඇතුළු සියලු යුතුකම් ඈ නොපිරිහෙලා ඉටු කළා.

‘පුතා දැන් තරුණ වයසට එළඹිලා. මට තියෙන්නේ තව යුතුකම් කිහිපයයි එයා වෙනුවෙන් ඉටු කරන්න. එතකොට එයා ස්වාධීන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ජීවිතේ හුඟාක් දේවල් මම බදාගෙන නෑ. බොහෝ දේවල්වලින් දුරස් වෙන්න, අතහරින්නයි ඕනෑ. දැන් මම වැඩියෙන් ප්‍රිය කරන්නේ නිහඬ හුදකලා දිවියකට. මගේ පුතා මටත් වඩා වැඩියෙන් ජීවිත අවබෝධය ඇති කෙනෙක්. එයා මටත් වඩා අඩුවෙන් තමයි බැඳීම් ඇති කරගෙන තිබෙන්නේ. අල්ලගෙන නෑ ඕනෑවට වඩා. හැබැයි එයා ඉතාම හොඳින් සිනමාව රස විඳිනවා. එයා හොඳ චිත්‍රපට රසිකයෙක්. ලෝක සිනමාවේ ඉතාම හොඳ නිර්මාණ නරඹන කෙනෙක්. එයාගෙන් සිනමාව පැත්තෙන් මට ගන්න තියෙන දේ වැඩියි. හුඟාක් වෙලාවට එයා තමයි මට කියන්නේ අම්මා මේ චිත්‍රපටය නරඹන්න කියලා. මම හොඳ නිර්මාණයකට දායක වුණොත් එයා ඒ ගැනත් ප්‍රතිචාර දක්වනවා. හරිම පිළිවෙළයි. ඒ වගේම නීතිගරුකයි. මම දැන් අම්මගේ ඩියුටි එක බාර අරන් සෑහෙන දුරක් ඇවිත්. තව පොඩ්ඩයි මට කරන්න තියෙන්නේ. ඔහු වැඩිහිටියෙක් නිසා මම ඔහුගේ ජීවිතේට ඇඟිලි ගහනවා අඩුයි. අපි එයාට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පදනම දාලා දුන්නා. ඉතුරු ටික එයා බලා ගනියි.’

දිල්හානි මෙරට සිනමාවට පැමිණෙන විට කර්මාන්තයක් සහ කලාවක් ලෙසින් මෙරට සිනමාව අදට වඩා සාරවත්ය. තාක්ෂණය අතින් පහළින් තිබුණ ද අදට වඩා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවල චිත්‍රපට නැරඹුවේය. කලාව තුළ කර්මාන්තය තුළ දිල්හානිලා සිනමා තරු වශයෙන් දිගු ගමනක නිරත වූයේ ඒ ප්‍රේක්ෂක ජනාදරය මැද. ඔවුන් චිත්‍රපට නැරඹු නිසාවෙනි. එහෙත් අද තාක්ෂණය කෙතරම් දියුණු වුව ද, කෙතරම් විශිෂ්ට සිනමාපට බිහි වුව ද සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් එක් රොක් නොවීමේ සාපයට අප මුහුණ දී ඇත. දිගු සිනමා ඉතිහාසයකට හිමිකම් කියන අපේ සිනමාවට අද උදා වී ඇති තත්ත්වය පිළිබඳ අතිශයින්ම කනගාටුවට පත්වේ.

‘තරගකාරී ලෝකය තුළ අපේ සිනමාව අද අවගමනයට ලක් වෙලා. අපේ රටේ කොයි තරම් ඊඍ චැනල් තියෙනවාද, කොයි තරම් ජ්ර් නාළිකා තියෙනවාද. මම හැමදාම කිව්වේ මේ දේවල් මේ තරම් අපේ රටට වැඩියි කියලයි. අද වෙනකොට සිනමාව තුළත් විවිධ විෂමතා. කොටින්ම කිව්වොත් මේ කලාව විනාශ වෙලා තියෙන්නේ. වර්තමානයේ මට හිතිලා තියෙන්නේ මෙතැනින් අයින් වෙලා හුදකලා වෙන්න. අද වෙන දේවල් මට ගැළපෙන්නේත් නෑ. ඒ අයගේ දේවල්වලට මාව ගැළපෙන්නෙත් නෑ.