වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




‘බයිපාස්’ කිරීම නිසා දිනේෂ් ප්‍රියසාද් දිවි නසා ගන්නට සූදානම්?

‘බයිපාස්’ කිරීම නිසා දිනේෂ් ප්‍රියසාද් දිවි නසා ගන්නට සූදානම්?

රහයි ජීවිතේ

මෙ දක්වා ලාංකේය 'සිනමා ලෝකයේ' කිසිම තැනක කිසිම දිනක මා 'හොඳ වැඩකරුවන්' දුටුවේ නැත.

මා නියම වැඩකරුවන් දුටුවේ රෝහලේදීය. ඔවුන් ඒ තරම්ම 'වැඩකරුවන් සහ වීරයන් වන්නේ තවත් මිනිහෙකුගේ ජීවිතයක් ගොඩ ගැනීම වෙනුවෙන් වෘත්තීමය වගකීම ඇරුණු කළ ස්වෙච්ඡාවෙන් සහ ආත්මානුභාවයෙන් ඔවුන් බැඳී සිටින හෙයිනි.

අනුන්ගේ ජීවිත පහතට ඇද දමා විනාශ කිරීම විනා - මිනිස් ජීවිත ගොඩ නැඟීමට තරම් වැඩකරුවන් 'සිනමා ලෝකයේ' නම් හිඟ බව නැවත නැවත කියන්නේ ලාංකේය සිනමාව තුළ අවුරුදු තිස් නවයක අත්දකීම් අනුසාරයෙන්ය.

කලාකරුවන්ග් චරිත ඝාතනය කරමින් 'මඩ ප්‍රහාර' එල්ල කරන තැන සිට 'නියම වැඩ්ඩන්ව' සිනමා වෘත්තියෙන් එළියට ඇද දමන තැන දක්වා වර්ධනය වෙමින් පාතාල චිත්‍රපට මුදලාලිලාගේ ඒකාධිකාර සිනමා ලෝකය හිස ඔසවන්නේ ශුද්ධ වූ සිනමාව කුරුසියේ තබා ඇන ගසමින්ය. අප පවිත්‍ර වූ සිනමාලෝකය දැන් ජරාජීර්ණ වී ඇත. ඒ අප රටේ සිනමාලෝකය තුළ පමණි.

සිනමාලෝකයේ බයිස්කෝප් හදවතක් හිමි මා හට පසුගියදා 'බයිපාස් සැත්කමක්' වෙනුවෙන් පැලීම පිණිස 'පපුව' දීමට සිදු විය. මට හමුවුණු නොම්මර එකේ' වැඩකරු ශල්‍ය වෛද්‍ය රාජිත සිල්වා මහතාය.

එතුම මගේ හෘදය වස්තුව 'රෙපෙයාර්' කොට නිවැරිදි කිරීම නොකරන්නට මා මළවුන් අතරය. එය එසේ වූවා නම් අප රටේ 'සිනමාලෝකයේ' ටික දෙනෙකුට හෝ සන්තෝශයට කරුණක් වන බව මා නොදන්නවා නොවේ. ඒ පුණ්‍යකර්මය ද මගෙන් ගිලිහී ගියේය.

මගේම නොසැලිකිලිමත්කම හේතුවෙන් අවුරුදු දෙකක් පැවති බෙල්ලෙන් පහලට ඇදී එන සියුම් වේදනාව දරාගෙන මා මරණය ප්‍රාර්ථනා කරමින් සගවා සිටි නමුත්, ඒ ප්‍රාර්ථනය පරාජය වන බවක් දැනිණ. ක්‍රමයෙන් පපු පෙදෙසට සංක්‍රමණය වුණු අධික වේදනාව කිසි කලෙක හෝ මාගේ පරම හතුරාටවත් නොදැනෙත්වා යන්න පතමි.

මන්ද එය එතරම්ම වේදනාකාරිය. එය මෙලොව කිසිවෙකුට විඳ දරා ගත නොහැකිය. කිසිදා දැල් වූ සිගරැට්ටුක් මා දෙතොලඟ නොවීය. මත්පැන් බිඳුවක් මා දිව ගා නොමැත. පරිභෝජනය වැඩි සීනි සහ අධික තෙල් ආහාරය. එහෙත් කොලෙස්ටරෝල් සහ සීනි නොමැත. නමුත් කර්ම ශක්තිය අනුව 'බයිපාස්' කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත් වී ඇති බව වෛද්‍ය මතයයි. ඒ මොහොතේ, ගැඹුරු වේදනාව උහුලා ගැනීමට නොහැකිව මරණාපේක්ෂිත මම මාගේ අවසන් හුස්ම හෙළීම කඩිනම් කරන ලෙස දෙවියයන් වහන්සේගෙන් මොරගසා ඉල්ලුවෙමි. එහෙත් මා කළ අසාර්ථක ප්‍රයත්නය ඉදිරියේ දොස්තරවරුන් දෙව්වරුන් හා සමාන බව අසා තිබුණ ද එය පිළිගැනීමට සිදු වූයේ 'බයිපාස්' සැත්කමින් පසු 'අමා සුවය' විඳින මොහොතේය. පැය හතරක පහක හෝ හයක කාලයක් තිස්සේ වෛද්‍ය රාජිත සිල්වා මා වෙනුවෙන් කළ හෘද මෙහෙයුම මට දැනුණේ මිනිත්තු දෙකක, තුනක කාලයක් වශයෙනි. ඒ මොහොතේ මා හීනෙන් මෙන් දුටුවේ 20 වෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන ච්ධ්ඡ් ඒව්ර්‍ණඊඩ්ඡ්අ ච්ඒක දින නියමයක් නොමැතිව මරණය කල් දමන ලදී චිත්‍රපටයයි.

1976 සිට මේ දක්වා කටුක සිංහල සිනමා මාවතේ මා විඳි අත්දැකීම් සන්තෝෂයන්, වේදනාවන් මෙන්ම ලැබූ ගරු බුහුමන් සියල්ල අමතක කළ ද, සිනමාවේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ විශිෂ්ට පුද්ගල ඇසුර ලැබීම - අන් සියල්ලටම වඩා මා පොහොසත් කළ ප්‍රධාන සාධකය යැයි සටහන් තැබිය යුතුය. වත්මනෙහි ද එවන් වූ විශිෂ්ට පුද්ගලයින් සිනමාව තුළ සිටිම අපට මහත් උත්තේජනයකි'. එහෙත් එවන් විශිෂ්ටයින්ව නොදිරවන පාතාල පිරිසක් සිනමාව තුළ අරක් ගෙන සිටීම අපට හිසරදයකි.

අමා සුවය විඳිමින් - රෝහල් නිදි යහන මත, උඩ බලාගෙන සිටි මා හට අතීතස්මරණ ජවනිකාවක් ලෙසින් පෙර සියල්ල ආවර්ජනය විම වැලැක්විය නොහැකි විය.

දිනේෂ් පි‍්‍රයසාද්

සිනමාවේ පමණක් නොව කොයි වෘත්තීය තුළත් 'හොඳ වැඩකරුවන්ව' කනෙන් ඇද එළියට දමන 'කූට න්‍යාය පත්‍රයක්' ක්‍රියාත්මක වන්නේ වෘත්තීය නොදත් අය බහුතරයක් වාත්තීය තුළ උත්පාදනය වී ඇති බැවිනි. එම කූට න්‍යාය, ප්‍රායෝගිකත්වයට පත්වීමෙන් සිනමාව තුළ බොහෝ දෙනෙක් මට වේදනාකාරී අත්දැකිම් ලබා දී ඇත. එහෙත්, ඒ කිසිවකුගෙන් හෝ පළිගැනීමට තරම් මා හට සිතක් පහළ නොවූයේ මන්දැයි මම නොදනිමි. එසේ වූ බැවින්ම ඒ සියලු නරුමයන් හට දෙවියන් වහන්සේ විසින් මාගේ ඇස් ඉදිරිපිටම දඬුවම් පමුණුවා ඇත. කළ වරදේ තරමට 'දඬුවම්' සැර වැඩි. ඉතා දරුණුය. ඔයිට වඩා ලිහිල් දඬුවම් දුන්නා නම් ඉතා අගනේය.

මාෆියා සිනමා බලධාරින්ගේ 'බල්ලෝ නෑවීම' හෝ නගර සභාවේ 'කානු කැපීම් වැනි රැකියාවල් කිරීමට මා ඉගෙන ගෙන නැත. මා දන්නා එකම රැකියාව චිත්‍රපට හැදිල්ල පමණි.

මේ වන විට එම රැකියාව මා හට අහිමි කර දමා - සිනමාවෙන් මා පන්නා දැමීමට වෙර දරනා පිරිසක් - පාතාල සෙයියාවකින් දැන් - නැවත හිස ඔසවා ඇත. ගාමිණී ෆොන්සේකා මහතාට ද ඒ යකුන් කළේ උන් දැන් මට කරන දේමය. අවම මුදලකට යටත් කොට - තමන් රිසි පරිදි අල්ලේ නැටවීමට නොහැකි වූ ගාමිණී ෆොන්සේකා මහතාව, වෘත්තියෙන් පන්නා දමා නිවාස අඩස්සියේ හිර කොට තබා, වෘත්තීය එපා වී ජීවිතය කලකිරෙන තරමට පත් කිරීම ඔවුන්ගේ පහත් රුචිකත්වයේ විනෝදය වූවා සේම තමන් අහිමි වූ දේ අනුන්ට ද අහිමි' කර දැමීම ඔවුන්ගේ තුච්ඡ අරමුණේ ව්‍යායාමය විය.

හෙලවුඩ් රිදී තිරයට මා වාණිජ අතින් අති සාර්ථක චිත්‍රපට බිහි කර ඇති බව ඔබට රහසක් නොවේ. එමඟින් මගේ නිෂ්පාදකවරු ශක්තිමත් වී සිනමා ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීම පිළිබඳව - බියට පත් කුහක සිත් ඇත්තන් - අදිසි මිනිසුන් ලෙස සැඟ වී සිටිමින් - ලාංකීය සිනමා නෞකාව හැසිරවීමට 'සුක්කානම' උදුරා ගත්හ. එවන් ඊනියා කපිතාන්වරුන්ට චිත්‍රපටයක් හරි හැටි සාදා ගැනිමට නොහැකියාව පිළිබඳ මම කණගාටු වෙමි

මාගේ නවතම චිත්‍රපට වන 'ඇද්ද ලණුව දැම්ම කොඩිය' සහ 'රහයි ජිීවිතේ' ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් 'අසීමිත මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසුය' යනුවෙන් අනුමත කොට ඇත්තේ මීට වසර 2 කට පෙරාතුවය. වර්තමානයෙහි අතිශය ජනප්‍රිය නළු නිළියන් රඟපාන එම චිත්‍රපට දෙක, අද වන තුරුත් ප්‍රදර්ශනය සඳහා අනුපෙලගන්වා නොමැති අතර, ඊට හේතුව මේ වනතුරු නිෂ්පාදකට දන්වා නොමැත. එයින් මා හට සිදු වී ඇති වෘත්තීයමය අලාභය ද අවමානයද - වෘත්තීය නිෂ්පාදකට සිදු වී ඇති මුල්‍යමය අලාභය සහ කීර්ති නාමයට සිදු වී ඇති අපකීර්තිය ද අති විශාලය.

විශාල වියදමක් දරා - චිත්‍රපට සංස්ථාවෙන් ණය පහසුකම් රැගෙන නිර්මාණය කළ මගේ චිත්‍රපට දෙකක් වැඩ නිම කිරීමේ අනතුරුව - මෙතරම් කාලයක් ප්‍රදර්ශනයට ඉඩ නොදී තබා ගැනීමෙන් ප්‍රේක්ෂක ඔබට සිදු වී ඇති අගතිය පිළිබඳව මම ඔබෙන් සමාව අයදිමි. එමෙන්ම මේ අකටයුතුකම් කරන අදිසි නායකයා කව්ද යන්න මට එළිදරව් කර දෙන්නේ නම්, එය ඔබ විසින් සිනමා කර්මාන්තයට කරන යහපතක් වනු ඇත. ඒ පිළිබඳව මට හෝ චිත්‍රපට සංස්ථාව හෝ ර්‍ථ.ඛ්.පතක් මඟින් හෝ දැනුම් දෙන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

සිනමා ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනා මිත්‍රත්වයෙන් අග තැන්පත් වුව ද, ඉතා කූට ලෙස ඉතා නින්දිත ලෙස මගෙන් හෝ නිෂ්පාදකගෙන් හෝ පලිගැනීමේ චේතනාවෙන් 'උඩින් මිතුරු යටින් හතුරු' න්‍යායෙන් චිත්‍රපට දෙකම සිර කොට තබා ඇත. මේ අසාධාරණයට එරෙහිව නැගී සිටින වීරයා කවුරුන්ද?

මගේ චිත්‍රපට එලෙසම සිර කොට තිබියදී - පසුව නිෂ්පාදිත නීරස - අසාර්ථක චිත්‍රපට උඩින් පැන, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනු පිළිවෙළට පටහැනිව පෝලිමට අනුයුක්ත කරන්නේ 'බයිපාස් සැත්කමක් කිරීමෙන්ද?

කෙසේ හෝ 'බයිපාස්' කළ චිත්‍රපටය යහතින් වැජඹේ. තම චිත්‍රපටය 'බයිපාස්' කර ගැනීමට නොහැකි අසරණ නිෂ්පාදකයා සහ නිර්මාණකරු රුධිරය හිර වී හෘදය වස්තුව අක්‍රීය වනතුරු මෝඩයින් සේ බලා සිටී.

මෙයට - වගකිවයුත්තන් සියලු දෙනා, දැන - දැනම එලෙසින් වෘත්තීය පාවා දෙන්නේ නම්, මගෙන් සිනමාවට පලක් නොමැති බැව් - මා වටහා ගත යුතුය. දන්න කියන රැකියාව කර ගැනිමට මේ රට ඉඩ නොදෙන්නේ නම් - දිවි නසා ගැන්ම යහත්ය.

මේ රටේ කලාකරුවෙකු වශයෙන් කුරිරු ඝාතනයකට ලක් වූයේ මානව හිතවාදී විජය කුමාරතුංගයාණන් පමණක් නොව බව ඔබ දන්නෙහිද? අචාර්ය ගාමිණී ෆොන්සේකා මහතාගේ මරණය ද ඝාතනයක් බව සලකන්න.

ගාමිණී ෆොන්සේකා මහතාට එරෙහිව 'ජජ්මන්ට්' චිත්‍රපටය නිර්මාණය කිරිම වළක්වාලමින් ද 'යකඩ යකා' චිත්‍රපටයේ රඟපෑමට ඉඩ නොදීමේ සහ එය තිඹිරිගෙයිම වළලා දැමීමේ කුහක නිලධාරින් තරම් කුරිරු වූයේ - මෙය පව්කාරයින් පෝෂණය කරන රටක් නිසාද? එවන් පව්කාරයින් විසින් ගාමිණී මහතාව අවුරුදු දහයක් නිවාස අඩස්සියේ සිර කොට තැබීමෙන් එතුමා දිනෙන් දින මියැදුන බව පිළිගන්නේ නම් එය සැළසුම් සහගත 'ඝාතනයක්' බව ඔබට වැටහෙනු ඇත. උන් - දැන් මට කරන්නේ ද - එදා ගාමිණී මහතාට කළ දේමය. ලාබෙට ගන්න බැරි එකාව සිනමාවෙන්ම පන්නා දැමීම උන්ගේ න්‍යය පත්‍රයේ එක් වගන්තියකි.

රටක කලාකරුවෙකුට නිිසි තැන නොදුන්නත් එහි වරදක් නැත. එහෙත් - අහිංසක ලෙස තම වාත්තීය කරගෙන යෑමට ද ජීවත් වීමට ද නිර්මාණකරුවෙකුට ඉඩ ලබාදීම රජයේ වගකීමක් බව මා අමුතුවේ කිව යුතුද?

දේශීය චිත්‍රපටයක් - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි කර ඇත්නම් එම චිත්‍රපටය කුමන මට්ටමක වුවත් එය ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම චිත්‍රපට සංස්ථාව බැඳී ඇති බව දන්නේ මා පමණක්ද? සිනමා කර්මාන්තය තුළ එය නොදන්නා කෙනෙකු සිටී නම් '72 රාජ්‍ය චිත්‍රපට සංස්ථා - පාර්ලිමේන්තු පනත' අධ්‍යනය කරන ලෙස මා ඉල්ලා සිටින්නේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට පටහැනිව නැඟී එන 'සිනමා පාතාලය' ස්ථාපිත වීමට මත්තෙන්, සිංහල සිනමා කර්මාන්තයේ යහපත උදසාය.

ඇද්දා ලණුව දැම්මා කොඩිය

සිනමාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය වනතුරු නොසිට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තම නිශේධ බලතල භාවිත කරන්නේ නම් සිනමාව තුළ ඒකාධිකාර හෝ පුද්ගල අවශ්‍යතාවයන් මත ගන්නා සියලු තින්දු - තීරණ බලරහිත කළ හැකි බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

දේශීය සිනමා කර්මාන්තය සහ සිනමාකරුවන් වෙනුවෙන් පෙනී සිටින අධික බලතල සහිත ජාතික චිත්‍රපට සංස්ථාව 'සිනමා පාතාලය' ඉදිරියේ දිනක මුනිවත රකී නම් - අප වැනි සිනමාකරුවන්ගේ අයිතිවාසිකම් ගැන වගකියනු කවරේද? බෝලය අතින් - අතට වීසි කරන අදිසි සිනමා බලධාරින් - නිලධාරීන් මේ ජාතික ප්‍රශ්නයේ 'මීටරය' මාගේ පෞද්ගලික ප්‍රශ්නයක් වන තැනට කරකවා ඇත.

එහෙයින් - අදිසි ලෙස රඟ දක්වන, ඒකාධිකාර සිනමා පාතාලය විසින් පසෙකට ඇද දමා ඇති මාගේ චිත්‍රපට දෙකෙහි තාක්ෂණික හෝ ගුණාත්මක බවේ හෝ වරදක් හෝ නොගැළපීමක් වේ නම් මා හට පෙන්වා දෙන ලෙසද - එසේත් නැතිනම් තමන්ට නොදිරවන කොටසක් ඇත්නම් පෙන්වන ලෙස ද මා විවෘත අභියෝගයක් එල්ල කරමි.

අදිසි වාරණකරුවන් වෙත මා නියෝග කර සිටින්නේ මට 'සිනමාව' හෝ 'බයිස්කෝප්' ඉගැන්විය හැකි එකෙක් ලංකාවේ සිටී නම් - වහාම මා වෙත එවන ලෙසය. එසේ නම් - මා ඉතා යටත් පහත්ව උගෙන් ඉගෙන ගන්නා බවට - පාඨක සහ ප්‍රේක්ෂක ඔබ ඉදිරියේ පොරොන්දු වෙමි.

ජීවිතයේ සිව් වතාවක් මරණය ආසන්නයටම ගිය මා කිසි දිනක මරණයට බිය ඇත්තෙකු නොවෙමි. මගෙන් සිනමාවට ප්‍රයෝජනයක් නොමැති නම් - තමන්ගේ නිවටකම තවදුරටත් රැකගෙන විජය කුමාරතුංගයක් ඝාතනය කළාක් මෙන් - මාවද එකහෙලා ඝාතනය කරන ලෙස නිවට ඊනියා අදිසි වාරණකරුවන්ගෙන් ඉල්ලා සිටිමි. ඒ මන්ද යත් - දන්න කියන එකම රස්සාව මේ රටේ කර ගැනීමට ඉඩ නොදේ නම්, උන් ඉදිරියේ දනින් නොවැටී - කොන්ද කෙළින් තබාගෙන උන්ගෙන්ම මැරුම් කන එක දිවි නසා ගැන්මට වඩා මට නම්බුවක් වන නිසාය.

මගෙන් සිනමාව ප්‍රයෝජනයක් ඇත්නම් පමණක් 'බයිපාස් සැත්කමෙන්' පෝලිමට අනුයුක්ත කර ඇති චිත්‍රපට මෙන් - මගේ චිත්‍රපට දෙකද ඉක්මනින් 'බයිපාස්' කර පෝලිමට අනුයුක්ත කරන මෙන් දන්වා සිටින්නේ - කරුණාවෙන් නොවන බව වටහා ගන්න. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, මගේ මෙන්ම අන් සහෝදර ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිණිස, නීතිමය උපදෙස් පැතීමට ප්‍රථමයෙන් - අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා වෙත උක්ත අසාධාරණය පිළිබඳවත් නැඟී එන සිනමා ඒකාධිකාරය පිළිබඳවත් සැලකර සිටීමට සිදු වන වග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ සියලු නිර්මාණකරුවන්ගේ ආරක්ෂාව උදෙසාය.