වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ලොකු දුවක් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඔය බය තියෙනවා

ලොකු දුවක් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඔය බය තියෙනවා

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

'අත්තම්මා කැමති නෑ සුජිත්ට'

නිර්මලා පැවසුවේ කවුළුවෙන් එළිය බලාගෙනය. තොලගාමින් සිටි තේ කෝප්පය මුවින් මෑත් කළ මානවී බිරන්තට්ටුව බලා සිටියාය.

අත්තම්මාත් සමඟ අම්මා පෙර දිනක සිදු වූ සංවාදය මානවී දැන නොසිටියාය. දියණිය සමඟ ඇගේ අනාගතය පිළිබඳ කතා කරන්න නිර්මලා දවසක්ම ගත්තාය. අවසානයේ ඒ සඳහා කතාවක් පෑදුණේ ඉබේටමය.

කතාව පටන් ගත්තේ මානවීය. අත්තාත්, අත්තම්මාත් දඹදිව වන්දනාවේ යන ගමන ගැනය. අත්තටත් අත්තම්මාටත් වන්දනාවේ යන ගමන පිළිබඳව ඇය කතා කරගෙන තිබුණේ වන්දනා චාරිකා සංවිධානය කරන නඩයක් හා එකතුව යන්නටය.

එහෙම නඩ සංවිධායකයකු ඇයට මුණ ගැසුණේ රූගත කිරීමකට යද්දීය. ඔහු ඇය දැක කතාබස් කළේය. ඒ ඔහු ඇය ටෙලි නාට්‍යයක දැක තිබුණු නිසාය.

'ඒ මනුස්සයා ගමට යන්න ඕනෑ නෑ. මෙහාට විස්තර ගෙන්නලා දුන්නාම ඇති කිව්වා. මම පින්තූර ගෙනත් දුන්නම ඒ මනුස්සයා පාස්පෝට් හදවලා දෙන්නම් කිව්වා'

'විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්ද?'

නිර්මලා ඇසුවාය.

'ඔව් මං හොයලා බැලුවා'

මානවී අම්මා එනතරු කුස්සියේ වැඩ ටික ඉවර කරන්නට බැලුවාය. මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක් අද උදේ රූ ගැන්විණ. එය දහවල් වන විට හමාර වූයෙන් ඇය ගෙදර ආවාය. අම්මා පැමිණි නොසිටියාය. ඇය එන්නේ හැන්දෑවේය. රස්සාවෙන් අස්ව ගෙදර ඉන්නට නිර්මලාට පැවසුව ද ඇය එය කනකට නොගත්තාය.

'අත්තායි, අත්තම්මායි තනියම යවන්නේ නැතුව අම්මාටත් යතෑකිනේ'

මානවී අම්මාටත් තේ කෝප්පයක් පිළියෙල කරමින් යෝජනා කළාය. ඒ අතර ඇය ද තේ කෝප්පයක් ගෙන පුටුවක වාඩි වූවාය. ඒ අතර නිර්මලා ගෑස් ලිප මත තිබූ වළං ඇතිලි විවර කර බැලුවාය.

'මං ඉව්වා, බත විතරයි උයන්න තිබුණේ'

මානවී පැවසුවේ නිර්මලා වළං පිරික්සනු දැකීමෙනි.

'මට දඹදිව යන්ඩ නිවාඩුවක් නෑ. අනික මට ඔයාව තනියම දාලා යන්ඩ බෑ'

'ඇයි? මාව කවුරු හරි උස්සං යයි කියලද?'

'නෑ පුතේ! දැන් උඹ තනියම ඉන්න ඕන නෑ. අත්තම්මා මේ පාර කිව්වෙ උඹව කාට හරි කසාද බන්දවලා දෙන්න ඕනෑ කියලා'

'අත්තම්මාට පිස්සු'

මානවී පැවසුවේ සිනහසෙමිනි.

'පිස්සු නෙවේ දුවේ. ලොකු දුවක් ඉන්න හැම අම්ම කෙනෙකුටම ඔය බය තියෙනවා'

නිර්මලා එතැනින් එහාට කියන්නට තිබුණු දේ ගිල ගත්තාය. එකවරම ඇයට අතීතය මතක් විය. තම මවත් මේ ආකාරයෙන්ම එදා සැරසෙන්නට ඇත. අම්මා නම් නොව තම දියණිය වෙනුවෙන් ද දුක් ගන්නීය.

'පුතේ ඔයා ඔහොම ඉන්න කොට රටේ මිනිස්සු කයි තකන්දර කියනවා'

මනාවී එයට උත්තර දෙන්නට නොගියාය. සුජිත් නිතර මෙහි එනු යනු අම්මා නොදන්නා කාරණාවක් නොවේ. එමෙන්ම ඔහු සමඟ ගමන් බිමන් යන බව ද ඇය දනී.

'ඒ උණාට මට පුතාට කාරණාවක් කියන්න තියෙනවා. පුතාගේ හිතේ සුජිත් ළමයා ගැන අදහසක් තියෙනවාද?'

'ඔව්'

කලකට ඉහත මෙබඳුම කාරණයකදී තම මව ප්‍රශ්න කරද්දී නිර්මලා එක එල්ලේ උත්තර දුන්නේ නැත.

'ඒකට අත්තතම්මලා කැමති නෑ පුතේ'

'ඇයි?'

'සුජිත්ලාගේ පවුල්වල අය, අපට ගැළපෙන්නේ නෑලු'

'අත්තම්මා සුජිත්ව දන්නවනේ'

'ඒ උණාට කසාද බඳින්න ගැලපෙන්නේ නැතිලු. දන්නවනේ ගම්වල තවමත් ඔය චාරිත්‍ර තියෙනවා'

මානවී කිසිත් නොකීවාය. ඇය උන් තැනින් නැගිට තේ කෝප්පය සින්ක් එකට හැලුවාය. අනතුරුව කරාමය ඇර කෝප්පය සෝදා එය රාක්කයේ තැබුවාය. වචනයක් නොකිව්ව ද ඇගේ ශෛලිය නිර්මලා වටහා ගත්තාය.

'අනේ දරුවෝ'

නිර්මලා පෙර තම යොවුන් වියේ අත්දැකීම් සමඟ තමාව උපමා කොට සිතන්නට පටන් ගත්තාය.

'මං ඒ ගැන කල්පනා කරලා කියන්නම්'

අම්මාට පැවසූ මානවී කාමරයට ගොස් දොර වසා ගත්තාය. අනතුරුව ඈ ඇඳේ වැතිර ගත්තාය. පසුගිය කාලයේ සුජිත් සමඟ කළ කිසිදු දෙයක් අම්මාට පවසා නැත. තමා වැනිම තරුණියෝ දහස් ගණනක් හෙට ද පිබිද පිවිතුරු යුවතියන් මෙන් මඟට බසිනු ඇත.

සුජිත් සමඟ සම්බන්ධය නිසාම ඇයට ලැබුණු දේ බොහොමයකි. දුරකතනය නාද විය. මානවී එය අතට ගත්තාය.

'මානවි අර ඇඩ් එකේ වැඩ හෙට උදේ'

දුරකතනයෙන් කියනු මානවීට ඇසිණ.

'අනේ, හෙට? ටිකක් කල් දාගන්න බැරිද?'

තමාගේ සිත අසරණය. මොහොතක් සියල්ලන්ගෙන් ඈත් වී සිටින්නට ඇත්නම් මැනවැයි ඇයට සිතිණ.

'පිස්සුද ළමයෝ, ක්ලයන්ට්ලා කැමති ඔයාට. හෙට ෂූට් කරන්න ඕනෑ. ඇයි මොකද්ද ප්‍රශ්නේ?'

ඔහු ප්‍රශ්නය අසන්නේ විසඳන්නටද මානවී සිතුවාය. ප්‍රශ්න විසඳා ගත යුත්තේ තමන් විසින්මය.

'හොඳයි කීයටද?'

'උදේ දහයට'

හරි! වාහනේ එවන්න'

මානවී දුරකතනය විසන්ධි කළාය. මේ මොන කරුමයක්ද? තම සිනහව ද, කඳුළ ද කිසිවකුට ඇවැසි නැත. කාලය යනු මුදල්ය. මුදල් සඳහා රැකියාවේ යෙදිය යුතුය. තම දුක්ඛ දෝමනස්සයන් කැමරාව උකහා ගන්නේ නැත. තමාගේ වත ප්‍රකාශ කරන හැඟීම් පමණි. සිත නොවේ.

නිර්මලා කාමරයට එබිකම් කළේ තවත් හෝරාවකට පසුවය. ඇය යන විට මානවීගේ කාමරය කළුවරය. නිර්මලා එහි පැති විදුලි පහන දැල් වුවාය. මානවී තද නින්දකය. නිර්මලා සිය දියණියගේ මුහුණ දෙස බලා සිටියාය. ඇයට සුසුමක් නැඟිණි.

'පුතේ නැගිටින්න, කෑම කාලා නිදියන්න'

මානවී ඇඳෙන් නැගිට්ටාය. ඈ අම්මා පසුපසින් ගියාය. තමා උයන ලද මාළු පිනිවලට අම්මා බත උයා පොල් සම්බෝලයක් ද සාදා තිබිණ. දෙදෙනාම කතා නොකර ආහාර ගත්හ.

'මම උදේට ඇඩ් එකක් ෂූට් කරන්න යනවා'

මානවී පැවසුවේ නිදාගන්නා අතරතුරය.

'සුජිත් ළමයත් එනවද?'

'නැහැ'

'තනියම යන්නේ?'

ඔවුන් කතා කළේ අඳුෙර්ය. එහි මවගේත් - දියණියගේත් මුහුණු එකිනෙකට නොපෙනිණ. හැඟීම් නම් ඝණ අඳුරේ වුව හඳුනා ගත හැක්කේය.

'කොහෙද ඇඩ් එක කරන්නේ'

'මං හිතන්නේ ස්ටුඩියෝ එකක'

නිිර්මලා ඉන් එහා කිසිවක් හෝ නොවිමසුවාය. මහල් නිවාස සංකීර්ණය පුරා නිහැඬියාව රජ වෙයි. සියල්ලෝම එකිනෙකාගේ දුක්ඛ දෝමනස්සයන් සතුට සොම්නස රෑ අඳුරට ගුලි කොට ගෙන ඇත්තේය. නිර්මලා ඇඳෙන් බැස්සේ වතුර වීදුරුවක් බොන්නටය. අද තමාට නින්ද නොයනු ඇත. එහෙත් හෙට යළි පිබිදිය යුතුව ඇත.

'අම්මේ ඇයි නින්ද යන්නේ නැත්ද?'

මානවී කෙඳිරිලි ස්වරයෙන් විමසා සිටියාය.

'ම්හු'

'අම්මා කල්පනා කරන්නේ නැතුව නිදාගන්න'

'මොනවා ගැනද?'

'මං ගැන,වෙන මොකක්ද?'

'පිස්සු ළමයා'

'පිස්සු නෙමේ. මං දන්නවනේ අම්මා ගැන'

'මොනවද?'

'අම්මාට නින්ද නොයන්නේ මං ගැන කල්පනා කරන නිසා'

'ඔව්, ඒකත් නැත්තෙම නෑ'

නිර්මලා පැවසුවේ බිඳුණු හඬිනි.

'මං අම්මට සැප නින්දක් ගන්න කතාවක් කියන්නද?'

මානවී ඇසුවේ ඇඳෙන් බැස ගනිමිනි. කාමරයේ අයිනේ වූ ජනේලය සමීපයට ගිය මානවී අවට ලෝකය පිරික්සුවාය. බීමත් මිනිසෙකු යැයි සැක කළ හැකි එකෙකු මහ පාරේ වැනි වැනී යයි. දියණිය වුවමනාවෙන් බලන්නේ කුමක්දැයි අම්මා ද බැලුවාය. මහ මඟ මිනිසාගේ ගමන් ශෛලිය දෙදෙනාටම සිනහවක් ඉපදිණ.

'දැන් අම්මා නිදාගන්න'

'මොකක්ද අර කියනවා කිව්ව කතාව'

නිර්මලා ඇඳේ වැතිරෙමින් විචාලාය.

'අම්මා බය වෙන්න එපා. මං අම්මා වගේ මෝඩ තීරණ ගන්නේ නෑ'