වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන, කළගුණ සැලකීම හා නිහතමානිකම

සම්මාන, කළගුණ සැලකීම හා නිහතමානිකම

වසර 39 ක් සම්මාන උත්සවවලට දායකත්වය දුන් මට අන් අයගෙන් ලැබුණු සම්මාන ගැන කීම එක් අතකින් කළගුණ සැලකීමකි. හාපුරා කියා සිනමා සාහිත්‍යයට හා සම්මාන උලෙළවලට කළ සේවය උදෙසා මට උත්තමාචාර පදක්කමක් පිරිනැමුවේ ඕ. සී. අයි. සී උත්තමාචාර උලෙළකදීය.ඒ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගේ සමයේදීය. ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමාගේ කාලයේදී මට හොඳම චිත්‍රපට නාමාවලිය සඳහා ඕ. සී. අයි. සී. සම්මානයක් පිරිනැමිණ. ඒ අතරතුර සිරිල් ගාමිණී පියතුමාගේ සමයේදී සිග්නිස් උත්තමාචාර පදක්කමක් හා සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානයක් පිරිනැමුවේය. කවදත් ආගම් භේද නොතැකූ මෙම සංවිධානය බෞද්ධයකු වූ මට මෙන් බොහෝ දෙනෙකුට මේ සම්මාන පිරිනැමූ අවස්ථා රැසකි.

තමාට අතහිත දුන් මාධ්‍ය ගුරුවරයකු අතින් සිනමා ක්ෂේත්‍රයේ සිනමා සාහිත්‍යයට දායකත්වය වෙනුවෙන් සම්මානයක් පිරිනැමීම ඔහුට හෝ ඇයට කොතරම් භාග්‍යයක්ද? මගේ සිනමා ලිපියක් කිසිම හඳුන්වාදිමකින් තොරව 1967 දී තමා සංස්කරණය කළ සිනමා පුවත්පතේ පළ කර දීම උතුම් මානුෂික ගුණාංගයකි. ඔහු 'විසිතුර' පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආතර් යූ. අමරසේන මහතාය. ඔහු විසින් හඳුන්වා දුන් අංකුර සිනමා ලේඛකයින්ගේ ගණන අති විශාල වන අතර ඒ අතර රටේ නමගිය කතුවරයන් ද වූහ. අමරසේන මහතා තම ගෝලයන්ට පමණක් නොව සිනමා සාහිත්‍යයට ජීවිතය කැප කළ විශාල පිරිසකට සම්මාන දීමට කාරුණික විය. මට ලැබුණු එම සම්මානය නම් රටක් රාජ්‍යයක් ලැබුණා වැනිය. මා ආනන්දයේ ඉගෙන ගන්නා සමයේ මා පාසල් මිත්‍ර කුලරත්න ආරියවංශ සමඟ 'විසිතුර' පත්‍රයට ගොස් කතුවරයා හමු වූ අවස්ථාව අමතක නොවේ. මේ ගමනට හේතුව වූයේ මා විසින් ලියූ ලිපියක් හිටි හැටියේම 'විසිතුර' පළ කිරීමය. එදා මා එම පත්‍රය කී වරක් නම් බැලුවාද? තමුන්ගේ නම ලිපියක මුලින්ම පළ වන විට එතරම් සතුටක් ඇති නොවන්නේ කාටද? එදා අප අමරසේන මහතා හමුවීමට ගියේ මගේ කෘතඥතතාව පිරිනැමීමටය. මඳ සිනාවක් පෑ ඔහු දිගටම ලියන්නැයි මට කීවා පමණක් නොව මා සමඟ ගිය කුලරත්න ආරියවංශට ද ලියන්න කැමතිදැයි ඇසීය. මේ අනුව අප දෙදෙනාටම විසිතුරේ දොර ඇරුණේය. ඒ මීට වසර 50 කට එපිට වීම තවත් විශේෂයකි. එබැවින් අමරසේන මහතා මට ලබා දුන් ඒ සම්මානය පරෙස්සමින් ආරක්ෂා කර ඇත. අමරසේන මහත්තයෝ ඔබට පිං.

පසුගිය සතියේ අමරසේන මහතාගේ ගෝලයෙකු වූ 'රිවිර' නියෝජ්‍ය කර්තෘ ඩබ්ලිව්. ඩී. කේ. නවරත්න මට හමු විය.

'අපිට ඒ කාලේ මිස්ටර් අමරසේන කොච්චර අත හිත දුන්නද? අද අපි ඉන්නේ එදා අපට කපල දුන්න පාරේ. අපි එකතුවෙලා මිස්ට අමරසේනට උපහාරයක් දෙන්න ඕනෑ. රන්ජිත් අපි දවසක බන්දුල පද්මකුමාර, දයාරත්න රටගෙදර, සිරි කහවල, රොඩ්නි විදානපතිරණ, කුලරත්න ආරියවංශ එකතුවෙලා කතා කරමු' නවරත්න කීවේය. සරත් කෝන්ගහගේ ලේක්හවුසියේ වැඩ බලන සභාපතිව සිටි වසරේ සරසවිය රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය අමරසේන මහතාට දීම ගැන එතුමන්ගේ ගෝලයන් වන අපට ද ප්‍රීතියට කරුණකි. එවර සම්මාන තුනක් පිරිනැමිණ. ඉතිරි දෙදෙනා කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන් හා මමය. මගේ මාධ්‍ය ගුරුවරුන් වන ආරියදාස, අමරසේන මහතුන් සමඟ මේ සම්මානය මට ලැබීම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. ආනන්දයේ අපේ සමකාලීනයකු වූ සරත් කෝන්ගහගේ එදා අමරසේන හා ආරියදාස මහතුන්ට දැක් වූයේ විශේෂ උපහාරයකි. මා වැනි පුංචි මිනිසෙකුට එය මහ මෙරක් බඳු ය.

කලා පත්‍රයකින් විශ්‍රාම යාමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු අපේ කලාකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට අර කර්තෘ කළ උදව් ඉක්මනින් අමතක වේ. එය ස්වභාවික සිද්ධියකි. ඒවා දෙස බැලිය යුත්තේ ද උපේක්ෂාවෙනි. එසේ තමා සේවය කරන පත්‍රයෙන් ඉවත් වූ පසු ද කළ ගුණ සලකන කලාකරුවන් කිහිප දෙනෙක් ගැන මේ ලිපියේ සඳහන් කරන්නේ ඔවුන්ගේ උතුම් ගුණගරුක බව සිහිපත් කරමිනි.

මා පොත් කවර නිර්මාණය කිරිමට පටන් ගත්තේ 1964 වසරේ සිටය. කරුණාරත්න සපුතන්ත්‍රි මිතුරා ඔහුගේ 'පව් පඳුරු' නවකතාවේ පිට කවරය ඇඳීමට මට පවරන විට මගේ වයස අවුරුදු පහළොවකි. එදා පටන් මම පිට කවර 300 ක් පමණ නිර්මාණය කර ඇත. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, ඒ. වී. සුරවීර, තිස්ස කාරියවසම්, ගුණසේන ගලප්පත්ති, මඩවල රත්නායක, විමල් දිසානායක, සෝමවීර සේනානායක ඇතුළු ලේඛකයන් රැසකගේ පොත් ඒ අතර වූහ. පොත් කවර සඳහා මට මුලින්ම සම්මානයක් ලබා දුන්නේ ගිවන්ත අර්ථසාද් කලාකරුවාය. මෙරට නිපද වූ ප්‍රථම කාටුන් වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කළේ ගිවන්ත හා ඔහුගේ සොහොයුරු දිනේෂ් ප්‍රියසාද්ය.

විසිතුර පුවත්පතේ වේදිකා නළු නිළියන් ගැන විශේෂාංගයක 'කරළියෙන් චරිතයක්' නමින් ලිවීමට පැවරුවේ කර්තෘ අමරසේන මහතාය. 1967 සිට 1969 දක්වා මා ලියූ ඒ ලිපි මාලාවට සමන් බොකලවෙල, චන්ද්‍රා කළුආරච්චි, සෝමලතා ප්‍රනානදු, ඩග්ලස් රණසිංහ මාක් ඇන්තනි ප්‍රනාන්දු, ෆීලික්ස් පේ‍්‍රමවර්ධන, මර්සි එදිරිසිංහ, ලුෂන් බුලත්සිංහල ඇතුළු පිරිසක් ඇතුළත් වූහ. මා සරසවිය පුවත්පතින් සමුගත් පසු, මර්සි එදිරිසිංහ තමා රඟපෑ නාට්‍යයක විශේෂ දර්ශනයකදී මට ආරාධනා පත්‍රයක් දෙමින් 'රන්ජිත් මට මගේ කලා ජීවිතයට හුඟක් උදව් කරලා තියෙනවා විසිතුර පත්තරේනුයි, සරසවිය පත්‍රයෙනුයි. ඔයා මේ නාට්‍ය බලන්නම එන්න ඕනෑ' කිවාය.

එදින නාට්‍ය දර්ශනය අවසානයේ මර්සි වේදිකාවට නැගී 'මට අද විශේෂ දවසක්. මම අද වේදිකාවේ ඉන්නේ බොහෝ දෙනෙකුට ස්තුතිවන්නට. මම ඒ අයට අද කළගුණ සළකනවා' කීවාය. එදින ඇය අතින් විශේෂ සම්මාන කිහිපයක් පිරිනැමිණ. සුගතපාල ද සිල්වා හා ඇගේ සැමියා වූ ලලිත් කොතලාවල සම්මාන දුන්නා මට මතකය. තමාට පුවත්පත්වලින් අනුග්‍රහ දැක් වූ මට ද එදා සම්මානයක් ඇය පිරිනැමුවාය. ඇය කොතරම් කළගුණ දන්නා කලා ශිල්පිනියක්ද? අප කර්තෘ පදවියේ සිටින විට පිට කවරයක්, පත්තරේ මැද පිටුවක් ඉල්ලා යදින ඇතැම් කලාකරුවන්, කලාකාරියන් අපේ කර්තෘ මාණ්ඩලිකයකු අතින් වන සුළු වරදක් අල්ලා ඉහළ තැන්වලට වාර්තා කළ අවස්ථා ද එමටය. ඒ අය අතර මර්සි කොයි තරම් කෘතවේදී නිළියක් ද? අද ජීවතුන් අතර නැති ඇයට මගේ වචන ටික උපහාරයක්ම වේවා! එදා අපි සම්මාන ලබා එළියට එන විට ලලිත් මටත්, සුගතපාලටත් තම වෑන් රියට එන ලෙස සන්කොට මධුවිතක් දී එය සැමරූ අයුරු මට කිසිදා අමතක නොවේ.

'මචං මර්සි කියන්නේ රත්තරන් ගෑනියෙක්' ලලිත් කිවේය.

'උඹ නිසා තමයි මර්සි කලා ලෝකේ පවතින්නේ. උඹලා වගේ හස්බන්ඩ්ලා වාසනාවන්' සුගතපාල කීය.

අද මර්සිත්, ලලිත් හා සුගතපාලත් ජීවතුන් අතර නැත. ලලිත් පපුවේ කිළුටක් නැති අපූරු මිනිසෙකි.

තිලක් කුමාර රත්නායක හා ජයසේකර අපොන්සු කලාතුරකින් හමුවන ප්‍රතිභාවත්, නිහතමානි බවත්, කළගුණත් දන්නා කලාකරුන්ය. තිලක් හා අපොන්සු 'පාතාලයේ සොල්දාදුවෝ' නාට්‍යයේ අපූරු රංගන ඉදිරිපත් කළ අපූරු නළුවන්ය. මේ දෙදෙනාටම පුවත්පත්වලින් ප්‍රචාරයක් දුන්නේ ඔවුන්ගේ සැබෑ දක්ෂතා නිසාය. තිලක් හා අපොන්සු මා හට වේදිකාවට කැඳවා දුන් දුප්පත් සම්මාන මට රාජ්‍ය සම්මානයකට වඩා අගේය. ඒවා දුප්පත් යයි කීවේ කිසිසේත් අවතක්සේරු කිරීමට නොවේ. මේ දෙදෙනාම ධනවතුන් නොව කලා කුසලතා අතින් පොහොසත් නිහතමානී කලාකරුවන් බව ඇඟවීමටය.

මා කොළඹ යුගයේ කවියන් ඇසුරු කොට නැත. එහෙත් කුඩා කල සිට මා දුටු 'මහා කවියා' පී. බී. අල්විස් පෙරේරාය. උත්තුංග දේහධාරී ජාතික ඇඳුමකින් සැරසුණු ඔහු මගේ පියාගේ සමීප මිතුරෙකි. 1951 වසර මට යම්තම් මතකය. මට එවිට යම්තම් අවුරුදු හතරක් පමණක් ඇත. ඒ වසර හොඳට මතක අල්විස් මාමා (මා ඔහුට කතා කළ අයුරු) 'බඹර පැණි' නමින් කාව්‍ය සංග්‍රහයක් සංස්කරණය කොට එය මුද්‍රණය කළේ මගේ පියාට අයත් මුද්‍රණාලයේය. මේ සඟරාවේ ආධුනික කවි කිවිඳියන්ගේ පද්‍ය රචනා පළ විය. ඒ හැම කෙනෙකුගේම පුංචි පින්තූරයක් ද පළ විය. මගේ කුඩා මතකය ඇත්තේ ඒ ඡායාරූප සහිත බ්ලොක්ස්වල සුවඳය. මේ පොත යළි දැකීමට මට ආසාවක් ඇති විය. මේ බව දිනක් මම පී. බී. අල්විස් පෙරේරා කවියාගේ දියණිය වූ ප්‍රවීණ ලේඛිකා, පරිවර්තිකාවක වූ චිත්‍රා අයි. පෙරේරා සොහොයුරියට කීවෙමි. ඇය කීවේ 'ගෙදර පොතක් දෙකක් ඇති, හැබැයි වේයො කාලා. බලන්න තරම් පිරිමහාගතෑකි' කියාය. 'හැකිනම් එවන්නැයි' මම ඇයට කීවෙමි. ඇය 'බඹර පැණි' කාව්‍ය සංග්‍රහයක් තැපෑලෙන් එව්වාය. එහි පිටු පෙරළන විට මගේ කුඩා අවදිය මතක් විය. 1962 වසරේ ඔහු මගේ සමරු පොතේ අපූරු කවි දෙපදයත් ලීවේය. එහි එන පී. බී. කවියා නිකටට අත තබා සිටින ඒ ඡායාරූපය ද මට හොඳට මතකය. එහි පින්තූරය යටින් තිබූ මේ කවි පද දෙකේ අරුත දැනෙන්නේ දැන්ය.

කුසුම් රොන් පිරි යහන් අතහැර පතොක් කටු

මැද ජයට උන්නෙමි

බිඳෙන වග දළ, හොඳින් දැනගෙන

විදුරුගිරි බිතුවලට ඇන්නෙමි

හිටිහැටියේ අල්විස් පෙරේරා කවියා මට මතක් වූයේ අගනුවර තරුණ කවි සමාජය මඟින් මට පී. බී. අල්විස් පෙරේරා අනුස්මරණ සම්මානය පිරිනැමීමත් සමඟය. එය 'අල්විස් මාමා' සිහිවීමට ලැබුණු මගේ කුඩා අවදිය සාදා මතකයේ සිටින සිහිවටනයකි. මේ සම්මානය මට පිරිනැමීමට තීරණය කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ කවියන් වූ සේසිරි විජේසේකර, විමලසිරි පෙරේරා හා විමල් අභයසුන්දරයන්ගේ පුතුන් වූ ආසිරි විජේසේකර, ප්‍රණීත් පෙරේරා සහ පුලස්ති අභයසුන්දර සොහොයුරන්ට තුති. තවත් සම්මාන ගැන ලබන සතියේ.