|
මල්ලි කැලණියෙන් අහල බලන්න ඇලෙක්ස්ගේ ගෙදර කොහෙද කියලා?ඇ ලෙ ක් සැ න් ඩ ර් ප්‍ර නා න් දුඅපේ දැනුමයි - ඩිජිටලුයි එකතු වුණාම කොහොමද?75 යි, තවමත් ෆිට්ි හැට හැත්තෑව අසූව දශකයන්හි චිත්‍රපටයක ප්‍රචාරයක් වෙනුවෙන් ඇඳි පෝස්ටරයක කටවුට් එකක ප්‍රධාන නළු නිළ යුවලගේ නම් පෙල අතරේ ඔහුගේ රුව ද නම ද ඉහළින් වැජඹිණි. ඒ තරමට ඔහු එවක සිනමාවේ ජනප්‍රිය චරිතයක් විය. සටන්කාමී දුෂ්ටයකු ලෙසින් මෙන්ම විරල ගණයේ වීරයකු ලෙසින් ඔහු සතු වූ කඩවසම් දේහධාරී පෞරුෂය එදා අපේ සිංහල සිනමාව වර්ණවත් කළේ නරඹන්නන්ගේ විසිල් හඬ ඔල්වරසන් හඬ මධ්‍යයේය. දේශීය සිනමාවේ තාත්වික සටන් ජවනිකා මැවූ සටන්කරුවන් අතර ප්‍රමුඛයකු වූ ඔහු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුය. 103, නාතුඩුව, කැලණිය නිවහනට අපි පිය මැන්නේ එදා රිදී තිරය දෙවනත් කළ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ අලුත් තොරතුරු කොහොමද කියා දැනගන්නටය. ඇලෙක්ස්ගේ සුහද පිළිගැනීමෙන් පසු ඔහුගේ බිරිය අනෝමාගෙන් ලැබුණු සිසිල් පැන් වීදුරුව පානය කරමින් අපේ කතාබහට මුල පිරුවේ ඇලෙක්ස්මය. ඔන්න මල්ලී දැන් මට හැත්තෑ පහයි. ආයෙ කතා දෙකක් නැහැ. වයස ගියත් තාම මගේ හිතේ හයිය අඩු වෙලා නෑ. මල්ලි එදා ෆිට්නස් අදත් එහෙමයි. අද ඉතිං මම ගෙදරටම වෙලා නිකන්ම තමයි ඉන්නේ. කෝ ඉතිං මගෙන් කවුරුවත් වැඩක් ගන්නෙත් නැහැ. වැඩකට කතා කරන්නෙත් නැහැ. උදේට මම නැගිටිනවා. කොහොම හරි මම ගෙදරට වෙලා දවස ගෙවනවා. ආයෙත් ඉතිං රෑට කාලා නිදා ගන්නවා. * අපරාදෙනෙ තාම එදා වගේ වැඩක් කරන්න පුළුවන්කම තියෙද්දිත් ඔය විදියට කාලය ගෙවන්නෙ? ඒක මගේ වැරැද්ද නෙවේ. රටේ වැරැද්ද. අපි වගේ අත්දැකිීම් ඇති අයගෙන් රටට වැඩක් ගන්න ඕනෑ. කලාවට චිත්‍රපට කර්මාන්තයට අපේ අත්දැකිම් දැනුම ගන්න ඕනෑ. එහෙම දෙයක් අපෙන් ගන්නේ නැති නිසා ඇත්තටම මල්ලි එක වෙලාවකට හරිම දුකයි. අපි එදා චිත‍්‍රපට කලේ අද වගේ ඩිජිටල් තාක්ෂණයෙන් නෙමේ. ඉතිං බලන්න එදා එහෙම කරපු චිත්‍රපට අද බලන කොට අනේ මේව කොහොම කළා ද කියලා හිතෙන්නේ නැද්ද? අද ඩිජිටල් තිබිලවත් හරියට චිත්‍රපටයක් කරගන්න පුළුවන්ද? ඇයි අපේ ඥාණය, අපි වයසට ගියා කියලා, අපි පරණයි කියලා අහකට දාන්නේ. හොඳ නැද්ද අපේ දනුමයි අද ඩිජිටලුයි එකතු වුණා නම්. එහෙම වුණා නම් අපේ සිනමාව අද කෙහේ තියෙයිද? ඕක තේරෙන්නේ නෑනෙ මේ අපේ මිනිස්සුන්ට. * චිත්‍රපට නැතත් ටෙලි නාට්‍ය වැහි වැහැලා නිෂ්පාදනය වෙනවානේ. අත්දැකිම් බහුල ඇලෙක්ස් ඇයි ඒ වගේ දේකටවත් නොයන්නේ? අපෝ මම කැමැති නැහැ ටෙලි නාට්‍යවල රඟපාන්න. සිනමාව තමයි අම්මා. දුව තමයි ටෙලි නාට්‍යය. වේදිකාව තමයි මුනුබුරා. ඉතිං අම්මත් එක්ක තමයි මගේ රංගනය. එයින් එහාට මගේ දායකත්වයක් නැහැ. ටෙලි නාට්‍ය කියන්නේ නොමිලේ අපේ ගෙදරට ගෙනත් දෙන දෙයක්. කාට හරි එක චැනල් එකක යන දේ හොඳ නැත්නම් තව එකක් දාලා බලන්න පුළුවන්. අද මිනිස්සු නොමිලේ දෙන එක බලන්න පුරුදු වෙලා. සිනමාව එහෙම නැහැ. එදා චිත්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට මිනිස්සු ගියේ ඒ චිත්‍රපටයේ රඟපාන නළුවෝ නිළියෝ කවුරුද කියලා බලලයි. සල්ලි දීල චිත්‍රපටයක් බැලුවේ එහෙමයි. කෝ අද නළුව කවුද නිළිය කවුද කියලා චිත්‍රපට බලන්න යනවද? ඒ කාලේ අපිට මිනිස්සු කොටසක් හැදිලා තිබුණා. චිත්‍රපටය දිව්වේ කට වචනයට. චිත්‍රපටය ආපුවහම මුලින් බලන කෙනාගේ පංපෝරිය තමයි චිත්‍රපටය දුවන්න මිනිස්සු ගලාගෙන ආවේ. * ඒ කලේ ඇලෙක්ස් අයියට හොඳ ක්‍රවුඩ් එකක් ඉන්න ඇති? මොනවා කියනවද මල්ලි, මම චිත්‍රපටවල ගුටි කාපු එක ඇත්ත. එත් බලන්නකෝ මාව බලන්න මොන තරමක් සෙනඟ ආවද? විජයට, මාලිනීට, ගාමිණීට ක්‍රවුඩ් එකක් හිටිය වගේම මේ ඇලෙක්සැන්ඩර්ටත් ක්‍රවුඩ් එකක් හිටියා. චිත්‍රපටයේ ෆයිට් තියෙනවද? ඇලෙක්සැන්ඩර් ඉන්නවද? ඒ කාලේ රසිකයෝ අහන දේ. ගැලරියේ එදා විසිල් පාර අවේ අපිට. අපි ගුටි කාලා තමයි ලස්සන පියුරු බබා වීරයා කරන්නේ. එතනදී මිනිස්සු වුණත් දන්නවා කවුද නළුවා කියලා. එදා රසිකයන්ට රෙජිස්ටර් වෙලා හිටියේ අපි. නළුවා ලස්සන වුණා කියලා හරියට රිඇක්ෂන් එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ. මම කී දෙනෙක්ව සිංහල සිනමාවේ නළුව කලාද? හරියට පාරක් ගහගන්න බැරි නළුවො කී දෙනෙක්ව අපි පිටි පස්සේ ඉඳගෙන පුම්බ පුම්බ එළියට ගත්තද? එයාලා එළියට ගන්න අපි මොන තරම් ගුටි කෑවද? අපි කළේ එයාලට කියලා දිදී අපි ගුටි කන එකයි. ඉතිං මම අහනවා අද ඇත්තටම නළුවා කියන්නේ ගුටි කාපු අපිද, අපි ගහගන්න කියා දුන්න අයද? කියලා. එදා චිත්‍රපටයක හීරෝල වුණේ ඇත්තටම නළුවොද? නියම හීරෝල අපි. ඒත් එදා පත්තර මඟින් කළේ ලස්සනට හිටපු ප්‍රධාන නළුවා හීරෝ හැටියට පුම්බපු එක. දැන් බලන්න සමහර ලස්සන කොල්ලෙක් එදා ජනප්‍රිය කළේ වෙන කවුරුවත් නෙවෙයි. සරසවිය පත්තරය. මේ පත්තරය තමයි නළුවන් ජනප්‍රිය කරමින් උස්සලා ගත්තේ. එදා නියපොත්ත සීරෙන්න බැහැ ඒක පවා පත්තරේ දානවා. ඔන්න තත්ත්වය. අපි එයාලා වෙනුවෙන් අත පය කඩාගෙන චිත්‍රපට කරන්න ගිහින් එක්තැන් වෙලා හිටියත් පත්තරේ අකුරක්වත් නැහැ. මට අද වගේ මතකයි රක්තා චිත්‍රපටය කරන්න ගිහින් ෆයිට් එකකදී මගේ කකුලත් අතේ උරපත්තත් කැඩිල ටික කාලයක් එක තැන ඉන්න වුණා. ඒත් අපි ගැන වචනයක් නැහැ. සමහරුන්ගේ ඇඟිල්ලක් ෂූටිං කරන්න ගිහින් තුවාල වෙලා කියලා මහ ලොකුවට පත්තරෙන් ප්‍රචාරයක්. කොහොම හරි මට මතකයි රක්තා කරන්න ගිහින් මම අතපය කඩාගෙන ඉන්න කොට සරසවියෙන් මාව හොයන් ආවා. හැබැයි ඒ වෙන කොට මමත් හිටියේ හොඳටම කේන්තියෙන්. එයාලගේ ආගමනය මම දැඩි සේ ප්‍රතික්ෂේප කරලා මගේ හිතේ තියෙන වේදනාව මම පිට කළේ ඔවුන්ට ආපයින්ම ආපහු යන්න කියලා. * රංගනයෙන් ඈත්වීම ඔබට තදින් දැනෙන හැඩයි? මට දුක මට යම් දෙයක් කරන්න පුළුවන් කාලේ මගෙන් වැඩක් නොගැනීම. අද මම වයසට ගියත් එදා වගේ ෆයිට් කරන්න බැරි වුණත් මගේ දායකත්වය ඩිරෙක්ෂන් පැත්තෙන් කාට වුණත් ගන්න පුළුවන්. මේ වෙනකොට මම චිත්‍රපට 105 ක් කරලා තියෙනවා. එයින් ශ්‍රී මදාරා, සුභානි, අගේ ආදර කතාව, සහායට ඩැනී, පස මිතුරී, සරදියෙල්ගේ පුතා චිත්‍රපට හයේම මම ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා. * සිනමාවට පැමිණීම සිහිපත් කළොත්? ඒ වෙන කොට මට වයස අවුරුදු විසි තුනක් විතර ඇති. මල්ලව පොර, බොක්සිං, කරාතේ ශිල්පියෙක් මම ලංකාව නියෝජනය කළ ස්පෝට්මන් කෙනෙක්. කොහොම හරි මගේ හිත මිතුරෙකු වූ ලෙනින් මොරායස් තමයි මාව සිනමාවට අරන් ආවේ. වෙන ස්වර්ගයක් කුමටද චිත්‍රපටයේ හෙන්රි ජයසේන සමඟ ෆයිට් එකක් තමයි මගේ මුල්ම රංගනය. ඒත් ඒ චිත්‍රපටය තිරගත වෙන කොට ඒ කොටස කැපිල ගිහින්. ඔය අතරෙ රුහුණු කුමාරි චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු සමඟ මම කළ ෆයිට් එකෙන් තමයි මාව ප්‍රේක්ෂකයන් අතරට ආවේ. කොහොම හරි හාර ලක්ෂය චිත්‍රපටයේ ෆයිට් එකෙන් පස්සේ මට චිත්‍රපට ගලාගෙන ආවා ප්‍රේක්ෂකයන්ගේ විසිල් පාරත් එක්ක. මේ වෙන කොට මම අන්තිමට කළ චිත්‍රපටය කුසුම් චන්ද්‍ර ගමගේ අධ්‍යක්ෂණය කළ ෆස්ට් ලව් පූජා. * චිත්‍රපටත් නැති එකේ ඔබේ ආදායම් මාර්ගය එහෙම කොහොමද? එදා අපි චිත්‍රපටවල ඇග්රිමන්ට් සයින් කළාට මහ මුදලක් ගත්තේ නැහැ. සීන් ටික කරලා එදාට අතට රුපියල් දෙදහක්, පන්දාහක් අතට ගත්තා. මගේ සිනමා ජීවිතයේ වැඩිම මුදලක් මම අරන් තියෙන්නේ සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේ රඟපෑමට. ඒ රුපියල් විසිපන් දහසක්. රඟපෑව කියලා අපි ඉතිරි කරපු දෙයක් නැහැ. අද වෙන කෙට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් මට මාසෙකට රුපියල් දෙදහසක මුදලක් ලැබෙනවා. ඊට අමතරව ජයන්ත ධර්මදාස මහත්තයාගේ සිනෙස්ටා පදනමෙන් රුපියල් පන් දහසක මුදලක් ලැබෙනවා. එච්චරයි. ඒ ඇරෙන්න ඉතිං දරුවෝ තුන් දෙනා අපි දෙන්නට ජීවත් වෙන්න මුදල් දෙනවා. * කෙහොමද දැන් ගෙදර තොරතුරු? බිරිය අනෝමා, එයත් මමත් කැලණියේ නාතුඩුවේ මේ ගෙදර ජීවත් වෙනවා. ලොකු දුව අනුෂ්කා, පොඩි දුව ආශා, පුතා අනෝජන්. පොඩි දුව ආශා ආයුර්වේද වෛද්‍යවරියක්. දරුවන්ගේ උදව් උපකාරයෙන් අපි දෙන්නා ජීවත් වෙනවා. සිංහල සිනමාව වෙනුවෙන් මෙච්චර සේවයක් කළ මට අඩුම තරමින් රජයෙන්වත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. * එදා වගේ අදත් රසික ප්‍රතිචාර තියෙනවාද? මල්ලි කැලණියෙන් බැහැලා අහන්න ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ ගේ කොහෙද කියලා, ඒත් කියයි . හැබැයි අද ඉන්න නළුවො නිළියො නම් මම ළඟ හිටියත් කවුද කියලවත් දන්නේ නැහැ. අද ඇටබෝල ගහලවත් නැති අයනේ හීරෝලා වෙලා ඉන්නේ. මල්ලිට කියන්න මට හරිම සතුටු සිද්ධියක් තියෙනවා. මහර හංදියේ පදිංචි වයස අවුරුදු දහ තුනක දැරියක් ඉන්නවා ගයනි උත්පලා අතුකෝරල කියලා. අනේ මේ දරුවා මම ඉන්න ෆිල්ම් බලලා මාව බලන්න මගේ ගෙදර හොයාගෙන ආවා. ඒ දරුවා ගෙදරදී අම්මට තාත්තට කියන්නෙත් මගෙ චිත්‍රපට ගෙනත් දෙන්න කියලලු. බලන්න ඉතිං මේ වගේ දුවලත් මට තවම ආදරේ කියලා දැනෙන කොට ඇත්තටම තාම මිනිස්සුන්ට මාව අමතක වෙලා නෑ නේද කියත් හිතට දැනෙන්නේ සතුටක්. |