වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

මිහිරි කොහොමද අද මෙතෙන්ට ආවේ

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති.

පසුව උසස් අධ්‍යාපනය උදෙසා ඕස්ට්‍රේලියා බලා යන සන්දේශ් නතාශා නැමැති රූමත් ශ්‍රී ලාංකික තරුණියක් හඳුනාගෙන ඇය හා පෙමින් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳුඇට පෙළට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාට පැමිණේ.

සංදේශ්ගේ ජීවිතය මවගේ රැකවරණය සමඟ උදාසීනව ගෙවී යන අතරේ සිසිර නැමැති සේවකයෙකු ඔහුගේ උදව්වට නිවසට පැමිණේ.

(අද එතැන් සිට)

ආබාධිත තත්ත්වය නිසා පියාගෙන් අත හැරුණු ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නට ද සන්දේශ්ට හැකියාවක් නොවීය. එහෙත් සතියට වරක් හෝ දෙවරක් රියට නංවා ගත් රෝද පුටුවෙන් ආයතනය වෙත යාමට ඔහු පුරුදුව සිටියේය. පියාගේ ඇවෑමෙන් හිස් වූ ව්‍යාපාරයේ අයිතිකරු පුටුවට සන්දේශ්ගේ මව නිරායාසයෙන්ම පත්විය. ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ සිටම පියා සමඟ සමීපව හා අවංකව වැඩ කළ පියරත්න නැමැත්තාට ජේෂ්ඨ කළමනාකාර ‍ලෙස උසස් වීමක් ලබා දී ඔහුගේ සේවය වඩාත් පුළුල් ලෙස ලබා ගැනීමට සන්දේශ් හා මව කටයුතු කළෝය. පියාගෙන් පසුව ව්‍යාපාරයේ විවිධ කාරණා වඩාත් හොඳීන් දැන සිටියේ ඔහුය. එහෙයින් ඔහුගේ කළමනාකරණය යටතේ අවම ගැටලු සහිතව ව්‍යාපාරය නොනවත්වාම පවත්වාගෙන යන්නට සන්දේශ්ට හා මවට හැකියාව ලැබුණි.

"ඕවා ඔහොම තමයි සර්. එක එක්කෙනාට එක එක දේවල්. එක එක මීටර්."

සිසිර ළඟ සිටින විට සුහද කතාබහ සමඟ කාලය ඔහේ ගෙවී යයි. ඔහු ද හැමවටිම සන්දේශ්ගේ අඩුපාඩු සොයා බලයි.

රාත්‍රී නිදාගන්නට පෙර අන්තර්ජාලයේ මඳක් සැරි සරන්නටත් ඩීවිඩී යන්ත්‍රයෙන් චිත්‍රපටයක් බලන්නටත් සන්දේශ් පුරුදුව සිටියි. ඔහුට දැන් නිදිමත දැනෙන්නේ රාත්‍රී දොළහට ආසන්න වන විටදී ය.

ආබාධිත තත්ත්වය නිසා පියාගෙන් අත හැරුණු ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නට ද සන්දේශ්ට හැකියාවක් නොවීය. එහෙත් සතියට වරක් හෝ දෙවරක් රියට නංවා ගත් රෝද පුටුවෙන් ආයතනය වෙත යාමට ඔහු පුරුදුව සිටියේය. පියාගේ ඇවෑමෙන් හිස් වූ ව්‍යාපාරයේ අයිතිකරු පුටුවට සන්දේශ්ගේ මව නිරායාසයෙන්ම පත්විය. ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ සිටම පියා සමඟ සමීපව හා අවංකව වැඩ කළ පියරත්න නැමැත්තාට ජේෂ්ඨ කළමනාකාර ‍ලෙස උසස් වීමක් ලබා දී ඔහුගේ සේවය වඩාත් පුළුල් ලෙස ලබා ගැනීමට සන්දේශ් හා මව කටයුතු කළෝය. පියාගෙන් පසුව ව්‍යාපාරයේ විවිධ කාරණා වඩාත් හොඳීන් දැන සිටියේ ඔහුය. එහෙයින් ඔහුගේ කළමනාකරණය යටතේ අවම ගැටලු සහිතව ව්‍යාපාරය නොනවත්වාම පවත්වාගෙන යන්නට සන්දේශ්ට හා මවට හැකියාව ලැබුණි. තවද පියාගේ සහෝදරියකගේ පුතෙකුද සේවයේ නියුතුව සිටියේය. ඔහුගෙන් ද ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට ලැබුණේ නොමඳ සහායකි.

"අලුත් කන්ට්‍රෑක්ස් ගැන වැඩියෙන් හිතන්න යන්න ඕනෙ නෑ. මේ ඉන්න කස්ටමස්ලා ටික හොඳීන් තියාගෙන වැඩ ටික හරියට කරගෙන ගියොත් ඇති"

සන්දේශ් කළමනාකරුවන්ට පැවසු අදහස්වලට මවත් එකඟ විය. තියෙන දේ ඇති ය. දැන් මුදල් මත්තේම ජිවිතය ගෙවන්නට ඇයටත් දැඩි ඕනෑකමක් නැත.

* * *

එය තවත් එක් පැහැබර දිනෙක ආරම්භය විය. සිසිර ඇඳ මත වාඩි වී සිටින සන්දේශ්ට අලුත් කමිසයක් අන්දවමින් සිටියේය.

"කොහෙන්ද සිසිර අද මේ අලුත් කමිසයක්? "

"ලොකුනෝනා දුන්නා මහත්තයාට අන්දන්න කියලා "

"අද මගේ උපන්දිනේ. ඒකද?"

"ආ..සර්ට මතකයි"

"මොකද මට මතක නැත්තෙ"

"යං උදේට තේ බොන්න. මහත්තයගේ උපන් දිනේ හින්දා මැඩම් ස්පෙෂල් මොනවාහරි හදලත් ඇති. කවුරුහරි එනවද දන්නෙත් නෑ"

සැහැල්ලු දිග කපු කලිසමකින් සැරසී රෝද පුටුවෙන් කාමරයේ සිට සාලයට පැමිණි සන්දේශ් හිස ඔසවා බැලු සැණෙන් දුටු දසුනෙන් තරමක් විමතියට පත් වුයේය. මේසය අසල මව සමඟ සිටගෙන සිටි තැනැත්තිය එක්වරම හඳුනා ගැනීමට ඔහුට අපහසු වුයේ නැත. ඒ මිහිරිය.

මිහිරි අද මෙතැනට පැමිණියේ කෙසේ ද? ඇයගේ මුහුණෙන් දක්නට තිබුණේ සංවේගය මුසු වු සතුටකි. ඇය ඇඳ සිටියේ රෝස පැහැති සාරියකි. මේසය මත ඉටිපන්දමක් දැල්වෙන කුඩා කේක් ගෙඩියකි. කිරිබත් ඇතුළු තවත් ආහාර වර්ග රැසක් ද ඒ අසළ විය. මල් පොකුරු කිහිපයකින් ද මේසය සැරසී තිබිණ.

මඳක් ඉදිරියට පැමිණි මව සන්දේශ් වැළඳ ගත්තාය.

"සුභ උපන් දිනයක් වේවා පුතා"

"තෑන්ක් යූ අම්මා"

"මතක් වුණාද අද උපන්දිනේ කියලා"

"ඔව් "

"මං හිතුවා මතක නැතුව ඇති කියලා"

මෙවෙලේ මිහිරි ද ඉදිරියට පැමිණ සන්දේශ්ගේ දෙකොපුල් සිප ගත්තාය.

"මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ"

මිහිරි අතේ තිබූ කුඩා පාර්සලයක් ද සන්දේශ් අතට දුන්නාය.

"මිහිරි කොහොමද අද මෙතනට ආවේ?"

"ඒක වෙන කතාවක්. පස්සේ කියන්නංකො. එහෙනං අපි ඉස්සෙල්ලම කේක් එක කපල ඉඳීමු"

"ඔව් ඒක හොඳයි. ඒ වුණාට කට්ටිය මදිනෙ" එසේ පැවසුවේ අම්මාය.

"ඒකනෙ. හැබැයි තව එක්කෙනෙක් නං එළියෙ ඉන්නවා. අපි එයාටත් කතා කරමු"

උත්තර දුන්නේ මිහිරිය.

"ඒ කවුද?" සන්දේශ් ඇසුවේය.

"බලන්නකො"

එසේ කී මිහිරි සාලයේ දොර දෙස බැලීය.

"ගයන්ත"

මිහිරිගේ උස් හඬත් සමඟ උස කඩවසම් තරුණයෙක් සාලයට ඇතුළු විය. ඔහු අත්කොට කමිසයක් ඇඳ සිටි අතර උපන්දින සාද අවස්ථාවලදී ළමුන් පළදින විසිතුරු තොප්පියක් ද හිසේ දමාගෙන සිටියේය. තරමක කුතුහලයෙන් ඔහු දෙස බැලූ සන්දේශ් අනතුරුව මිහිරිගේ මුහුණ දෙස ද බැලුවේය.

" එන්න ගයන්ත"

ගයන්ත පියකරු සිනහවකින් මුව සරසාගෙන සන්දේශ් ඉදිරියට පැමිණ සිට ගත්තේය.

" සන්දේශ් මේ ගයන්ත, ගයන්ත මේ සන්දේශ්"

" අපූරු හඳුන්නල දීමක්නෙ. කවුද, කින්ද මන්ද, ඒවා මුකුත් නෑ"

එසේ කීවේ අම්මාය. ගයන්ත හිසේ තිබු විසිතුරු තොප්පිය ගලවමින් සිනාසෙමින්ම සන්දේශ් වෙතට අත දිගු කළේය.

" හැපි බර්ත් ඩේ"

" තෑන්ක් යූ"

සන්දේශ්, ගයන්ත එයා ෆෝස් එකේ සීනියර් ඔෆිසර් කෙනෙක්. මං අඳුනගත්තෙ ළඟදී. වැඩි විස්තර පසුව. මං ඔයා ගැන ගයන්තට කියලා තියෙන්නෙ"

" එහෙනං අපි දැන් කේක් එක කපමු"

අම්මා යෝජනා කළාය.

"ඒක හොඳයි"

එසේ පැවසු මිහිරි අසළ තිබු පිහිය ගෙන සන්දේශ් අතට දුන්නාය. පිහියේ මිට කුඩා රිබන් පටියකින් ද සරසා තිබුණේය. සන්දේශ් කේක් ගෙඩිය කපන්නට සැරසුණේය.

" ඉස්සෙල්ලාම ඉටිපන්දම නිවලා ඉන්න"

කටින් පිඹ ඉටිපන්දම නිවු සන්දේශ් කේක් ගෙඩිය කපන්නට පටන් ගත්තේය. ඒ සමඟ සැවොම සන්දේශ්ගේ නම ද ඇතුළත් කොට උපන් දින ගීතය ගායනා කරන්නට වූහ. අසල සිටි සිසිර ද ගායනයට එක් විය. ගායනය අවසානයේ සැවොම සතුටින් අත්පුඩි ගසන්නට වුහ.

සන්දේශ් කේක් කෑල්ලක් ගෙන මවට කැවුවේය. මව ද එම කේක් කෑල්ල ගෙන සන්දේශ්ට කැව්වාය.

" වාඩිවෙන්න. දැන් ඉතිං කට්ටියම වාඩි වෙලා කෑම ටිකක් කමු"

අම්මාගේ අවසරයෙන් පිරිස මේසය වටා අසුන් ගත්හ. ගයන්ත වාඩිවුණේ සන්දේශ් ඉදිරිපිට අසුනේය. අම්මා සැවොමගේ පිඟන්වලට කිරිබත් කෑලි බෙදන්නට පටන් ගත්තාය.

"දැන් ඉතින් අනිත් ඒවත් බෙදා ගන්න"

"අම්මා මට හොරෙන් ඔක්කෝම ලෑස්ති කරලා"

"අම්මා හොරෙන් කරපු දේවල් ඔක්කොම කියල නෑ තාම පුතාට මං හිතන්නෙ"

සන්දේශ් මිහිරිගේ මුහුණ දෙස බැලුයේ තරමක කුතුහලයෙනි.

"ඒ මොනවද?"

මිහිරි සිනාසෙමින්ම අම්මා දෙස බැලුවාය.

"ඒ වැඩේ නොකියත් බෑනේ.. ඔන්න මං පුතාගේ මෙහේ ඉන්න යාළුවො කීපදෙනෙකුට අද රෑට එන්න කිව්වා. කෑම ටිකක් කලා යන්න කියලා. ජගත්ලා, සමිත්ලට එහෙම. ඒගොල්ලො හරිම ආසාවෙන් ආරාධනාව බාර ගත්තා"

"අම්මා හරිම ස්මාට් නෙ"

සන්දේශ් එසේ කීවේ මව කෙරෙහි වූ සියුම් ආඩම්බර‍යෙනි.

"පුතා දැන්ද ඒක දන්නෙ"

එසේ කීවේ මිහිරිය.

"මිහිරිලත් එනවනෙ"

සන්දේශ්ගේ පැනයත් සමඟම මිහිරි මවගේ මුහුණ දෙස බැලුවාය. "මයෙ මුහුණ දිහා බලන්න එපා. ගයන්ත පුතාත් එක්ක එන්නම ඕන" ලුණු මිරිස් සමඟ කිරිබත් කැබැල්ලක් මුවට ගනිමින් සිටි ගයන්ත සැවෝම සමඟ සිනාසුණේය.

"මෙයාට නං ආන්ටිගෙ කිරිබත් අල්ලලා ගිහින් වගේ. තව කෑල්ලක් ඕනෙද?"

"කිරිබත් මගෙ ‍ෆේවරිට් "

මිහිරි ගයන්තට තවත් කිරිබත් කෑල්ලක් බෙදුවාය.

"හැබැයි කිරිබත් වැඩිය කාලා මෙතන නිදාගන්න එපා"

ප්‍රීතිමත් මොහොතවල් රාශියකින් කාලය ගෙවී යමින් තිබුණේය.