|
පත්තිනිට වැඩිය ආදරේ කළේ කාන්තාවන්
සුමති චිත්‍රපට කළමනාකර අධ්යක්ෂජගත් සුමතිපාල
පසුගිය දිනවල පවත්වන ලද ස්ලිම් නීල්සන් උලෙළේදී ජනපි‍්‍රයම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘පත්තිනි’ චිත්‍රපටයයි. මේ ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද මිලිනා සුමතිපාල මහත්මිය අද ජීවතුන් අතර නැත. සරසවිය සම්මාන දිනූ ගඟ අද්දර ඇතුළු චිත්‍රපටය රැසක් නිපදවූ සුමති චිත්‍රපට සමාගමේ මුල් පුටුව අද හොබවනුයේ ජගත් සුමතිපාලය. ‘පත්තිනි’ ජනතාව අතරට ගෙන යෑම පිළිබඳ ජගත් සුමතිපාල මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි. * සාර්ථක ලෙස ‘පත්තිනි’ චිත්‍රපටයේ ජනතාව අතරට රැගෙන යෑම සඳහා අනුගමනය කළ වැඩපිළිවෙළ කුමක් ද? චිත්‍රපටයක් සාර්ථක කර ගැනීම විශාල අභියෝගයක්. එහිදි ප්‍රචාරණ කටයුතු නිවැරැදිව කළ යුතුයි. කණ්ඩායමක් විදියට අපට එය කළ යුත්තේ කෙසේදැයි සිතුවා. අනෙක් කාරණය නම් ඉතිහාස කතා දිගින් දිගට ම තිරගත වූ යුගයකයි ‘පත්තිනි’ චිත්‍රපටයක් ලෙස සිනමා ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යෑමට අපට සිදු වුණේ. ඒ නිසා මුහුරත් උලෙළේදී පටන් ම චිත්‍රපටයේ ප්‍රචාරය පිළිබඳ අප සිතුවා. විශේෂයෙන්ම පත්තිනිව හැඳීන්වීමට යෙදුවේ ආදරයේ දෙව්රුව නමින්. ඒ පූර්ව ප්‍රචාරය රූ ගත කිරීම් අතරටත් රැගෙන ගියා. චිත්‍රපටය නිර්මාණය කළාට පස්සේ විද්‍යුත් මාධ්‍ය මඟින් මෙන්ම මුද්‍රිත මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ජනතාව අතරට පිවිසුණා. එහිදි අප කන්නගී ලෙස රඟපෑ පූජා උමාශංකර් හා කෝවලන් ලෙස රඟපෑ උද්දික ඇතුළු, මාධවී ලෙස රඟපෑ අරුණිගේ වර්ණවත් පින්තූර සහිත රූප රාමු භාවිත කළා. මේ ප්‍රචාරය සඳහා ජනමාධ්‍ය ලබාදුන් සහයෝගයත් මෙහිදි අප සිහිපත් කළ යුතුයි. * පත්තිනි තිරගත වීමේදී එහි රඟපෑ නළු නිළියන් පවා චිත්‍රපටය තිරගත කරන ස්ථානවලට ගොස් සිනමා ප්‍රේක්ෂකයන් සමඟ කතාබහක යෙදුණේ මේ ප්‍රචාරයේ ම ප්‍රතිඵලයක් මත ද? ඔව්. ඒ මඟින් සිදු වුණු ප්‍රචාරයත් චිත්‍රපටයට සිනමා ප්‍රේක්ෂකයන් ඇඳී ඒමට හේතුවක් වුණා. තිරගත වූ ඵෙතිහාසික චිත්‍රපට අතරින් ලැබූ ප්‍රතිචාර සැලකීමේදී අප සිටියේ තෙවැනි ස්ථානයේයි. * ඔබ ආයතනයේ ඉලක්ක ගත පිරිස වූයේ පවුලේ සියලු සාමාජිකයන් බවයි අපට හැඟුණේ. ඒ අදහස සාර්ථක වූවා ද? ‘පත්තිනි’ චිත්‍රපටය නැරැඹීමට පැමිණි සිනමා ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම සිටියේ කාන්තාවන්. මේ චිත්‍රපටය පවුලේ චිත්‍රපටයක් වුණත් පිරිමි පාර්ශ්වයට වඩා සිටියේ කාන්තාවන්. ‘පත්තිනි’ චිත්‍රපටයට වැඩිපුර ම ආදරය කළේ කාන්තාවන්. ඔවුන් ඒ චිත්‍රපටය දුටුවේ තමන්ගේ කතාවක් ලෙසයි. සමහරු මේ චිත්‍රපටය දහවතාවක් පමණ නරඹා තිබීම අප ලැබූ ජයග්‍රහණයක් ලෙසයි දුටුවේ. අපගේ ප්‍රචාරණයේ සාර්ථකත්වයයි ඒ හරහා අප දුටුවේ. * ඒ සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ තිරරචනයත් බලපෑවා ද? එතුමා හොඳ නිෂ්පාදනයක් අපට දුන්නා. ඒ නිසා එය අලෙවි කිරීමට යම් පහසුවක් සැලසුණා. චිත්‍රපටයක තිරරචනයේ පටන් සියල්ල ම ඒකරාශී විය යුතුයි. ඒ කාරණා සියල්ලේ එකතුවයි ‘පත්තිනි’ චිත්‍රපටයේ සාර්ථකත්වය පසුපස තිබෙන්නේ. * සුමති චිත්‍රපටවල ලෝගෝ එක සඳහා යොදාගෙන තිබෙන්නේ ධනු ලග්නයයි. ඊට විශේෂ හේතුවක් තිබෙනවා ද? සුමති චිත්‍රපට ආරම්භ කළේ අපේ තාත්තායි. (යූ.ඩබ්ලිව්.සුමතිපාල) එය පළමුවෙන් ම ආරම්භ වුණේ සන්ධ්‍යා චිත්‍රපට නමින්. සන්ධ්‍යා කියන්නේ අපේ අක්කායි. ඇගේ නමින් හා ධනු ලග්නයෙනුයි චිත්‍රපට කිරීම ආරම්භ වුණේ. පසුව සන්ධ්‍යා චිත්‍රපට සුමති චිත්‍රපට බවට පත්වුණා. එහෙත් එහි ලෝගෝ එක වෙනස් වුණේ නැහැ. මේ වනවිට ලෝගෝ එකට ත්‍රීඩී ඉෆෙක්ට් එකක් ලබාදෙමින් තවත් ලස්සන කරලයි තිබෙන්නේ. * ‘අහසින් පොළවට’ චිත්‍රපටය මේ පැමිණි ගමන්මඟ වෙනස් කරනවා? අපේ මාමා වන ධර්මසිරි කලාකරුවන් සමඟ ළඟ සම්බන්ධකමක් ගොඩනඟා ගත්ත කෙනෙක්. ඒ අනුව මාමායි ටෝණි රණසිංහයන් හා එකතුවයි ‘අහසින් පොළවට’ චිත්‍රපටය කිරීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සොයාගෙන යන්නේ. ඒ චිත්‍රපටය ආරම්භ කිරීමෙන් පසුව දෙවනුවයි තාත්තා හරහා සුමති චිත්‍රපටවලට ‘අහසින් පොළවට’ සම්බන්ධ කරන්නේ. ‘අහසින් පොළවට’ චිත්‍රපටය එළිදකින්නේත් සුමති චිත්‍රපටයක් ලෙස නොවෙයි. ඒත් පසුව මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තාත්තායි. සම නිෂ්පාදකවරුන් ලෙස මාමාත්, ටෝණි රණසිංහත් සිටි බව මගේ මතකයේ ලියැවී තිබෙනවා. * ‘ගඟ අද්දර’ චිත්‍රපටය හා බැඳුණු විශේෂ සිදුවීම් ඔබට මතක ද? ‘ගඟ අද්දර’ චිත්‍රපටයට තිබෙන්නේ වෙනස් ම ඉතිහාසයක්. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන්නේ අපේ මෑණියන්ටයි. ඈ ‘ගඟ අද්දර’ නවකතාව ඒ දවස්වල කියවලා තිබුණා. ඒ අනුව මේ පොත සොයා දෙන්නැයි ඈ මට පැවසුවා. පොත කොහේවත් නොමැති නිසා මා පිවිසියේ ආකවිස් එකටයි. එහි තොරතුරු අනුව මා කර්තෘතුමිය සොයාගෙන ගියා. එය වෙහෙසකර ගමනක් වුණත් අවසානයේ ඈව සොයා ගැනීමට මට හැකිවුණේ රාජගිරියේදී. චිත්‍රපටය කිරීමට කැමැත්ත පළ කිරීමෙන් පස්සේ එය අධ්‍යක්ෂණය කිරීම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පැවසුවත් එතුමා එය භාර දුන්නේ සුමිත්‍රා පීරිස් මැතිනියටයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අම්මායි. කාන්තාවන් තිදෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු වුණු මේ කටයුත්ත ප්‍රචාරක කටයුතුවලදිත් ඉස්මතු කළේ ඒ ආකාරයෙන්මයි. * ‘ගඟ අද්දර’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී විවිධ බලපෑම් සිදු වුණා නේද? වැඩසටහන්වලදී විජය කුමාරතුංග ගයන ගීත ප්‍රචාරය කිරීමට තහනම්. නම කියන්නත් බැහැ. අධ්‍යක්ෂවරියගේ නම කියන්නත් බැහැ. ඒ නිසා නිෂ්පාදකවරියගේ නම පමණයි භාවිත කළේ. පෝස්ටර් සඳහා යොදා ගත්තේ නිර්මලා වතුරට වැටෙන්න යන දර්ශනයක්. මේ නිසා ‘ගඟ අද්දර’ චිත්‍රපටය කාන්තාවන්ගේ සිත් ගත්තා. එහි සිටි නිර්මලාගේ චරිතය රඟපෑ වසන්ති කොණ්ඩය ගෙතූ විදියට කොණ්ඩා ගොතන්නටත්, කහපාට විලාසිතාවෙන් යුතු ගවුම් අඳීන්නටත් එකල තරුණියන් ආරම්භ කළේ මේ චිත්‍රපටය හරහායි. ඒත් අද වනවිට මේ චිත්‍රපටය ඇත්තේ නැහැ. මොකද එහි නෙගටිව් පට විනාශ වී ඇති නිසයි. * ඒ චිත්‍රපටය අති සාර්ථක වුණු චිත්‍රපටයක්? ‘ගඟ අද්දර’ චිත්‍රපටය තිරගත වනවිට තාත්තා මිය ගිහින්. එහෙත් චිත්‍රපටය සාර්ථක වුණා. එය සිංහල සිනමාවේ සාර්ථක ම චිත්‍රපටයක්. සරසවිය සම්මාන උලෙළේ සම්මාන එකොළෙහක් ම දිනා ගන්නේ ‘ගඟ අද්දර’යි. ඊට තවත් සම්මාන රැසක් ම හිමි වෙනවා. එහි ආදායම ලක්ෂ දාසයක්. ඉන් ලැබුණු මුදල් අම්මා වැය කළේ තාත්තා වෙනුවෙන් ස්නායුරෝග වාට්ටුව හදන්නයි. * ‘උන්නත් දාහයි මළත් දාහයි’ චිත්‍රපටය ඔබ ආයතනයෙන් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටයයි? ඒ කාලයේ තාත්තාගේ මාමා කෙනෙකු ටීටර් අරන් රට වටා ගියා. ටීටර් කාලයේදි පටන්ම තාත්තාගේ සිත නැඹුරු වී තිබුණේ කලාව දෙසටයි. ඒ නිසා චිත්‍රපටයක් කිරීමට ලැබුණු ආරාධනය ඔහු ඉහළින් ම පිළි ගත්තා. මට මතකයි මේ චිත්‍රපටය ඔහු නිෂ්පාදනය කරන්නේ මට වයස දොළහක් තරම් කාලයේදියි. * මේ චිත්‍රපටයේ නම සම්බන්ධව තිබෙන්නේ වෙනස් ම කතාවක් ද? සාමාන්‍යයෙන් ‘උන්නත් දාහයි මළත් දාහයි’ කියන වචනයෙන් කියැවෙන්නේ සිටියත් එකයි, මැරුණත් එකයි යනුවෙන්. ඒත් ඒ නම හා බැඳී තිබෙන්නේ ඒ අදහස නොවෙයි. ‘උන්නත් දාහයි මළත් දාහයි’ කිව්වේ ඇතෙකුටයි. ඇතකු ඉන්නවා නම් ඌව රුපියල් දාහක් වටිනවා. ඒ සතා මිය ගියත් දළ දාහක් වටිනවා. ඒ කාරණාව මූලික කරගෙනයි තාත්තා චිත්‍රපටයට මේ නම දාන්නේ. * ‘දුවට මවක මිස’ චිත්‍රපටය ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උලෙළෙත් ප්‍රදර්ශනය කරනවා. එහිදි සිදුවන විශේෂ සිදු වීම මතකයට නඟමු ද? ඒ කටයුත්ත සඳහා නිෂ්පාදක මෙන්ම සුමිත්‍රා පීරිස් ඇතුළු නළු නිළියන් කිහිපදෙනෙකුත් සම්බන්ධ වනවා. එහි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර සනත් ගුණතිලක, සංගීතා වීරරත්න ඇතුළු ඒ.ඩී.රංජිත් කුමාර ආදියත් සහභාගි වුණා. කොහොම හරි චිත්‍රපටය නැරැඹීම සඳහා මුළු ශාලාව ම පිරී ඉතිර ගියා. ‘දුවට මවක මිස’ චිත්‍රපටය වෙනුවෙන් අපේ රටටත් වඩා ඉන්දියාවේදි ලැබුණු ප්‍රතිචාරය අම්මාගේ සිතට තිබුණේ පුදුම සතුටක්. * ‘දුවට මවක මිස’ චිත්‍රපටයට අපේ රටේ උදා වූ මේ තත්ත්වය ඊළඟ චිත්‍රපටයේ දී සිදුවන්නේ නැති ද? ‘දුවට මවක මිස’ චිත්‍රපටයේදී ඇතිවුණු තත්ත්වය මා ඊළඟ කිසිම නිර්මාණයකට අත්වීමට ඉඩ තබන්නේ නැහැ.චිත්‍රපටය අයිති නිෂ්පාදකටයි. ‘පත්තිනි’ චිත්‍රපටයේදි යම් යම් වෙනස් කම් සිදු කළා. එය අප කළේ අධ්‍යක්ෂවරයාටත් පවසලයි. * ‘උත්පලවණ්ණා’ චිත්‍රපටය තිරගත වන්නේ දිගු කාලපරාසයකට පසුව ද? ‘දුවට මවක මිස’ චිත්‍රපටයට පස්සේ ලොකු හිඩැසක් නිර්මාණය වුණා. ඒ අතර තිරරචනා කිහිපයක් ම බැලුවත් ඒ එකක්වත් හරි ගියේ නැහැ. ඒ අතරයි ‘උත්පලවණ්ණා’ තිරරචනය හමුවන්නේ. * සුමති චිත්‍රපට මඟින් යළිත් චිත්‍රපටයක් සිනමාවට පිවිසීමට සූදානම් ද? හැමදාම හොඳ නිර්මාණයක් කරන්න කැමැතියි. ඒ සඳහා අවශ්‍ය හොඳ අධ්‍යක්ෂවරයකු, තිරරචනයක් සොයමිනුයි කාලය ගතවන්නේ. * චිත්‍රපට කර්මාන්තය ගැන මොන වගේ අදහසක් ද ඔබගේ ආයතනයට තිබෙන්නේ? අද චිත්‍රපට කර්මාන්තය තිබෙන්නේ අර්බුදයකයි. එදා චිත්‍රපට තිරගත වූ අපේ අශෝක සිනමා ශාලාව විශාලයි. අද එවැනි සිනමා ශාලා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා නඩත්තු කිරීමට නොහැකියි. අවශ්‍ය වන්නේ කුඩා සිනමා ශාලායි. එතැන එවැනි සිනමා ශාලා කිහිපයක් සහිත සිනමා සංකීර්ණයක් ගොඩනැඟිය හැකියි. අපට තවමත් එය හරියට කර ගැනීමට නොහැකි වුණා. * චිත්‍රපට ශාලාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන මතයක් ද? චිත්‍රපට ශාලාවට සිනමා ප්‍රේක්ෂකයන් පැමිණීමට නම් ඒ ශාලා අලුත් විය යුතුයි. එහි තාක්ෂණය අලුත් විය යුතුයි. මේ නිසා අපට හැඟෙන්නේ සිනමා ක්ෂේත්‍රයේ පසුබෑම ඇති වී තිබෙන්නේ සිනමා ශාලා නිසා බවයි. සිනමා කර්මාන්තය ගොඩනැඟීමට නම් පළමුව කළ යුත්තේ සිනමා ශාලා අලුතෙන් ම ගොඩනැඟීමයි. ඒ සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයයි. * ඔබ ආයතනයට මෙවර ලැබුණු සම්මාන හිමිවන්නේ කුමන පදනමක් මත ද? මේ වනවිට සුමති චිත්‍රපට ආයතනය සම්මාන පනස් ගණනක අයිතිකරුවන්. ඒ සඳහා එකතු වන අලුත්ම සම්මානය වන්නේ මේ සම්මානයයි. ඒ කාලයේ එලෙස ජනතාවගේ ප්‍රසාදය දැක්වීමේ අදහසෙන් යැයි පවසමින් සම්මාන දුන්නේ නැහැ. අප ආයතනය එවැනි සම්මානයක් ලබන පළමු වතාව මෙයයි. මා දන්නා විදියට මේ සම්මානය තෝරා ගැනීමේදී ජූරියක් ඇත්තේ නැහැ. මහජනතාවගේ අදහස් විමසීමෙනුයි මේ සම්මානය ලැබෙන්නේ.
|