|
Moonlight ‘සඳ එළිය’ දැන් ලංකාවට ඇවිත්
මෑතකදී පැවැත් වුණු 89 වැනි ඔස්කාර් සම්මාන උලෙළ මෙතෙක් පැවති ඔස්කාර් සම්මාන උලෙළ සියල්ලටම වඩා වෙනස් උලෙළලක් බවට පත් වුණා. ඔස්කාර් සම්මාන උලෙළ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් එහි හොඳම චිත්‍රපටය වරදවා නිවේදනය කළද ඒ සිදුවීම සමඟින් මෙවර හොඳම චිත්‍රපටයට තව තවත් ඉහළ ජනප්‍රියත්වයක් අත් වූවා කිවහොත් වඩා නිවැරදිය. කළු අමෙරිකානුවෙකුගේ ජීවිත කතාවක් ගෙන එන Moonlight මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලද්දේ එලෙසිනි. ජීවිතයේ කාල වකවානු තුනකදී - කුඩා ළමයකු, යෞවනයකු සහ වැඩිහිටි තරුණයකු ලෙස අප්‍රිකානු ඇමෙරිකානු සම්භවයක් ඇති චෙරෝන්ගේ ජීවිතය, 'මූන්ලයිට්' හි ගෙනහැර පායි. කුඩා දරුවකු ලෙස චෙරෝන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු සිය මව සමඟ මයාමි හි ජීවත් වෙයි. කුඩා නිසා සියල්ලන් ඔහුට ලිට්ල් ලෙස අමතති. සිය මවගෙන් එතරම් අවධානයක් නොලැබෙන 'ලිටල්' ලජ්ජාශීලී කොන්වුණු කුඩා ළමයෙකි. ඔහුගේ කියුබානු ඇමෙරිකානු මිතුරකු වන කෙවින් සහ ජුආන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ඔහුගේ බිරිඳගෙන් හැරෙන්නට ලිටල් සියල්ලන්ගෙන්ම කොන් වූ හිරිහැරයට ලක්වන දරුවෙකි. යෞවනයකු ලෙස චෙරෝන් මුහුණ දෙන ජීවිතය මීටත් වඩා අපහසු වන අතර, ඔහු සමලිංගිකයකු බවත් චිත්‍රපටයෙන් ඉඟි කරයි. අනෙක් සිසුන් ගෙන් සිදුවන ගැහැට ඉවසිය නොහෙන චෙරෝන් ජුආන් කුඩා කල දුන් උපදෙසක් අනුව සිය ඉරණම අතට ගෙන ක්‍රියා කරයි. මීළඟට චිත්‍රපටයේ දිස් වන්නේ චෙරෝන් ගේ වැඩිහිටි තරුණ ජීවිතයයි. ඔහු තමා ජීවත්වන පරිසරය තුල සාර්ථක දිවියක් ගත කරන බව මෙහිදී පෙන්නුම් කෙරේ. සම්මානනීය අධ්‍යක්ෂක බෙරී ජෙන්කින්ස් ගේ අධ්‍යක්ෂණයෙන් සහ අඩෙලේ රෝමන්ස්කි, ඩේඩේ ගාඩ්නර් සහ ජෙරමි ක්ලීනර් ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු 'Moonlight' ඔස්කාර් සම්මාන උලෙළේදී සේම 74 වන ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපට උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නට සමත් වුණා. මෙහි ජුආන්ගේ චරිතයට පණ පෙවූ මාහ්ෂෙලා අලී ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔහු ඔස්කාර් සම්මානයක් ලද ප්‍රථම මුස්ලිම් ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වුණා. අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක කුඩා පිරිවැයකින් තැනී ඇති මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක ආදායමක් ඉපැයූ අතර, අතිශය ඉහළ විචාරක පැසසුම් ලැබූ චිත්‍රපටයක් බවට පත් විය. IMDB දර්ශකයේ ලකුණු 7.6 / 10 ක් ලබා ඇති Moonlight රෝටන් ටෝමාටෝස් හි ලකුණු සියයට 97 කට හිමිකම් කියයි. රෝටන් ටෝමාටෝස් චිත්‍රපට විචාරකයින් Moonlight චිත්‍රපටය ගැන දරන්නේ මෙවැනි අදහස්.
|