|
මිනිසුන්ගේ ආදරය ඊට වඩා මට දැනෙනවාබාල මහලු භේදයකින් තොරව ගිය වසරේත් ලංකාවේ ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායක
*
බැරිම තැන මම විජය මාමාගේ
ඇඟේ හැප්පුණා
ලංකාවේ අළෙවිකරණ ක්ෂේත්රයේ දැවැන්තම සම්මාන උලෙළක් වන SLIM-Nielsen ජනතා සම්මාන උලෙළ පසුගිය දිනෙක උත්කර්ෂවත් අයුරින් නිමා විය. ලංකාවේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය වන ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය සහ ලෝක ප්‍රකට වෙළෙඳපොළ දත්ත හා පර්යේෂණ පිළිබඳ ආයතනයක් වන නීල්සන් සමාගම හා එක්ව සංවිධානය කරන SLIM - Nielsen සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ දසවන වතාවටයි. පුද්ගල චරිත, කලා නිර්මාණ හා වෙළෙඳ සන්නාම යන කාණ්ඩ ත්‍රිත්වයටම අදාළ සම්මාන පිරිනැමෙන මෙම සම්මාන උලෙළෙහි සියළු සම්මාන පිරිනැමෙන්නේ ජනතා කැමැත්තට අදාළවය. නීල්සන් ආයතනය මඟින් මෙහෙයවන දීප ව්‍යාප්ත සංගණනයකට අනුව ලැබෙන දත්ත හා නියැදි සසඳා එම සම්මානවලට පුද්ගලයන් නිර්මාණ හා සන්නාම නිර්දේශ වෙයි. ඒ අනුව පිට පිට දසවන වතාවටත් ලාංකේය ජනතාවගේ තේරීමෙන් ජනපි‍්‍රයම නළුවා සම්මානය ලබාගන්නේ රන්ජන් රාමනායකයි. එපමණක් නොව පසුගිය වසරවල සේම ලාංකීය තාරුණ්‍යයේ ජනප්‍රියම නළු ප්‍රතිරූපයට හිමි Youth’s Choice සම්මානය ද ලබා ගන්නේ රන්ජන් රාමනායකයි. ඒ අනුව අද වන විට ලංකාවේ තහවුරු වූ නළු සන්නාමය රන්ජන් රාමනායක බවට අමුතුවෙන් තර්ක කළ යුතු නොවේ. නිෂ්පාදනයක් සන්නාමයක් බවට පත්වීම, එසේත් නොමැති නම් ප්‍රඩක්ට් එකක් බ්‍රෑන්ඩ් එකක් බවට වීමට අවශ්‍ය වන්නේ සුවිශේෂිතාය. එවන් සුවිශේෂතා රාශියක් රන්ජන් සතුව පවතින බව ද අප අමුතුවෙන් කිව යුතු නොවේ. එතරම් ප්රගතිශීලී නොවන ලංකාවේ දේශපාලන භුමිය තුළ රන්ජන් නිතර රඟන භූමිකාවත් පසුගාමී සමාජයක් තුළ එහි ආකෘතිවලට පිටින් සිනමාව තුළ ඔහු නිරූපණය කළ චරිතත් මෙවර ඔහු ස්ලිම් නිල්සන් ජනතා සම්මානය ලබන්නට සුදුසුකම් සපිරුවා විය යුතුය.පසුගිය සමයේ රන්ජන් රාමනායක මුහුණ දුන් කෙළවරක් නොමැති වාග් සංග්රාම, මැදිහත්වීම්, කුණුහරුප සංග්‍රහ මෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ප්රගතිශීලී අදහසක් මතු කිරීමට මායා චිත්‍රපටයෙන් ඔහු කළ රංගනය ජනතාව ඇගයුමට ලක් කළා විය හැකිය. කෙසේ වෙතත් අපගේ මේ හමුවීම රන්ජන් නම් නිෂ්පාදනය සමාජය තුළ සන්නාමයක් හෙවත් බ්‍රෑන්ඩ් එකක් වීම ගැන කතාබහකට එළඹීමටය. ඔහු ඒ ගැන සරසවියට දැක් වූ අදහසයි මේ. රන්ජන් බ්‍රෑන්ඩ් එකක් කියන අදහසට ඔබට පුද්ගලික එකඟතාවක් තිබෙනවාද? ඇත්තෙන්ම කිව්වොත් රන්ජන් රාමනායක බ්‍රෑන්ඩ් එකක් කියන අදහසට මම එකඟ නැහැ. මම එහෙම බ්‍රෑන්ඩ් එකක් ගොඩනඟලා නැහැ කියලයි මට හිතෙන්නේ. ඒකට ලොකු හේතුවක් තිබෙනවා. මම සෑහෙන කාලෙකට කලින් ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්’ කියන ෆිල්ම් එක බැලුවා. ඒකේ එක තැනක ප්‍රධාන චරිතය ඔස්කාර් ෂින්ඩ්ලර් මෙහෙම කියනවා. I Didn’t Do Enough. නාසිවාදය පැතිරිච්ච කාලෙක ඔහුට මිනිසුන්ව බේරාගන්න බැරි වීම ගැනයි මේ කියන්නේ. ෂිල්ඩ්ලර් කියන්නේ බලවත් ධනවත් චරිතයක්. ඔහු තමන්ගේ කාර් එක පෙන්වලා කියනවා මේ කාර් එක මොකටද මට. මේක නිසා මිනිස්සු දහයක් බේරගන්න තිබ්බා. ටයි පින් එක පෙන්වලා කියනවා මොකටද මට මේක, මේක රත්තරන්. මේකෙන් මට මිනිස්සු දෙන්නෙක් බේර ගන්න තිබ්බා කියලා. ඇත්තම කියනවා නම් මේ චිත්‍රපටය මාව කම්පනය කළා. එදා මම හිතාගත්තා මම මම වටා කවදාවත් ධනය බලය එක්ක රැස් වළල්ලක් ගොඩ නඟා ගන්නේ නැහැයි කියලා. රජිණි කාන්ත් වතාවක කිව්වා ඔබේ ඔරලෝසුව බ්‍රෑන්ඩඩ් වුණත් සාමාන්‍ය වුණත් හැමෝටම තියෙන්නේ එකම වෙලාව කියලා. මම හිතන විදිහට මේ වගේ සම්මාන ලැබෙන්න හේතුව මම ජනතාව වෙනුවෙන් අවදානම් දරන නිසා කියලයි. ඒවා තුළින් මම සෑහෙන්න හඬ නැඟුවා. ඒ නිසයි මට මේ දේවල් ලැබෙන්නේ. එහෙම නැතුව මම බ්‍රෑන්ඩ් එකක් හින්දා නෙවෙයි. ඔබට කවමදාකවත් ආරාධනා ලැබුණේ නැත්ද තවත් වෙළඳ සන්නාමයක් වෙනුවෙන් ඔබේ සන්නාමය පාවිච්චි කරන්න? එහෙමත් කාලයක් තිබුණා. මම නැඟී එන නළුවෙක් කාලේ වෙළෙඳ දැන්වීම් කිහිපයකටම පෙනී සිටියා. මට දැනට මතක විදිහට එඩ්නා චොක්ලට් වෙනුවෙන් බොහෝ කාලෙකට කලින් පෙනී හිටියා. මහජන බැංකුවේ දැන්වීමකට පෙනී හිටියා රමණී බර්තලෝමියුස් එක්ක. මට මතක විදිහට රුපියල් 5000 ක් ගෙව්වා ඒකට. ඊට පස්සේ කොකා කෝලා දැන්වීමකට පෙනී හිටියා සබීතයි කීර්ති පැස්කුවල් එක්ක. ඒ හොඳම නැඟී එන නළුවට සරසවිය සම්මානේ ලැබුණ කාලේ. ඒ දැන්වීමට නම් රුපියල් 25,000 ක්ම ලැබුණා. එතකොට දැන් ආරාධනා නැත්ද? දැන් තත්ත්වය ගොඩක් වෙනස්නේ. ඉස්සර දේශපාලන මති මතාන්තර නිසා ගැලුවක් ඇති වුණේ නැහැනේ. ඒත් දැන් දේශපාලනය නිසාම වෙළඳ දැන්වීම්වලට මාව පාවිච්චි කරන්නේ නැහැ. මට පක්ෂ වගේම විපක්ෂ පිරිසකුත් සමාජයේ ඉන්නවනේ. ඒ නිසා සාමාගම් ඉදිරිපත් වෙන්නේ නැහැ එහෙම තත්ත්වයක් ඇතුළේ මාව පාවිච්චි කරන්න. එතකොට ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එක යන්නේ පක්ෂ පිරිස අතරේ විතරයි. ඒ නිසා ඔවුන් මාව පාවිච්චි කරන්නේ නැහැ. ඔබ කාලෙන් කාලෙට ඔබ වෙනුවෙන්ම ගොඩ නඟා ගන්නේ වීර ප්‍රතිරූපයක්. මොකක්ද එකේ ආරම්භය? ඕක මට පොඩි කාලේ ඉඳන්ම එන තත්ත්වයක්නේ. මොකද මම නිකං පාරේ ඇවිද්දත් මට හිතෙන්නේ මං වීරයෙක් වගේ කියලා. කොහොමත් ඒ කාලේ වයසත් එක්ක ක්‍රියාදාම වැඩවලටත් කැමතියිනේ. බෲස්ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන්ලා තමයි ප්‍රිය කරපු චරිත. වතාවක් මට මතකයි එක ආච්චි කෙනෙක් මගෙන් ඉල්ලිමක් කළා එයාගේ පුතෙක් වෙනුවෙන් ලේ දන් දෙන්න කියලා. ඉතිං ගත් කටටම හා කියලා ලේ දුන්නා වීරයා වගේ. දීලා ඉවර වෙලා නැගිටලා ආවේත් වීරයා වගේ. ඉස්පිරිතාලෙන් ඇහුවා සල්ලි දෙන්න ද කියලා. මං වීරයා වගේ එපා කිව්වා. ඇඟට කොහොමද කියලා ඇහුවා. මං කිව්වා ෆුල් ෆිට් කියලා. ඊට පස්සේ කිරි වීදුරුවක් දුන්නා බොන්න. මගේ ඉස්සරහා ඉන්නවා නර්ස් කෙනෙක්. කිරි එක බොන ගමන් මට පේනවා නර්ස් එක්කෙනා දෙන්නා වෙනවා. දෙන්නා තුන්දෙනා වෙනවා. තුන් දෙනා වුණ ගමන් මං බිම ඇදගෙන වැටෙනවා. බැලින්නම් මට කලන්තේ දාලා වැටිලා වීදුරුවත් බිඳිලා. පස්සේ ඉතිං සිහිය ආවා. ඊට පස්සේ ඉස්කෝලේ ඉන්න මගේ විරුද්ධවාදීන් ප්‍රචාරයක් ඇරියා අන්න රන්ජා ලේ දීලා කලන්තේ දාලා වැටිලා, ආයෙත් ලේ දීලා තමයි ඌව නැගිට්ටවලා තියෙන්නේ කියලා. ඒ තරමට වීරයෙක් වෙන්න ඔබ අනුගමනය කරපු චරිත මොනවාද? කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ. මම මුලින්ම අනුගමනය කරන්න හදපු චරිතය තමයි පාප් වහන්සේ. ඒ දවස්වල ගෙදර කට්ටිය අලිතාලියා එකෙන් වතිකානුවට ගිහිල්ලා දේව මෙහෙයන්වලට යනවා. පාප් වහන්සේ අත දිග ඇර ඇර කරන දේව මෙහෙයන් කරන විදිහ බලන් ඉන්න මම හරි ආසයි. මම එවලේ හිතා ගත්තා මම ෆාදර් කෙනෙක් වෙනවා කියලා. තව ටිකක් ලොකු වෙනකොට මම සිල්වෙස්ටර් ස්ටැලෝන්ලා, බෲස් ලීලට වහ වැටෙනවා. හැම විදිහකින්ම ඔවුන්ව අනුගමනය කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම බෲස් ලී වගේ හීන්දෑරි මිනිහෙක් කරන දේවල් වලට මම වශී වෙනවා. විජය කුමාරතුංග චරිතයට මම කවදත් කැමැත්තෙන් හිටියා. පෙඩි කාලේ ඉඳන්ම මට ලොකු පිස්සුවක් තිබුණා ඔහුව ආශ්‍රය කරන්න. අනික ඔහු මගේ ඥාතියෙක්නේ. පස්සේ කාලෙක මම පොත් පත් කියවන්න හුරු වුණා. ඩේල් කානගි ගේ, අරුන්දති රෝයිගේ පොත් මාව වෙනස් පැතිවලට අරන් ගියා. ඉතිං ඒ ඒ කාලේට ඒ ඒ විදිහ තමයි. එක චරිතයක් විතරක් මට බලපෑවේ නැහැ. ඔබට අනුව විජය කුමාරතුංග කියන්නේ බ්‍රෑන්ඩ් එකක්ද? ඔහු එයටත් වඩා වටිනා මනුෂ්‍යයෙක්. උතුම් ගතිගුණ තිබිච්ච මනුෂ්‍යයෙක්. මම නම් ජීවිතේට දැකලා නැහැ ඒ වගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ තිබ්බ කෙනෙක්. ඒ වගේම ජනතාව අතර අතිශය ආදරයකට ලක්වුණු කෙනෙක්. මම නම් හිතන්නේ නැහැ වෙන ඇතියි කියලා. ඔහු හැමෝටම සමානව සලකපු කෙනෙක්. උපකාරයක් ඉල්ලපු කෙනෙක්ට කවදාවත් බැහැයි නොකියා උදව් කරපු කෙනෙන්. ඒ වගේම කාගෙවත් හිතක් රිද්දන්න හිතපු කෙනෙකුත් නෙවෙයි. රුක්මණී දේවි මැරුණු තැන පිළිරුවක් හැදුවා. ප්‍රේමදාස මහත්තයා මැරුණු තැන පිළිරුවක් හැදුවා. නමුත් විජය කුමාරතුංග මැරුණු තැන පිළිරුවක් නැහැ. ඒත් මම වැඩේ අතහරින්නේ නැහැ. කොහොම හරි පර්ච් 1 ක් අරන් එතැන පිළිරුවක් හදනවා. ඒ පොල්හේන්ගොඩ ගෙදර චන්ද්‍රිකා මැතිනිය විකුණලා දාපු එක ගැන නම් මට අදටත් කේන්තියි. ඔබ කාලෙන් කාලෙට කවුරු අනුගමනය කළත් විජය කුමාරතුංග තමයි පරමාර්ශය, එහෙමද? ඔව්. ඒක එහෙම තමයි. මම කුඩා කාලයේ ඉඳන් ඔහුට ආසයි. ඔහු මගේ නෑයෙක් වුණාට ඒ දවස්වල ඔහුව වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඥාතිත්වයෙන් ඔහු මට වෙන්නේ මාමා. ඒ මාමා වෙන්නේ ඔහු මගේ ආච්චිගේ මල්ලිගේ පුතෙක් වෙන නිසා. මට එක සිද්ධියක් තාම මතකයි. මගේ තව මාමා කෙනෙක් හිටියා ලලිත් කුමාරතුංග කියලා. ඔහුගේ මඟුල් ගෙදරට මම ගියා. ඒ සීදූවේ. ගොඩක් දෙනෙක් බලං හිටියා විජය කුමාරතුංග එන්නේ කොයි මොහොතේද කියලා. මාත් එහෙමයි. මෙන්න ඔහු ආවා ටික වෙලාවකින්. එතැන ඉන්න මිනිස්සුන්ට මෙලෝ සිහියක් නැහැ. ඔක්කොම විජයව වට කර ගත්තා. එදා නම් මම හිතා ගත්ත මමත් කවදා හරි විජය මාමා වගේ වෙනවා කියලා. එදා ආපු මිනිස්සුන්ට තමන් ඉන්නේ මඟුල් ගෙදරක කියලවත් සිහියක් නැති වුණා. එදා ඉඳන් මම යාළුවන්ටයි ගම වටෙයි හැම තැනම කිය කියා ගියා විජය මගේ ඥාතියෙක්. මට එයාව හම්බ වුණා කිය කියා. යාළුවෝ ඇහුවා උඹට කොහොම විජය නෑයෙක් වෙන්නේ, උඹේ වාසගම අල්ෆොන්සෝ නේ කියලා. මම එදා හිතුවේ එහෙම කියද්දී මට ලොකු පිළිගැනීමක් එයි කියලා. නමුත් එහෙම එකක් මට ලැබුණේ නැහැ. නමුත් අරමුණ තිබුණා කවද හරි ඔහු වගේම වෙනවා කියලා. පසු කාලයකදී විජය ඔබ ක්ෂේ්ත්රයට ගෙනත් ස්ථාවර කළා? ඒක වුණේ මෙහෙමයි. ඒ කාලේ තැන තැන මම විජය මගේ ඥාතියෙක් කියලා කිය කිය ගියාට විජය මාමා ඇත්තටම මට කතා කරලවත් තිබුණේ නැහැ. නමුත් එකම එක දවසක් මගේ ජීවිතේට හැරවුම් ලක්ෂයක් වුණා. එදා තමයි අපේ ආච්චි ලිලියන් කුමාරතුංගගේ මළ ගෙදර අන්තිම මොහොත. එක පාරටම මතු වුණා විජය මාමා. ඔහු උඩු රැවුලක් එහෙම වවලා. ඒ දවස්වල මහර අතුරු මැතිවරණය. ඔහු ඒකට කැප වෙලා හිටියේ. ඒ මොහොතේ පෙට්ටිය වහලා ගෙනියන මොහොත. එදා මම හිතා ගත්තා අද නම් කොහොම හරි විජය මාමාත් එක්ක කතා කරනවා කියලා. මම අවධානය ගන්න ඕනෑ නිසා ගිහින් ඇඟේ හැප්පුණා. විජය මාමා විසි වුණා. එක පාරටම ඔහු මාව අඳුර ගත්තා. ආහ් මේ රන්ජන් නේද? කොල්ලා නිකං නළුවෙක් වගේනේ. ඒ වචන ටික මට අදහා ගන්න බැරි වුනා. එළියට ගියාට පස්සේ මම විජය මාමාට කිව්වා මට රඟපාන්න ආසයි කියලා. එහෙනම් දවසක කොළඹ ඇවිත් මාව හම්බ වෙන්නකෝ කියලා විජය මාමා කිව්වා. ඉතිං ක්‍රිස්තු චරිතයේ පොඩි චරිතයක් මට ලැබුණා. විජය මාමා වීම නිසාම ක්ෂේත්රයේ ඔබට සැලකිල්ලක් ලැබෙන්නත් ඇති? මම විජයට මාමා කියන එක නම් කොයි මොහොතකවත් නැවැත්තුවේ නැහැ. එතුමයි මමයි ඉන්න දවසක වික්ටර් මානගේ මහත්මයා ආවා. එතකොට ඔහු ඔක්කොම සූරයෝ චිත්‍රපටය කරන්න හිටියේ. ඔහු විජය මාමාට අඬගැහුවා චිත්‍රපටයට. මම ඕනෑ නැහැනේ වික්ටර් ඕකට, ඕනෑ තරම් කොල්ලෝ ඉන්නේ තව. මෙන්න මේ රන්ජන් දාලා කරගන්න ඕක. විජය මාමා කිව්වා. එහෙම බැහැනේ විජය මහත්තයා මට දවස් 5 ක් වෙන් කරලා දෙන්න. අපි කොහොම හරි කරමු කියලා වික්ටර් මානගේ කිව්වා. කොහොම හරි මටත් චරිතයක් ලැබුණා ඔක්කොම සූරයෝ චිත්‍රපටයේ. දවසක් මම විජය මාමාට මාමේ මාමේ කියලා පස්සෙන් යද්දී ගීතා කුමාරසිංහ ඇහුවා ඔයා මොකද විජයට මාමේ කියන්නේ කියලා. මාමා නිසානේ මාමා කියන්නේ. මමත් අනිත් පැත්තට කිව්වා. මාමා වුණාට කමක් නැහැ, තැන් තැන්වල ඕක කිය කිය යන්න එපා කියලා එදා ගීතා මට අවවාද කළා. රන්ජන් රාමනායක කියන නළු ප්‍රතිරූපය හැදෙන්නට ශෛලින්, රීතීන් වගේ දේවල් බලපෑවේ නැතිද? අපේ රටේ රංගධරයන්ගෙන් ඉහළම සුදුසුකම් තිබුණේ කාටද? ඒ ආචාර්ය සාලමන් ෆොන්සේකාට. නමුත් අනිත් පැත්තට බලන්න ජෝ මහත්තයා, සප්ත ස්වරය හැඳිනුවේ නැති ජෝතිපාල, ලෝක සිනමාවේ ෂෝන් කොනරි, බෲස් ලී වගේ අය. මේ අය කවදාවත් ශෛලින් රීතින් අනුව හැඩගැසුණු අය නෙවෙයි. ගාමිණී ෆොන්සේකා මහත්තයා කාලෙකට කළින් කිව්වා ලෝකයේ නළුවන් කොපමණ හිටියත් මිනිසුන්ව මෝහනය කරන්න පුළුවන් වෙන්නේ කිහිප දෙනාටයි කියලා. මම නම් කොහොමත් කියන්නේ නැහැ මම එහෙමයි කියලා. මම ලොස් ඇන්ජලිස්වල පොඩි පොඩි ජොබ් කරන කාලේ හොලිවුඩ් ගියා. එහේ එක බිත්තියක තිබුණා ලෝකයක් මෝහනයට පත් කළ චරිත කියලා නම් කිහිපයක්. ඔවුන් තමා මර්ලින් මොන්රෝ, ජේම්ස් ඩීන්, මාලන් බ්රැන්ඩෝ, බෲස් ලී, එල්විස් ප්‍රෙස්ලි සහ ෆ්රෑන්ක් සිනාට්රා. මම රජිණි කාන්ත්වත් දකින්නේ ඒ විදිහට. මිනිසුන් මෝහනයට පත් කරනවා කියන එක කොහෙත්ම ලෙහෙසි වැඩක් නෙවෙයි. නමුත් කවමදාකවත් රන්ජන් රන්ජන්ම වුණා කියලා මට හිතෙන්නේ නැහැ? වෙන්න පුළුවන්. මම කවදාවත් කියන්නේ නැහැ රන්ජන් 100% ක්ම ස්වතන්ත්‍ර චරිතයක් කියලා. මමත් යම් යම් දේ කොපි කළා. මොකද මම ඔයාට කළින් කිව්වා වගේ ඒ ඒ කාලවලට ඒ ඒ පරමාදර්ශයන් මට තිබ්බ නිසා. ඔබත් ඔබටම ආශිර්වාදයක් වන බ්‍රෑන්ඩ් එකක් හැදුවා නේද? ඇත්තටම මොකක්ද ඒ? මම කියන්නේ වන් ෂොට් ගැන? ඇත්තටම මට ඩිරෙක්ට් කරමින් ඇක්ට් කරන්න උවමනාවක් ආවා. ඒ වගේම කෝච්චි හප්පලා පුපුරුවන දර්ශන වගේ විශේෂ දර්ශනත් කරන්න උවමනාවක් තිබුණා. ඉතිං මං ඒ දේ කළා. රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සෝමරත්න බාලසූරිය මහත්මයාට ස්තූතිවන්ත වෙනවා ඒ චිත්‍රපටය ඒ විදිහටම පෙන්වන්න ඉඩ දීපු එක ගැන. ඔබෙන් කෙදිනක හෝ කවුරුන් හෝ අසා තිබෙනවාද තනතුරු අරන් සිනමාව වෙනුවෙන් මොනවද කළේ කියලා? ඇත්තටම මගේ මූණටම ඔය ප්‍රශ්නේ අහලා තිබෙනවා. මුලින්ම කියන්න ඕනෑ මම දේශපාලනයට ඇවිල්ලා තනතුරු ගත්තේ කලාවට යමක් කරනවා කියලා ප්‍රතිඥා දීලා නෙවෙයි. එත් මට යම් වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. මට පුළුවන් වුණා කලාකරුවන්ට ණය පහසුකම් ක්‍රමයක් හදන්න. ඒ වගේම කලාකරුවන්ගේ වැඩිහිටි නිවාසය, ඒකට අපි අක්කර 4 ක ඉඩමකුත් වෙන් කරගෙන ඉවරයි. සිනමාව ඩිජිටල්කරණය වීමේදී ඇතිවෙච්ච කතාබහෙත් මම හිටියා. ඒ වගේම නිළි මස් දඩ මස් ගැන හෙළදරව් කරලා හඬ නැඟුවෙත් මම. ඔබ සමාජය තුළ ප්‍රකට චරිතයක් වීම නිසා ඔබ ලබන ප්‍රතිලාභය මොකක්ද? මම ලබන ලොකුම සොමිය තමයි රූපවාහිනියේ දේශපාලන සංවාදවලට ගියාම සැනසීමෙන් වාඩි වෙන්න පුළුවන් වෙන එක. මොකද මම හෘද සාක්ෂියට එකඟව දේශපාලනය කළා. අනික් කාරණය මම විවාහ නොවුණු එක. ඒ නිසා තමයි මට මේ තරම් ජීවිතයේ අවදානම් ගන්න පුළුවන් වුණේ. මේ අතරම මිනිස්සුන්ට උපකාර කරන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි මිනිස්සු මට මෙච්චර ආදරේ. ඒ ආදරේ මට හැමදාම වටිනවා. ඒ ආදරේම තමයි සම්මානවලින් මට ලැබෙන්නෙත්. ඒත් මගේ වීක් පොයින්ට් එක තමයි ගැහැනිය. පාළුව තනිකම දැනෙන වෙලාවට, අසනීපයක් අමාරුවක් වුණොත් පිට පැත්තේ ක්‍රීම් ටිකක් හරි ගාගන්න ගැහැනියක් නැති අඩුව දැනෙනවා. ඒත් මිනිස්සුන්ගේ ආදරේ ඊට වඩා මට දැනෙනවා. ඔබගේ ඔය තනිකඩකම නිව්ස් එකක් ගොසිප් එකක් වෙනවට ඔබ කැමැතිද? අරිසෙන් අහුබුදු මහත්මයා කිව්වා මට දවසක් රන්ජන් කියන නමේ තේරුම රංජනය කරනවා කියන එක කියලා. මම එන්ටර්ටේනර් කෙනෙක්. ඒ නිසා මිනිස්සු ඒවා බලලා සතුටු වුණාට මට ගැටළුවක් නැහැ.
|