වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




“ප්‍රේමය නම් සුඛාන්තය අරුත් ගැන්වූයේ ද ප්‍රේමණීය ප්‍රේමයයි”

“ප්‍රේමය නම් සුඛාන්තය අරුත් ගැන්වූයේ ද ප්‍රේමණීය ප්‍රේමයයි”

හුදෙකලා ජීවිතය, පිරිසිදු වීම හා එහි ඇති හරය, කහපාට වර්ණ හා හැඳුනු දෘෂ්ටි තුළනය, සිතිවිලි ප්‍රතික්ෂේපවීම හා ප්‍රතික්ෂේප කිරීම, දකුණු අත හැසිරවීම ආදී වූ, විශ්ව දකින මෙම භාවමය ලක්ෂණ 'ප්‍රේමය නම්' සිනමා කෘතිය තුළ දැවැන්ත කතිකාවක් පසුබිම් කර දෙපාර්ශවයේ දෙමාපියන්ගේ සංවාද තුළ ඇති එකිනෙකට පරස්පර ප්‍රකාශ හා දෙපළගේ ආකර්ෂණීය මතකයන් ද සිනමා කෘතියේ බහා තිබේ. ඉන් සිනමා කෘතියේ හරයට ගැඹුරු අපූරුතා එකතුවේ.

හැත්තෑ වසරක් සපිරෙන සිංහල සිනමාවේ ප්‍රථම වෘත්තාන්ත සිනමා කෘතිය 'කඩවුණු පොරොන්දුව' සරල ආල කතාවකින් පිරිපුන් ප්‍රේමයකි. ප්‍රේමයේ හැඩරුව විනිවිද දකිමින් නිර්මාණය වූ සිනමා කෘති අතරින් වාර්තාවකට එහා ගිය 'ප්‍රේමය නම්' අපූරු සිනමා අත්දැකීම භාවමය රූප හද සන්තානයේ කිසියම් තැනක රඳවන, සැබැවින්ම හද කකියවන මතක සටහනකි.

ආදර කතාව, ඇගේ ආදර කතාව, ආදරණීය කතාවක් ආදී වූ බොහෝ සිංහල චිත්‍රපට තුළින් සාකච්ඡා කෙරුණු ප්‍රේමකතා සමස්තයකින් පිරිපුන් සිංහල සිනමා වංශ කතාව වෙනස් මානයකට හැරවූ හැරවුම් රේඛාවක් ලෙස හැඳින්විය හැකි 'ප්‍රේමය නම්' සිනමා කෘතිය අපූරු කියැවීමක් වැන්න.

නිරෝගී සෑම කිසිවිට රෝගී දැක්මක් අපේක්ෂා නොකරයි. එහෙත් රෝගී වීම කවදා කෙලෙසක කොතැනකදී අප කරා එන්නේ ද යනවග කිසිවෙකුට කිව නොහැකි සදාතනික දහමකි. රජ මැදුරේ සිටියද පැල්පතේ සිටියද තරාතිරම කුමක් වුවද රෝගී වූ විට පත් වන අසරණ බව වචනයෙන් අර්ථ දැක්විය නොහැකි තරමටම අසරණ කමකි.

ප්‍රේමණීය විවාහයක ප්‍රතිඵලයක් ලෙස යුග දිවි අරඹන විශ්ව, සමාධි 'ප්‍රේමය නම්' සිනමා කෘතියේ ප්‍රේමණීය ප්‍රස්තුතයේ ඵලයයි. සමාධිගේ විවාහ සමාධිය බිඳ වැටෙන්නේ ඇයි ද යන කුතුහලය සිනමා කෘතියේ දිග හැරුමට තබා වින්දනීය කල්පනාවකට යොමු වන්නට අධ්‍යක්ෂකවරුන් දෙපළ ප්‍රේක්ෂකයාට ඉඩ හසර තබා තිබේ.

ආරම්භක රූප රාමු හා එහි ඇති අති සමීප අති සංවේදී දර්ශන ඉඟි කරන සමස්තය සැබෑ හරයකි. "එයා හොඳින් ඉන්න" සිය කුඩුම්බයෙන් විශ්ව හැරදමා සමාධිගේ නික්ම යෑම තුළින් ඉඟි කරන්නේ ද එයයි. යත්දි 'වෙලාවට බෙහෙත් ගන්න' යන කියමන තුළ ඇත්තේ හෙට දවසේ නීරෝගී ප්‍රාර්ථනාවක අපේක්ෂාවයි. යළි පැමිණෙන බවට ඉඟියකි. නමුත් අතර මැද හිඩැස විශ්ව සපුරාලිය යුතු බවට වූ අභියෝගයයි. විශ්වගේ අභියෝගය සමස්ත සිනමා කෘතිය පුරාවටම බැඳී පවතී. සමාධි එම අභියෝගයේ යම් කොටසක් දරා ගෙන කුටුම්බයේ සංරක්ෂණය උදෙසා සෙවණැල්ලක්ව නිහඬ එහෙත් ප්‍රාර්ථනීය අපේක්ෂාවක නිරතව සිටී.

මානසික රෝගී තත්ත්වයක් වුවද ලැජ්ජාවට හෝ පිළිකුලට බඳුන් විය යුතු නොවේ. නමුත් වන්නේ එයයි. මානසික රෝගීන් නිර්දය ලෙස හෙළා දකින්නේ එබැවිනි. එම ආකල්පය සිනමා කෘතිය තුළ සංවාදාත්මක රූප භාවිතාවකින් සාකච්ඡා කෙරේ. අපුල බවක් නොවිය යුතු බව සාක්ෂාත් කරවයි. සිල්ලර ගණයේ විකටයන් පිස්සන් ලෙස දක්වමින් අපුල විනෝදයක් සමාජය ප්‍රාර්ථනා නොකළ යුතු සංකල්පය මෙහිදී ගෙනහැර පෑම පැසසුම් කටයුතුය. මෙවැනි මානසික පීඩාවන්ට පත්ව සිටින්නන් කෙරෙහි ඇයි අපි සංවේදී විය යුත්තේ යන කරුණ සාකච්ඡාවට බඳුන්වේ.

මේ සියලු චර්යා අපහසුකම් යටතේ සමාදිගේ හැර යාම විශ්වට තදින් දැනෙන්නට පටන් ගනී. ඒ දුරස්වීම නතර කර ගන්නේ කෙසේද නම් වූ බලාපොරොත්තුව අබියස නිතර නිතර විශ්ව දැවටෙන ක්‍රියාකාරකම් අපුරු ලෙස ඉදිරිපත් වේ. තමා විසින්ම මේ ආගාදයෙන් මිදිය යුතු බව සිතන විශ්ව ප්‍රතිකාර ගැන ගවේෂණයක යෙදේ. තමාගේ මවගෙන් පියාගෙන් ලැබෙන සහනය තම බිරිද සමාධිගේ දෙමාපියන්ගෙන් විශ්වට නොලැබෙන භාවිතාව තුළ විශ්ව තවත් අසරණ කරවයි.

'ප්‍රේමය' ආකර්ෂණයෙන් ඔබ්බට ගිය නොවෙනස් විය යුතු සංකීර්ණ හැඟීම් සමුදායකි. එය දුකේදිත් සැප්දිත් සසල නොවී නිසල විය යුතුමය.

අතිශෝක්තියෙන් කිසිවක් අන්තර්ගතයේ නැති තරම්ය. ර්‍ණඛ්ච් හෙවත් ග්‍රස්ථි නියුරෝසියා නැමැති රෝගයෙන් පෙළෙන විශ්ව 'කිරීමට බල කරන අත්හළ නොහැකි ආවේගයන්' සමුදායකින් පෙළෙන්නෙකි. චර්යා අසාමාන්‍ය බව තේරුණත්, ඒවා නතර කර ගැනීමට ඇති දුෂ්කරතාව මෙහි ඇති රෝග ලක්ෂණ බව වෛද්‍ය මතයයි. ඊට 'ප්‍රේම නම්' සිනමා කෘතියේ විශ්ව මුහුණ ගැඹුරයි. ඊට සිනමා කෘතිය තුළ ඇති වෛද්‍ය උදෙස් සමුදාය අත්වැලක් වී ඇත. ඒ මත කතා රසභාව නොවෙනස්වන ලෙස වාර්තාමය භාවිතාවක් ඇති නොවන ලෙසට අරුත් ගැන්වීමට අධ්‍යක්ෂවරුන් දෙපළ ගෙන ඇති උත්සාහය ඵලදරා තිබේ. සිරුරේ ලෙඩ ගැනත්, මනසේ ලෙඩ ගැනත් කතා කරන කාවමය රූප භාවිතාවක් මත කතා රසය ඉස්මතු කර තිබේ.

ලෝකයේ සම්භාව්‍ය සිනමා උළෙල දහසයකම නියෝජනය ලබන්නට උරුමකම් කියූ 'ප්‍රේමය නම්' ශ්‍රී ලාංකික සිනමා කෘතිය තුළින් ලොව පුරා ප්‍රේක්ෂකයන් සංවේදී වූ ආකාරය කෙතරම් දැයි කිව නොහැකි තරම්ය. අත්දැකීම් මතින් අත්දැකීම් සිනමා ගත කිරීම සිනමානුරූපීව සමාජ ගතවීම මෙහි ඇති උසස් බවයි.

හුදෙකලා ජීවිතය, පිරිසිදු වීම හා එහි ඇති හරය, කහපාට වර්ණ හා හැඳුනු දෘෂ්ටි තුලනය, සිතිවිලි ප්‍රතික්ෂේපවීම හා ප්‍රතික්ෂේප කිරීම, දකුණු අත හැසිරවීම ආදී වූ, විශ්ව දකින මෙම භාවමය ලක්ෂණ 'ප්‍රේමය නම්' සිනමා කෘතිය තුළ දැවැන්ත කතිකාවක් පසුබිම් කර දෙපාර්ශවයේ දෙමාපියන්ගේ සංවාද තුළ ඇති එකිනෙකට පරස්පර ප්‍රකාශ හා දෙපළගේ ආකර්ෂණීය මතකයන් ද සිනමා කෘතියේ බහා තිබේ. ඉන් සිනමා කෘතියේ හරයට ගැඹුරු අපූරුතා එකතුවේ.

මානසික රෝහලේ විශ්වගේ නේවාසික ජීවන රටාව හා එහි පසුබිම, මිනිස් ජීවිත තුළ ඇති භාවමය කල්පන ඇති කිරීම, ප්‍රේක්ෂක සිත් කම්පනයට පත්කරවන්නට සමත්වේ. ඉනෝකා නම් වූ හෙදියගේ (සුරංගා රණවක) රංගන හසුරු කුසලතා ප්‍රේමයටත් එහා ගිය නිරෝගී ආලෝකයකි. එය 'අලිමංකඩ' සිනමා කෘතියේ ඇය දැක්වූ භූමිකාවට එහා ගිය අපූරු චරිතාංග නිරූපණයකි.

ජීවිතය විනිවිද දැකීමේ අති සංවේදී දසුන් කිහිපයක් මානසික රෝහලේ ක්‍රියාකරකම් තුළ ගැබ්ව තිබේ. නේවාසිකයෙකු බැලීමට ගෙදරින් පැමිණීම, නේවාසික රෝගියෙකුගේ බිරිඳකගේ පැමිණීම, තම දරුවා නේවාසික රෝගියෙකු නළවන රූප ආදී තත්පර ගණනකට සීමා වී ඇති දසුන් හද කකියවන තරම්ය. තවද හුස්ම අල්ලන රූපමය සමීප දසුන, ඒ අතරේ විශ්ව දැක ගන්නා සමාධි සැනින් නික්ම යාම, 'දෛනිකව සිදුවීම් ලිවිම' නැමති ධනාත්මක භාවිතාව සිනමා කෘතියේ භාවමය කම්පනයට අන්තර්ගත වූ ක්‍රියාකාරකම් ලෙස සැලකිය හැකිය.

දකින්න ඕනා, වගකීම් ගන්න. දැනෙන්න වෙනස් වෙන්න. මට විතරක් (බ්භඵබ ථඥ) සමාධි දක්වන ආකල්ප, භාවමය රූපණ තුළ ප්‍රේක්ෂක සංවේදිතාවන්ට අරුත් මුසුකරවයි.

ප්‍රස්තූතයේ සමස්තය කැටිකොට ගත් වින්දනීය තේමා ගීතය ලඝුකොට තැකිය යුතු නොවේ. අපූරු හරයක් එහි ගැබ්ව තිබේ. තෙරපා තබා එය විඳින්නට දීම කනගාටුවකි. සිනමා කෘතිය අවසන් වන මොහොතේ නාමාවලිය සමඟ මුසුවී ශ්‍රවණයවීම නිසාය ඒ.

"නිවී ගිය සඳ පහන දල්වන්න යළි එන්න
ගිලිහී ගිය මල් කළඹ ඇහිදින්න මල් සිපගන්න
ගිලන් හද ආලයේ ඔසුවෙන් සුවපත් වෙන්න
ලවන් පෙති මත මියුරු හසරැල් මධු තවරන්න
විකල් සිත ස්නේහයේ පිනි පැන් සිප සනසන්න
බවෙන් බවයෙහි සසරේ තෙනුවන් ළග නවතින්න"

සමාධිගේ රංගන කාර්යය සපුරන සමනලි ෆොන්සේකාගේ රූපමය ව්‍යායාමය ප්‍රශස්තය. විශ්වයේ රූපකාය අත්විඳින, අත්දකින ශ්‍යාමි ප්‍රනාන්දු තුළ ඇති භාවමය රූ සොබා ප්‍රේක්ෂක කම්පනයට තවත් සමීප වූවා නම් හොඳ යැයි සිතේ. අපූරුතා මත රූපභාවිතාව අරුත් ගැන්වූ කැමරාකරණය තුළ (ජාන් ෂෙන්බර්ගර්) නවමු දෙයක් ප්‍රේක්ෂක නෙතට ළං කර තිබේ. සංගීතය, ගැයුම, ගී රචනය (ආචාර්ය රෝහණ වීරසිංහ, දුමාල් වර්ණකුලසූරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න) භාවමය කම්පනයකි. සදා කල්හි සිත් කම්පිත කරවන රසභාව මුසු විඳීමකි.

මාධවි පවසන 'ගෙදර යං' (ඹ්ඥබඵ ට්ධ ඩ්ධථඥ) 'ප්‍රේමය නම්' සිනමා කෘතිය තුළ හද සනසවන ප්‍රේමණීය ප්‍රකාශය තුළින් සුඛාන්තයක හරය රඳවමින්, වින්දනීය කල්පනාවක් අප සතු කරවයි.