|
පොලිස් ඉතිහාසයේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ පළමු නිලධාරියා මමයිරන්ජන් ජයතිලක
වෘත්තීයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු, විශේෂයෙන් ඇඟලි සලකුණු පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරනා කෙනකු දක්ෂ ගායන ශිල්පියකු වුවහොත් එය කෙතරම් විරල සිදුවීමක් වේවිද? එසේ සිය ගායන දිවියත්, රාජකාරී දිවියත් සමබරව රැගෙන ගිය අයකු පසුගියදා සරසවියට ගොඩ වැදුණේ ඔහුගේ සංගීත දිවියේ 50 වැනි විය සමරද්දීය. හේ නමින් රංජන් ජයතිලකය. රංජන්, ඔබගේ සංගීත දිවියට අවුරුදු 50 ක්ම සපිරිලා. කොහොමද මුලින්ම සංගීතයට යොමු වුණේ? අපේ තාත්තා අපි පුංචි කාලේ හැම සති අන්තයකම චිත්‍රපටි බලන්න අපිව එක්කන් යනවා. ඒ ගිය දවසකදී දවසක් අපි 'සුරංගනී' චිත්‍රපටය නැරඹුවා. එතකොට මට වයස අවුරුදු 11 යි. එහිදී ධර්මදාස වල්පොල ගායනා කරපු කඳුකරයේ සන්ධ්‍යාවේ ගීතය මට හොඳින්ම කටපාඩම් වුණා. පස්සේ මම ඒ ගීතය පාසල් වේදිකාවේ ගායනා කළා. එයට මම හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. එදා ඉඳලා මට සෑම තැනකම ගී ගයන්න ආරාධනා ලැබුණා. නමුත් ගෙදරින් මට විරෝධයක් ආවා ගී ගයන්න ගිහින් මගේ අධ්‍යාපනය කඩාකප්පල් වේවි කියලා. ඔය කාලයේදීම තමයි මට ගුවන් විදුලියෙන් ගී ගයන්න ආසාවක් ඇති වුණේත්. මේ දේ දැනගත් අපේ ඥාති සහෝදරයෙක් වුණ හේමපාල මල්ලවආරච්චි අයියා මට පොරොන්දු වුණා, හොඳින් විභාගය සමත් වුණොත් ගුවන් විදුලියේ ගී ගයන්න අවස්ථාවක් ලබලා දෙනවා කියලා. එයා සංගීත අධ්යක්ෂවරයෙක්. මේ ආසාව නිසාම මම විභාගය හොඳින් සමත් වුණා. පස්සේ හේමපාල අයියා මගේ කටහඬ පරික්ෂණයකුත් සිදු කරලා එයාගේ නිවසේ නවතාගෙනම මට සංගීතය හදාරන්න අවස්ථාව සලසා දුන්නා. මා ලාල් හීනටිගල මහත්මයාගෙන් සංගීතය ඉගෙන ගත්තා. 'ඔය අතරේදී මට උපන් දින සාදයකදී ෆ්‍රෙඩී සිල්වා, ඇන්ටන් ජෝන්ස් සමඟ ගී ගයන්න අවස්ථාව ලැබුණා. එදා මගේ හැකියාව හඳුනාගත් රෝහිණී ජයකොඩි මහත්මිය ඇයගේ 'හැංගි හොරා' චිත්‍රපටයේ 'සිතක පෙම්බර සිතුවිලි' කියන ගීතය කියන්න මා තෝරා ගත්තා. එදා ඉඳන් මේ දක්වා මම ගීත 100 කට අධික ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. ඒවායින් හේමපාල මල්ලවආරච්චි අයියා හදපු සුජාතා අත්තනායක මහත්මිය සමඟ මා ගායනා කරපු වෙලේ මඩේ ගීතය, වික්ටර් රත්නායක සමඟ ගැයූ රුවන් නිදන හෙළ බිමයි ගීතය, සමන් ගිරට සීත හිමේ ගීතය, පොල් කට්ටට වතුර අරන්, සිතක පෙම්බර සිතුවිලි, කැන්ගරු දේශය, අරලිය මල් සමන් මල් යන ගීත සුවිශේෂියි. මේ කාලයේදී තමයි මට ගුවන් විදුලියේ සරල ගී ශිල්පියෙක් විදියටත්, ගුවන් විදුලියේ සෑම ආධුනික වැඩ සටනකටමත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඔබ වෘත්තියෙන් පොලිස් පරීක්ෂකවරයෙක්. ඒ පිළිබඳවත් සඳහන් කරමු... ඔව්. මම ඇඟිලි සලකුණු පරික්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36 ක සේවයෙන් පසු දැන් විශ්‍රාම ලබා සිටිනවා. 1981 දී මම ටවර් හෝල් රඟහලේදී ඒක පුද්ගල ප්‍රසංගයක් ද පැවැත්වූවා. පොලිස් ඉතිහාසයේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ ප්‍රථම නිලධාරියා වන්නේත් මම තමයි. වසර 50 ක ගායන දිවියට සහාය දුන් අයත් මතක් කරමු . . . විශේෂයෙන් සනත් නන්දසිරි මහතා, වික්ටර් රත්නායක මහතා, විජේරත්න රණතුංග, ලාල් හීනටිගල, රෝහිත විජේසූරිය, ෂෙල්ටන් ප්‍රේමරත්න, නිර්මලා රණතුංග, චන්ද්‍රාණි ගුණවර්ධන, අමිතා වැදිසිංහ, රෝහිණී ජයකොඩි, හේමපාල මල්ලවආරච්චි අයියා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. ලැබුණු ඇගයීම් පිළිබඳ කතා කළොත්? ඔව් මට කොළොම්තොට භූෂණ, කලාභූෂණ, හෝමාගම විභූති, රත්න ප්‍රදීප, සිත් රූ සහ මෑතකදී මත්තේගොඩ එක්සත් සුභසාධක සංගමයෙනුත්, හේලීස් ඇඩ්වාන්ටීස් ආයතනයෙනුත් මහනුවර කඳුරට පැරැණි කලාකරුවන්ගේ සංගමයෙනුත් මාව සම්මානයට පාත්‍ර කළා. අනාගත බලාපොරොත්තු? විශේෂ දෙයක් නෑ. මගේම තවත් නිර්මාණ අර්ථවත් විදියට මගේ රසික රසිකාවියන්ට ලබලාදීම තමයි මගේ බලාපොරොත්තුව.
නො: 192/51B, 0714483771 ඔහුගේ ලිපිනය හා දුරකථන අංකයයි.
|