|
එදා වෛද්‍යවරයකු වුණා නම් මටත් සයිටම් එපා කියන්න තිබුණාදයාවංශ ජයකොඩි
ඇත්තෙන්ම. ලොව කිසිම ලේඛකයෙක් ප්‍රකාශකයකු ගැන මෙවැනි ප්‍රකාශයක් කරලා නැතුව ඇති. මම ලේඛකයන්ට හොඳීන් සලකන ප්‍රකාශකයෙක්. මේ දක්වා මා සමඟින් කටයුතු කිසිම ලේඛකයෙක් හිත් අමනාපයෙන් ගිහින් නැහැ. කුමාර කරුණාරත්න, ජයසේන ජයකොඩි, ආර්. ආර් සමරකෝන් වැනි ජ්‍යෙෂ්ඨ ලේඛකයන් තම මුල් කෘති පළ කළෙත් දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් වීම මට ලොකු ගෞරවයක්.
‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි'. පොත් කියවීමට ප්‍රිය නොකරන්නෙක් වේ නම් ඒ කලාතුරකිනි. එසේම පොත් ප්‍රකාශනය යනු රටක අධ්‍යාපනය, සමාජ සංවර්ධනය, ආර්ථිකය, සංස්කෘතිය කෙරෙහි සෘජුවම බලපෑම් කළ හැකි අංශයක් ද වන බව කිව යුතුය. පොත් ප්‍රකාශනය ගැන කතාබහේදී අපේ රටේද නම් දැරූ පොත් ප්‍රකාශන ආයතන බොහොමයකි. දයාවංශ ජයකොඩි සහ සමාගම ද ඒ අතරේ විශේෂ වේ. අද එහි තවත් සුවිශේෂි කාරණයක් ඇත. එනම් එම සමාගමට මෙම අගෝස්තු 29 වැනිදාට වසර පනස් පහක් සපිරීමයි. එපමණක් නොව දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම පොත් ප්‍රකාශකයා වන්නේ ද එහි අධිපති දයාවංශ ජයකොඩි වීම ද තවත් විශේෂත්වයකි. ව්‍යාපාරිකයකු ලෙසින් වුවද කලාවට සුවිශාල මෙහෙවරක් ඉටු කරන කලාවට ළෙංගතු වූවකු ලෙසින් සරසවිය අද ඔහු හමු වු වගයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී 1962 වසරේ දයාවංශ ජයකොඩි විසින් තම මිත්‍ර නිමල් ආරිවංශ පෙරේරාගේ සාහිත්‍ය සංග්‍රහය කෘතිය පළ කරමින් ප්‍රකාශකයකු වූයේ 'හෙළබිම' ප්‍රකාශන ලෙසිනි. නිමල් සේදරගේ 'කටු අග පිපි මල්', බී. එච් ලෙස්ලි සිරිසේනගේ 'කෝ අම්මේ තාත්තා', ප්‍රේමදාස ගමගේ ගේ 'පළගැටියෝ', කීර්ති බාලසූරියගේ 'රතු කඳුළු' කෘති එම නාමයෙන් පළ කෙරුණු අතර පසුව 1965 වසරේදී 'හෙළබිම' ප්‍රකාශන ආයතනය 'දයාවංශ සහ ජයකොඩි සමාගම' ලෙසින් නම් ප්‍රසිද්ධ කළ අතර පී. එම් ජයතිලකගේ 'ගිනි දැල්' කෘතිය එම නාමය යටතේ කළ ප්‍රථම ප්‍රකාශනය විය. අද වන විට මෙරට ප්‍රමුඛ පෙළේ පොත් ප්‍රකාශකයකු ලෙසින් පැමිණි ගමනට මූලික අඩිතාලම වැටුණේ කෙසේද? මම කොළඹ, ආනන්ද විද්‍යාලයේ සිසුවකුව සිටිය දී අපේ පන්තිය භාරව හිටියේ කමලා රාජපක්ෂ ගුරුතුමිය යි. අපිට සිංහල ඉගැන්නුවේත් එතුමිය යි. වෙසක් සැරසිල්ලක් ගැන රචනාවක් ලියන්න කියලා එතුමිය අපට පැවරුමක් දුන්නා. මම විසින් කළ අභ්‍යාසය එතුමිය අගය කළා පමණක් නොවෙයි අනෙකුත් පංතිවලටත් මා කැඳවාගෙන ගොස් ඒ රචනාව අනෙකුත් ළමයින්ටත් ඇසෙන්න කියවන්න සැළැස්වූවා. පුංචි මට ඒ අවස්ථාව ඇත්තටම ලොකු දෙයක් වුණා. ඒ කාලයේ ආනන්දයේ 'සිංහල දරුවා' නම් සඟරාවක් පළ කෙරුණා. මගේ රචනාව එහිත් පළවුණා. දයාවංශ ජයකොඩි කියන නම මුලින්ම පත්තරයක පළ වුණේ එදා. එදා පටන් මට ලියන්න ආසාවක් ඇති වුණා. ඒ වෙන විටත් විවිධ ළමා පත්තර වගේම වැඩිහිටි පත්තරවල ළමයින්ට වෙන් වුණු පිටු තිබුණා. ඒවාට මොන තරම් ලිව්වත් කවදාවත් ඒවා පළ කෙරුණේ නැහැ. ඒ නිසා දවසක් මම ම පත්තරයක් ගහලා මගේ ලිපි පළ කරන්න හිතුවා. 1956 වසරේදී 'සිසුමිණ' නමින් පත්තරයක් පළ කෙරුණේ ඒ විදියට තමයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව 1961 වසරේදී 'හෙළබිම' නමින් ළමා පත්තරයක් පටන් ගත්තා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. පිටපත් දහදාහක්, විසිදාහක් විතර විකිනුණා. එදා හෙළබිමේ ළමා ලේඛක ලේඛිකාවන් වුණේ, ප්‍රේමකීර්ති ද අල්විස්, ඒ. ඩී රංජිත් කුමාර, නිව්ටන් ගුණසේකර, සිරි කහවල, චන්ද්‍රලතා සේනානායක වැනි අය යි. උසස් පෙළ පංතියට යනවිට හෙළබිම පත්තර විකුණලා ලද ආදායමෙන් මම ඔස්ටින් ඒ30 වර්ගයේ කාර් එකකතුත් මිලදී ගත්තා. වරෙක ආචාර්ය කේ. ජී කරුණාතිලක සූරින් දයාවංශ ජයකොඩි නම් ප්‍රකාශකයා ගැන කළේ මෙවැනි අදහසකි. "මගේ ප්‍රකාශක මෙන්ම ප්‍රාණ සම මිත්‍රයා ද වන දයාවංශ ජයකොඩි මහතා ගැනද මෙහිදි යමත් සඳහන් කළ යුතු වෙයි. . . . සැබැවින්ම දයාවංශ ජයකොඩි මහතා මා සමීපයෙන් සිටුවන ලද ටැඹකි. ලිවීමෙන් හෙම්බත් වී කායික, මානසික පීඩාවට පත් වන මම බොහෝ විට ඒ ටැඹ වෙත ගොස් එයට හේත්තු වී විඩා දුරුකර ගතිමි. ජීවන අරගලයෙන් තෙහෙට්ටුවට පත්වන මම ඒ ටැඹ වෙත ගොස් වාඩි වී තෙහෙට්ටුව නිවා ගතිමි. ආර්ථික ආපදාවලින් කරදරයට පත්වන අවස්ථාවලදී ටැඹෙහි සෙවණෙහි වැතිරී සුවය ලබමි. එම නිසා දයාවංශ ජයකොඩි මහතා අලංකාරික කියමන අනුව ද ව්‍යංගාර්ථය හා වාච්‍යාර්ථය අනුවද මාගේ ලේඛන කාර්යයන්හිදි මට උපස්තම්භක වෙයි. . . " කේ. ජී කරුණාතිලක සූරින්ගේ කියමන අනුව ඔබ සහ ලේඛකයන් අතර ගනුදෙනුවත් ඉතාම වටිනා එකක් යැයි හිතෙනවා? ඇත්තෙන්ම. ලොව කිසිම ලේඛකයෙක් ප්‍රකාශකයකු ගැන මෙවැනි ප්‍රකාශයක් කරලා නැතුව ඇති. මම ලේඛකයන්ට හොඳීන් සලකන ප්‍රකාශකයෙක්. මේ දක්වා මා සමඟින් කටයුතු කිසිම ලේඛකයෙක් හිත් අමනාපයෙන් ගිහින් නැහැ. කුමාර කරුණාරත්න, ජයසේන ජයකොඩි, ආර්. ආර් සමරකෝන් වැනි ජ්‍යෙෂ්ඨ ලේඛකයන් තම මුල් කෘති පළ කළෙත් දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් වීම මට ලොකු ගෞරවයක්. දවසක් සෝමවීර සේනානායක මහත්තයා එතුමාගේ අලුත්ම නවකතාවේ අත්පිටපත අරගෙන ආවා. ඒ දවස්වල අපි පළ කළ නවකතා හැම එකක්ම ආදර කියන වචනය එක්ක තමයි නම් වුණේ. ආදර රත්නය, ආදර සුවඳ, ආදර මල් වගේ. ඉතිං මම එතුමාට යෝජනා කළා මේ පොතටත් ආදර වචනයෙන් නමක් දාමු කියලා. එතුමා මට හිත යටින් හිනා වුණාද මන්දා. ඒ වුණත් "හා . . . හොඳයි. එහෙනම්, 'ආදරයට බය මිනිස්සු' කියලා මේ පොත ගහන්න" කියලා එදා සේනානායක මහත්තයා කිව්වා. ඒ පොත හොඳට අලෙවි වුණා. පසුව එතුමාගේ සේරම පොත් පළ කළේ මම. ගෙවුණ වසර පනස් පහ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් ලොකු සතුටක් හිතට දැනෙනවා. ඒක වචනයෙන් විස්තර කරන්න අපහසු තරම්. මම ඉගෙන ගත්තේ වෛද්‍ය අංශයෙන්. එදා මම වෛද්‍යවරයෙක් වුණා නම්, අද මමත් සයිටම් එපා කිය කිය කෑගහමින් ඉන්න තිබුණා. මොන විදියකින් හරි මම පොත් ප්‍රකාශකයෙන් වුණා. මේ දක්වා මෙරට විශිෂ්ට ලේඛකයන් රැසකගේ කෘති පළ කරන්න මට අවස්ථාව ලැබුණා. නමුත් කේ. ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා වැනි ලේඛකයන් කිහිප දෙනෙකුගේ කෘති පළ කරන්න නොලැබීම ගැන නම් පොඩි දුකක් තියෙනවා. මේ සාර්ථකත්වයේ රහස මොකක්ද? උත්සාහය යි නොපසුබට වීර්යය තමයි ප්‍රධාන හේතුව. මේ කටයුත්ත පුරාවට අදරණීය බිරිය දමයන්ති ජයකොඩි ගෙන් ලද සහයෝගයක් ගොඩක් විශේෂයි. ඔබ ආයතනයේ කෘති පළ කිරීමේදි එහි ප්‍රමිතිය ගැනත් විශේෂයෙන් සැළකිලිමත් වෙනවා ඇති? මුලින්ම අපි ඒ පොත් කියවා බලනවා. හොඳ පොතක් එළිදැක්වූවාම ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම තවත් දෙයක් කිව යුතුමයි. අසභ්‍ය දේ තියෙන කිසිම පොතක් මම මුද්‍රණය කරන්නේ නැහැ. මගේ බිරිය මටත් වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ සොයා බලනවා. අපේ දරුවෙකුට කියවන්න බැරි දෙයක් තවත් දරුවෙකුට කියවන්න අපි දෙන්නේ නැහැ. ගෞරවය කියන දේ මම මහ ඉහළින්ම අගය කරන දෙයක්. මම නිරතුරුවම ලේඛකයාට සේම පාඨකයාටත් ගෞරව කරනවා. ඔබේ විනෝදාංශයත් පොත් කියවීම විය යුතුයි? විශේෂයෙන්ම ලේඛකයෙක් පොතක් ප්‍රකාශ කරන්න ගෙනවිත් දුන්නොත් අනිවාර්යයෙන්ම මම ඒ පොත කියවනවා. දවසකට එක පොතක් හරි අනිවාර්යයෙන්ම කියවනවා. පොත් වර්ග කියලා නම් විශේෂයක් නැහැ. මම ඩීමන් ආනන්දගේ පොත්වලටත් කැමැතියි. පොත් කියවීම විතරක් නෙවෙයි. මම පණ්ඩිත් අමරදේවයන්ගේ, විශාරද නන්දා මාලිනියගේ ගීත අහන්න කැමැතියි වගේම ආත්මා ලියනගේ ගේ සිංදුත් අහන්න ආසයි. ටෙලි නාට්‍යයත් හැම එකක්ම වගේ බලනවා. වේදිකා නාට්‍ය බලන්නත් ආසයි. බෞද්ධ කෘති ප්‍රකාශනය තුළ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ විශේෂත්වයක් තියෙනවා නේද? අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල හිමියන්ගේ 'පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්' සහ මගේ බිරිය දමයන්ති විසින් රචිත 'අපේ පුදු හාමුදුරුවෝ' බෞද්ධ කෘතියෙන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශය ආරම්භ කළා. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, මීගොඩ පඤ්ඤාලෝක හිමි, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි වැනි හිමිවරුන් ඇතුළුව ස්වාමීන්වහන්සේලා රැසකගේ මෙන්ම ගිහි සැදැහැවතුන් විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ පළ කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක්. අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල හිමි විසින් රචිත 'පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්' කෘතියේ කතෘ භාගය හදිසි ආපදා හේතුවෙන් විපතට පත් වූවන් වෙන්වෙන් යොදවන්න යැයි උන්වහන්සේ කළ ඉල්ලීම සමඟින් ඒ කෘතියෙන් මට ලැබෙන ආදායමද යොදවා මේ වන විට විවිධ පළාත්වල නිවාස දහයක් පමණ තනා අසරණ පවුල් වෙත පරිත්‍යාග කරන්න ලැබීම ගැන තියෙන්නේ විශාල තෘප්තියක්. බෞද්ධ පතපොතෙන් ලැබෙන මුදල් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වැය කිරීම මගේ අරමුණයි. දඹදිව බුද්ධගයාවේ මහාබෝධි මන්දිරයේ අලුතින් ඉදිකරන ලද දර්ශනීය බුදුමැදුරේ පිවිසුම් දොරටුව - වාහල්කඩ තැනීමට ලද අවස්ථාව මගේ ජීවිතයේ ලද සුවිශාල භාග්‍යයක්. එදා ආනන්දයේ දී ඇති වුණු ලීවීමේ ආසාවට මොකද වුණේ? මම එක පොතයි ලිව්වේ. 'සිංහලේ ජාතික සටන'. ලියන්න තියෙන ආසාව නැති වෙලා නැහැ. දිවංගත ආර්. ප්‍රේමදාස ජනපතිතුමා කිට්ටුවෙන් ඇසුරු කරන්න අවස්ථාව මට ලැබුණා. කවියට, කලාවට ලැදි වූ එතුමා සිය නිර්මාණ පළ කළෙත් අපේ සමාගමයෙන්. එතුමාගේ චරිතය අලළා කෘතියක් රචනා කරන්න සූදානම් වෙනවා.
|