වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




උයනකට එරෙහිව සටන් වැදි The Nut Job 2

උයනකට එරෙහිව සටන් වැදි The Nut Job 2

The Nut Job 2: Nutty by Nature  අධ්‍යක්ෂණය වී ඇත්තේ කැනෙඩියානු ජාතික කාල් බෘන්කර් විසිනි. විල් ආනට් ශර්ලි ලෙසින්ද, මායා රුඩොල්ෆ් ෆ්‍රෙසස් ලෙසින්ද, කැතරින් හෙග්ල් ඇන්ඩි ලෙසින්ද හඬ දායකත්වය ලබා දෙන මෙහි ඔවුන්ගේ මිතුරු මී කණ්ඩායමේ නායකත්වය දරන මිස්ටර් ෆෙන්ග් හට හඬ කවන්නේ ජැකී චෑන් විසිනි.

පරිගණක සජීවකරණ චිත්‍රපට රිදී තිරයේ මවනා සුන්දර කතා බොහොමයකි. ඒ විවිධාකාර කතා අතරේ ශර්ලිගේ කතාවද සුවිශේෂි එකකි. ශර්ලි යනු නගරයේ පිහිටි උද්‍යානයක තම පිරිස සමඟින් වෙසෙන දම් පැහැති දඬුලේනෙකි. කුහුඹුවන් වැසි කාලයේදී ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් ආහාර රැස් කරන්නා සේම මෙම දඬු ලේනුන්ද සීත කාලයේදී ආහාරයට ගැනීම වෙනුවෙන් විවිධ කජු වර්ග රැස්කර තබා ගන්නට පුරුදු වී සිටියි.

ශර්ලි ඇතුළු දඬුලේන් පිරිස ද එසේ සීත කාලයේදී ප්‍රයෝජනය පිණිස කජු එක් රැස් කරමින් සිටියි. එක් අවස්ථාවකදී ශර්ලිගේ අතපසුවීමකින් මෙලෙස රැස් කළ කජු එකතුව විනාශයට පත් වේ. මේ නිසා කිපුණු දඬුලේන් කණ්ඩායම විසින් ශර්ලි පිටුවහල් කරයි. තම කණ්ඩායමෙන් පිටමංව යන ශර්ලිහට බඩී නම් මී මිතුරෙකු හමු වේ. ශර්ලි සහ බඩීහට විවිධ කජු වර්ග රැසක ගබඩාවක් හමුවන අතර ඔවුන් තවත් පිරිසක් එකතුකර ගනිමින් මෙම කජු ගබඩාවේ ඇති කජු සොරකම් කිරීමේ සැලසුමක් දියත් කරයි.

මේ අතරතුර ඒ අසළම ඇති බැංකුවක් මංකොල්ල කෑමට පිරිසක් සූදානම් වේ. බැංකු සොරකම නවතා තම කජු සොරකම සාර්ථක කරගැනීමට ශර්ලි ඇතුළු පිරිස කටයුතු කරයි. මෙම වික්‍රමාන්විත අත්දැකීම රිදී තිරයේ දිග හැරුණේ මීට තෙවසරකට පෙරදීය. 2014 වසර ආරම්භය සමඟින් දිග හැරුණු The Nut Job ලොවපුරා සාර්ථක අයුරින් තිරගත කෙරුණි. කැනේඩියානු ජාතික පරිගණක සජිවකරණ නිර්මාණ ශිල්පියකු, තිරරචකයකු වන පීටර් ලෙපෙනියෝටිස් විසින් අධ්‍යක්ෂණය කෙරිණි. අමෙරිකානු ඩොලර් මිලියන 42.8ක වියදමකින් තැණුනු එය අමෙරිකානු ඩොලර් මිලියන 120.9ක ආදායමක් උපයාගන්නට සමත් විය. IMDB දර්ශකයේ 5.8/10ක් වාර්තා කළ එයට විචාරක පැසසුම් නම් ලැබුණේ නැත.

හෙට (අගෝස්තු 11) සිට ශර්ලිගේ දිවියේ තවත් පරිච්ඡේදයක් දිගහැරෙන්ට නියමිතව ඇත. දැන් ශර්ලිහට මිතුරු සමාජයක් ඇත. ශර්ලි, ඇන්ඩි සහ ෆ්‍රෙසස් ඇතුළු මිතුරන්ට දැන ගන්න ලැබෙන්නේ කනගාටුදායක පුවතකි. නගරාධිපති විසින් නගරයේ විනෝද උයනක් නිර්මාණය කරන්නට යන බවත් ඒ හේතුවෙන් ශර්ලි, ඇන්ඩි සහ ෆ්‍රෙසස් ඇතුළු කණ්ඩායමේ නිවෙස් ද විනාශයට පත්වන බව එයින් කියවේ. මේ තිදෙනා සහ නගරයේ වෙසෙන අනෙකුත් මිතුරන්ද එකතුව මෙම වැඩපිළිවෙල නවත්වන්නට යන ගමනේදී නගරාධිපති, ඔහුගේ දියණිය සහ සතුන් පාලනය කරන්නා වූ දරුණු නිලධාරියකු සමඟින් ගැටෙන්නට සිදු වේ. එය The Nut Job 2: Nutty by Nature නමින් හෙට සිට ලොවපුරා සිනමාහල් රැසකදී තිරගත කිරීම ඇරඹේ.

The Nut Job 2: Nutty by Nature අධ්‍යක්ෂණය වී ඇත්තේ කැනෙඩියානු ජාතික කාල් බෘන්කර් විසිනි. විල් ආනට් ශර්ලි ලෙසින්ද, මායා රුඩොල්ෆ් ෆ්‍රෙසස් ලෙසින්ද, කැතරින් හෙග්ල් ඇන්ඩි ලෙසින්ද හඬ දායකත්වය ලබා දෙන මෙහි ඔවුන්ගේ මිතුරු මී කණ්ඩායමේ නායකත්වය දරන මිස්ටර් ෆෙන්ග් හට හඬ කවන්නේ ජැකී චෑන් විසිනි. The Nut Job 2: Nutty by Nature ඕපන් රෝඩ්ස් ෆිල්ම්ස්, ටූන්බොක්ස් එන්ටර්ටේන්මන්ට්, ගල්ෆ්ස්ට්‍රීම් පික්චර්ස් සහ රෙඩ් රෝවර් ඉන්ටර්නැෂනල් නිෂ්පාදනයකි.