වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

බන්සාලිට තවත් ප්‍රහාරයක් පද්මාවති දර්ශන තලය ගිනි ගනී

සන්ජේ ලීලා බන්සාලි තමන්ගේ අලුත්ම සිනමා නිර්මාණයේ වැඩ පටන් ගත්තේ මීට මාස කිහිපයකට කලින්. 'Padmavathi' නම් වූ එහි පද්මිණි නම් රැජනක ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් ගෙන එනවා. එහි දීපිකා පදුකෝන් චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා. අලවුදීන් කිල්ජි විසින් මෙම යුද මෙහෙයුම මෙහෙයවනු ලබනවා.

රාජ්පුත්හි පිරිසක් පවසන්නේ මෙහි එන බොහෝ සිදුවිම් මනකල්පිත බවයි. මෙම චිත්‍රපටයේ පද්මාවතී සහ අලවුදීන් කිල්ජි වැරදි තැන්වල ස්ථානගත කර ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මේ හේතුවෙන් අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි යම් පිරිසකගේ පහරදීමටත් ලක් වුණා. ඒ සමඟින් චිත්‍රපටයේ දර්ශන තලය රාජස්ථානයෙන් ඉවත්කර වෙනත් පළාතකට ගෙන යන්න චිත්‍රපට කණ්ඩායම පියවර ගත්තා.

පසුගිය දවසක තවත් විසිපස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, කොළහපූර්හි පිහිටි 'Padmavathi' දර්ශන තලයට පැමිණ තිබුණා. ඔවුන් පැමිණ තිබුණේ පෙට්‍රල් බෝම්බ සහ අයුධ සන්නද්ධවයි. ඔවුන් විසින් චිත්‍රපටයේ රූගැන්වීමට ගෙන ආ අශ්වයන්හට කෑමට දමා තිබූ පිදුරු වලට සහ චිත්‍රපටයේ නළු නිළියන් භාවිත කළ ඇඳුම් රැසකට ගිණි තබා විනාශ කරලා. මේ නිසා චිත්‍රපටයට යොදා ගත් ඇඳුම්වලින් සියයට 70-80 අතර ප්‍රමාණයක් විනාශයට පත් වෙලා.


ඛාන් & ඛාන්

පසුගිය දවසක අමීර් ඛාන්ගේ 52 වැනි උපන්දිනය යෙදී තිබුණා. බොලිවුඩ් තරු රැසකගේ සහභාගිත්වයෙන් උපන්දිනය සැමරුවා. එදා තවත් විශේෂ අමුත්තෙක් පැමිණ සිටියා.

ඔහු තමයි බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්. මේ වන විට බොලිවුඩයේ පැතිරෙන කටකතාවක් නිසා ඒ පැමිණීම ගොඩක් විශේෂ වුණා. ඒ ආරංචිය නම්, ළඟදීම අමීර් - ශාරුක් එකම චිත්‍රපටයක දකින්න ලැබෙන බවයි.


ශාරුක්ගේ රිය කකුලක් උඩින්

ශරුන් ඛාන් ජුහූහි පිහිටි ආලියා භාත්ගේ නිවෙසට ගියේ ඇයගේ 24 වැනි උපන්දින සාදය වෙනුවෙන් සහභාගි වීමටයි. එහිදී ඡායාරූප ශිල්පියෙන් ඔහුගේ මෝටර් රථයට යට වෙන්නට ගිය බව ආරංචි වෙනවා.

ආධුනික ඡායාරූප ශිල්පියෙකු වූ මෙම පුද්ගලයා ශාරුක් දුටු විගසින් ඔහුගේ ඡායාරූප ගැනීම සඳහා මෝටර් රථය අසලට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී මෙම ඡායාරූප ශිල්පියාගේ පාදයක් මතින් මෝටර් රථය ගමන්ගෙන තිබෙනවා.

කෙසේ නමුත් මෙය සිදු වූ වහාම ශාරුක් සිය රථයෙන් බැස එම ඡායාරූප ශිල්පියා ළඟම ඇති රෝහල වෙත ගෙන යන්න සිය අංගාරක්ෂයාට උපදෙස් ලබා දීලා. එම අවස්ථාවට පැමිණ සිටි අනෙකුත් මාධ්‍යෙව්දීන් පවසා තිබෙන්නේ මෙම ආධුනික ඡායාරූප ශිල්පියා සුළු තුවාල ලබා ඇති බවයි. ඔවුන් මෙසේද පවසනවා. “ඔහු නවක ඡායාරූප ශිල්පියෙක්. ශාරුක් දැකීමෙන් ඔහු කලබලයෙන් ඡායාරූප ගැනීමට සැරසීම නිසා මෙවැනි අනතුරක් සිදු වුණා“.


අක්ෂේගේ පිංකම

බොලිවුඩයේ සුපිරි නළු අක්ෂේ කුමාර් පසුගිය දවසක ලොකු දානමය පුණ්‍යකර්මයක් සිදු කළා. ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.8ක මුදලක් ජවාන්හි හමුදා සෙබලුන් 12 දෙනෙකුගේ පවුල් වෙත බෙදා දුන්නා.

පසුගිය මාර්තු 11 වැනිදා චටිග්‍රාහිදී ඝාතනයට ලක් වූ හමුදා නිලධාරින්ගේ පවුල්වල බැංකු ගිණුම් වෙත මෙම මුදල් සියල්ල බැරකර තිබෙනවා. අක්ෂේ කුමාර් ප්‍රධාන හමුදා නිලධාරියකු වන අමිත් ලෝධා ඔහුගේ සමීපතම මිතුරෙක්. මෙම හමුදා සෙබලුන්ගේ තොරතුරු අක්ෂේ දැන ගත්තේ අමිත් ලෝධා මඟින්.


සයිෆ් දියණියට රන් ටිකට්ටුවක්

සයිෆ් අලි ඛාන්ගේ පෙර කසාදයේ දියණිය සාරා අලි ඛාන් බොලිවුඩයට පැමිණෙන ආරංචිය පැමිණියේ මීට ටික කාලයකට කලින්. රිතික් රෝෂන් සමඟින් ඇයගේ ප්‍රථම රංගනය සිදුවන බවයි ඒ ආරංචි මඟින් කියවුණේ. කරන් ජොහාර්ගේ චිත්‍රපටයකින් තමයි සාරා තම සිනමා දිවිය අරඹන්න සූදානම්.

මෙම චිත්‍රපටයේ සාරාගේ චරිතය ගැන නම් තවමත් තොරතුරු ලැබී නැහැ. තතු දන්නා අය නම් පවසන්නේ මේ අවස්ථාව සාරාට රත්‍රන් ටිකට් එකක් වගේ කියලයි. මෙහි සාරාගේ රංගනය යෙදෙන්න නියමිතව තියෙන්නේ රන්වීර් සිං සමඟින්.

ඒ වගේම සාරාගේ මිතුරෙක් පවසා තිබෙන්නේ, ඇය රන්විර් සමඟින් රඟපෑමට මහත් ආසාවෙන් පසුවන බවයි. එය ඇය තරුණ වියේදී ලද මහඟු අවස්ථාවක් බවත් ඔහු පවසනවා.