වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




කලාව මගේ සසර පුරුද්දක්
අද බොහෝ දෙනාට අමතකව ඇති මෙරට පැරැණිතම රංග ශිල්පි පරම්පරාව සිහිපත් කරන ලිපි මාලාවක් මෙයින් ඇරැඹේ

කලාව මගේ සසර පුරුද්දක්

ටවර්හෝල් කවට රැජන දේවි සකුන්තලා

මට අකුරු ලියන්නත් බෑ - කියවන්නත් බෑ

ජන්ම දායාදයෙන් ඇයට හිමි නම උම්මු සල්මාය. ආර්. ඒ. ප්‍රේමවතී ලෙස හඳුන්වන්නේ ද ඇයමය. එහෙත් ඔබ අප ඇයව හඳුන්වන්නේ දේවි සකුන්තලා යන නමිනි. පුවත්පත් උපුටා ගැනීම්වලට අනුව 1945 මැයි 22 දා මරදානේ නැෂනල් තියටර්ස් හිදී රඟ දක්වන ලද 'කාගේ වැරැද්දද?' නාට්‍යයේ රඟපෑ නළු නිළි නාම ලේඛනයේ සඳහන්ව ඇති 'දේවි සකුන්තලා' නාමය අනතුරුව 'ගහල කෙල්ල', 'රුපියල', 'ජීවිත පෙරළිය', 'සමුද්‍ර දේවි', 'ඡායාවේ ඉරණම' ආදී නාට්‍ය ගණනාවකම ප්‍රමුඛව සටහන් වී තිබේ. අද ජීවිතයේ සැඳෑ සමයේ සිය දු දරු මුනුබුරු මිණිබිරියන් ඇසුරේ කල් ගෙවන ඇය අපට සුපුරුදු ලෙන්ගතුකමින් සිය අතීත මතකය අවදි කළාය.

'අපි උපන්නේ කළුතර නෑබොඩ කියන ගමේ. මගේ අක්කා තමයි ලක්ෂ්මී බායි. මුල් අවදියේ ඇයම නිර්මාණය කරපු දෙමළ නාට්‍යවල රඟපෑවා. ඒ කාලේ හිටපු ප්‍රවීණ ටවර්හෝල් ශිල්පී ටී. පී. අල්මේදා අක්කාගේ දස්කම් දැකලා ටවර්හෝල් නාට්‍යවලට හඳුන්වලා දුන්නා. ඇය මුලින්ම ටවර්හෝල් එකට රඟපාන්න ගියෙත් දින 40 වයසැති පුංචි මාවත් වඩාගෙනමයි. එදා සිට අද දක්වාම මම ටවර්හෝල් එකට යනවා. ඒ තමයි මගේ මහගෙදර. ටවර්හෝල් එකේ රඟදක්වපු 'ස්වීට් හනිමුන්' නාට්‍යයේ පිරිමි ළමා චරිතය රඟපාන කොට මගේ වයස අවුරුදු හතයි. මට මතක තරමට ඒ කාලේ ස්ටැන්ලි මාස්ටර් 'සිවම්මා ධනපාල' නාට්‍යයේ සංගීත කණ්ඩායමේ තබ්ලා ගහනවා. එතකොට ඒවායේ ප්‍රධාන චරිත රඟපෑවේ ටී. වී. ඇඩ්වින් පෙරේරා, ටී. පී. අල්මේදා, ලක්ෂ්මී බායි අක්කා, ඇනී බොතේජු, විමලා කාන්තා, සෝමා කාන්තා, එන්. රොම්ලස් ද සිල්වා, සරලා බායි වගේ අය. ටවර්හොල් ආර්ය සිංහල නාට්‍ය සභාවේ පරණ නාටය නැවත නිෂ්පාදනය කරපු ටී. වී. ඇඩ්විින් පෙරේරාගේ නාට්‍යවල තමයි අපි වැඩිය රඟපෑවේ. මුල් කාලේ ළමා චරිත බොහොමයක් රඟපාලා පසුව තරුණ චරිත කළා. 'ශ්‍රී වික්‍රම', 'විධුර', 'සත්‍යවාදි හරිශ්චන්ද්‍ර', 'රාමායණය', 'අංගුලිමාල', 'චින්තාමණී', 'සමුද්‍ර දේවි','ගහල කෙල්ල', 'සුටි ගමරාල සහ රයිගම බණ්ඩා' ආදී රඟපෑ නාට්‍ය ප්‍රමාණය මතක නැති තරම්.

'අපේ අක්කා ගීත ගායනා කරමින් සංවිධානය කරපු බොම්බෙ ඩාන්ස් ප්‍රසංගය නුවර පෙරහැර සමයේ නුවර නගරයේ මැද (අද බස් නැවම්පොල අසළ) අලංකාරව හදපු වේදිකාවක බොහෝම ජයට පවත්වනවා. මුලු රට පුරාම පවත්වපු කානිවල්වල මේ නැටුම් ප්‍රසංගවලට පුදුම ඉල්ලුමක් තිබුණා. අපේ අක්කා වගේම විමලා කාන්තා, සෝමා කාන්තා වැනි ප්‍රකට නිළියන් කීප දෙනෙකුටම එවැනි නැටුම් කණ්ඩායම් තිබුණා. නුවර පෙරහැර සමයේ මේ ප්‍රසංග පැවැත්වෙන කොට අක්කලාගේ කණඩායමේ නටපු නුවර ලංසි ගැහැනු ළමයෙකුට අසනීප වූ නිසා මාව පුහුණු කරලා යෙදෙව්වා. එතකොට මට වයස අවුරුදු 14 යි. අපට නැටුම් ඉගැන්නුවේ බොම්බෙන් ආපු 'බූටා බායි' සහ ටවර්හෝල් වේදිකාවේ ගිණි සිළුව ලෙස නම් කරාපු 'සරලා බායි' අයියා. සජීවීව හින්දි ගීත ගායනා කරමින් තමයි නැටුවේ. ප්‍රවේශ පත්‍ර අලෙවි කරලා පෙන්වන එම දර්ශනයක් පැයක පමණ කාලයක් පැවැත්වෙනවා. ප්‍රේ්ක්ෂකයෝ එක දිගට ටිකට් අරගෙන දර්ශන තුන හතර නරඹනවා. සමහර දිනවලට එවැනි දර්ශන 15 ක් පමණ දිගටම රඟ දක්වනවා.

අද විවිධ සංවිධාන සහ මාධ්‍ය ආයතන එක්ව පවක්වන මහා සංගීත මේලා හා සමානව එකල මෙවැනි කානිවල් ප්‍රසංග පවත්වා ඇති බව මෙමඟින් තහවුරු වේ. වත්මනේ මෙන් රූපවාහිනී මාධ්‍ය ප්‍රචාරයක් නොතිබුණ ද මොවුහු රට පුරා සැණකෙළිවල සංචාරක රංගන ශිල්පීන් ලෙස ද කටයුතු කර ඉමහත් ජනප්‍රියත්වයකට හිමිකම් කියූහ.

'සිරිසේන විමලවීර මාස්ටර්ගේ 'අම්මා' නාට්‍යයේ ප්‍රධාන චරිතය වරක් මට කරන්න ලැබුණා. චිත්‍රපටවල බලපෑම දැඩිව තිබුණත් විමලවීර මාස්ටර්ගේ 'රොඩී කෙල්ල', 'පිටිසර කෙල්ල', 'අම්මා' වැනි නාට්‍ය රට පුරා සාර්ථකව පෙන්නුවා. 'අම්මා' නාට්‍යයේ මගේ පෙම්වතාට රඟපෑවේ ටවර්හෝල් එකේ ජනප්‍රිය විකට නාට්‍ය ශිල්පියෙකු වුණු වී. පියදාස පෙරේරා. ඔහු මගේ සැබෑ පෙම්වතා වී පසුව අපි දෙදෙනා විවාහ වුණා. මාව පොඩි අවදියේ පාසැල් යවන්න අම්මලා අක්කලා කොච්චර උත්සාහ කෙරුවත් මම පාසැල් යන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා මට අකුරු ලියන්නවත් කියවන්නවත් බැහැ. ඒත් නාට්‍ය පිටපතක් ලැබුණම මම කාට හරි ඒ්ක මට ඇහෙන්න කියවන්න කියලා හොඳට මතක තියා ගන්නවා. මට හැම නාට්‍යයකම දෙබස් සහ සිංදු හරියටම කියන්න පුළුවන් වුණා. ඒ වගේම මට හොඳ මතකයක් තිබුණා. නාට්‍ය ගණනාවක දෙබස් එකවර මතකයේ රැඳුණා. තමා රඟපෑ නාට්‍ය සංඛ්‍යාව පවා නිශ්චිතව කීමට නොහැකිව සිටියදී (එපමණ නාට්‍ය සංඛ්‍යාවක ඇය රඟපා ඇත) එකල කාල වකවානුවක නිෂ්පාදනය වී දර්ශන ගත වන නාට්‍ය ගණනාවක දෙබස් සහ ගීත එලෙස හුදු මතකයෙන් භාවිත කිරීම ඓශ්චර්යයකි. රඟමින් ගයමින් ඇය වේදිකාවේ පෑ පෙළහර, ඇයගේ ස්මරණ ශක්තිය මෙන්ම රංග කාර්යය වෙනුවෙන් වූ අතිශය කැපවීම ද විද්‍යාමාන වේ. සුවිශේෂ විකට රංගන ශිල්පිණියක වූ දේවි සකුන්තලා සිය සොයුරිය ලක්ෂ්මී බායිගේ දියණියගේ සැමියා වූ උපසේන සූර්යකුමාර්, වී. පියදාස පෙරේරා සහ ටී. ඒ. ඩී. අල්මේදා සමඟ එක් විශේෂ කෙටි විකට නාට්‍ය රංගන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත්, රට පුරාත් ප්‍රදර්ශනය කළාය. 1948 නොවැම්බර් 10 දින එක්තරා ප්‍රසිද්ධ පුවත්පතක පළ වූ අන්දමට 'කවට රජා' නම් ලුවී රුදිගූ ද 'කවට රැජිනිය' වූ දේවි සකුන්තලා ද, සෙබස්තියන් පීරිස් ද සමඟ 'කපටි ධනපතියා' නාටකය 1948 නොවැම්බර් 18 වන දින මරදාන නැෂනල් හිදී ද, 22 වන දින ත්‍රිකුණාමලයේ මිනි තියටර්ස් හිදී ද පෙන්වන ලදී'. ආදී වශයෙන් එවන් අවස්්ථා සනාථ කරන සාක්ෂි බොහෝය.

'මට ඒ දිනවල චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. 'සුරංගනී' චිත්‍රපටයේ දිස්නා රංජනීගේ මව ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. 'පිටිසර කෙල්ල', 'සිරි සඟබෝ', 'සැපත සොයා' ආදී චිත්‍රපටවලත් රඟපෑවා. එක් චිත්‍රපටයක රූ ගතකිරීම් සඳහා මාස තුනක පමණ කාලයක් ඉන්දියාවට ගොස් සිටියා. කානිවල් වැඩසටහන්, විකට වැඩ සටහන් සහ නාට්‍ය සමඟ මම හැමදාම රටපුරාම සැරිසැරුවා. ඒ කාලේ හරි විනෝදයි. සුන්දරයි. අපි එකිනෙකා බොහෝම සහෝදරත්වයෙන් වැඩ කළා. මම කවදාවත් නාඩගම් බලලා නැහැ. නාඩගම්වලට තොටළඟ ප්‍රදේශය හරිම ප්‍රසිද්ධයි. අපි වැඩ කළේ ටවර්හෝල් නළු නිළියන් හැටියට පමණයි. ටවර්හෝල් නාට්‍යවලට ඉහළ පිළිගැනීමක් තිබුණා. ලුවී රුද්‍රිගෝ 'ජොසීබබා', ඕගන් රැද්‍රිගූගේ 'බලගතු කාසිය' වගේ නාට්‍යවල මගේ රංගනයන් බොහොම ජනප්‍රිය වුණා. 2000 වසරේ ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරද්දී ස්ටැන්ලි මාස්ටර් සහ වික්ටර් වික්‍රමගේත් එක්ව නිෂ්පාදනය කළ 'ටවර් හෝල් නූර්ති ජවනිකා' ප්‍රසංගයේත් මම රඟපැවා. එහි මට පරම්පරා හතරක් සමඟ එක්ව රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒ වගේම 'සුටි ගමරාල සහ රයිගම බණ්ඩා' නාට්‍යයයේ එදා සිට මේ දක්වාම රඟපානවා. මගේ රංගන ජීවිතයට වසර 70 ක් පිරීම නිමිත්තෙන් 'සූටි ගමරාල' නාට්‍යයේ වත්මන් නිෂ්පාදක අතුල වී. සමරවීර ඇතුලු 'සූටි ගමරාල සහ රයිගම බණ්ඩා' නාට්‍ය කණ්ඩායම ටවර් රඟහලේදීම මට උපහාර පිදුවා. ටවර් රඟහලේ 97 වෙනි සංවත්සරය වෙනුවෙන් 2007 දී අරලියගහ මන්දිරයේදී රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමන් අතින් ලද උපහාර සම්මානය, ශ්‍රී ලංකා ජාතික කලා සංසදයේ උපහාර සම්මානය, ශ්‍රී ලංකා එක්සත් කලාකරුවන්ගේ උපහාර සම්මානය මෙන්ම වසර 25 ක් පුරා 'කෝපි කඩේ' ටෙලි නාට්‍ය මාලාවේ 'සුවඳාගේ මව' ලෙස චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් පිරිනැමුණු රිදී ජුබිලි සම්මානය ආදී සම්මාන ගණනාවකින් ඇය පුදනු ලැබුවාය. 1978 ටවර් රඟහල රජයට පවරාගෙන ප්‍රතිසංස්කරණය කරලා නැවත වැඩ අරඹපු වෙලාවේ හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මහත්මයා අපේ ඉල්ලීමට අනුව ටවර් හෝල් එක රජයට පවරලා, අපට විශ්‍රාම වැටුප හදලා දුන්නා. ඒක අපිට හරියට වටිනවා. එතුමා මට සහ දරුවන්ට නිවාස දෙකක් ලබා දුන්නා. අපි අදත් ජීවත් වෙන්නේ ඒ නිවාසවල. ඒ වගේම හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මට දඹදිව යන්න සලස්වා දුන්නා.

දීර්ඝ කාලයක් පුරා ටවර්හෝල් රඟහල කේන්ද්‍ර කොටගෙන නාට්‍යකරණයේ යෙදෙනූ දේවි සකුන්තලාගේ මතකයේ බොහෝ රසමුසු සිදුවීම් ඉතිරිව තිබේ.

'දවසක් මෝදර රඟ දක්වපු කතෝලික නාට්‍යයක මම රඟපාන විට පොල් කොටන්වලින් හදා තිබුණු වේදිකාව කඩාගෙන මාව වේදිකාව තුළට ඇදගෙන වැටුණා. 'මම මෙහේ' කියලා බෙරිහන් දෙන කොට තමයි කට්ටිය මාව හොයා ගත්තේ. මුල්ම නාට්‍යයේ මම රඟපාන කොට දිව පැටලිලා දෙබස් පැටලුණු හැටි නම් කිසිමදාක අමතක වෙන්නේ නැහැ. තවත් දවසක එකම දිනයේ හික්කඩුවේ දෙමළ නැටුම් ප්‍රසංගයකුත් අම්බලන්ගොඩ ඩොමී ජයවර්ධන නිර්මාණය කරපු 'හඳපාන' නාට්‍යයත් රඟ දක්වන්නට නියමිතව තිබුණා. හික්කඩුවේ නාට්‍ය සංවිධායකයින් මාව දිගටම ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයින් ඉල්ලා සිටින බව කියමින් මටත් මගේ මහත්තයා පියදාසටත් යන්න නොදී තියාගෙන හිටියා. 'හඳපාන' නාට්‍යයේ ආරම්භක ජවනිකාවේ මම රඟපාන නිසා නාට්‍ය ආරම්භයේදීම මම එහි සිටිය යුතුව තිබුණා. විශාල කලබැගෑනියක් මැද්දේ තකහනියක් ඩොමී ජයවර්ධන හික්කඩුවට ඇවිත් බොහොම අමාරුවෙන් අපිව අම්බලන්ගොඩ රැගෙන ගියා.

වසර 74 කට අධික රංගන චාරිකාවේ එවැනි මතකයන් බොහෝය. අවාසනාවකට ඇයත් සමඟ සමකාලීනව රංගන චාරිකාවේ යෙදුණු අයගෙන් අද ඉතිරිව ඇත්තේ අතළොස්සකි. ගිය සතියේ දැයෙන් සමුගත් ස්ටැන්ලි මාස්ටර්, ෆ්ලොරි දේවි ආදින්ගේ වියෝව ඇයට දරාගත නොහැකි තරම්ය.

වත්මන් කලා ක්ෂේත්‍රය පිළිබඳව දේවි සකුන්තලා මහත්මිය පළ කළේ මෙවැනි අදහසකි. 'අද කාලේ හුඟක් දක්ෂ ළමයි ඉන්නවා, හැබැයි අපි වගේ පරණ අය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එය කනගාටුවට කරුණක්. අපි අපේ මාස්ටර්ලට වැඩිහිටියන්ට සැලකුවේ දේව භක්තියකින්. එහෙම ආචාරශීලී වෙන කොට නිතැතින්ම ආශිර්වාද ලැබෙනවා. අනික තරුණකම හැමදාම තියෙන දෙයක් නෙවෙයි. හොඳම උදාහරණය තමයි මේ අපි. ඒ කාලේ අපි තරුණ නිළියන් හැටියට කීර්තිය, ප්‍රශංසාව මැද්දේ වැජඹුණා. නමුත් කාලයත් සමග හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස්වීමට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න නම් තරුණ මදයෙන් මත් වෙන්න නරකයි. මෙහෙම කියන්නේ තරහට නෙවෙයි. නමුත් ඒක තමයි ඇත්ත. එදා ටවර්හෝල් නාට්‍යවලින් සංසාරේ ගැන හරි අපූරුවට පෙන්වා දුන්නා.'

85 වැනි විය පසු කරමින් සිටින දේවි සකුන්තලා එක් දියණියකගේ මෙන්ම පුතුන් හතර දෙනෙකුගේ මවකි. මුනුපුරු මිනිබිරියන් ගණනාවකගේ මිත්තනියකි. ඇයගේ දයාබර සැමියා අද ජීවතුන් අතර නැත. 'ආරාධනා ලැබෙන අවස්ථාවල මම ගීත ගායනා කරනවා. ලක්ෂ්මී බායි අක්කාගේ 'පිට දීප දේශ ජය ගත්තා' ගීතයට අදත් විශාල ප්‍රතිචාරයක් තියෙනවා. ලක්ෂ්මී බායි වැනි ටවර්හෝල් යුගය බබළවපු අග්‍රගන්‍ය ශිල්පිණියකගේ නැඟනිය මෙන්ම ටවර්හෝල් රංගන ශිල්පිනියක් වෙන්නට ලැබීම වාසනාවක් කියලා හිතනවා. මේ කලාව මගේ සංසාර පුරුද්දක් වෙන්න ඕනේ. මගේ ජන්ම භූමිය හැටියට සලකන වේදිකාව මතම දිනක මිය යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.' ස්වකීය මුළු ජීවිත කාලයම කලාව වෙනුවන් කැප කළ දීප්තිමත් ටවර්හෝල් ඉතිහාසය දිදුලන්නට දායක වූ දේවි සකුන්තලා නම් ශ්‍රී ලාංකීය කාන්තාව දැඩි අධිෂ්ඨාන පූර්වකව සිය පිළිසඳර නිමා කළේ එලෙසය. දේවි සකුන්තලාගේ නාමය 'ටවර්හෝල් සුපිරි තරු' අතරින් කිසි විටෙකත් ගිලිහී නොයනු ඇත.