වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




මං ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නැහැ

මං ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නැහැ

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ

ලාංකේය ටෙලි නාට්‍ය ගීත කලාව තුළදී අඹ යහළුවෝ ටෙලි සිතුවමහි කටු අකුලේ මල් ඇහැරේ ගීතය සුවිශේෂී තැනක තිබේ. එමෙන්ම එයට අන්තර්ගත වූ පානතියා බුදු සාදුට හිමිදිරියේ මල් පිපෙයි දෙනෙත් ඇරෙයි වැනි ගීත අප සිත්සතන් මධ්‍යහි සදා අමරණීය බව ද සඳහන් කළ යුතුය. මෙම අපූරු ගීතයන් නිම වූයේ සංගීතවේදී ආනන්ද ගමගේ ගේ සුරතිනි. ඔහු තුළ ඇති නිසඟ හැකියාව මෙම නිර්මාණ ඔස්සේ මොනවට කියා පෑවේය. ආනන්ද මේ වන විට ටෙලි සිතුවම් දෙසීයකට අධික ප්‍රමාණයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. වර්තමානයේදී ජනතාවගේ ආදරය මැද ජාතික නාළිකාවේ විකාශය වන සුසිරන්ද සිල්වාගේ නැට්ටුකාරයෝ ටෙලි සිතුවමේද සංගීතය ආනන්දගේය.

නැට්ටුවෝ නැටුවෝ පෙරළි පෙරළි නැටුවෝ

ඇඬුවෝ ඇඩුවෝ කිඹුල් කඳුළු හෙළුවෝ

බැලුවෝ බැල්වෝ කාසි වාසි බැලුවෝ

ගයා රම්‍ය අල්විස් විසින් රචනා කරන ලද නැට්ටුක්කාරයෝ තේමා ගීතය වැඩි දෙනෙකුග් ප්‍රසාදයට ලක් වී ඇත. ආනන්ද සමග මෙලෙස කතිකාවතක යෙදෙන්නට සුදුසු යැයි අප කල්පනා කළේ දිගුකලකින් ආනන්ද පිළිබඳ යමක් නොලියවුණු බැවිනි. ඒත් සමඟ නැට්ටුක්කාරයෝ විකාශය වීම එයට මහත් අනුබලයක් විය. මේ කරුණු කාරණා මත අපි ආනන්දව සරසවියට කැඳ වුයෙමු.

* ආනන්ද, නැට්ටුක්කාරයෝ සමඟින් මේ කතාව ඇරැඹුවොත් හොඳයි කියලා හිතෙනවා?

හොඳයි, නැට්ටුක්කාරයෝ අධ්‍යක්ෂණය කරන සුසිරන් එක්ක මං වැඩ කරන හත් වැනි වතාවයි මේ. මීට පෙර ඔහුගේ නාට්‍ය හයක් මං සංගීතවත් කළා. එකට ගැටුම, ඉසුරුභවන, කාක දේශය, නිර්සත්වයෝ ඉන් විශේෂයි. මගේ සංගීතය ඔහුගේ ඊළඟ ටෙලි සිතුවමටත් යොදා ගත්තේ මං කෙරෙහි දැඩි විශ්වාසයක් තබලනෙ. ඉතින් නැට්ටුක්කාරයෝ හි සංගීතය මං මගේ උපරිමයෙන් සැපයුවා.

* නැට්ටුක්කාරයෝ කතා පුවත ගොඩ නැඟෙන්නේ යම් ආයතනයක් කඩා වැටීම පාදක කරගෙනයි. ඒක සම්ප්‍රදායික නැහැ?

සුසිරන් සැම විටම ඔහුගේ නිර්මාණ තුළින් කතා කළේ සමාජයේ ගැටලුවක් පිළිබඳව. මෙවරත් ඒ රාමුවහි ඔහු ඉන්නවා. මෙතුළින් ඔබ කිව්වා වගේ යම් තැනක කඩා වැටීමක් පෙන්වනවා. ඇතැම් අය ඒ තැනට ආදරෙයි. ඒත් වෙන්නේ නොවිය යුතු දේවල්. මේ හින්දා මං මේ සඳහා ටිකක් වැඩිපුර උපහාසාත්මක විදිහට සංගීත ඛණ්ඩ භාවිත කළා. ඒ වගේම මෙහි ගීතය ගයන්නටත් මං අවස්ථාව ලබා දුන්නේ අලුත් කෙනෙකුට. නමින් ඔහු සුජීව ජාගොඩ .

* සාමාන්‍යයෙන් ඔබට ටෙලි සිතුවමක් සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබුණාම මොන වගේ කරුණු කාරණා ද සලකලා බලන්නේ?

මං මුලින්ම අධ්‍යක්ෂවරයා කියන්න උත්සාහ කරන නිර්මාණයේ අර්ථය තේරුම් ගන්නවා. අනතුරුව නාට්‍ය නරඹනවා. ඔහුත් සමඟ කතා කරලා ඔහුට අවශ්‍ය සංගීතමය භාවිතයෙන් ලබා දෙනවා.

* මේ වන විට ඔබ සැලකිය යුතු නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයලා තියෙනවා. නමුත් ඔබ කැපී පෙනුන චරිතයක් වුණේ නැහැ. ඇතැම් නිර්මාණවල සංගීත අධ්‍යක්ෂවරුන් කරළියට පැමිණෙනවා. ඔබ එහෙම නොවුණේ කොහොමද?

ඔබ මට කළේ චෝදනාවක් ද...

* ඔව්. එක අතකින් එය චෝදනාවක් තමයි?

මං ඔය චෝදනාව පිළිගන්නවා. මං නිර්මාණ ගණනාවක් කළාට තරුවක් වුණේ නැහැ කියලනෙ ඔය කිව්වේ. එහි ඇත්ත කතාව මේකයි. මාව කිසියම් අධ්‍යක්ෂවරයකු යම් නිර්මාණයකට ගත්ත ද මං ඔහුගේ යටතේ වැඩ කරන තවත් කෙනෙකු පමණයි. මං එහිදී උඩ පැනලා වැඩක් නැහැනෙ. මගේ වගකීම ඉටු කරලා මං යනවා. හැබැයි බොහෝ දෙනෙක් ඒක කරන්නේ නැහැ. විශේෂයෙන් නව පරපුෙරේ අය. එයාලට ඕන සංගීතය හරහා තරුවක් වෙන්න. ජනප්‍රියත්වය අපේක්ෂාවෙන් සංගීතය කරන අයත් ඉන්නවා. මට එහෙම වුවමනා වුණේ නැහැ. හොඳ වැඩක් කරන්නයි කැමැත්ත. නමට වැඩිය වැඩේ ගැනයි මගේ නම් උනන්දුුව.

* ඔබේ අගයට සරිලන මුදලක් මේ ක්ෂේත්‍රය තුළදී ලැබෙනවාද?

මේ ක්ෂේත්‍රයෙන් නෙවෙයි, මොන ක්ෂේත්‍රයේ වුණත් හම්බු වෙන සල්ලි නම් මදි ජීවත් වෙන්න. ඒක කාටත් පොදුයිනේ. හැබැයි මට සරිලන වටිනාකම මට ලැබිලා තියෙනවා. ඒක මං ඉල්ලාගෙන යන්නේ නැහැ. මාව වැඩකට ගන්න කෙනා මගේ අගය දැනගෙනයි කතා කරන්නේ.

* ඔබ වෘත්තියෙන් ගුරුවරයකු කියලා වැඩි දෙනෙකු දන්නේ නැහැ?

ඒක ඇත්ත. මං එහෙම කාටත් කියන්න ගිය කෙනෙකුත් නෙවෙයි. වෘත්තීයෙන් ඉදිරියට ගිහින් මං රිටයර් වුණේ හලාවත කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හැටියට. තර්ස්ටන්, නාලන්දා ආදී විදුහල්වල සංගීත ගුරුවරයා වුණේ මම. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ චෙලෝ වාදකයකු හැටියට මං සේවය කළා.

* ඔබ සෑදු ජනප්‍රිය නිර්මාණ ගැන සඳහන් නොකාළොත් ඒක මේ කතාවට ලොකු අඩුවක් වේවි?

මං ඒ පෙළ මෙහෙම කියන්නම්. මාලිනී බුලත්සිංහලගේ තාර පාර දිගේ, නන්දා මාලිනියගේ ගෙඩි සියයක් බිම හෙලුවත්, පුන්සිරි සොයිසාගේ එකම මඟක පියවර මැන යන්නයි, සරත් වීරසිංහගේ ඔබයි ඔබේ සිනා පොදයි ආදී ගීත රැසක් තියෙනවා මං හැදූ ජනප්‍රිය ගී අතර.

* ඒ අතරින් ටෙලි නාට්‍ය ගීතාවලියෙන් ගත්තොත් කටු අකුලේ, පානතියා, මල් පිපෙයි වැනි ගීත අමතක කරන්නට බැහැනේද?

මං හිතනවා ඒ ගීත ටික මේ සක්වල පවතින තුරු තියේවි කියලා. ඔය ගීත මට ඔබ මතක් කරද්දී කටු අකුලේ ගීතය පටිගත කරන කොට වෙච්ච සොඳුරු සිදුවීමකුත් මතක් වුණා.

* ඒ මොකක්ද?

මුලදී ඔය ගීතය නාට්‍යයට අවශ්‍ය නැහැ කියලා අධ්‍යක්ෂවරයා කිව්වා. මගේ කටේ බලේට ඒක ඇතුළත් වුණේ. කටු අකුලේ ගීතය ගැයීමට ළමුන් හතර දෙනෙකු මං ඉල්ලා සිටියා. ඒ හතර දෙනාගෙන් දෙන්නෙකුට ගීත කියන්න බැහැ. මං ඒක හරියටම දැනගත්තේ පටිගත කරන්න ගියාම. මං අලි අමාරුවක වැටුණේ. එදා එම ශබ්දාගාරයේ පරිපාලකවරයා හැටියට හිටියේ ඔගී රණවීර. අන්තිමේ ළමුන් දෙන්නෙකුගෙන් විතරයි පටිගත කිරීම ගියේ. ළමයි හතර දෙනෙකුගේ වොයිස් එක ගන්න ඕන නිසා අර ළමයි දෙන්නගෙන් ගීතය දෙවතාවක් පටිගත කරලා ටේප් එක එක උඩ ඇලෙව්වා. ඔහොමයි ගීතය හැදුවේ. අන්තිමේ එය ලබා ගත් ජනප්‍රියතාවය අති විශාලයි.

* ගුණදාස කපුගේ වෙනුවට ඔබ හඬ මුසු කළ අවස්ථාවක් ද තිබුණා. ඒ ගැනත් කියමු?

මං කපුගේව ගත්තා එක්තරා නාට්‍යයක ගීතයක් කියන්න. බොරැල්ලේ ජන කලා ස්ටුඩියෝ එකේ තමයි පටිගත කිරීම් තිබුණේ. මං ගෙදරටම ගියා කපුගේව එක්කගෙන එන්න. ඔහුට ඒ වෙලාවේ සනීප නැහැ. නමුත් මගෙත් එක්ක ආවා. ඔය අතරේ කපුගේ කියනවා ර්‍ථ අකුරෙන් පටන් ගත්ත බෙහෙත් පෙත්තක් හොයලා දෙන්න කියලා. නැත්නම් සින්දු කියන්න වෙන්නේ නැහැ කියලා. පෙත්තේ නමත් මතක නැහැ. අන්තිමේ ෆාමසි ගාණකට ගියා ඒක හොයන්න. ඒත් ලැබුණේ නැහැ. අන්තිමේ අසනීපයයි, බෙහෙත් පෙත්ත සොයා ගැනීමට බැරිකමයි නිසා කපුගේට එදා සින්දු කියන්න බැරි වුණා. අන්තිමේ මමයි ඒකට හඬ මුසු කළේ.

* කොතරම් කාලයක් සංගීතමය කලාවේ හිටියට ඔබ සම්මාන අරගෙන නැහැ. කොහොමද එහෙම වුණේ?

ඔය ප්‍රශ්නයට මට දෙන්න පුළුවන් ඉතාම කෙටි පිළිතුරක්. ඒ මම සංගීත කලාව ප්‍රගුණ කළා, නමුත් සම්මාන ගන්න කලාව ප්‍රගුණ කළේ නැහැ කියන කාරණය.

* කොහොමද ඉදිරිය?

මං මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික සන්නිවේදනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරනවා. එමෙන්ම ටවර්හෝල් පදනමේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවේ උපදේශකවරයෙක්. ඊට අමතරව නිවසේ සංගීතය උගන්වන ශාලිකාවක් ද පවත්වනු ලබනවා. මේ කටයුතු තමයි. අවසන් කොට සුසිරන්ව මතක් කළ යුතුමයි. ඔහුගේ නාට්‍යවලට මාවම සම්බන්ධ කර ගැනීම හේතුවෙන් මං ඔහුට තුති පුදනවා.