වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

මැඩෝනාගේ අලුත් ආදරය

අමෙරිකානු නිළියක පොප් ගායිකාවක වන මැඩෝනා පසුගිය කාලය ගත කළේ තම පහහොළාස් හැවිරිදි රොකෝ නම් පුතුගේ අයිතිය ඉල්ලීම වෙනුවෙන්. ගයි රිච් සමඟ විවාහ දිවියෙන් සමු ගත් ඇය ඔවුන්ගේ පුතු තමන් භාරයේ සිටිය යුතු බවට පවසමින් නඩු මඟට පිවිසියා.

දැන් ඇය ගැන ආරංචිය වෙනස් එකක්. 58 හැවිරිදි ඇය තරුණයකු සමඟින් පෙමින් බැඳී සිටින බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා. නිව්යෝක් නගරයේදී මේ අලුත් නව යොවුන් හිතවතා සමඟින් මැඩෝනා රාත්‍රි භෝජන සංග්‍රහයක් භුක්ති විඳීනු බොහෝ දෙනා දැක තිබෙනවා.

හැබැයි මේ තරුණයාගැන වැඩි තොරතුරක් නම් හොයා ගන්න ලැබී නැතත් ඔහු මෑතකදී යෙදී තිබුණු මැඩෝනාගේ අප්‍රිකානු සංචාරයටත් සහභාගි වෙලා තියෙනවා. ඇය මේ ගැන තොරතුරු හෙළි නොකරන්නේ තම දරුවන් ගැන දැඩි අවධානයෙන් පසුවන නිසා බවත් පැවසෙනවා.


බ්‍රැඩ් පිට් දුකෙන්

ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් බොහොම ආදරයෙන් බැඳුණු යුවළක් ලෙසින් හැඳීන්වුවත් වසර දොළහක ආදර සම්බන්ධය හමුවේ විවාහ වී දෙවසරක් ඇතුළත දෙදෙනා දෙපසකට වුණා. ඔවුන් දෙදෙනාගේ නිවුන් දරුවන් ඇතුළුව හදාගත් දරුවන් සිව්දෙනාගේ භාරකාරත්වය භාරවුණේ ඇන්ජලීනා ජොලී වෙතයි. නමුත් නිරන්තරයෙන් ළමයින් සමඟින් ගත කරන්නට පීට් හට අවස්ථාව ලැබෙනවා.

පසුගිය කාලයේ ඇන්ලීනා සහ මැඩොක්ස්, පැක්ස්, ෂිලෝ, සහරා, විවියන් සහ නොක්ස් යන දරුවන් දීර්ඝ සංචාරයක නිරත වුණා. මේ ගමනට බ්‍රැඩ් නම් සම්බන්ධ වුණේ නැහැ. මේ නිසා ඔහු ගොඩක් දුකින් සිටි බව තමයි ආරංචි වුණේ.

වෙන් වුණත් මොකද ඇන්ජලිනා ඔහු ගැනත් සිතනවා. "ළමයින් ගෙදර ඉන්න එක ඔහුට සැනසීමක්. මේක තමයි බ්‍රැඩ් දරුවන් නැතිව ගත කළ දීර්ඝතම කාලය. ඒ නිසා ඔහු ගොඩක් දුකෙන් සාංකාවෙන් තමයි කාලය ගත කරලා තියෙන්නේ" ඇන්ජලීනා පවසනවා.


පෝල් වෝකර්ගේ මරණයේ රහස්

ජනප්‍රිය හොලිවුඩ් නළු පෝල් වෝකර් මෙලොවින් සමු ගත්තේ 2013 වසරේ නොවැම්බර් 30 වැනිදා. ලොස්ඇන්ජලීස් ආසන්නයේ දී දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වන විට ඔහු සිය ජීවන කඩඉමේ 40 වැන්න පසු කළා පමණයි.

Collisioan Course නම් රූපවාහිනි වැඩසටහන් මාලාවෙන් ලොව මෙවැනි හදිසි අනතුරුවලින් මරණයට පත් වූ ජනප්‍රිය තරු ගැන කතා වෙනවා. පසුගිය සතියේ 18 වැනිදා පෝල් වෝකර් ගැන මෙම වැඩසටහනෙන් කතා කළා. පොල් වෝකර්ගේ මරණය සහ රිය අනතුර සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු ප්‍රසිද්ධියට පත් නොවීම ගැන සැක සංකා පහළ වෙලා. මේ වැඩසහනේදී ඒ ගැනත් වැඩිදුර තොරතුරු සඳහන් කළා.

ඔහුගේ දියණිය මිඩෝ වෝකර් පෝෂේ මෝටර් රථ සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා. ඒ වෝකර් අනතුරට පත්වූ එම ආයතනයෙන් නිෂ්පාදිත මෝටර් රථය ගිනි ගෙන බොහෝ වේලාවක් ඔහු එම රථය තුළදී වේදනාවෙන් පිලිස්සී මණයට පත්වීම නිසා.

රේඩාර් සඟරාව පවසන්නේ, ජනප්‍රිය හොලිවුඩ් තරු මෙවැනි අනතුරුවලින් මරණයට පත් වූ විට එය ලොව ලොව පුරාම ප්‍රසිද්ධියට පත් වුවත් පෝල් වොකර් සම්බන්ධ අනතුරේදී ඔහුගේ චරිතය අතිශයෙන් ජනප්‍රියත්වයට පත් වූ බවයි. එපමණක් නොව නළුවෙක් ලෙසින් ඔහු තුළ තිබූ පෞරුෂය සැබෑ ජීවිතයේදී ද එලෙසින්ම ඔහු තුළ තිබූ බවත් එය සඳහන් කරනවා.


හිතේ සතුට

සාමාන්‍යෙයන් ජනප්‍රිය හොලිවුඩ් තරු තම පෞද්ගලික ජීවිත ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැති තරම්. හැබැයි ජනප්‍රිය ගායිකාවක නිළියක වන සෙලීනා ගෝමස් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පසුගිය දවසක හෙළි කරලා තිබුණා. මේ විදියට සුප්‍රකට වෝග් සඟරාවට ඇය හෙළි කරලා තිබුණේ තම ජීවිතයේ ආදරය සහ මානසික සුවය පිළිබඳ කරුණු.

සෙලිනාට මේ වන විට ලොවපුරා අතිවිශාල රසික රසිකාවන් පිරිසක් සිටිනවා. "අවංකවීම තමයි හොඳම දේ" ඇය පවසනවා. මේ විදියට තමන්ගේ ජීවිතයේ බොහෝ දේ රසික රසිකවන්ට පවසා ඔවුන් වෙත තව තවත් ළං වෙන බව තමයි බොහෝ දෙනාගේ අදහස. තම ජීවිතයේ බොහෝ දේ අන් අයට ප්‍රකාශ කළ විට හිතට ලොකු සැනසීමක් දැනෙන බව සෙලීනාගේ අදහසයි.

මීට පෙර තමන්ට ආත්ම අභිමානය ගැන නොදැනුණු බවත් නිරන්තරයෙන් සාංකාවෙන් පෙළුණු බවත් ඇය සඳහන් කරනවා. ඒ නිසාම ඇයට කලබලකාරී ජීවිතයෙන් මිදිලා ඉන්නට පවා වුවමනා වෙලා තියෙනවා. නමුත් ඇය එසේ නොකර ඒ අභියෝගයන්ට මුහුණ දෙන්න තීරණය කරලා. "සත්‍ය ජීවිතයට මුහුණ දෙන එක ලෙහෙසි නැහැ. මම ඒකට මුහුණ දුන්නාම නිදහස් වගේ දැනුණා" සෙලීනා පවසනවා.


එමාගේ Beauty and the Beast ආදායම

Beauty and the Beast චිත්‍රපටය ඉතා කෙටි කාලයක් තුළ ලොවපුරා හොලිවුඩ් රසික රසිකාවන් අමන්දානන්දයට පත් කළා. පසුගිය 17 වැනිදා ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කළ එය 19 වැනිදා වන විට අමෙරිකානු ඩොලර් මිලියන 104ක ආදායමක් වාර්තා කළා. එහි නිෂ්පාදන පිරිවැය වෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 160ක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය වන බෙලේගේ චරිතයට පණ පොවන එමා වොට්සන් මේ චිත්‍රපටයෙන් කොපමණ මුදලක් උපයා ගන්න ඇතිද?

26 හැවිරිදි එමා වොට්සන් වෙත Beauty and the Beast චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දැනට ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 15ක්. බොහෝ දෙනා කියන්නේ එය ඉතා අඩු මුදලක් බවයි. හැබැයි ඇය මේ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ, චිත්‍රපටය උපයන ආදායම අනුව මුදල් ගෙවන ලෙසින්.

මීට පෙර MaleFicient චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මුල් අදියරේදී ඇන්ජලීනා ජොලීට ගෙවා තිබුණේද අමෙරිකානු ඩොලර් මිලියන 15ක්. එමා අතිශය ජනප්‍රිය වුණු හැරී පොටර් චිත්‍රපට මාලාවේ රංගන වෙනුවෙන් ඇයට අමෙරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් ගෙවා තිබුණා.