|
ජෝති ගී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නට ලැබීම සංගීත දිවියේ මා ලද භාග්‍යයක්- ජීවන් හඳුන්නෙත්ති
මෙරට සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පි එච්. ආර්. ජෝතිපාලයන්ගේ තිස් වන ගුණානුස්මරණය නිමිත්තෙන් 'ජෝති ගී ප්‍රසංගය' පසුගිය ජුලි 7 වන දින සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණා. මේ එහි සංගීත අධ්‍යක්ෂ ජීවන් හඳුන්නෙත්ති අප සමඟ එක් වූ පිළිසඳරයි. * ජීවන් හඳුන්නෙත්ති අපට හමුවන්නේ නළුවෙක් සහ ගායකයෙන් විලසින්. ඔබ එක්වරම සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ කොහොමද? ඒක අහඹුවක් නොවෙයි. කලාවට මම යොමුවුණේ කුඩා කල සිටමයි. මගේ ගම දකුණු පළාතේ බලපිටිය ප්‍රදේශයේ. මගේ පියා ගුණසේන ද සොයිසා. ඒ ප්‍රදේ්ශයේ සංගීතඥයෙක්. පියාගේ ඇසුරේ මම කුඩා කාලයේ සිටම සංගීතයෙන් පෝෂණය ලැබුවා. ඒ ආභාසය තුළ පාසල් අවධියේ ගායන හා වාදන අංශවලින් ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. මේ අතරතුර ගමේ පැදුරු සාජ්ජවලදී ද මගේ ගායන හා වාදන දායකත්වය ලබා දී තිබෙනවා. * ගමේ හිටි ඔබ කොළඹට පැමිණෙන්නේ මේ කලා කටයුතු හේතුවෙන්. ඒ ගැන යමක් කිව්වොත්? ඔව්, සංගීතයට, ගායනයට මෙන්ම රංගනයට මා තුළ තිබුණේ ඉතා දැඩි කැමැත්තක්. වැඩිදුර ඒ පිළිබඳ හදාරන්න, තවත් අත්දැකිම් ලබන්න තිබුණ අවශ්‍යතාව මත මම කොළඹට පැමිණියා. * ඔබ විෂයක් විදියට සංගීතය ප්‍රගුණ කළාද? කොළඹට පැමිණීමත් සමඟම මට බොහෝ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ ඇසුර ලැබුණා. ඔවුන්ගෙන් ලද දැනුම මෙන්ම අත්දැකීම් ද මා වඩාත් පෝෂණය කළා යැයි මම විශ්වාස කරනවා. ඒ අතරතුර සුබසිරි කළුපහන සහ ෂෙල්ටන් ප්‍රේමරත්න යන ගුරුවරුන් යටතේ මා සංගීතය හැදෑරුවා. * අනතුරුව ඔබ සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ කොහොමද? මා මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළේ කුමාරි දසනායකගේ 'කුමරි කිංකිනි රාවය' නම් ඒක පුද්ගල ප්‍රසංගයෙන්. අනතුරුව 'සුනිලවිල' නමින් මගේම ගී තනු නිර්මාණලින් ප්‍රසංගයක් පැවැත්වූවා. ඒ සියලුම ගී ගායන කළේ ප්‍රවීණ ගායන ශිල්පීන්, ශිල්පිනියන් විසින්. * ඒ කියන්නේ ඔබ ප්‍රවීණ ශිල්පීන් රැසකට ගී නිර්මාණය කර තිබෙනවා? ඔව්. ඒ අතුරින් නෙලූ අධිකාරී, ඇන්ටන් ජූඩ්, සෝමසිරි මැදගෙදර, කුමාරි දසනායක යන ප්‍රවීණ ශිල්පීන්, ශිල්පිනියන් හට මෙන්ම ආධුනික ශිල්පීන් රැසකට මා සංගීත නිර්මාණ දායකත්වය ලබා දී තිබෙනවා. * ඔබේම ගීත මෙතෙක් නිර්මාණය කර නැද්ද? 'මුතු වැස්සක්' 'සරා සඳ' යන ගීත ද්විත්වය මගේම නිර්මාණ, ඊට අමතරව මින් වසර අටකට පමණ ඉහතදී මගේම සංගීත කණ්ඩායම යොදා ගනිමින් 'රණමොනරු' නමින් කැලිප්සෝ ආරට ගී සංයුක්ත තැටියක් නිර්මාණය කළා. ඉහළ ප්‍රතිචාර ලබමින් එය සාර්ථක වුණා. * ජනප්‍රිය රැල්ලේ නිර්මාණකරණයට අදහසක් නැද්ද? නෑ. පුද්ගලිකව මම ජනප්‍රිය රැල්ලට කැමති නෑ. නව පරපුර දක්ෂයි. හැකියාවන්ගෙන්, තාක්ෂණයෙන් අඩුවක් නෑ. නමුත් ඒ තුළ මට දැනෙන්නේ මහා ඒකාකාරී බවක්. නිර්මාණවලදී විවධත්වයක් තිබිය යුතුයි යන්න මගේ පුද්ගලික අදහසයි. * සිනමා සංගීතයට යොමු වුණේ නැද්ද? මගේම සිනමා නිර්මාණයක ඒ සඳහා දායක වෙනවා. නොබෝ දිනකින් එය එළිදකීවි. * මේ අන්දමින් සංගීතයට නැඹුරු වෙද්දී ඔබ තුළ සිටි රංගන ශිල්පියා අමතක වෙනවා නේද? කොහෙත්ම නෑ. මම කලාවට ලැදි මිනිහෙක්. ගීතයක්, සිතුවමක්, රංගනයක් යනාදී ඕනෑම නිර්මාණයක් අපක්ෂපාතීව රසවිඳීමේ හැකියාව මට තියෙනවා. ඒ තුළ මගේ තිබෙන කිසිදු හැකියාවක් යටපත් වෙන්නට මම ඉඩහරින්නේ නෑ. * ඔබ වේදිකා රංගන ශිල්පියෙක්? මම වේදිකා රංගනයට පිවිසෙන්නේ මහින්ද පතිරගේ අධ්‍යක්ෂණය කළ 'කෝරළේ මහත්තයා' සහ 'කලියුග කෝලම්' යන නාට්‍යවලින්. අනතුරුව ආනන්ද අතුකෝරලගේ 'මනාලියා' නාට්‍යය සඳහා ද රංගනයෙන් එක් වුණා. ඉන් පසුව 'මට පුරුෂයෙක් ඕනෑ' යන මගේම නිර්මාණය වේදිකාවට ගෙන ඒමට මට හැකි වුණා. * ඊට අමතරව ඔබ ටෙලි නිර්මාණ සහ චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී සිටිනවා? ඔව්. බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ 'චරිත දෙකක්' නිමල් චන්ද්‍රසිරිගේ 'වාඩිය' යන ටෙලි නිර්මාණවලත්, පසුගිය දිනවල තිරගත වූ 'දිය යට ගින්දර', 'රක්කෙවිට', 'වන්ෂොට්', 'වැඩ බැරි ටාසන්' සහ 'අලි සුරතල්' යන චිත්‍රපටවලත් මම රඟපෑවා. * ඔබේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන්නේ කොයි වගේ රුකුලක් ද? මගේ බිරිඳ නිරෝෂනී හඳුන්නෙත්ති නර්තන ගුරු උපදේශිකාවක්. පුතා ශනිඳු. කලාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අවබෝධය ඉතා ඉහළයි. ඔවුන් මට ලබාදෙන්නේ වචනයෙන් කිව නොහැකි සහයෝගයක්. * ඔබ ජෝතිපාලයන්ගේ තිස්වන ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය කළ 'ජෝති ගී ප්‍රසංගය' සඳහා සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණේ කොහොමද? මම කුඩා කල සිට දක්ෂතාවය මත ඉදිරියට පැමිණි කෙනෙක්. ඒ සඳහා අනේකවිධ කැපවීම් කළා. එහිදී මා වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් නියම ආකාරයෙන්, ඉතාම පැහැදිලිව මට හැකි උපරිම අයුරින් ඉටු කළා. ඒ අනුව පසුගිය වසරේදී මා 'විජය අනුස්මරණ ගී ප්‍රසංගය' සඳහා සංගීත අධ්‍යක්ෂණය කළා. එහිදී ද ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් 20 දෙනෙකු ගී ගැයුවා. එදා එහි පැමිණ සිටි ජෝතිපාලයන්ගේ දියණියන් සිය පියා වෙනුවෙන් ද ප්‍රසංගයක සංගීත අධ්‍යක්ෂණය සඳහා මා හට ආරාධනා කළා. ඒ අනුවයි මෙහි සංගීත අධ්‍යක්ෂණය මා වෙත පැවරුණේ. ඇත්තටම මෙය මා ලද භාග්‍යයක් කියලයි මට හැඟෙන්නේ. * කවුද මෙය සංවිධානය කළේ? පද්මසිරි කොඩිකාර මහත්මා.
|