වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




කිරණ සේ හිරුගේ හද සිනා වෙනවා ඔබ සිනා සෙනවා

කිරණ සේ හිරුගේ හද සිනා වෙනවා ඔබ සිනා සෙනවා

ක්ලැරන්ස් විජේවර්ධනගේ බිරිය ශීලා දිගු කලකට පසුව සරසවිය සමඟ කතාබහක්...

ඉහළ මාලයේ කොරිඩෝ සිටි මගේ නෙතට දිස් වූයේ ඈතින‍් දිදුලන නිමක් නොමැති සාගරයයි. ඈත සිට තරගයට වෙරළ සිප ගැනීමට පැමිණෙන දිය රැළි නංවන සුදු පෙණ පිඬුවල ශ්වේත වර්ණය නළඟනක සැරැසී සිටින නීල පැහැති දිගු සායේ වාටියට අල්ලා ඇති බීරළු රේන්දයක් වැන්න. ඒ රැළි එකින් එක වෙරළ සිප ගැනීමට පිවිසෙද්දී රඟ දෙන්නේ නළඟන රඟන විට ඇඳී සාය සරසා ඇති රැළි එකික් එක තාලයට නටන ආකාරයට මෙන් යැයි මට සිතුණේ ඉබේටම ය. එක්වර ම පිවිසෙන සැඩ සුළං රැල්ලක් ගත සිප ගත්තේ හිරුරැස් නිසා යවටක් මෙන් රත් ව අපට පරිසරයට සිසිලක් ලබාදීමේ අපේක්ෂා වෙනි. එපමණක් පමණක් නොව එහි අරුත වූයේ කාලයකට පසුව ඔවුන්ගේ සැප දුක් සොයන්නට පැමිණි සිතැත්තියගේ උවන දකින්නට රිසිව ය. මෙලෙස මා ද පෙර මඟ බලා සිටියේ වසර හතකට පමණ පෙර නුගේගොඩ - ඇඹුල්දෙණියේදී අහම්බයෙන් හමු වූ ඇගේ උවන දකිනු නොඉවසිල්ලෙනි.

එක්වර ම මා අසල තිබූ තාප්පයේ ලැඟුම් ගත්තේ කහ කුරුල්ලෙකි. මා දුටුවන ම කලබල වූ ඌ පියඹා ගියේ කහ පැහැති සුන්දර පිහාටුවක් මට ත්‍යාගයක් ලෙස පිරිනමමිනි. සුළං රැල්ලට පියඹා යන්නට තතනන ඒ සුන්දර පිහාටුව මට එවන ලද හසුනක් යැයි සිතා ඇහිද ගත් විගසම මගේ සිතට පිවිසියේ ඒ අපූරු ගීතයේ පද පෙළයි.

“ගමෙන් ලියුමක් ඇවිල්ලා

අක්කාගෙන් වාගේ

මොකක් කියලාද දන්නෑ

එහෙ ගියෙත් නෑනේ...”

කණ්ඩායම් සංගීතයේ අභිෂේක ලද ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ඒ ගීතය මම කිහිපවරක් ම මිමිනුවෙමි. එසැණින් ම කොරිඩෝව ආරම්භයෙන් ම මතුවූයේ ඇගේ රුවයි. බිරිය ශීලා විජේවර්ධනයන්ගේ රුවයි. සුපුරුදු ලෙස ඈ මුවඟ රඟදෙන ආඩම්බර කාර මඳ සිනහව අඩු නැතිව එලෙස ම පවතින අයුරු මම නිරීක්ෂණය කළෙමි.

“ඉතිං කාලයකට පස්සේ”

ඈ විමසුවේ දිගු කාලයකට පසුව හමු වීමෙන් ලද ප්‍රීති ප්‍රමෝදයෙනි.

“වෙනදාට වඩා නම් ටිකක් විතර මහත් වෙලා. එච්චරම තමයි වෙනස.”

මම ද ඇගේ කතාව හා එක් වීමි.

“කවදද ලංකාවට ආවේ?”

පෙරළා මා විමසුවේ ඔවුන් ශ්‍රී ලංකාවට පිවිසෙන්නට සිටියේ ඊට දින කිහිපයකට පෙර බැවිනි.

“ඊයේ රාත්‍රියේ. ගමන් මහන්සියට ආව ගමන් ම අපි දෙන්නා නිදා ගත්තා. ඊට පස්සේ අපට තිබුණු සංග්‍රහවලට සහභාගි වුණා. මේ වෙලාවේ නම් ටිකක් විතර විවේකයි.”

වෙහෙසකර ගමනේ විඩා තවම ඇගේ උවනේ රැඳී ඇතිවා වැනි ය. මා විමසිලිමත් වූයේ ඈ සමඟ පැමිණි අනෙක් තැනැත්තිය පැමිණේ ද යන්නට ය.

“ දුව තව ටිකකින් ඒවි.”

ශීලා විජේවර්ධන පැවසුවේ මගේ සිත හැඳීන ගත් අයුරෙනි. ඕස්ට්‍රේලියාවේ සිට හදිසියේ ම ඔවුන් පැමිණියේ සිය සැමියා වෙනුවෙන් වසර විස්සකට පමණ පසුව මේ මස 21 වැනිදා නෙළුම් පොකුණ පරිශ්‍රයේ සිදු වන උපහාර ප්‍රසංගයට හා ‘Unforgettable Melodies of Clarence’ නම් දැවැන්ත සංගීත ප්‍රසංගයට සහභාගි වීමේ අරමුණෙනි. ‘Best life International’ ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් හා ‘V-Care’ ජාත්‍යන්තර පදනමේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මේ කටයුත්ත උත්සවාකාරයෙන් සිදු වීමට නියමිත ව ඇත.

අපි දෙදෙනා ම ඈත පෙනෙන සයුර වෙත දෙනෙත රැඳ වීමු. ඉන් අප අතර ඇති වූයේ නිශ්ශබ්දතාවකි. ඒ නිශ්ශබ්දතාව වචන දහසකින් පවසන්නට බැරි දේ පවසන්නේ ය යන හැඟීමක් මසිතට ඉපදුණි.

එකල ශීලා විජේවර්ධනගේ නවාතැන වූයේ රත්නපුර බටු ගෙදරයි. ආරච්චි කෙනෙකු වූ මුදලි හාමිගේ දියණිය වූ ඈ සොහොයුරන් දෙදෙනෙකු හා සොහොයුරියන් තිදෙනෙකුගේ යත් කැදැල්ලක බඩ පිස්සිය වූවා ය. බොහෝ කෙළිදෙලෙන් ජීවිතය ගෙවූ ශීලාගේ ජීවිතය වෙනස් මඟකට අවතීර්ණ කරන කාලය එළෙඹෙමින් තිබිණි. ඒ කාලය එළෙඹුණේ ශීලාගේ වත්ත පහළ පිහිටි නිවෙසේ පදිංචියට පැමිණි පවුලේ සිටි තරුණයකු නිසා ය. බොකුටු හිසකේ රැගත් කේඩෑරි තරුණයාගේ නිතර මුවඟ රැව් දුන්නේ ගීතයක පද පෙළකි. හදිසියේම ඔහුගේ නෙත ගැටුණේ අසල නිවසේ වුන් සුන්දර යුවතියයි. දුටුවද කිසිවෙකුත් මායිම් නොකරන ආඩම්බරකාර යුවතිය කවුරුන්දැයි දැන හඳුනා ගැනීමට ඔහුට තිබුණේ කුතුහලයකි. දින කිහිපයක සිට ඔහු ඈ සමඟ කතා කිරීමට වලි කෑවේ ය.

ඇගේ නිවසට පැමිණි හැඩකාර තරුණයා තමා දෙස විමසිල්ලෙන් බලන බව වටහා ගන්නට ශීලාට වැඩි කාලයක් ගියේ නැත. ඈ සිටියේ ඔහුගේ ක්‍රියාව නොදුටු විලසිනි.

දිනක් ගත විය. දෙකක් ගත විය. මේ ආඩම්බරකාර යුවතිය තමාව තඹ සතයකටවත් මායිම් නොකරන බව දැන ගත් ක්ලැරන්ස් නම් තරුණයා ඔහුගේ සිතේ වූ අදහස සුන්දර ලෙස හසුනකට නැගුවේ ය. ලද ඉඩ හසරක ඔහු ඒ හසුන ඈ අත තැබුවේ මහත් බලාපොරොත්තු රැසක් සිය සිතේ නළියද්දී ය. එහෙත් ඒ ආඩම්බරකාර තරුණිය පෙරළා ක්ලැරන්ස් අත හසුන තැබුවේ ඔහු දෙසවත් නොබලමිණි.

ක්ලැරන්ස්ගේ සිතේ හට ගත්තේ ලැජ්ජාවකි. ඒ ලැජ්ජාව කොතරම් වීද යත් අඩියට දෙකට සිය නිවසට පැමිණි ඔහු සිය අත ඇති හසුනට ගිනි තැබුවේ දෙවරක් නොසිතාමය. එය ද තරුණියට පෙනෙන්නට ය. කාලය ගතව ගියේ ඉබි ගමනිනි.

“ඒ වනවිටත් ඔබගේ සි‍ත මේ හිතුවක්කාර තරුණයාගේ රුව සොරාගෙන ද තිබුණේ?”

“මෙහෙම කාලයක් ගියාට පස්සෙයි අප දෙදෙනා පෙම්වතුන් බවට පත් වූණේ. කිසි කෙනෙකුට නොදැනෙන්න අපේ ආදරය ගලාගෙන ගියා. ඒත් ඒ ගැන ඉවෙන් වගේ අපේ ගෙදර හිටිය ආයාඅම්මට දැනිලයි තිබුණේ. ඒ මොකද මම නිතරම වගේ ක්ලැරන්ස් එක්ක කතා බහ කරන එක ආයාඅම්මට ඇල්ලුවේ නැහැ. ඒ නිසා ම ඈ මා ගැන නිතර සැලකිලිමත් වුණා. ඒ විතරක් නෙමෙයි මේ ගැන අපේ තාත්තගේ කනේ තියන්නත් ඈ පසුබට වුණේ නෑ. ඒ විදියට අපේ ආදරේ ගැන තාත්තාත් දැන ගත්තා.”

ශීලා විජේවර්ධන වසර ගණනකට පෙර ඒ අතීතය යළිත් සිහිපත් කළේ අප දෙදෙනා අතර තිබූ නිශ්ශබ්දතාවට බාධා පමුණුවමිනි. ඒ අතීතය සිහිපත් වීම නිසා ඇගේ උවනේ රැඳුණු මන්දස්මිතය යළි යළිත් ඇයව අතීතයට රැගෙන ගියා ය.

“මංගෝ කළු නැන්දේ

මොකදෑ මේ පැත්තේ

සැන්දෑ යාමෙ බලා

ගෙදරින් පැන ගත්තේ.. ”

ක්ලැරන්ස්ගේ කවි සිත අවදි විය. ඔහු ශීලාගේ හා තමාගේ ආදර අන්දරයට හරස් වුණු ආයාඅම්මාට ගී පද ලීවා ය. එය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ දිනයේ ශීලාගේ නිවෙසේ එක ම කලබලයකි. ඒ ආයාඅම්මාගේ නම ක්ලැරන්ස්ට පවසා ඇත්තේ ශීලා යැයි කියමින් ඇය ශීලාගේ අප්පච්චීට ගතු කීවා ය. ශීලාගේත් ක්ලැරන්ස්ගේත් ආදරයට දොරගුළු වැටිණි. ශීලාට කිව නොහැකි වූ බොහෝ දේ ඔහු පැවසුවේ ගීතයෙනි. එකල ඔහුගේ ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය වන කළ එය වසා දමන්නට මංගෝ ආයාඅම්මා උත්සුක වූයේ ශීලාට බණිමින් ය. කෙසේ නමුදු ඔවුන් දෙදෙනාගේ ආදරයට හරස් වන්නට කිසිවකුටත් නොහැකි විය. කලකට පසුව ඔවුන් කැදැල්ලකට එක්තැන් වූයේ පවුලේ සියල්ලන්ගේ ම ආශීර්වාද මැද ය.

“ඔබ දෙපළ කොළොම්පුරවරයේ නවාතැන් ගන්නේ ඉන්පසුව ද?”

“මුල් කාලයේ අපි ගෙව්වේ බොහොම දුක්ඛිත ජීවිතයක්. ඒත් ක්ලැරන්ස්ට සංගීත කටයුතු ලැබෙනවාත් සමඟ ම ටිකෙන් ටික අපට ඔළුව උස්සන්න පුළුවන් වුණා. ඔහුට චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව හිමි වුණා. බොහෝ අයට ගීත ලිව්වා. තනු දැම්මා. ඒ වගේ ම පිළිවෙලින් ඔහු ආරම්භ කළ මූන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම් අතරින් අවසානයට තිබුණේ සුපර් ගෝල්ඩ් චයිම්ස් සංගීත කණ්ඩායමයි. ඒ සංගීත කණ්ඩායමට අපේ රටේ බොහෝ අය ආදරය කළා. කාලයක් ගියාට පස්සේ සුපර් ගෝල්ඩ් චයිම්ස් සංගීත කණ්ඩායමටත් විසිර යන්නට සිදු වුණා. ක්ලැරන්ස් තමන්ගෙ ම කියන නිර්මාණ ජීවිතයකට මුල පිරුවේ ඉන් පසුවයි.”

ක්ලැරන්ස් චිත්‍රපටයකට හා හා පුරා කියා සංගීතය අධ්‍යක්ෂණය කළේ එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘සිකුරුලියා’ චිත්‍රපටයට ය. ධර්මසිරි ගමගේ ගේය පද ලියූ මිල්ටන් පෙරේරා ගැයූ ‘බොළඳ ලියා සිකුරු ලියා ....’ ගීතයත්, ‘වසන්තයේ මල් කැකුළක්’ ගීතයත් ජනතාවගේ හදවත වැලඳ ගත්තේ නොසිතූ අයරෙනි. වර්තමාන පරපුරේද අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘අපේක්ෂා’, ‘සසරක පැතුම්’, ‘හලෝ ශ්‍යාමා’, ‘චතු මධුර’ ආදී චිත්‍රපට රැසක ම දිස් වූයේ ඔහුගේ සංගීත හැකියාවේ මං සලකුණු ය.

“ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ

ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ

මංජු... මංජු.....”

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ජනක සහ මංජු චිත්‍රපටයේ බෙහෙවින් ජනප්‍රිය ගීතය ගයන්නට ක්ලැරන්ස්ට අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ දක්ෂතා පිළිබද ප්‍රේමසිරි කේමදාසයන්ට මනා වැටහීමක් තිබූ බැවිනි.

“ක්ලැරන්ස් ටෙලි නාට්‍ය සංගීතයට පිවිසෙන්නේ කුමන නිර්මාණ ඔස්සේ ද?”

“චිත්‍රපටවලට අමතරව ක්ලැරන්ස් ‘සුසීමා’, ‘නිදිකුම්බා මල්’ ටෙලි නාට්‍යවලත් සංගීත අධ්‍යක්ෂවරයා බවටත් පත්වෙනවා. සුසීමා ටෙලි නාට්‍යයේ ජැක්සන් ඇන්තනී ගයන ‘දේවතාවුන් සිතන දේවල්’ ගීතය රචනා කළේත් ඔහුමයි. ‘සුවඳක් දැනේවි ආදර ලෝකේ...’ කියන ගීතය ඔහු ගායනා කළේ ගී ලොවේ රැජන ලතාවල්පොල සමඟයි. ඔහු ප්‍රවීණ අයට වගේ ම නවක ගායන ශිල්පීන්ටත් ගීත නිර්මාණය කළ බව මට මතකයි. ‘රටකින් එහා...’, ‘ඈත රන්විමන්...’ ප්‍රියා සූරියසේනටත් ‘දුවේ රෝෂිණී...’, ‘සදළු තලේ ඔබ...’ මිල්ටන් මල්ලවාරච්චිටත්, ‘කල්පනී දුවනී...’, ‘කඳුළින් තෙමිලා....’ ඉන්ද්‍රාණි පෙරේරාටත් නිර්මාණය කළේ ඔහුයි.”

මේ අතර එදා වඩාත් කාගේත් සිත් ගත් එක්තරා විශේෂිත ගීතයක් මිල්ටන් අතට පත්වූයේ නොසිතූවිරූ ලෙසිනි.

“තනි වී සිටින්නයි මා අදහස කළේ

ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ

පහදා කියූවත් නෑ සවන යොමු කළේ

වේදනා පිරී ලොවක් බිහි කළේ...”

ඒ පද පේළි කියැවූ ඔහු ගීතයේ අවසන් පද දෙක ගැයීම ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් අවසානයේ ගීතය ගැයිනි. හදවතට සමීපතම එක් රැයකින් ජනප්‍රියත්වයේ කිරුළ හිමිකර ගත් මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ඒ ගීතයේ උපත සිදු වූයේ එලෙසිනි.

“ක්ලැරන්ස් නිර්මාණකරණයේ යෙදුණේ සිය නිවෙසේ ම ද?”

“ඔහු නිර්මාණකරණයේ යෙදෙන විට මම පුළුවන් තරම් නිවෙස නිශ්ශබ්දතාවේ ගිල්වල තියන්නට නිතර ම වල බලා ගන්නවා. ඒ වගේ ම නිර්මාණ කටයුතුවලදි නිවෙසේ තිබුණු ගැරේජ් එකේ පුටුවක් හා මේසයක් තබාගෙනයි ඔහු ඒ කටයුතුවල නිරත වුණේ. සෑම අවස්ථාවකදි ම ඔහුට සියල්ල ම ළඟට සැපයිය යුතුයි. සමහර අවස්ථාවලදි නිර්මාණ කටයුතුවල යෙදෙන විට ඔහු කෑම කන්නත් බොහොම කම්මැලියි. ඒ නිසා බොහෝ වෙලාවට මා ඔහුට කෑම කැව්වා. ඔහුගේ වැඩ හරියට පොඩි ළමයකු වගේ. සත්තුන්ට බොහොම ආදරය කළා. විශේෂයෙන් ම බල්ලන් කිහිපදෙනෙකු ම නිවෙසේ හදන්නෙත් ඒ නිසාමයි. දුවටත් දැක්වූයේ අසීමිත ආදරයක්. මොන දේකදි වුණත් ඒ දෙන්නා සෑමවිට ම ගත්තේ එක් පැත්තක්.”

දියණිය ගැන සිහිපත් කළා පමණි. අමිලා විජේවර්ධන අප අසලට ළං වූවා ය.

“දූ මා වගේ නේද නෑ අම්මා වාගෙයි

දඟකාර දූ කාගෙදෝ

දූ මාගේ දෝ

අම්මාගේ දූ නොවේදෝ

කළු පාට දූ කාගෙදෝ”

ක්ලැරන්ස් විජේවර්ධනයන් ගයන්නේ ඈට ය. ඒ තරටමට ම දියණියත්, තාත්තාත් අතර වූ බැඳීම සොඳුරු ය.

“තාත්තාගේ මතකය සිහිපත් කළොත් ඒ අඩුව ගොඩක් දැනෙනවා ද?”

“තාත්තාත් සමඟ ගත කළ ඒ කාලය නැවතත් කිසිම දිනෙක මගේ ජීවිතයට නම් එන්නේ නැහැ. ඒ අතීතය ගැන මතක් වනවිටත් සිතේ ඇති වන දුක මොනතරම් ද කියලා නිම කරන්නට බැහැ.”

අගේ දෙනෙතේ කඳුළු පොකුරක් නළියනු පෙනෙයි. ඊට එහා කිසිදු වදනක් මම ඇගෙන් නොවිමසීමි. ශීලා විජේවර්ධනයන් දෙසට මා නෙත් යොමු කළේ පාඨක ඔබ මේ ලිපිය කියවීමට පෙර පැවැත්වෙන ප්‍රසංගය පිළිබඳ යමක් අසන්නට ය.

“කුමන ආකාරයෙන් ද ‘Unforgettable Melodies of Clarence’ ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත්තේ?”

“මේ කටයුත්ත කරන්නේ ‘V-Care’ජාත්‍යන්තර පදනමේ සභාපති රනේශ් වර්නන් සහ Best life ආයතනයේ ප්‍රධානී උපාලි දමින්ද මහත්වරුන්ගේ එකතුවෙන්. ඔවුන් මෙවැනි කර්තව්‍යයකට මුල පුරන්නේ ක්ලැරන්ස්ට බොහොම ආදරයෙන්. ඔහුගේ ගීත වර්තමාන පරපුර ගැයුවත් ඒ ගීතයේ රචකයා, සංගීතඥයා, ගායකයා කවුද කියා ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට ක්ලැරන්ස් පිළිබඳ හඳුන්වාදීමේ අදහස ඇතිවත්, ජීවත්ව සිටිද්දී ඔහුට කළ නොහැකි වූ උපහාරයකින් පිදීමත් අදහස් කරගෙනයි මෙවැනි කටයුත්තත් මේ ආයතන සංවිධානය කරන්නේ. මේ ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ ‘රිදම් ඔෆ් ක්ලැරන්ස්’ සංගීත කණ්ඩායමයි. එහි නායකයා වන්නේ ජෙරල්ඩ් වික්‍රමසූරියයි. ජෙරල්ඩ් වික්‍රමසූරිය කියන්නේ ක්ලැරන්ස් සමඟ මූන්ස්ටොන් සංගීත කණ්ඩායමේ සිටි පැමිණි ශිල්පියෙක්. ක්ලැරන්ස්ගේ ළඟම යහළුවෙක්. ඔහු වගේ ම ඒ කාලයේ ක්ලැරන්ස්ගේ වාදන කණ්ඩායම්වල සිටි ලීඩ් ගිටාර් වාදන ශිල්පී සුනිල් වීරසේකරත් මේ කණ්ඩායමට ම එක් වෙනවා. ඔවුන් දෙදෙනා ඇතුළු සංගීත ශිල්පීන් රැසකගේ එකතුවෙනුයි එදිනට සංගීතය සැපයෙන්නේ. ඒ වගේ ම එදිනට මේ ප්‍රසංගයේදී ඔහු වෙනුවෙන් පිදෙන්නේ සාහිත්‍ය කලා ජනනන්දන ගෞරව සම්මානයයි.”

සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ ක්ලැරන්ස්ට ජීවත්ව සිටි කාලයේ කිසිදු සම්මානයක් නොලැබිණි. එහෙත් ඔහු ලාංකේය ජන හදවතේ ගැස්ම හඳුනාගෙන නිර්මාණවල යෙදුණු නිර්මාණ කරුවෙකි.

“මලට බඹරකු සේ

සිතට ඔබ එනවා

කිරණ සේ හිරුගේ

හද සිනා වෙනවා

ඔබ සිනා සෙනවා...”

ඔහු සිය ප්‍රිය බිරියට ලිව්වේ ය.

“දැනට ඕස්ට්‍රේලියාව් ජීවත් වුවත් ඔහුගේ මතකය ඔබ අසලම ද ජීවත් වන්නේ?”

“ඇත්තම කිව්වොත් මට ක්ලැරන්ස්ව හීනෙන් නොපෙනෙන දවසක් නොමැතිතරම්. කුමන හෝ විදියකින් ඔහු සෑමදාම සිටින්නේ මගේ ළඟයි. මා මෙන්ම දියණියත් කුමන ස්ථානයක සිටියත් අප දෙදෙනා අසලම ඔහු සිටින බව දැනෙන නිසා කිසිම තනිකමක් දැනෙන්නේ නැහැ.”

ශීලා විජේවර්ධන සිය ඔසරි පොටෙන් පිසදා ගත්තේ ඔහු වෙනුවෙන් දෙනෙතේ නැඟුණු කඳුළකි. හෝරා කිහිපයක් ගෙවී ගොසිනි. ඔවුන්ගෙන් සමුගන්නට අවැසි කාලය උදා වී ඇත. සංගීතඥයකු, ගායකයකු, වාදකයකු, ගීපද රචකයකු ලෙස අප හමුවට පැමිණි ක්ලැරන්ස් විජේවර්ධනයන් සදා නොමියෙන මතකයක් වී අප හදවත පතුළේ නිදන් ව සිටියි.

“සඳ තනිවෙලා

අහසේ හිරු තනිවෙලා

උතුරා ගැලූ ගඟුලක්

හද වියළිලා....”