වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

තිරයේ නරක මිනිහෙක් වුවත් පියදාස හොඳ මිනිහෙක්

“වනමෝහිනි” චිත්‍රපටය බලන විට මට වයස අවුරුදු 12 ක් පමණ ඇත. චිත්‍රපටයේ පූසාරි ලෙස රඟ පෑ නළුවාට මා තුළ එදා බියක් ඇති විය. මම අම්මාගේ ඇඟට තුරුලු වුණෙමි. එදා ගාමිණී සිනමා හල සම්පූර්ණයෙන්ම පිරී තිබූ බව මට මතකය.

“මහාදේවි.... මහාදේවි, මහාදේවිගේ ආශිර්වාදය ලබන්න එන්න දරුවා” මේ පූසාරිය නිතර කී වදනක් මට අදත් සිහිපත් කරගත හැකිය.

පූසාරියට රඟ පෑ නළුවා වූ පියදාස ගුණසේකර දිනක් අප නිවසට පැමිණියේ මගේ පියා හමුවීමටය. එදා ගාමිණී සිනමාහලේ දී පූසාරි දැක, බිය වූ මට ඔහු දැක ගැනීමට පවා බියක්, කුතුහලයක්, ඇති විය.

“මෙයා, පියදාස අයියා වනමෝහිනී එකේ දැකලා හොඳටම බය වුණා.” අම්මා ඔහුට කීවාය.

“මේ එන්න පුතා, අපි බයිස්කෝපිවල ඇට් කළා. ඇත්ත ජීවිතයේ නපුරු නැහැ.” ඔහු මා ළඟ කැඳවා කීවේය.

“පුතා දන්නවනේ තාත්තාව හම්බවෙන්න එන විල්ප්‍රඩ් මාමා. ඒ මාමාගේ මල්ලි තමයි මේ.” එවර කතා කළේ තාත්තාය.

විල්ප්‍රඩ් ගුණසේකර යනු පියදාස මාමාගේ සහෝදරයකි. ඔහු පියදාස මාමාටත් වඩා තාත්තාගේ ගජ මිතුරාය. තාත්තා නාට්‍ය නිෂ්පාදනය කරන කාලේ (1940 දී පමණ) සිට විල්ප්‍රඩ් මාමා යාළුවෙක් ලු. කුඩා කල මාලිගාකන්ද රජයේ පාසලේ ගුරු නිවාසේ ලොකු අම්මලා සමඟ සිටි අවදියේ පියදාස මාමා සිටියේ ඊට කිට්ටුව කැටවලමුල්ලේ නිවසක බව වැඩිහිටියෝ කියනු අසා ඇත්තෙමි.

පියදාස ගුණසේකරයන් “හඳපාන” චිත්‍රපටයේ පොඩි රාළහාමි ලෙස රඟපානු දුටු මට ඔහු චිත්‍රපටයේ හොඳම නළුවා යයි සිතුවෙමි. සිනමාව ගැන ඇල්මක්, උමතුවෙන් සිටි මම ආනන්දයේ ඉගෙන ගන්නා සමයේ පාසල් ශිෂ්‍යයන් සමඟ එක් වී වෘත්තාන්ත චිත්‍රපටයක් හැදීමට පෙරුම් පුරමින් සිටියේය. මෙය කිසිදා සිදු වන්නක් දැයි වැඩිහිටියෝ ද පාසල් මිතුරන් ද, ගුරුවරුන් ද සිතූහ. රන්ජිත් ලාල් නම් ධනවත්, එහෙත් සිනමාව ගැන පොත පත කියවා, හොඳ විදේශ චිත්‍රපට නරඹා තිබූ මිතුරාගේ නායකත්වයේ් අපි “නිම්වළල්ල” චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කළෙමු. ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. මම කලා අධ්‍යක්ෂක වීමි.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ජිනේ පාසල් ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළ කම්කරුවෙකි. බීමට ඇබ්බැහි වූ ඔහු තුළ මනුෂ්‍ය ගතිගුණ තිබුණි. එහෙත් ඔහු අයුක්තිය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.

“ජිනේගේ තාත්තට ගන්නේ කවුදැයි” දිනක් “නිම්වළල්ල” පිටපත කියවමින් සිටි මිතුරු පිරිස අතරේ සිටි චිත්‍රපටයේ තිර නාටකය ලියූ සුනිල් මාධව පේ‍්‍රමතිලක ඇසීය.

“මේ චරිතය නිකම්ම සුදු කළු ච්ත්‍රපටයක් නෙවෙයි. මානව දයාව තියෙන චරිතයක්.” අධ්‍යක්ෂ රන්ජිත් ලාල් ද කීය.

“ඔය චරිතයට හොඳ පියදාස ගුණසේකර.” මට කියවිණි.

“හරියටම හරි. එයා තමයි හොඳ.” සුනිල් මාධව මගේ කීම ස්ථිර කරමින් කීවේය.

“මම එයාව දන්නවා. තාත්තගේ යාළුවෙක්. අපේ ගෙදරත් එනවා.” මම කීවේමි.

“හරි..... එහෙනං වෙලාවක අපි මිනිහව හම්බෙන්න යමු. අපෙන් ලොකු ගණනක් ඉල්ලයි ද? එයා දැන් විශිෂ්ට චරිතාංග නළුවෙක්.” රන්ජිත් ලාල් ඇසීය.

“අපි කියලා බලමු. මේක සුළු චරිතයක්නෙ. අපිට අද වුණත් යන්න පුළුවන්. ඉන්නේ මේ ළඟ ආනන්දේ පිටිපස්ස පාරේ කැටවලමුල්ලේ. මම ගෙදරත් දන්නවා.” මම කීවෙමි.

“අදම යමු.”

එදා පාසල ඇරුණ පසු රන්ජිත් ලාල්, නම්මුනි සොයිසා, ආනන්ද නිලවීර හා මම ද කැටවලමුල්ලේ පියදාස මාමා ගේ නිවසට ගියෙමු. ඔහු චිත්‍රපටයක රූ ගැන්වීමක් සඳහා සූදානම් වන බව බිරිඳ පැවසුවාය. නිෂ්පාදන අංශයේ වාහනයක් ඔහුගේ නිවස පිහිටි උස් බිමෙහි නවතා තිබුණි. මේ පාර කෙළවර වන්නේ ඔහුගේ නිවසෙනි.

“ආ පුතා.... කියමින් පියදාස මාමා ආලින්දයට පැමිණියේය.

මම මගේ පන්ති සගයන් හඳුනා දුනිමි.

“පියදාස මාමා, මේ මගේ ආනන්දයේ යාළුවෝ. අපි චිත්‍රපටයක් කරනවා. පොඩි චරිතයක් තියෙනවා මාමාට කරන්න. අපිට එච්චර සල්ලි නං නැහැ.” මම කතාව පටන් ගිතිමි.

“ඩෝන්ට් වොරි පුතා. මම එනවා රඟපානන්න. මමත් ආනන්දේ ආදි ශිෂ්‍යයෙක්. මගෙත් යුතුකමක් තියෙනවා ඉස්කෝලේ වෙනුවෙනුත්, පුතාගේ තාත්තගේ යාළුවෙක් විදිහට සත පහක් අරගන්නේ නැතිව රඟපාන්න.” පියදාස මාමා අපිට ප්‍රතිඥාවක් දුන්නේය. ඔහු එය අකුරටම ඉටු කළේය.

පියදාස ගුණසේකරයන් 1967 දී පමණ “බිනරමලී” චිත්‍රපටයේ රඟපාමින් සිටින අතර අපේ ගෙදර නිතර ආව ගියේ මගේ මාමා වූ ඒ චිත්‍රපටයේ කලා අධක්ෂ ගුණරත්න රත්නායක හමුවීමටය. වරක් මාමා සමඟ දඹුල්ලේ රෑ ගත කළ බිනරමලී චිත්‍රපටයේ දර්ශන නැරඹීමට මමත් ගියෙමි.

එදා තිබුණේ එහි වෙඩික්කාරයා, ලෙස රඟ පෑ පියදාස මාමා තුවක්කුවකුත් ඇතිව ගල්තලාවක රඟ පෑ දර්ශන කිහිපයකි. විවේකී අවස්ථාවල පියදාස මාමා මා සමඟ කතා කරමින් තාත්තාගේ සැප දුක් විමසා සිටියේය.

1970 දශකයේ ගුවන් විදුලියේ “ළමා මණ්ඩපයේදී” මට පියදාස ගුණසේකරයන් ගේ දියණියක වූ ලංකාරාජිනි ගුණසේකර නංගී හඳුනාගන්නට ලැබුණි. එකල රාජනී සුනෙන් ගෝකුලගේ “සංගීත සන්ධ්‍යාවේ” දක්ෂ ළමා ගායිකාවකි. ඇය ගැයූ ගීත අතර “මාළු කූරියෝ”, “සෙංකඩගල පාර”, “බල්ලා පිදුරු කන්නෙත් නෑ”. ගීත කැපී පෙණුනා. එවකට ඇය ඉගෙනීම ලැබුවේ මිලාගිරියේ ශාන්ත පාවුළු විද්‍යාලයේය. ඇය මගේ අනාගත බිරිඳ වූ දමයන්ති ජයසූරිය හා ළමා ගීත ගැයූ අයුරු ළමා මණ්ඩපයේ වැඩිහිටි අයියා කෙනෙකු හැටියට සිටියදී මම දැක ඇත්තෙමි.

“හාර ලක්සේ” චිත්‍රපටයේ සෙනෙවිරත්න ගේ චරිතය වඩාත් කැමති බව පියදාස ගුණසේකරයන් “සරසවිය” පත්‍රය (1971 - 11- 26) සඳහා කළ සාකච්ඡාවක දී කියා සිටියේය.

“මේ චිත්‍රපටයේ මා එල්ලා මරණ අවස්ථාවට මොහොතකට පෙර ස්වාමින් වහන්සේ කෙනෙක් පන්සිල් දෙන අවස්ථාවේ මුහුණෙන් ඉරියව් ප්‍රකාශ කරන අවස්ථාව මගේ හොඳම රඟපෑම බව කිව යුතුයි. මේ චිත්‍රපටයේ දී අධක්ෂ ටයිටස් තොටවත්ත මගේ රඟපෑම් සූරා ගත්තා කිව්වොත් නිවැරැදියි.”

තමා වැඩියෙන්ම ගුටි කෑවේ ගාමිණී ෆොන්සේකාගෙන් බව ඔහු කියා සිටියේය.

“මම චිත්‍රපටවල සටන් කරපු වාර අනන්තයි. වැඩියෙන්ම සටන් කරල තියෙන්නේ ගාමිණී සමඟ වැඩියෙන්ම ගුටි කෑවේ ගාමිණීගෙන්. “දෙහදක දුක” චිත්‍රපටයේ ගාමිණී එක්ක කරන දරුණු සටන් දර්ශනයක මම ඔහුගෙන් ගුටි කාලා මට හොඳටම අමාරු වුණා. පහර කාලා මට හුස්ම ගන්න බැරිව මිනිත්තු 2 ක් විතර හිටියා. පස්සේ ගාමිණී මගේ පපුව අතගෑවා. අධ්‍යක්ෂ රොබින් තම්පෝ මට බ්‍රැන්ඩ් වීදුරුවවක් දුන්නා විතරයි මට සනීප වුණා. “පාර වළලු” චිත්‍රපටයේ සටන් දර්ශනයකදී මම ඇත්තටම ගාමිණීට පහර දුන්නා. එය මම හිතා මතා කළ එකක් නොවෙයි. ස්වභාවික සටන් දර්ශනයක් කරන විට ඇත්තටම පහර වදිනවා. එදා ඒ දර්ශනය නිමා වූ පසු ගාමිණී මට විහිළු කරන්න පටන් ගත්තා.

“මට ගහපු පාරවල් හොඳටම රිදුණා. කවදා හරි මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරල, හොඳ පයිට් එකක් දාලා පියදාසවත් අරන්, හොඳටම ගහනවා.”

1915 වසරේ කොළඹ මාලිගාකන්දේ උපත ලැබූ හිල්ලලියනගේ දොන් පියදාස ගුණසේකර, කැම්බල් පෙදෙසේ ඉන්ඩස්ට්‍රියල් විද්‍යාලයේත්, කොළඹ ආනන්ද විද්‍යාලයේත් ඉගෙනුම ලැබීය. ඔහු ට්‍රාන්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සංචාරක ඒජන්තවරයකු ලෙස කටයුතු කොට දෙවන ලෝක සංග්‍රාම සමයේ හමුදාවට බැඳී විදේශ ගත වී ඇත. ඔහු කලාවට පිවිසී ඇත්තේ වේදිකා නාට්‍යවලිනි. සිරිසේන විමලවීරගේ, රොඩිකෙල්ල, සමුද්‍රදේවි නාට්‍යවල රඟ පෑ ඔහු සිනමාවට පිවිස ඇත්තේ 1952 වසරේ “සිරිසඟබෝ” චිත්‍රපටයෙනි. 1955 තිරගත වූ “සැඩසුළං” චිත්‍රපටයේ ඔහු රඟ පෑ ඇක්මන් අයියාගේ චරිතය තුළින් අලුත් නළුවකු උපන්නා යයි විචාරකයන් කීහ. ඔහු රඟ පෑ චිත්‍රපට අතුරින් “හඳපානේ” පොඩි රාළහාමිගේ චරිතය කැපී පෙණින. දරු දුක, සාරවිට, මහ රෑ හමු වූ ස්ත්‍රිය, ළසඳ රොමියෝ ජුලියට් කතාවක්, වීදුරු ගෙවල්, බඩුත් එක්ක හොරු, සිකුරුලියා, ඔහු රඟ පෑ වඩාත් ප්‍රකට චරිතය. The Three Yellow cats,The Green Emeralds ඉංගී‍්‍රසි චිත්‍රපට ද ඔහු රඟ පෑවේය. “බිනරමලී” චිත්‍රපටයේ වෙඩික්කාරයා ලෙස ඔහු කාර්මික ශිල්පියකු ලෙස ආතර් රෑන්ක්, එම්.ජී.එම්. යන චිත්‍රපට සමාගම් නිෂ්පාදනය කළ Purple plain, Elephant walk, Star of colombo, Laughing Anne චිත්‍රපටවල සහාය වී ඇත. ඒ චිත්‍රපටවල සුළු චරිත ද ඔහු රඟ පෑවේය.

එදා ඔහු තිරයේ රඟ පැ මනමාල හිනාව, කාමුක බැල්ම, උකුසු ඇස, රෞද්‍ර මුහුණ කිසිදා අමතක නොවන සංකේතය. තිරයේ නරක මිනිහෙකු වුවත් පියදාස හොඳ මිනිසෙකි. දරුවන්ට, බිරිඳට ආදරය කළ හොඳ පියෙකි, සැමියෙකි. මේ අපූරු චරිතාංග නළුවා 1980 අපේ‍්‍රල් 05 වෙනිදා අප අතරින් වියෝ විය.