වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ සිනමා සම්මාන 14 දා

දෙරණ සිනමා සම්මාන 14 දා

ශාජි එන් කරූන් ජූරියේ සභාපති

සාජි එන්. කරූන්

මෙරට ප්‍රථම වරට රූපවාහිනී නාළිකාවක් මඟින් ආරම්භ කරන ලද දෙරණ සිනමා උලෙළ මෙම මස 14 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

දෙරණ නාළිකාව මඟින් සංවිධානය කරන සම්මාන උලෙළේ මෙවර දිග හැරෙනුයේ හතරවැනි අදියරයි. මෙහිදී ප්‍රධාන තරගකාරී අංශය (2015 තිරගත වූ චිත්‍රපට ඇතුළත්) සඳහා සම්මාන 20 ක් වෙන් කොට ඇත.

එමෙන්ම තිරගවීමට නියමිත චිත්‍රපට සඳහා සම්මාන ත්‍රිත්වයක් ලබා දෙනු ඇත. ඊට අමතරව කෙටි චිත්‍රපට සහ ජනප්‍රිය අංශය යටතේ ද සම්මාන පිරිනැමීමට නියමිතය. මෙවර දෙරණ සම්මාන උලෙලේදී ජීවිතයට එක් වරක් පිදෙන සම්මානයෙන් පිදුම් ලබන්නේ විශිෂ්ට නිළි ස්වර්ණා මල්ලවාරච්චිය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්මානනීය කේරළ සිනමාකරු චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් සහභාගි වෙනු ඇත.

මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේ ජූරියේ සභාපති වශයෙන් කටයුතු කරන ලද්දේ ශාජි එන් කරූන්ය. මෙහි පූර්ණ අධීක්ෂණය දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, මෙහෙයුම් අධ්‍යක්ෂ මාධව මඩවල සහ වැඩ සටහන් අධ්‍යක්ෂ ෂර්මිලා ධර්මරාසාගෙනි. උලෙළේ අධ්‍යක්ෂවරයා වශයෙන් කීර්ති පතිරණ කටයුතු කරයි.


ඇගේ ඇස අග හෙට තිරයට

ස්වර්ණා යළි එයි

බෙංගාල නළු ද්‍රිතිමන් චැටර්ජි අපේ සිනමාවට

මෙරට සිනමා ඉතිහාසයේ තවත් විශිෂ්ට සිනමාපටයක් හෙට (13) සිට කොළඹ රිගල් සිනමා ශාලා ප්‍රමුඛ සිනමා ශාලාවල තිරගත වනු ඇත. ඒ අශෝක හඳගම නිර්මාණය කරන ලද ඇගේ ඇස අග සිනමා කෘතියයි. විසි වසරකට පසු ස්වර්ණා මල්ලවාරච්චි යළි ප්‍රධාන චරිතයකින් සිනමාවට පිවිසෙන මෙම චිත්‍රපටයෙන් සම්මානනීය බෙංගාල සිනමා නළු ද්‍රිතිමන් චැටර්ජි ලාංකික සිනමා රංගනයට මුල්වරට අවතීර්ණ වෙයි. රිතිකා කොඩිතුවක්කු හා සඳලි ඈෂ් සිනමාවට අවතීර්ණ වනුයේ මෙම චිත්‍රපටයෙනි.

චිත්‍රාල් සෝමපාල සිනමා සංගීතයට අවතීර්ණ වනුයේද මෙමඟිනි. ඔහු ගයන ඇගේ ඇස අග ගීතය චිත්‍රපටයේ තේමා ගීතයයි.

රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද, දිනූ ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද, උපුල් චමිල කලා අධ්‍යක්ෂණයෙන් ද පූර්ණිමා මුහන්දිරම් ඇඳුම් නිර්මාණයෙන්ද ඇගේ ඇස අගට දායක වෙති.

ඇගේ ඇස අග තිරගත වනුයේ සීමිත දින ගණනකට පමණි. ඒ තවත් චිත්‍රපටයක් තිරගත වන තෙක් පමණක් වීම විශේෂයකි. මෙම 13 වැනිදා කොළඹ රීගල් සිනමාහලේදී පස්වරු 6.00 ට පැවැත්වෙන මංගල දර්ශනය ප්‍රේක්ෂකයන්ට ද හඳගම ආරාධනා කරයි.

සිළුමිණ ෆිල්ම්ස් වෙනුවෙන් ඇගේ ඇස අග නිෂ්පාදනය කළේ ආචාර්ය ජගත් විජේනායකයි.

කවුද මේ ද්‍රිතිමන් චැටර්ජි

බෙංගාලි සිනමවේ සම්භාවනීය නළුවන් අතර අතිශය ගෞරවනීය නළුවකු වන ද්‍රිතිමන් චැටර්ජි සත්‍යජිත් රායි, මිර්නාල් සෙන්, දීපා මේතා වැනි ඉන්දියානු සිනමාකරුවන්ගේ මෙන්ම නවසීලන්ත සිනමාවේිදී ජීන් කැමිපියන් සමඟ පවා කටයුතු කෙරුවෙකි.

සත්‍යජිත් රායිගේ ප්‍රතිද්වන්ද්, ජනශතෘ ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපට ලෙස සැලැකේ. ඒජන්ට විනෝද්, කහානි, චතුරංග, ගුරු, 15 පාර්ක් ඇවනිව්, බ්ලැක්, පර්ෆියුම් ගාඩන්, ගෝල් ස්මෝක් වැනි චිත්‍රපට රාශියක් ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ඔපවත් විය.


ආචාර්යවරු මහාචාර්යවරු සිනමා තරගෙට

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුළ අමරණීය සටහනක් තබමින් පළමු වතාවට ආචාර්යවරයකු සහ මහාචාර්යවරයකු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට යුගළක් මේ දිනවල තිරගත වේ. සක්කාරං ආචාර්යතුමන්ගේ චිත්‍රපටයයි. එය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අධ්‍යක්ෂණයකි. මහාචාර්යතුමන්ගේ නිර්මාණය වන්නේ 'පත්තිනි'. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එහි අධ්‍යක්ෂවරයාය.

ආචාර්ය පතිරාජගේ සක්කාරං රීගල් පුමුඛ සිනමා ශාලාවලද, මහාචාර්ය ආරියරත්නගේ 'පත්තිනි' ලිබර්ටි ප්‍රමුඛ ශාලාවලද තිරගත වේ.


හැට හතරට 64 මායම්

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ඔහුගේ හැට හතර වැනි සිනමා පටය හැට හතර මායම් අද සිට රූ ගත කිරීම් ආරම්භ වෙයි. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි විජය නන්දසිරි, මහින්ද පතිරගේ, සරත් චන්ද්‍රසිරි, විශ්ව කොඩිකාර, සුසිලා කෝට්ටගේ, නිල්මිණි කොටිටේගොඩ, නිරෝෂා තලගල, මේනකා මධුවන්ති, විශ්වලංකා, ඩි. බි. ගංගොඩතැන්න, පවිත්‍රා වික්‍රමසිංහ, හර්ෂි පද්මරත්න ආදිහු මෙහි රංගනයේ යෙදෙති. ගාමිණි මොරගොල්ලාගමගේ කැමරා අධ්‍යක්ෂණයකි. කේෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂවරයාය. සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදනයෙන් දායක වෙයි.


‘සරිගමප’ වැඩ නිම වෙයි

පසුගිය අලුත් අවුරුදු සමය ඇතුළුව පුරා මාසයකට අධික කාලයක් එක දිගට දිවයින පුරා විවිධ ප්‍රදේශවල රූගත කිරීම් කළ ආචාර්ය සෝමරත්න දිසානායකගේ 'සරිගමප' රූගත කිරීම් දැන් නිම වී තිබේ.

ඒකාධිපතියකු ලෙසින් තමන්ගේම දරු දැරියන් සත් දෙනාව පාලනය කරන නාවුක කපිතාන්වරයකුගේ නිවසට දොළොස් වැනි මෙහෙකාරිය වශයෙන් සුරූපී යුවතියක් පැමිණීමත් සමඟ සිදුවන වෙනස්කම් පෙළක් ඔස්සේ සරිගමප චිත්‍රපටය ගලා යයි.

ගීත දහතුනකින් සමන්විත වන සංගීතමය චිත්‍රපටයක් වන මෙහි ගැයුමින් විශාරදධාරින්ම පස් දෙනකු සහභාගි වන බව එහි විධායක නිෂ්පාදිකා රේණුකා බාලසූරිය පවසයි. නන්දා මාලිනී, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා සහ හර්ෂණ දිසානායක වශයෙනි. එයින් ගීත 6 ක්ම ගැයෙන්නේ උරේෂා රවිහාරිගේ හඬිනි.

ආචාර්ය මාලිනී ෆොන්සේකා කන්‍යාරාමයක ප්‍රධාන පාලිකාවට පණ පොවන සරිගමප චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි දෙපළ වශයෙන් අශාන් ඩයස් සහ පූජා උමා ශංකර් රඟති. ගයනි ගිිසන්තිකා, රත්නා ලාලනී ජයකොඩි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, බුද්ධි රන්දෙනිය, දසුන් මධුසංඛ, ලලිත් ජනකාන්ත ආදීහු මෙහි රඟති.

දමින්ද ඩී මඩවල, චාමර සේලාර සහ වර්ණන් අබේසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද විශ්ව බාලසූරියගේ කැමරාවෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායකගේ සංස්කරණයෙන්ද, විදුර අබේධීර වේශ නිරූපණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටියගේ කොණ්ඩා සැකසුම්වලින් ද කසුන් මලින්දගේ පරිගණකාශ්‍රිත දෘශ්‍ය ප්‍රයෝගවලින් ද මෙත්රුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණකරණය ආදියෙන් ද මේ චිත්‍රපටයට දායකත්වය දක්වති.