|
මං අම්මා කෙනෙක් වෙන්න යන බව මුලින්ම දැන ගත්තේ සෙට් එකේදීරතී ගැන මහත්තයා කිව්ව දේ පත්තරේට කියන්න බෑආචාර්ය ධර්මසේන පතිරාජයන් ගේ ‘සක්කාරං’ චිත්‍රපටයෙන් විවරණ ලද ප්‍රසාදිනී
ඇය සක්කාරං චිත්‍රපටයේ රතී. නම ප්‍රසාදිනී අතපත්තු. සක්කාරං සමඟින් සිනමා රංගනයට අවතීර්ණ වුණත් ඇයව අප වැඩිපුරම දුටුවෙ වේදිකාවෙන්. ප්‍රසාදිනී පසුගිය දිනක සරසවියට ගොඩවැදුණා රතී ගැන කතා කරන්න. විස්තර කියනගමන් ඇය තවත් බොහෝ දේ කතා කළා, මෙන්න මේ විදිහට. * ප්‍රසාදිනී, ඔබට කොහොමද රතීව හිමිවුණේ? ඔබ සඳහන් කළ පරිදි මා වැඩිපුරම රැඳුණෙ වේදිකාවෙ. ඇන්ටිගනි සහ ජනේලයෙන් පනින්නද වගේ වේදිකා නාට්‍යවල මේදිනවල රඟපානවා. ඔය අතරෙ මට ආරංචියක් ආවා පතිරාජ මහත්මයා චිත්‍රපටයක් කරන්න යනවා ඒකෙ ප්‍රධාන චරිතයට කෙනෙකු හොයනවා කියලා. මට යන්න හිතුණෙ නැහැ මොකද පතිරාජ මහත්මයව මං හඳුනන්නෙ නැති නිසා. හැබැයි එතුමා මාව දැකලා තිබුණා. ඒබව මට කිව්වෙ එතුමා මුණගැසුනට පස්සෙ. කොහොමහරි ප්‍රසන්න විතානගේ මහත්මයා මුණගැසුණු වෙලාවක මට දැඩිව කියා සිටියා පතිරාජ මහත්මයාව මුණගැහෙන්නමයි කියලා. ඉතින් මං යන්න තීරණය කළා. ඊට කලින් පුංචි වැඩක් කෙරුවා. * ඒ මොකක්ද? මං සක්කාරං නවකතාව කියෙව්වා. ඒ නවකතාව ඇසුරු කරගනිමින් තමයි චිත්‍රපටය හදන්නෙ කියලා මං දැනගෙන හිටියා. * ඔබ යම් පූර්ව සූදානමකින්ද පතිරාජයන්ව මුණගැසුණේ? නවකතාව කියෙව්වා පමණයි. හිතේ දැඩි විශ්වාසයක් තිබුණේ නැහැ මාව තෝරාගනීවි කියලා. සෑහෙන්න නිළියන් පිරිසක් ආවලු ස්ක්‍රීන් ටෙස්ට් එකට. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් පතිරාජ මහත්මයට හරිගිහින් නැහැ. * නමුත් ඔබට රතීව හිමිවුණා. ඒක තමයි හරිම පුදුමයි. ඒක මගෙ වාසනාවට සිදුවෙච්චි දෙයක්. හැබැයි මාව ඒ චරිතයට තෝරාගත්තට මට සතුටුවෙන්න බැරිවුණා. * හේතුව? මම මේ වන විට කොළඹ විශාකා විදුහලේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය. මට සක්කාරං චරිතය ලැබුණෙ ඒ පත්වීම ලැබුණු අලුත. මට නිවාඩු ගන්නත් බැහැනෙ. මට පතිරාජ සර්ට කියන්නත් බැහැ මට පුළුවන් දවස්වල ෂූටිං දාගන්න කියා. වැටඋඩ මං හිටියෙ. නමුත් ඒ ප්රශ්නය ලස්සනට විසඳුනා. මට පුළුවන් දිනවල ෂූටිං යොදාගන්න තරම් පතිරාජ සර් කාරුණික වුණා. * චිත්‍රපටයේ නිරූපණය කළ මුල්ම රංගනය ඔබට මතකද? රතී කියන්නෙ තරුණවියේ පටන් මහළු විය දක්වා දිවයන චරිතයක්. මට මුලින්ම තිබුණෙ රතීගෙ මහළුකාලයේ දර්ශනයක් රඟපාන්න. මං හරිම බයකින් හිටියෙ මට මේ දර්ශනය කරගනන පුළුවන් වේවිද කියලා. සෙට්එකේ හිටපු එකම ආධුනිකයා මම. ඒ චකිතයත් තිබුණා. පැයක් විතර මට මේකප් දැම්මා. අනතුරුව මං රඟපාන්න ගියා. මං ඒ දර්ශනය ඉවරකරාමයි හුස්මගන්න එක පවා දැනුනෙ. එතුමා එතරම් කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි කියලා මම අහලා තිබුණා. හරිම සංයමයෙන් එතුමා අපිව මෙහෙයුව. වැරැද්දක් වුණත් ළඟට ඇවිත් කියලා දුන්නා. * සක්කාරං රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නෙ? ලග්ගල පල්ලේගම ගමේ රූගත කරපු ඔක්කොමටික කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මම චිත්‍රපටය රූගත කරද්දි තමයි දැනගන්නට ලැබුණෙ මං මව් පදවිය ලබලා කියලා. ගොඩක් සතුටු වුණා ඒ වෙලාවෙ. අන්න ඒක මගෙ ජීවිතේටම අමතක වෙන්නෙ නැහැ. * සක්කාරං මංගල දර්ශනය දින චිත්‍රපටය නරඹද්දි මොකද හිතුණෙ? අනේ මට තව ටිකක් හොඳට රඟපාන්න තිබුණා නේද කියලා හිතුණා. මට මදි ඒ චරිතය කළා. * ඔබ වෘත්තියෙන් ගුරුවරියක්. එතකොට රංගනයේ යෙදෙන්නෙ ඇයි? සමහරු මෙන් විනෝදාංශයටද ඔබ රඟපාන්නෙ? කොහෙත්ම නැහැ. මං රංගනයේ යෙදෙන්නෙ මගෙ ආත්මතෘප්තිය සඳහායි. හොඳ චරිතයක් කරලා ලබන වින්දනය මගෙ ජීවිතයට අතිප්රබලව දැනෙනවා. ඒ ලෝබකමට මං රඟපානවා. හැබැයි කොතරම් රංගනයේ යෙදුණත් මං මගෙ වෘත්තිමය වැඩකටයුතු අතපසුකර ගන්නේ නැහැ. * ඔබ කලින් කිව්වා රතී නිරූපණය කරලා තෘප්තිමත් වුණේ නැහැ කියලා? ඇත්ත. මට යම් තෘප්තියක් ලැබුණේ නැහැ රතීට පණපොවලා. චිත්‍රපටය නරඹද්දි මට එය හොඳට දැනුණා. මං හිතන්නෙ මගෙ මාධ්‍ය සිනමාව නෙවෙයි. මගෙ මාධ්‍ය වේදිකාව. වේදිකාවේ රඟපාලා ලබන ආත්ම තෘප්තිය වෙන කිසිම මාධ්‍යයකින් ගන්න බැහැ. මං ඒකයි වැඩිපුරම වේදිකා නිර්මාණවල හිටියෙ. * ඔබේ මාධ්‍ය සිනමාව නොවේ කිව්ව ගමන් ඔබෙන් මට අහන්න වෙනවා මං සැලසුම් නොකර සිටි ප්‍රශ්න දෙකක්. හරි අහන්න. * පළමුවැන්න තමයි ඔබ වේදිකාවට මෙපමණ ආසනම් ඇයි එදා පතිරාජයන් සොයා ගියේ ඇයි කියන කාරණය? ධර්මසේන පතිරාජ කියන්නෙ එසේ මෙසේ අධ්යක්ෂවරයෙක් නෙවෙයි. ඔහුගේ බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක් වගේ විශිෂ්ට චිත්‍රපට මං නරඹලා තිබුණා. එවන් වූ කෙනෙකුගෙ නිර්මාණයකට දායකවීමට පින තිබිය යුතුයි. ප්‍රසන්න විතානගේ පවා කියද්දි මං පතිරජයන්ව මුණ නොගැසී හිටියානම් මගෙ ලොකුකම වෙනවනෙ. ඒකයි මං එදා පතිරජයන්ව මුණ ගැසුනෙ. * අනෙක් ප්රශ්නය වන්නෙ ඔබේ මාධ්‍ය සිනමාව නොවේ කිව්ව ගමන් ඔබට ආයෙ කවුරුවත් සිනමාපටයකට කතා කරන එකක් නැහැ? මං ගැන දන්න, මගෙ රඟපෑම් දැකලා තියන, මාව අවශ්‍ය අධ්යක්ෂවරුන් මට කතා කරාවි. මං කළ ප්‍රකාශය ඒ අය තේරුම් ගනීවි හරියාකාරව. * සක්කාරං ඔබගෙ පළමු චිත්‍රපටය. මොනවද ඔබ එහි දර්ශනතලයේදී ඉගෙනගත්තෙ? මම වැඩ කරලා තිබුණෙ වේදිකා නාට්‍ය ශිල්පීන් එක්ක. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක් කරද්දි පුහුණුවීම් කරන්න ඕන. ඒවාට සහභාගි වෙද්දි ඒ නිර්මාණයේ නළු නිළියන් අතරේ අන්‍යෝන්‍ය සබඳතාවයන් ගොඩනැගෙනවා. නමුත් සිනමා නිර්මාණයකදි එහෙම නැහැ. තමන්ගෙ කොටස කළා එතනින් ඉවරයි. නමුත් එහෙම වුණත් අපි එකිනෙකාට උදව් කරගත යුතුයි කියන දේ මං සක්කාරං හරහා ඉගෙන ගත්තා. තමන්ගෙ දර්ශනය ඉවරවුණත් එතනින් නොගොසින් අධ්‍යනයක නියැලෙන්න ඕන කියලත් දැනගත්තා. * ඔබ ටෙලිනාට්‍ය වලදි අප වැඩිය දැකලා නැහැ? මං ටෙලිනාට්‍ය ඉතාම අතලොස්සකයි රඟපාලා තියෙන්නෙ. මගෙ වෘත්තිමය කටයුතු නිසා මට මෙගා නාට්‍යවල එකදිගට සහභාගිවෙන්න බැහැ. ඒකයි මං ටෙලිවල නැත්තෙ. * මොනවද ඔබේ පුද්ගලික විස්තර? මගෙ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ කුරුණෑගල මලියදේව බාලිකාවෙන්. මගෙ මහත්තයා ඩයලොග් ආයතනයෙ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. දුවට අවුරුදු එකහමාරයි. අපේ වත්මන් පදිංචිය කොළඹ. * සක්කාරං නරඹලා ඔබේ සැමිය මොනවද කිව්වෙ? අපෝ. ඒක පත්තරයකට කියන්න බැහැ. එයා තමයි මගෙ හොඳම විචාරකයා. ඒත් එයා කියන දේවල් එයාගෙයි මගෙයි අතර විතරක් තිබුණාදෙන්. |