වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




හලා හල විෂ බඳුනක ලූ ආදර අන්දරයක් පුංචි තිරයට

හලා හල විෂ බඳුනක ලූ ආදර අන්දරයක් පුංචි තිරයට

ජනක මල්ලිමාරච්චි ටෙලි නාට්‍ය නිර්මාණය

බුද්ධිනී ජයවර්ධනගේ තිර නාටකය

ඕන්න විසි අවුරුද්දකට වැඩි නිශ්ශබ්දකම බිඳලා ජනක මල්ලිමාරච්චි අලුත් වැඩක. අපි වැඩක් කිව්වට ජනක නම් ඒකට නම තියලා තියන්නේම දඩයමක් විදියට. ඒ එසේ මෙසේ දඩයමක් නෙවි, ‘ආදර දඩයම’

කළුතර කළුවර බර වටපිටාවන් සොය සොයා ඇවිද ඇවිද අවුරුදු අටක් තිස්සේ තව වෙනමම පර්යේෂණයකුත් කරලා තමයි ජනක මේ අලුත් වැඩේ කරන්නේ.

ජනකගේ ඒ පර්යේෂණේ බැඳිලා තිබුණේත් දශක හතකට එපිට වෙච්ච සිද්ධියකට.

‘ගිනි අවි තියුණු ආයුධවලින් කළ දඩයමක් නම් නෙවෙයි. මේ සල්ලාල ගුරුවරයෙක් අවිහිංසක යුවතියක් රැවටූ සත්‍ය සිද්ධියක් ඇසුරින් කළ ටෙලි නාට්‍යයක්. අදටත් කතාබහට ගැනෙන විවිධ නිර්මාණවලටත් පසුබිම් කරගන්නා ඒ කතාවෙන් එක්තරා සිද්ධියක් විතරයි මං ගත්තේ. ඒ නිසා ඒක නෙවේ මේක. ඉතිරිය සේරම මගේ පරිකල්පන. ඇත්තටම පිරිමියෙක් සූරාකෑමට ලක් කළ තවත් රූමතියක් විදියටයි මට ඇය පෙනුණේ. ඇයට තවම සාධාරණයක් ඉටු වී නැති බවත් සමාජය ඇය පිළිබඳ කරන කතාබහින් මට සිතෙනවා.

එවකට ඇයට අත් වූ ඛේදවාචකයට සාක්ෂි දැරුව සමහරු මට හමුවෙන්නත් ඉඩ ලැබුණා. ඒ ඔස්සේ මං මනසින් මැවූ කතාව තමයි බුද්ධිනී ජයවර්ධන ලවා පිටපත් කෙරෙව්වේ.

හරිබරි ගැහිලා පුටුවක ඉඳගෙන ඒ පුටුවෙන් ඉස්සරහට බරවෙලා බෙල්ලත් පැත්තකට හරවාගෙන ජනක එහෙම කියනවා.

එතකොට කව්ද ඔය කියන දඩයක්කාරයා? කතාවේ විදියට රජයේ පාසලකත් දහම් පාසලකත් ගුරු භූමිකා මවන අතරේමයි මාලිංග මේ ප්‍රේම දඩයමේත් යන්නේ. මාලිංගගේ චරිතයට ජනක මල්ලිමාරච්චිගේ තේරීම වී තිබෙන්නේ ගයාන් වික්‍රමතිලකව.

ටෙලියේ පිටපත කියවා බලලා ගයාන් එකෙන්ම මේ අලුත් වැඩේට කැමැති වුණයි කියලයි ජනක නම් කියන්නේ. ගයාන් වික්‍රමතිලක ‘මාලිංග‘ චරිතය මවද්දී මාලිංගගේ ආදරයේ ගොදුර වන අහිංසකාව ‘නිම්නා’ විදියට පුංචි තිරයේ අහිංසකාව විදියට විරුදාවලි ලද්දියකමයි අප හමුවන්නේ. ඈ යශෝධා විමලධර්ම.

යශෝධා - ගයාන් පෙම්වතුන් විදියට පුංචි තිරයට ගෙනෙනවා පමණක්ම නෙවෙයි එකම එකම ටෙලියක කලාතුරකින් රඟපාන තවත් බොහොම දෙනෙක් පිරිවරාගෙනයි ජනක මෙවර ආදර දඩයමෙන් එන්නේ. ශ්‍රියානි අමරසේන, මාධනී මල්වත්ත, දිනක්ෂි ප්‍රියසාද් ආදී ඒ නළු නිළි රැඟුම් දිහා බලද්දී කෙනකුට යුග ගණනාවක මතක අලුත් වන්නත් බැරි නැහැ.

ගයාන් එකෙන්ම ‘හා’ කිව්වට යශෝධාට පිටපත කියවා බලද්දිත් මේ රංගනය වෙනස්ම අතුරු ආන්තරා බහුල රැඟුමක් බව දැනෙන්න ඇති. ඒ වුණත් පසුබට නොවී බාරගන්නා මේ අභියෝගය නිසාම එක දිගට දවස් දොළහක්ම කළ රූගත කිරීම්වලදී රංගන ශිල්පිනියක් විදියට ඇය බොහෝ දුරට වින්දේම කටුක අත්දැකිම්. ඒ එක මහ රෑකදී ටුවෙල් ටෙන් (12(12ඔ10) ලොරියකට යශෝධාගේ ඔළුව යට නොවී ගැලවුණේ හාස්කමකින් වගේ. ඒ සිද්ධිය දැක්ක උදවිය කියන්නේම අදටත් ඒ කතාව කතාබහ කරද්දිත් ඇඟ කිළිපොළන බවක්.

දන්නෝ දනිති ජාතියේ ඒ වගේ තවත් එකක් තමයි ජනක මේ වතාවේ නළු නිළියන්ට අන්දලා තවත් අධ්‍යක්ෂවරු සහ අධ්‍යක්ෂවරියන් තිදෙනෙකුගෙන්ම වැඩගත් බව. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි ශ්‍රියානි අමරසේන, ගයාන් වික්‍රමතිලක සහ විකුම්සිරි මුණසිංහ.

කලින් විදියටම පුටුවකට ඇළවෙලා පැත්තකට නැමිලා ජනක නම් ආපිට කියන්නේ

‘මගේ සිනමාවට නැඹුරුකම නිසා ටෙලියේ රූප පෙළ සිනමාවට බර ඇති. අග ඉඳන් කතාවේ මුලට කතාව දිගේ එන්නයි මං ආදර දඩයමේදී සිතුවේ. ඇත්තටම ඒක ප්‍රේක්ෂකයාටත් අලුත් අත්දැකීමක්ම වෙයි.

සමහර විට පෙන්වන එක එක ටෙලි නාට්‍ය බලන නමුත් එක ටෙලියක් බලන්න ඕනය කියලා සිතුණාම සොය සොයා බලන රුපවාහිනි ප්‍රේක්ෂකයන් මේ වටා රොඳ බඳීවි. ඇත්තටම කෑලි ගාණට වෙළෙන්දන්ට ඕන ඕන විදියට මං කවදාවත් නිර්මාණ කරලා නෑ.

ආදර දඩයමත් එහෙමමයි. මට ඒ වග දැනට මේ ටෙලි නාට්‍යයේ පළමු අදියරේ වැඩ නිම වෙද්දිම දැනිලා තියෙනවා. මං කිසිම ප්‍රචාරණයකට නොගියත් දැනටත් මාධ්‍ය ආයතන කිහිපයකින්ම මගෙන් මේ ටෙලිය ඉල්ලලා තියෙනවා. ඒක මට අභිමානයක්. නිර්මාණකරුවා ඉන්න ඕනෑ එතැනයි කියලයි මං කියන්නේ’.

එහෙම කියන ජනකම සති ගණනක් උත්සාහ දරලා අන්තිමේදී සම්මානනීය යොවුන් සංගීත අධ්‍යක්ෂවරයකුට කියලා කවි පෙළක් ලියවා ගන්නේත් ආදර දඩයමටමයි. ඒ මෙහෙමයි.

ටෙලියේ අග හරියට යෙදෙන එක්තරා සුගායනීය කවි පෙළක් ලියන්න ජනක මේ ටෙලියට ගීත ලිව්ව කැළුම් ශ්‍රීමාල්ටත්, බුද්ධිනී ජයවර්ධනටවත් දෙන්නේ නෑ. ඒත් ලියැවිල්ල සිතට දැනෙන තරමට ජනක අතින් ලියැවුණේත් නැහැ. දවසක් ජනකම මේ වග ආදර දඩයම ටෙලියේ සංගීත අධ්‍යක්ෂවරයාට කියනවා. අදහසත් කියලා ජනකම ඒ සංගීත අධ්‍යක්ෂවරයාට කියනවා එහෙම අදහසක් කවියෙන් ලියා දෙන්න කියලා. එහෙමයි ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයේ 75 වැනි නිර්මාණයේදී දිනේෂ් සුබසිංහව ජනක පද රචකයකු විදියටත් පුංචි තිරයට ගෙන එන්නේ.

හොරණ, ගල්පාත, කළුතර, පාදුක්ක, බණ්ඩාරගම පැත්තට වෙලා ජනක මල්ලිමාරච්චියි, කට්ටියයි පසුගිය දවස්වල කළේ ඔන්න ඕකයි. තව ටික දවසකින් ආදර දඩයමේ දෙවැනි අදියරටත් ඒ පැත්තටම ගිහින් අත ගහනවා කියලයි කට්ටිය කියන්නේ. අප්‍රේල් මාසයේදී ආදර දඩයම පුංචි තිරයෙන් ඔයාලාගේ ආලින්දයේ දිග හැරෙන්න නියමිත බවත් ජනක මල්ලිමාරච්චි කියනවා.

‘ආදර දඩයම’ නිෂ්පාදක ජගත් විජේනායක, සහාය අධ්‍යක්ෂණය ලකී අතාවුද, කැමරාව අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, කලා අධ්‍යක්ෂණය හීනටිගල ප්‍රේමදාස, වේශ නිරූපණය නිමල් රාජපක්ෂ, නිෂ්පාදන කළමනාකරු රුවන් බණ්ඩාර, ඇඳුම් නිර්මාණය අවන්තිකා මල්ලිමාරච්චි.