වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




පුහු ජනප්‍රියත්වයට වඩා රංගනය හදාරා රඟපෑමයි වැදගත්

පුහු ජනප්‍රියත්වයට වඩා රංගනය හදාරා රඟපෑමයි වැදගත්

සල්සපුනා සමඟ හමුවන - මිෂෙල් දිල්හාරා

නව පරපුරේ රංගන ශිල්පිණි මිශෙල් දිල්හාරා, සල්සපුනා ටෙලි සිතුවමේ ප්‍රීතිවා ලෙසින් මේ දිනවලදී ඔබ හමුවට පැමිණෙයි.

* ඔබට දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා ඇත්තේ ප්‍රීතිවා ලෙසින් වෙන්න ඇති නේද?

ඇත්තෙන්ම ඔව්. මගේ සැබෑ නම වැඩි දෙනෙක් දන්නෙවත් නැහැ. හැබැයි ප්‍රීතිවාව හඳුනනවා. ඒ කියන්නේ එම චරිතය හොඳින් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගෙන තියෙනවා කියන එකනේ.

* සතුටුයි ද ඔබට?

අනිවාර්යෙන්ම.

* මිශෙල් කොහොමද රංගනයට පිවිසෙන්නේ?

ඒක දිග කතාවක්.

* දිග කතාව කෙටියෙන් කියන්න?

පුංචි කාලේ ඉඳලා මං රඟපාන්න හරිම ආසයි. ඒත් එක සැරයටම රඟපාන්න එන්න මට හිතුණේ නැහැ. මම ඒකට කළේ රංගනය ගැන ඉගෙන ගන්න එක. පළමුව මං අනෝජා වීරසිංහ මහත්මිය ළඟට ගියා. දෙවනුව දමයන්ති ෆොන්සේකා මහත්මියගෙන් රංගනය ඉගෙන ගත්තා. පසුව රන්දික විමලසූරිය සහ සාරංග මෙන්ඩිස් යන මහත්වරුන් යටතේ තවදුරටත් රංගනය හැදෑරුවා.

* ඔබ ගුරුවරුන් හතර දෙනෙකු යටතේ රංගනය ඉගෙන ගෙන තියෙනවා. අද කාලයේ නව පරපුරේ නිළියක් හීනෙකින්වත් හිතන දෙයක් නෙවෙයි ඔබ කරලා තියෙන්නේ?

මට හිතුණා රංගනය ගැන හදාරලම ක්ෂේත්‍රයට එන්න. බොරුවට ජනප්‍රියත්වය හොයාගෙන යන අවස්ථා හොයන්න මට වුවමනා වුණේ නැහැ. ඒකයි එහෙම හැදෑරුවේ. අනික ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නේ නැහැනෙ.

* රංගනය ඉගෙන ගන්න කොටද ඔබට රඟපාන්න අවස්ථාව ලැබුණේ?

ඇත්තම කිව්වොත් ගුරුවරු තිදෙනෙකු යටතේ මං රංගනය ඉගෙන ගන්න කාලේ මට රඟපාන්න අවස්ථාව ලැබුණත් මං ගියේ නැහැ. සාරංග මෙන්ඩිස් යටතේ රංගනය හදාරද්දී ඔහු ප්‍රායෝගික පාඩම් ලෙස මාව ඔහුගේ දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍යයට ගත්තා. මට තිබුණේ සුළු චරිතයක්. එත් මං ඒක හොඳට කළා.

* එතකොට ඔබට සල්සපුනා හි ප්‍රීතිවාව ඔබට ලැබෙන්නේ?

සුසිල නිෂ්පාදන ආයතනයේ තිර පරීක්ෂණයක් තිබුණා. මං ඊට සහභාගි වුණා. එහිදියි මට සල්සපුනා නාට්‍ය හි ප්‍රීතිවාව ලැබුණේ. ඒක මගේ දෙවැනි නිර්මාණය.

* ඔබ කොපමණ කාලයක් රංගනය හැදෑරුවාද?

අවුරුදු එකහමාරක් විතර.

* ඒ කාලයේදීම රඟපාන්න ආවා නම් ඔබ මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා?

මං හිතන්නේ දැනුයි මං පටන් ගත්තේ. මේ තමයි ආරම්භය. ඒ කාලේ මං රංගනය ඉගෙන ගන්නා සිසුවියක්. අදත් මං රංගනය ඉගෙන ගන්නවා.

* ඔබ පොඩි කාලේ සිට කැමැත්තෙන් සිටියේ නිළියක් වන්නද?

ඔව්. මගේ එකම හීනය වුණේ ඒක. නමුත් ගෙදරින් මුලදී කැමැති වුණේ නැහැ මං නිළියක් වෙනවට. නමුත් කාලය ගතවෙද්දී ඔවුන් තේරුම් ගත්තා මට ගැළපෙන ක්ෂේත්‍රය මේක තමයි කියන කාරණය.

* සල්සපුනා ටෙලි සිතුවමේ රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම මොකක්ද?

මෙහි අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහත්මයට පිටපතේ තිබෙන දෙබස ඒ අයුරින්ම තියෙන්න ඕනෑ. පොඩ්ඩක්වත් එහෙ මෙහෙ වෙන්න බැහැ. ඉතින් මං දෙබස් කියන සෑම අවස්ථාවකදීම මද තිගැස්මකට ලක්වෙනවා මගේ අතින් වචනයක් හෝ වරදියි කියලා. අන්න ඒ අවස්ථා කවදාවත් අමතක වෙන්නේ නැහැ.

* මිශෙල්ගේ පුද්ගලික විස්තරත් කතා කරමු?

මොනවද දැනගන්න ඕනෑ?

* කොහෙද ඔබේ ගම?

මීගමුව.

* ඉගෙන ගත්ත පාසල?

මීගමුව නිවුස්ටඩ් බාලිකාව.

* උපන් දිනය සඳහන් කළොත්?

අනූ හයේ මැයි පළමුවැනිදා.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

හරිම සරල කෙනෙක්.