|
විකාරරූපී ශෛලියෙන් ජීවිතයේ නාටකීයත්වය මතු කළ කපිල කුමාර කාලිංග
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 27
මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව
70 දශකයේ මුල් භාගයේ ඉතාලියේ පැවති සමාජ ආර්ථික අර්බුදයත් සමඟ මුදලේ අගය හිටි හැටියේ පහත වැටීමෙන් විරැකියාව උග්‍ර විය. ජීවන වියදම් බලා සිටියදීම ඉහළට නැග්ගේය. කම්කරු පන්තිය ඊට ප්‍රතික්‍රියා දැක්වූයේ ගෙවල් කුලී, විදුලිය හා ගෑස් සඳහා මිල සාධාරණ මට්ටමකට පහත හෙළීමට සමාගම් වෙත බලපෑම කළහ. මෙය සංකීර්ණ දේශපාලන මුහුණුවරක් ගන්නා තත්ත්වයට දුරදිග ගියේය. මේ යථාර්ථය ශ්‍රී ලාංකේය සමාජයට උචිත ලෙසින් 'අපි ගෙවන්නේ නැහැ' ඉදිරිපත් කෙරේ.
කපිල කුමාර කාලිංග මහනුවර ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. එකල මෙම විදුහලෙන් කලාකරුවෝ රැසක් බිහි වූහ. කපිලට ජ්‍යෙෂ්ඨයන් වූ ආචාර්ය ධර්මසේන පතිරාජ, දයා තෙන්නකෝන්, පියල් බී. හේරත්, අමරසිරි කලංසූරිය ඉන් ප්‍රමුඛ වෙති. කපිලගේ පියා ෆ්‍රැන්සිස් කාලිංග ශාන්ති නිකේතනයට ගොස් චිත්‍ර කලාව හැදෑරූ මුල් කණ්ඩායමට අයත් වූවෙකි. ඔහු මධ්‍යම පළාතේ චිත්‍ර කලා උපදේශකයකු ලෙස කටයුතු කළේය. කලාවට යොමු වීම කෙරෙහි කපිලට එක් පැත්තකින් තම පියාත් අනිත් පැත්තෙන් කලාකරුවන් රැසක් සිටි තම විදුහලත් බලපෑ බව පෙනේ. 'සමයංකාරයෝ' (1970) කපිල පාසල් සමයේ නිෂ්පාදනය කළ නාට්‍යයකි. එය ඔහුට අනාගත නාට්‍යකරණයට කිසියම් අභ්‍යාසයක් වූවා විය හැකිය. 'ශුද්ධවන්තයෙක් ඇතුළු කීප දෙනෙක්' කපිලගේ ඊළඟ නාට්‍යයයි. පාසලෙන් අස්ව ඔහු නුවර කේන්ද්‍ර කරගෙන මෙම නාට්‍ය වේදිකා ගත කළේය. එහි විප්ලවවාදියෙක්, සෞන්දර්යවාදියෙක් හා ආගම්වාදියෙක් යනුවෙන් ප්‍රධාන චරිත තුනක් එයි. ඉන් විප්ලවවාදියාගේ චරිතය රැඟුවේ කපිලය. කපිල, ලාල් ප්‍රේමනාත් ද මැල්ගේ 'එලොව පොල් පෙනිලා' නාට්‍යයේ ද සුළු රංගනයක් ද (කපිල කියන ආකාරයට) හුදු පෙනී සිටීමක් කළේය. 'ශුද්ධවන්තයෙක් . . .' නාට්‍යය අළලා සුනිල් ආර්. සිරිසේන (විදුලි නියාමක කොමිසන් සභාවේ සභාපති) අගනා විචාරයක් ලියා ඇත. ඉන් කොටසකි මේ. 'කපිල කුමාරගේ පළමු වේදිකා නාට්‍යය වූ 'ශුද්ධවන්තයෙක් අතුළු කීප දෙනෙක්' නාට්‍ය ධර්මි හා ලෝක ධර්මි නාට්‍ය සම්ප්‍රදායන්ගේ වර්තමාන ජනප්‍රිය ආර වූ මිශ්‍ර ශෛලියෙන් නිෂ්පාදිතය. ලෝහිත, ධම්ම, සුන්දර නම් වූ තරුණයන් තිදෙනෙකුගේ චරිත මඟින් ධනවාදී සමාජ රටාවක විප්ලවයත්, ධර්මානුකූල භාවයත්, සුන්දරත්වයත් ගැටෙන අයුරු මූර්තිමක් කරන්න රචකයා උත්සාහ ගෙන තිබුණි. ලෝකයේ වර්තමාන ස්වභාවය වෙනස් කළ යුතු බව කියන ලෝහිතත් ගිහි ජීවිතයෙන් පලා ගොස් මහණ දම් පිරිය යුතු යැයි සිතන ධම්මත්, කවි ලියමින් ස්ත්‍රීන් ඇසුරු කරමින් සුන්දරත්වය අගයන සුන්දරත් ශ්‍රද්ධවන්තයින් කවුදැයි සෙවීමට ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරති. ආධුනිකයෙකු වශයෙන් කාලිංග හොඳ අනාගතයක් ඇති නිෂ්පාදකයෙකි.' 'ශ්‍රද්ධවන්තයෙක් . . .' පවත්වා ඇත්තේ දර්ශන වාර දෙකක් පමණි. එය ද මහනුවර පමණි. බිංගේ (1975) කපිල විකාරරූපී ශෛලියෙන් නිපද වූ නාට්‍යයකි. එකල විකාරරූපී නාට්‍ය රැල්ලක් සිංහල වේදිකාවේ ගලායනු දැක්ක හැකිය. ගොඩෝ එනකං (ඒ. ජේ. සෙල්වදොරේ), කවුරුත් එන්නේ නැහැ (පතිරාජ එල්. එස්. දයානන්ද) පුටු (ධර්මසේන පතිරාජ) හස්තිරාජ මහත්තයා (රන්ජිත් ධර්මකීර්ති) කොරා සහ අන්ධයා (ධම්ම ජාගොඩ - රචනය ධර්මසේන පතිරාජ), ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් (බන්දුල විතානගේ - රචනය සයිමන් නවගත්තේගම) නිදිකුම්බා (සුමන ආලෝක බණ්ඩාර), ගඟට උඩින් කොක්කු ගියා (එස්. කරුණාරත්න) යන නාට්‍ය රැසෙන්ම සාක්ෂාත් වන්නේ මේ ප්‍රවණතාව කොයිතරම් දුරට වේදිකාව මත බල පැවතියේ ද යන කාරණයයි. 'බිංගේ' සමරු පත්‍රිකාවක සටහන්ව ඇති පහත වන සඳහනින් මේ නාට්‍යය පිළිබඳ කිසියම් හැඟීමක් කෙනකුට ලද හැකිය. 'එක බලාපොරොත්තුවක් සඵල වෙන කෙට තවත් එකක් බිහි වෙනවා. කවදාවත් තමන්ට ළංවෙන්නෙ නැති කැරට් අලය පස්සේ දුවන අශ්වයෝ වගේ අපිත් දුවනවා. දුවනවා. ඒත් කවදාාවත් බැරි ද එතැනට යාගන්න. මට හිතෙනවා එක පාරටම පැනලා දෑතින් බදාගන්න. ඒත් ඒක කවදාවත් වෙන වැඩක් නෙවි.' නීල් අලස්, මියුරි සමරසිංහ, අශෝක සේරසිංහ, ආනන්ද වික්‍රගේ 'බිංගේ' හි ප්‍රධාන චරිත රඟපෑහ. ඉන්පසු දස වසරක පමණ කාලයක් කපිල වේදිකාව සමඟ සබඳතා නොපැවැත් වූ බව පෙනේ. ඔහු යළි වේදිකාවට එක් වන්නේ 'සිහින සාප්පුව' නාට්‍යයත් සමඟය. ඊට ද රචනයෙන් පමණි. 'සිහින සාප්පුව' 80 කණ්ඩායමේ නිපැයුමකි. මෙහි නිෂ්පාදකවරයකු ගැන සඳහන් නොවේ. 'සිහින සාප්පුව'ට වැඩියෙන්ම දායක වූයේ 'තාරාවෝ ඉගිළෙති' නාට්‍යයෙන් ඉවත් වූ පිරිසකි. නිහඬව සිටිනවාට වඩා කිසියම් නාට්‍යයක් තැනීම වැදගත් යැයි ඔවුන් කල්පනා කළා විය යුතුය. මෙහිදී වගකීම් සියල්ල උරමතට ගෙන සංවිධාන කටයුතු කළේ නිමල් ඒකනායකය. 'සිහින සාප්පුව' නාට්‍ය පෙළ තමන් අතට පත්වන්ට පෙර ඔවුන් නිෂ්පාදනය කරන්ට ගියේ ඒ වන විට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියා තිබූ 'සොක්‍රටීස්' නාට්‍යයේ පෙළය. පසුව කපිලගේ නාට්‍ය පිටපත කෙරෙහි කාගේත් අවධානය යොමු විය. මෙය මුලින් නම්කර තිබුණේ 'සැම්සන්ගේ සම්ප්‍රාප්තිය' යනුවෙනි. ජයලත් මනෝරත්න, නීල් අලස්, අජිත් ජිනදාස, නවනන්දන විජේසිංහ, ජයශ්‍රී චන්ද්‍රජිත්, ජේ. එච්. ජයවර්ධන, චන්ද්‍රා කළුආරච්චි මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. 1984 නාට්‍ය උලෙළට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ 'සිහින සාප්පුව' නීල් අලස්ගේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන ලදී. 'රයිනෝසිරස්' (1986) සුශෙන් ඉයොනෙස්කෝගේ එනමින්ම යුතු නාට්‍යයේ අනුවර්තනයකි. (ඉයොනෙස්කෝගේ නම සිංහලෙන් විවිධාකාරයෙන් ලියැවුණ ද උච්චාරණය යුශේන් ඉයොනෙස්කෝ බව කංචුක ධර්මසිරි කියයි. රයිනෝසිරස් විකාරරූපී නාට්‍යයකි. මෙහි රයිමෝසිරස් යනු සංකේතයයකි. එය පැසිස්ට්වාදය සංකේතවත් කරයි. මේ නාට්‍ය ගැන ආරියවංශ රණවිර මෙසේ සඳහන් කර ඇත. 'බැලූ බැල්මට මේ නාට්‍යය ඒකාධිපතිවාදයේ බිහිසුණු බව හා හොඳත් නරකත් නොබලා මිනිස් හැඟීම් අමතර කර ඔහේ රැලට අනුව යාමට මිනිසා දක්වන නැඹුරුව පැහැදිලි කරන නාට්‍යයකි. දෙවැනි ලෝක යුද්ධයට පෙර නාසිවාදය නමැති අමානුෂික දෘෂ්ටියට මුළු මහත් ජර්මන් ජනතාවම ගොදුරු වූ හැටි නාට්‍යය රචනා කරන විට ඉයොනෙස්කෝගේ සිතෙහි රැව් පිළිරැව් දෙන්ට ඇත. මෙම නාට්‍යයේ කතානායක බෙරෙන්ජර් නාට්‍යාවසානයේ මෙසේ කියයි. 'එත් මං පරාජය භාර ගන්නේ නැහැ. මිනිස්සු උත්තරීතරයි. මිනිස්සු . . . මිනිස්සු . . . මිනිස්සු'. නෙළුම් පොකුණ (1990) කපිලගේ ඊළඟ නාට්‍යයි. මෙම නාට්‍යයෙන් කියැවුණේ විනාශය කරා ගමන් කරමින් සිටින සමාජයකදී වුව පුද්ගලයෙකුට ඉන් පළා ගොස් හුදෙකලා කොදෙව්වක ජීවත්විය හැකි ද? යන කාරණයයි. ධනවත් සිටුවරයකුගේ පුත්‍රයෙක්, විද්‍යාඥයෙක්, මහාචාර්යවරයෙක්, රැඩිකල් තරුණයෙක්, ශිෂ්‍යාවක්, නිළියක් මෙහි කේන්ද්‍රීය චරිත වෙති. උක්දඬු ගින්න (1992) කපිලගේ පිටපතකි. නාට්‍යය නිෂ්පාදනය කළේ නිමල් ඒකනායකය. මෙය සමකාලීන සමාජ - දේශපාලන ප්‍රශ්නයක් විෂයය කරගත් නාට්‍යයකි. ඌව වෙල්ලස්ස සාම්ප්‍රදායික ගොවි බිම් බහු ජාතික සමාගම් වෙත පැවරීමේ කුමන්ත්‍රණය මෙමඟින් සාකච්ඡාවට ලක් කෙරේ. මේ කාලීන මාතෘකාව නිසාම 'උක්දඬු ගින්න'ට නොයෙක් වාරණ ප්‍රශ්න මතු විය. මේ අරභයා 'සත්‍යවාදියකුගේ දින පොත' තීරු ලිපිය ඔස්සේ අදහස් දක්වන සුනිල් මාධව ප්‍රේ්මතිලක මෙසේ කියා ඇත. 'උක්දඬු ගින්න පෙන්වන්න එපා කියා තර්ජන ඇවිත්. බහු ජාතික සමාගම්වල බලපුළුවන්කාරකම කොහොමද? ඒත් සමහර විට ඔය තර්ජන දමන්ට ඇත්තේ උන්ගේ කටු ලෙවකන බල්ලෝ වෙන්නත් පුළුවන්. කවුරු තර්ජන දැම්මත් ගොවි කම්කරු ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කලා නිර්මාණ සඟවන්න කලාකරුවන් සුදානම් නැති බව ස්ථිරයි'. 'උක්දඬු ගින්න' නිෂ්පාදනයේදී වාර්තා රංග ශෛලියක් අනුගමනය කර ඇත.
'අපි ගෙවන්නේ නැහැ' (2001) ඉතාලි නාට්‍යවේදී ඩාරියෝ ෆෝගේ 'කාන්ට් පේ - වෝන්ට් පේ' නාට්‍යයේ පරිවර්තනයකි. කපිල මෙය නිෂ්පාදනය කළ ද පරිවර්තනය විජිත ගුණරත්නගෙනි. 'උක්දඬු' ගින්නෙන්' මොනරාගල ගොවියන් සමඟ අත්වැල් බැඳගත් කපිල මේ නාට්‍යයෙන් ඉතාලි කම්කරුවන් සමඟ එක් වෙයි. 70 දශකයේ මුල් භාගයේ ඉතාලියේ පැවති සමාජ ආර්ථික අර්බුදයත් සමඟ මුදලේ අගය හිටි හැටියේ පහත වැටීමෙන් විරැකියාව උග්‍ර විය. ජීවන වියදම් බලා සිටියදීම ඉහළට නැග්ගේය. කම්කරු පන්තිය ඊට ප්‍රතික්‍රියා දැක්වූයේ ගෙවල් කුලී, විදුලිය හා ගෑස් සඳහා මිල සාධාරණ මට්ටමකට පහත හෙළීමට සමාගම් වෙත බලපෑම කළහ. මෙය සංකීර්ණ දේශපාලන මුහුණුවරක් ගන්නා තත්ත්වයට දුරදිග ගියේය. මේ යථාර්ථය ශ්‍රී ලාංකේය සමාජයට උචිත ලෙසින් 'අපි ගෙවන්නේ නැහැ' ඉදිරිපත් කෙරේ. 'අමෙඩි' යුශේන් අයනෙස්කෝගේ විකාරරූපී නාට්‍යයක අනුවර්තනයකි. කපිල මෙය අනුවර්තනය කළ අතර සුදත් මහදිවුල්වැව නිෂ්පාදනය කළේය. ඒ 'සහතික කළ නොහැකි මරණයක්' යන නමිනි. මහලු අඹු සැමි යුවළක් වන අමෙදියස් හා මැඩ්ලින් මෙම නාට්‍යයේ කේන්ද්‍රීය චරිත දෙකය. ඔවුන්ගේ නිවෙසේ මළ සිරුරක් ඇත. එය දිනෙන් දින විශාල වෙයි. මෙය පැසිස්ට්වාදයේ, නාසිවාදයේ සංකේතයක් ලෙස විචාරකයෝ සලකති. කපිල පර්යේෂණාත්මක කෙටි නාට්‍ය කීපයක් ද ලියා ඇත. මාතෘකාවක් නැත, හංස දඩයම, වෙද ගෙදර, සොරු ඉන් කීපයකි. තටාක නාට්‍ය (POOL THEATRE) කපිල මෙරටට හඳුන්වා දුන් නව රංග ක්‍රමයකි. මෙහිදී නාට්‍යය ඉදිරිපත් වන්නේ තටාකයක් ඇතුළතය. 'එක්තරා සිද්ධියක්' යන තටාක නාට්‍යය 2010 දී නුගේගොඩ එක්තරා පිහිනුම් තටාකයක රඟදක්වන ලදී. පසුව මෙය නාලන්දා ජලාශය ආශ්‍රයේ ගම්මානයක ද (ජලාශ ඉවුරේ) රංගගත කෙරිණි. ඒ හැරුණු කොට කපිල රංග අභ්‍යාස වැඩමුළු සඳහා ද කෙටි නාට්‍ය ලියා ඇත. එසේම ඔහු ගුවන් විදුලි නාට්‍ය 150 ක් පමණ රචනා කර ඇත. 'බැංකු වීරයා 'කපිලගේ අලුත්ම නාට්‍යයයි. එය මෙම මස අගදී වේදිකාගත වන්නට නියමිතය.
|