|
කවි සිහියෙන් වැරදි ගෙදරට
බුද්ධදාස ගලප්පත්ති කියන්නේ මෑත කාලයේ බිහි වූ විශිෂ්ට සාහිත්‍යධරයෙක්. ඒ වගේම විචාරකයෙක්, ගීත රචකයෙක්, ජූරි සභිකයෙක් ලෙස ද ඔහු කටයුතු කරනවා. බුද්ධිගේ දැඩි හිතවතෙක් තමයි ප්‍රවීන ගීත රචක කුලරත්න ආරියවංශ. දෙන්නම සමකාලීනයොනෙ. බුද්ධි මේ ළඟදී දවසක අලුතින් කවි පෙළක් ලියලා. ඒකේ ගුණදොස් අහන්න හිතාගෙන සහ කාලෙකින් කුලේව මුණ ගැසුණේ නැති හින්දා ඔහු ගිහින් කුලේගේ ගෙදර. පයින්ම තමයි ඒ ගමන ගිහින් තියෙන්නේ. ඒ අතරතුරදී අලුත් කවි ගැනත් හිත හිත ගිහින්. බුද්ධි කුලේගේ ගෙදරට ගිහින් දෙතුන් පාරක් සීනුව ගහලා. ඒත් සද්ධයක් නැතිලු. බැරිම තැන බුද්ධි කුලේට කෝල් එකක් අරගෙන. කුලේ මං උඹලගෙ ගෙදර ආවා. ගෙදර කවුරුත් නැහැ වගේ. මගේ අලුත් කවි ටික ගෙදර තැපැල් පෙට්ටියට දාලා යන්නද. බුද්ධි එහෙම අහද්දි කුලේට උඩ බිම බැලිලා. ඊට ප්‍රධාන හේතුව කුලේගේ ගෙදර තැපැල් පෙට්ටියක් නැතිකම. අනික එවලේ කුලේ ගෙදර සිටීම. ඔහු දනිපනිගාලා ගෙදරින් එළියට ඇවිත්. බුද්ධි දොරකඩ නැතිලු. බැලින්නම් කවි සිහියෙන් බුද්ධි ගිහින් තියෙන්නේ වැරැදි ගෙදරකට. වෙලාවට එතන කවුරුවත් ඉඳලා නැත්තේ.
|