වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

Hollywood
 

බීබර්ගේ Tattooවට රසික විරෝධය

ජස්ටින් බීබර්ගේ වගේ ලස්සන මුහුණක් ලැබෙන්න කියලා බටහිර සංගීතයට ලැදී බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කළ දෙයක්. ඒ වුණත් ඉදිරියට නම් කවුරුවත් එහෙම කියන එකක් නැහැ. මොකද දන්නවාද ජස්ටින් පසුගිය දවසක තම මුහුණේ සදහටම තියෙන ටැටූ එකක් කොටා ගත් නිසා.

මේ ගැන ආරංචි වුණු ගමන් ඔහුට ආදරය කරන බොහෝ දෙනා විමසුවේ තමන් සල්ලි හොයන දෙය මුහුණ කියලා ඔහු දන්නේ නැති ද යන්නයි. බීබර්ගේ මේ අලුත් ටැටූ එක තියෙන්නේ වම් පස ඇහැට යටින්. ඒක ඉතාම කුඩා කුරුසයක්. ඒ විතරක් නෙවෙයි මේ ටැටූ එක කොටලා තියෙන්නේ ඔහුගේ මිතුරු ජෝ ටර්මින් සමඟින් ගැළපෙන්න යි.

කොහොම වුණත් බීබර්ගේ රසික රසිකාවන් නම් දැනටමත් මේ ටැටූ එක ගැන අප්‍රසාදය පළ කරන්න පටන් අරන්. ටැටූ එක කුරුසයෙක් වුණේ ඔහු තුළ ආගමට ලොකු නැඹුරුවක් ඇති නිසා බවත් ඇතැමුන් කියනවා.

සෙලීනා ලොව වටා

සෙලීනා ගෝමස් පසුගියදා ‘රිවයිවල්’ ලෝක සංචාරය ආරම්භ කළා. එයට ඇයගේ අලුත්ම ගීත කිහිපයකුත් ඇතුළත්. සෙලීනා සමඟින් ඇයගේ ප්‍රසංගවලට සමඟින් එක්වන හොඳම මිතුරිය ටේලර් ස්විෆ්ට් මෙවර ප්‍රසංගයට එක්වීම ගැන බොහෝ දෙනා කතා වෙනවා.

මෙවර ප්‍රසංගයට ඇය අලුත් පිරිසක් දායක කරගෙන තියෙනවා. නමුත් ඒ අතරට ටේලර් ස්විෆ්ට්ගේ සහභාගීත්වය තහවුරු කරලා නැහැ. ‘රිවයිවල්’ ලෝක සංචාරය උතුරු මෙරිකාව ඇතුළුව ආසියාව හා යුරෝපය ආවරණය වන ලෙසින් සංගිත ප්‍රසංග පැවත්වෙනවා. එහිදී ඇයගේ අලුත්ම ගීතය වන Feel Me  වගේම අලුත්ම කොණ්ඩා විලාසිතාවක් ප්‍රේක්ෂක ආකර්ශනයට පත් වේවි.

දෙවියන් වෙතින් දුන් පඬුරක් ලෙසින්

බ්‍රිට්නි ස්පියර්ස් ලෝක මව්වරුන්ගේ දිනය බොහොම ආදරයෙන් සැමරුවා. ඒ වෙනුවෙන් ඇය සිය පුතුන් වන ජේඩ්න් සහ ප්‍රෙස්ටන් හට ආදරණීය ලියුම් ලියා තිබුණා. පුතුන් දෙදෙනා තමත්ගේ ජීවිතයේ ලද උතුම්ම දේ බව ඇය එහි සටහන් කර තිබුණා. පුංචි දරු දෙදෙනාගේ ඇස් දුටු දවසේ බ්‍රිට්නිට ආශ්චර්ය ගැන විශ්වාසයක් ඇතිවෙලා. “මගේ පුතාලා දෙදෙනා මගේ ලෝකය ලස්සන කරන්න දෙවියන් දුන් වටිනාම තෑග්ගක්” ඇය පවසනවා.

ඒ වගේම ඇය දෙවියන්ගෙන් තවත් දෙයක් ඉල්ලා සිටිනවා. ඒ තම දරුවන්ට ජිවිතය සාර්ථකව ඉදිරියට යන්න අභියෝග සමග පොර බදන්න ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම ඔවුන්ට ජීවිතයේ යථාර්ථය වටහා ගන්න ලැබෙන්න කියලත් බ්‍රිට්නි පතනවා. ගෙදර වැඩ නැති දවසුයි විමෝද ගමන් ගිය දවසුයි එක වගේම ප්‍රීති දායක බවත් ඇය පවසන්නේ ආදරණීය පුතුන් දෙදෙනා සමඟින්ම කලාය ගත කරන්න පුළුවන් නිසා.

ළඟින් හිටියත් හිත් දුරස්

මිනිස්සු රවටන්න විවිධ ඡායාරූප අන්තර්ජාලයට මුදහරින බවට චෝදනාවක් එඩී සිබ්රියන් සහ ලීආන් රයිම්ස් වෙත එල්ල වෙලා. මේ දෙන්නා වෙන් වෙන්න යන බවට පසුගිය කාලයේ ආරංචි පැතිරුණා. නමුත් පසුගිය අප්‍රේල් 22 වැනිදා දෙදෙනා තම පස් වැනි විවාහ සංවත්සරයත් සැමරුවා.

කෙහොම වුණත් දෙදෙනාගේම ජීවන රටාවේ වෙනස්කම් නිසා වෙන්වීමේ තීරණය වෙනසක් නැතිලු. ළඟින් හිටියත් හිතින් දෙදෙනාම දුරස්ලු. ඒ වුණත් එඩී කියන්නේ විවාහය වගේම දික්කසාදයත් ඉතාම මිල අධික එකක් බවයි.

ජැනට් ජැක්සන් මවක් වෙන්නත් සූදානම්

ජැනට් ජැක්සන් පසුගියදා අලුත්ම ගීතය Dammn Baby ගීතය නිකුත් කළා. ඇය දැන් මවක් වෙන්න සූදානමින් ඉන්නේ. ඒ විශේෂ සතුට නිසා තමයි මේ ගීතය නිකුත් කළේ. එය ‘අන්බ්‍රේකබල්’ ගීත එකතුවේ ඇය තනිව ගයන තෙවන ගීතය යි.

ලබන 16 වැනිදාට ජැනට් පනස් වැනි විය සම්පූර්ණ කරනවා. ඇයත් සිය සැමියාත් දැන් තම පවුල් ජීවිතය ගැන හිතනවා කියලා ජැනට් පවසනවා. 2012 වසරේදී ඇය විවාහ වුණේ කටාර්හි කෝටිපතියෙක් වන වසීම් අල් මන්නා සමඟින්.

මේ වන විට ඇය ‘අන්බ්‍රේකබල්’ සංචාරයත් තාවකාලිකව නවත්වන්න කටයුතු යොදලා. පසුගිය දෙසැම්බර් මාසයේදීත් එය තාවකාලිකව නතර කළේ ශෛල්‍යකර්මයක් නිසා. ඇයට පිළිකාවක් වැළඳී ඇති බවටත් කටකතා පැතිරුණා. මේ කතා බොරු බවත් ඇය පවසනවා.

“පසුගිය කාලයේ අසනීප තත්ත්වය නිසා මට ප්‍රසංගය කල් දාන්න සිදු වුණා. දැන් නැවතත් එහෙම කරන්නේ මගේ පවුල වෙනුවෙන්. මාව තේරුම් ගන්න. මට විවේකය අවශ්‍යය යි. ඉක්මනටම මම ආයෙමත් ඔයාලා හමුවෙන්න එනවා” ජැනට් තම ආදරණීය රසික රසිකාවන්ට පවසනවා.

කැමරන් ඩයස්ගේ බේබි-බේ-බූ

පසුගිය වසරේ විවාහ වුණු කැමරන් ඩයස් දැන් බොහොම සතුටින් ජිවිතය ගත කරනවා කියලා හොලිවුඩයෙන් ආරංචි වෙනවා.

ඇය විවාහ වුණේ දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙකු වූ බෙන්ජි මේඩ්න් සමඟින්. පසුගිය දවසක ඇයට රූපවාහිනි වැඩසටහනකට පැමිණි විට අපූරු ප්‍රශ්නයක් යොමු වුණා.

ඒ බෙන්ජිට ආදරේට කියන නම මොකක්ද කියලයි. ඇය මුලින්ම බෙන්ජිට ආදරේට කිව්වේ ‘බේබි’ කියලාලු. ඊට පස්සේ ඒක ‘බේ’ වෙලා. දැන් ඇය බෙන්ජිට කියන්නේ ‘බූ’ කියලාලු.

ඇය පවුල් ජිවිතය ගැන බොහෝ දේ බෙන්ජි ගෙන් ඉගෙන ගත් බවත් පවසනවා. “බූ හමුවුණේ නැති නම් මම කවදාවත් ඒවා ඉගෙන ගන්නේ නැහැ” කැමරුන් පවසනවා. ජීවිතයේ නරකම දේ මොකක්ද කියන ප්‍රශ්නයට ඇයගේ උත්තර වුණේ, කසාද ජීවිිතය ගැන ඉගෙන ගත්තු එකලු. ඒක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ කියලයි ඇය කියන්නේ.