|
ඇය ස්වර්ණාය.ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය කුමක්දැයි කිසිවකු මගෙන් විමසුවහොත් මගේ පිළිතුර වනුයේ මුල්ම කතානාද සිංහල චිත්‍රපටය තිරගත කොට ඇරඹෙන දෙවැනි හා තෙවැනි දශකය බවය. දෙවන දශකයේ අධි වේගයෙන් සංවර්ධනය වන ලාංකික සිනමාව තෙවැනි දශකයේ නිමාවත් සමඟ අව වර්ධනයනට පත් වෙයි. මෙකී දශකයන්හි මෙරට විශිෂ්ටතම සිනමාකරුවන් බිහි විය. විශිෂ්ට නළු නිළි පරපුරක් බිහි විය. සමකාලීන රටවල් හා සැසඳිය හැකි ඉතා ඉහළ මට්ටමේ සිනමා ශාලා බිහි විය. සිනමා සංගම් හරහා වැදගත් ප්‍රේක්ෂක සමූහයක් බිහි වන ලකුණු පෙනිණ. එම ස්වර්ණමය යුගයේ බිහි වූ විශිෂ්ටතම රංගවේදිනියක මෙම සෙනසුරාදා දෙරන සිනමා උලෙළේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලබන්නීය. ඒ මුළු මහත් ජීවිත කාලය මුළුල්ලේ ලාංකික සිනමාවට රංගනයෙන් කළ මෙහෙය වෙනුවෙනි. ඈ ස්වර්ණා මල්ලවාරච්චිය. අපේ සිනමාවේ ආරම්භක දශකයේ බිහිවන නිළියන් අතර ඉන්දීය රංග සම්භවය ගුරු කොට ගැනීම සාමාන්‍ය කරුණක් විය. මුල් දශකයේ ඉන් මිදුණේ අයිරාංගනී සේරසිංහ පමණි. එම සිනමා සම්ප්‍රදාය ගුරු කොට නොගන්නා සිනමා තාරකාවන් කිහිප දෙනකු අපට හමු වෙති. ඒ අතර වඩාත්ම කැපී පෙනෙන තාරකා යුගලය නම් මාලිනී ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවාරච්චිය. ඔවුහු අද ද ලාංකික සිනමාවේ රංගනයෙහි නියැලෙති. ඔවුන් කිසි විටෙකත් එකිනෙකා සමග සැසඳිය යුතු නැත. මාලිනී වේදිකාවෙන් සිනමාවට පිවිසෙන අතර ස්වර්ණා සියයට සියයක්ම සිනමාවෙන් දොරට වඩින්නියකි. ගත වූ පනස් වසර ඇතුළත ස්වර්ණා වේදිකාවට දායක වුව ද කිසි විටෙකත් ටෙලිවිෂනයට දායක වූයේ නැත. වේදිකාවේදී ද මකරාක්ෂයා, කැළණි පාලම, මූදු පුත්තු පමණි. ඇයගේ සිනමාව ආරම්භ වනුයේ 'සත් සමුදුර' චිත්‍රපටයෙනි. එය සුභාවිත චිත්‍රපටයක් සේ සම්භාවනාවට පාත්‍ර වන්නකි. ඇය චිත්‍රපට නළු නිළියන් තෝරා ගැනීමකට යන්නේ නිළියකවීමේ අභිලාෂයෙන් නොව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන සිය සිත් ගත් කතුවරයා හමුවන්නටය. කොළඹ අතිශය කර්කෂ ග්‍රෑන්ඩ්පාස් හි උපත ලැබ එහි විජයබා විද්‍යාලයෙන් හා බොරැල්ල යශෝධරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ස්වර්ණා සිය විනෝදාංශය ලෙස සලකන්නේ සාහිත්‍ය ඇසුරයි. එහිදී ඇගේ වීරයන් බවට පත් වනුයේ සමකාලීන ජනප්‍රිය ලේඛකයන් නොවේ. විිදග්ධ සාහිත්‍යකරුවන්ය. මහාචාර්ය සිරි ගුණසිංහයන් තම වීරයකු ලෙස සැලකීම ඇයගේ රසිකත්වය කියාපාන්නකි. 'සත් සමුදුර'ට තෝරා ගැනීමෙන් අනතුරුව ඇයට හමු වන්න් ද ලාංකික සිනමාවේ දැවැන්තයන්ය. ඩී. බී. නිහාල්සිංහ, වසන්ත ඔබේසේකර මෙන්ම සිරිල් වික්‍රමගේ, එඩ්මන්ඩ් විජේසිංහ වැන්නවුන් මේ අතර වෙති. සත් සමුදුරෙන් පසු ඈ සොයා එන්නෝ ද ඒ වන විට විළිලමින් තිබූ හැත්තැ දශකයේ ගොඩ නැඟෙන තරුණ සිනමාකරුවන්ය. සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව), ධර්මසේන පතිරාජ (අහස් ගව්ව) මහගමසේකර (තුං මං න්දිය) රංජිත් ලාල් (නිම්වළල්ල) සතිශ්චන්ද්‍ර එදිරිසිංහ (මාතර ආච්චි) මේ අතරින් කැපී පෙනෙන සිනමාකරුවන්ය. මෙම දශකයේ බිහිවන නළු නිළියන් අතර ප්‍රධාන ප්‍රවාහයේ සිනමාකරුවන්ගේ ඇසට ස්වර්ණා මල්ලවාරච්චි යොමු වන්නේ මඳ වශයෙනි. එම සිනමාව ඇය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ වගක් එයින් නොහැඟේ. ලෙනින් මොරායස් (හොඳම වෙලාව) කේ. වෙන්කට් (ගොපළු හඬ) එම දුර්ලභ අවස්ථාවන්ය. එයින් ඇයට හෝ එම චිත්‍රපටවලට විශේෂ වාසියක් වූවා යයි පෙනෙන්නේ නැත. එහෙත් සිනමා රංගනයේ ඇගේ මුල් පරිච්ඡේදය ඒ සමඟ ඉවත්ව යයි. ඒ ඇය විදෙස්ගතවීමත් සමඟය. දෙවන වර ඇයගේ සිනමාගමනය සිදු වනුයේ දශකයකට පමණ පසුවය. එවර ඇය වෙනදාට වඩා ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට කිහිපයකටම දායක වන්ණීය. ඒ අතර මුවන් පැලැස්ස 2, අංජානා (යසපාලිත නානායක්කාර) සංඛපාලි (සරත් රූපසිංහ / ඇන්ටන් ග්‍රෙගරි) සිංහබාහු (පතිරාජ එල්. එස්. දයානන්ද) සැලකිය යුතුය. ඇයගේ දෙවැනි ගමන ඇරැඹෙනුයේ සිංහබාහු සමඟ වූව ඇය ඉහළින් ඔසවා තබන්නට සමත් වනුයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටයයි. එතැන් පටන් හැත්තෑව දශකයේ බිහි වූ විශිෂ්ට සිනමාකරුවන් රැසකට ස්වර්ණා නැතුවම බැරි වූවාය. ඇය රගපෑ චරිත හා එමඟින් ඇය ලද ගෞරවය එවකට බොහෝ සිනමා තාරකාවන්ගෙන් සහමුලින්ම වෙන් කොට ගත්තේය. එහි අභියෝගයක් ලෙස සැලකිය යුත්තේ ඒ වන විටත් මෙරට සිනමාවේ තරු ගොන්න සාධුවන්ත පෙම්වතියගේ චරිතයට බෙහෙවින් සීමාවීමට තීන්දු කර තිබීමය. එයින් එහා ප්‍රේක්ෂකයන් ද ඔවුන්ගෙන් යමක් බලාපොරොත්තු වූයේ නැත. ස්වර්ණා මල්ලවාරච්චි නම් ප්‍රතිභාපූර්ණ සිනමා තාරකාව ගොඩ නැඟෙනුයේ එම අභියෝග කලාපයේ රික්තය සම්පූර්ණ කරමිනි. ඇගේ ස්වරූපය වඩා සමීප වූයේ දිදුලන තාරකාවකට වඩා සාමාන්‍ය ගැහැනියකටය. විටෙක මෙම ගැහැනිය පුරුෂාධිපත්‍යයෙන් බැට කන්නීය. නැතහොත් එයට එරෙහි වන්නීය. එයටත් වඩා ඇයට ප්‍රතිරූපණය කරන්නට සිදු වූයේ සිනමාවේ පත්තිනි චරිත නොවේ. දඩයම ඇය ජනප්‍රියත්වයේ ඉහළටම ගොඩ නැං වූ සාධකය විය. එහි රත්මලීගේ චරිතය ලාංකික සිනමවේ බිහි වූ විශිෂ්ටතම ස්ත්‍රී චරිතයන් අතලොස්සෙන් මුල් තැනක් ගන්නකි. අසූව දශකයේ අලුතින් සිනමාව දුටු බොහෝ දෙනාට ස්වර්ණාගේ රංගනය මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. එබැවින්ම ස්වර්ණා රඟපානුයේ හොඳ චිත්‍රපටයක පමණි යන මතවාදය රසිකයා ඇතුළත විය. ඇයගේ චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයා සැරසී සිටියහ. එවකට ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැර සිනමාකරුවන්ගේ චිත්‍රපට සඳහා චිත්‍රපට සංස්ථාව මඟින් පස් වන ප්‍රදර්ශක මණ්ඩලය වෙන් කොට තිබිණ. 1984 වසරෙන් පසු ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ සෑම චිත්‍රපටයක්ම තිරගත කරන ලද්දේ එම මණ්ඩලයේ පමණි. වසන්ත ඔබේසේකරගේ දඩයම සහ කැඩපතක ඡායා, පරාක්‍රම නිරිඇල්ලගේ අයෝමා, සුමිත්‍රා පීරිස්ගේ යහළු යෙහෙළි, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, මායා, ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්, සුද්දිලාගේ කතාව, බව දුක, බවකර්ම, අයි. එන්. හේවාවසම්ගේ මීහරකා, ප්‍රසන්න විතානගේ ගේ අනන්ත රාත්‍රිය, අශෝක හඳගම ගේ චන්ද කින්නරි මේ චිත්‍රපට නාමාවලියේ කැපී පෙනෙති. ඇය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව අති විශාල සංඛ්‍යාවක් නොවේ. එහෙත් මේ චිත්‍රපට බහුතරය දේශීය සිනමාව ප්‍රකාශනයක් ලෙස පෝෂණය කරන ලද්දා වූ චිත්‍රපටයන් වෙයි. එබැවින් ස්වර්ණා යනු ලාංකික සිනමාවේ ස්වකීය මුද්‍රාව තැබූ රංග ශිල්පිනියක වන්නීය. ඇය පසුගිය දශක දෙක මුළුල්ලේ අලුත් චිත්‍රපටයකට දායක වූයේ නැත. එහෙත් ඇය රඟපෑ චිත්‍රපට අතලොස්ස කෙතරම් ලාංකික සිනමාවේ සළකුණු වී ඇද්ද යත් ඇය එසේ රඟ නොපෑ වගක් ඇගේ රසික ප්‍රේක්ෂකයන්ට දැනුනේ නැත. අවාසනාව ලාංකික සිනමාවේ පැරැණි චිත්‍රපට අලුත් ප්‍රේක්ෂකයන්ට නිරන්තරයෙන් දැක ගැනීමට ඇති ඉඩකඩ සීමා සහිත වීමය. එසේ දැක ගත හැක්කේ ද අංග සම්පූර්ණ චිත්‍රපටයක් ලෙස නොවේ. කඩතොලු, ඉරි ගැසුණු, කෑලි හැලුනු චිත්‍රපට හැටියටය. එම චිත්‍රපට නැරැඹීමෙන් වර්තමානයේ ලාංකික සිනමාවේ නව මං සොයන ගැටවරයාට ස්වර්ණා මල්ලවාරච්චි කෙතරම් බලපෑමක් කළේදැයි සිතන්නට ඉඩ හැරීම කළ හැක්කක් නෙවේ. එය ස්වර්ණා මල්ලවාරච්චි පමණක් නොව ලාංකික සිනමාවේ රුව ගුණ තේජස වැඩූ සෙසු බොහෝ රංගන ශිල්පින්ගේ චිත්‍රපට වත්මන් පරම්පරාවට පෙන්වා දීමේදී මතුවන ගැටලුවකි. එය ස්වර්ණාට වඩාත්ම බලපානුයේ ඇය රඟපෑ බොහෝ චරිත අදාල චිත්‍රපටයන්ගේ සමස්ත කේන්ද්‍රීය චරිතය වන නිසාය. ඇය යළි සිනමාවේ තුන්වන ගමන ඇරැඹුවේ පසුගිය වසරේ නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රති රඟා සමඟ වුවද, වඩාත්ම තීරණාත්මක චරිතයකට යළි එළැඹෙනුයේ මෙවර යාවජීව සම්මානය පිදීමේ අවස්්ථාවත් සමඟය. ඒ අශෝක හඳගමයන්ගේ ඇගේ ඇස අග චිත්‍රපටය සමඟය. ඇගේ ඇස අග කඳුලක් ඉපැද ඇත්නම් ඒ කඳුල ප්‍රේක්ෂක ඇස අගට කඳුලක් ආරෝපණය කරන්නට තරම් ස්වර්ණාගේ රංගනය බලසම්පන්නවය. එය ඇගේ සිනමාවේ ලකුණයි. ස්වර්ණා නිරූපණය කරන ලද්දේ සදාකාලික ස්ත්‍රියයි. අප ගරු කරනුයේ එකී ස්ත්‍රියටයි. |