|
විලේගොඩ සහ කේ. ඒ. ඩබ්ලිව්. ගේ නොහොඳ නොක්කඩුවහැත්තෑව දශකයේ මුල් වසර පහ පොත් කවර නිර්මාණ ශිල්පියකු ලෙස මට මෙරට විශිෂ්ටතම ලේඛක ලේඛිකාවන් රැසකගේ කවර නිර්මාණය කිරීමේ භාග්‍යය උදා විය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, මඩවල එස්. රත්නායක, විමල් දිසානායක, ඒ. වී. සුරවීර, සරත්චන්ද්‍ර වික්‍රමසුරිය, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, ප. බ. ජ. හේවාවසම්, ලීල් ගුණසේකර, මොනිකා රුවන් පතිරණ, සෝමවීර සේනානායක, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, සුනිල් ආරියරත්න, කරුණා පෙරේරා මේ අතර ප්‍රධාන තැනක් ගත්හ. ලේක්හවුස් ප්‍රකාශන ආයතනනයේ ප්‍රකාශන කළමනාකර හේම අමරසිංහ මහතාගේ කාරුණික අනුග්‍රහයෙන් ඩබ්ිලිව්. ඒ. සිල්වා, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතුන්ගේ අලුත් මුද්‍රණවල ද කවර ඇඳීමට අවස්ථාව ලැබුණි. දයාවංශ ජයකොඩි හා කේ. ජයතිලක මහතුන් මට වඩාත් පොත් කවර චිත්‍ර ඇඳීමට භාර කළහ. ලේක්හවුසියේ සරසවිය කර්තෘ මණ්ඩලයට යා යුතුව තිබුණේ දිනමිණ කර්තෘ මණ්ඩලය හරහාය. දිනමිණ කර්තෘ මණ්ඩලයේ විශේෂාංග කතුවරයන්ගේ දිග මේසය ළඟ මඳක් නතර වී යාමට මම අමතක නොකළෙමි. එයට විශේෂ හේතුව එහි වාඩි වී සිටින ජයවිලාල් විලේගොඩ, එඩ්වින් ආරියදාස මහතුන්ට මා තුළ තිබූ ආදර භක්තිය නිසාය. එදින විලේගොඩ මහතා මා නතර කර ගත්තේ විශේෂයක් කීමටය. 'රංජිත් මම නිවාඩු යනවා සති දෙකකට . . . නිහාල්සිංහගේ 'වැලිකතර' පෙන්වනවා නම් මට දන්වන්න. ඔහු තම ගෙදර ලිපිනය ලියා දීමට කඩදාසියක් සෙවීය. 'අවශ්‍ය නෑ මිස්ටර් විලේගොඩ. මම දන්නවා ගෙදර. සිරිල් සී. පෙරේරා මහත්තයාගේ (ප්‍රකට පොත් පරිවර්තක) ගෙදර පාරේනේ. මම ගෙදරට ඇවිත්ම කියන්නම්' මම කීවෙමි. කළුබෝවිල රත්නාවලී පාරේ සිරිල් සී. පෙරේරා මහතාගේ ගෙදරට යන පාරේ විලේගොඩ මහතාගේ නිවස පිහිටා තිබුණි. මට තිබුණේ ඔහුගේ නිවසට යාමේ තදබල ආසාවකි. 'එහෙනං කොච්චර එකක් ද? අපිට තේ කෝප්පයක් බීලා කතා කරන්නත් පුළුවන්' ජයවිලාල් මට කී අවසන් වදන් මාලාවය. විලේගොඩ හා චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අතර කුමක් හෝ විරසකයක් තිබුණි. කේ. ඒ. ඩබ්ලිව්. අධ්‍යක්ෂණය කළ 'සැනසුම කොතැනද?','කපටිකම', 'බයිසිකල් හොරා', 'දුලීකා', 'ලොකුම හිනාව' චිත්‍රපටවලට විලේගොඩ චිත්‍රපට විචාර තුළින් තදින් පහර ගැසීය. කේ. ඒ. ඩබ්ලිව්. ද නිකන් හිටියේ නැත. තම චිත්‍රපටවල විකට චරිත රඟපෑ ගැමුණු විජේසුරිය, බී. එස්. පෙරේරා, දොන් සිරිසේනගේ දෙබස් ඛණ්ඩ ('පිස්සු චිත්‍රපට විචාරකයා') පසුබිම් කර සියුම් පහර ගැසීමට අමතක නොකළේය. මගේ මතකය හරි නම් ඒ 1972 වසරය. කේ. ඒ. ඩබ්ලිව්. හමු වී විශේෂාංගයක් ලිවීමට මාත්, කුලරත්න ආරියවංශත් ගියෙමු. 'අපි යමු පාක් වීව් එකට කෑම ටිකක් කන්න' කේ. ඒ. ඩබ්ලිව්. අපට කීය. 'නෑ මිස්ටර් පෙරේරා අපිට කන්තෝරුවට ගිහින් කන්න පුළුවන්' මම අදිමදි කළෙමි. 'යං යං මට කොටුවේ සිලෝන් තියටර්ස් එකට යන්නත් තියෙනවා, කෑම ටිකක් කාලා මම ලේක්හවුස් එක ළඟින් බස්වන්නම්.' අපි කතා කර කර කේ. ඒ. ඩබ්ලිව්. ගේ කාර් එකෙන් කොහුවල සිට නුගේගොඩ පැත්තට එමින් සිටියෙමු. 'අන්න විලේගොඩ මහත්තයා බස් හෝල්ව් එකේ ඉන්නවා' කුලරත්න කීවේය. කේ. ඒ. ඩබ්ලිව්. තම මෝටර් රථය බස් නැවතුම්පොළ අසල නවත්වා 'විලේගොඩ ඔෆිස් එකට ද යන්නේ නගින්න' කීවේය. 'නෑ. කේ. ඒ. ඩබ්ලිව්. මම නුගේගොඩ යන්නේ' ජයවිලාල් කීය. රථයට ගොඩ වූ ඔහු නුගේගොඩ හන්දියේදී බැස ගත්තේය. 'ඔය ජයවිලාල් මට චිත්‍රපටවලින් ගැහැව්වට මගේ ළඟම ඥාතියෙක්' කේ. ඒ. ඩබ්ලිව්. කීවේය. ඊළඟට කේ. ඒ. ඩබ්ලිව්. ගේ රථය 'පාක් විව්' හෝටලය බලා ඇදුණේය. 'ඔය කාර් එකේ ආවට ජයවිලාල් මගේ ඊළඟ චිත්‍රපටයටත් ගහලා ලියාවි. මමත් එයාට උපහාස කරලා සීන් එකක් දානවා. මේවා අහිංසක විහිළු' කේ. ඒ. ඩබ්ලිව්. සිනාසෙමින් කීවේය. එය එසේම සිදු විය. ජයවිලාල් මිය ගියේ ආසාවෙන් බලා සිටි නිහාල්සිංහගේ 'වැලිකතර' නොබලාමය. කේ. ඒ. ඩබ්ලිව් හා ජයවිලාල්ගේ මේ අපූරු හමුවීම ගැන කුලරත්න ආරියවංශ ඉඳහිට මතක් කරයි. ලේක්හවුසියේ පඩි පෙළ නඟද්දී එඩ්වින් ආරියදාස මහතා මට හමු වී 'දවල්ට කැමට එළියට යමු' යයි කිවේය. 'ඔහේ දවල් වෙලා මගේ මේසය ගාවට එන්න'. ආරියදාස මහතාගෙන් මට ඇරැයුම් ලැබූ ප්‍රථම අවස්ථාව එය විය. මේ ආරාධනය මට රටක් රාජ්ජයක් ලැබුණාක් මෙනි. කුඩා කල සිට ආරියදාස මහතා ලියූ පුවත්පත් ලිපි එකතු කළේ ආදරයෙනි. ඒ අතර ඔහු සිනමාව ගැන ලියූ ලිපි විශේෂිතය. 'ක්ලියෝ පැට්රා', 'වැඩිහිටියන්ට පමණයි', 'ජෙම්ස් බොන්ඩ්', 'ජගත් චිත්‍රපට උලෙළ' වැනි සිනමා ලිපි මෙන්ම ලෝකයේ ප්‍රකට නළු නිළියන් වූ මාලන් බැන්ඩෝ, එළිසබෙත් ටේලර්, සොපියා ලොරෝන්, ග්‍රෙගරි පෙක් ගැන 'සරසවිය' පුවත්පතට ලියු ලිපි මාලාව තවමත් නිරුපද්‍රව මා ළඟ ඇත. ආරියදාස මහතා ලිව්වේ එක විෂයක් ගැන ලිපි පමණක් නොවේ. එකල ඔහු තරම් විද්‍යාව, දේශපාලනය, ඉතිහාසය, භූගෝලය, ස්වභාව ධර්මය මෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් ගැන ලියූ ලිපි ද අප වයසේ පාසල් සිසුන් එකතු කරගෙන සිටින බව ආනන්ද, නාලන්ද, විශාඛා, රාජකීය විදුහල්වල සිසු සිසුවියන් අප සමග නොයෙක් විට කියා ඇත. 'ඇවිදින පුස්තකාලය' නමින් අප කවුරුත් ආදරයෙන්, ගෞරවයෙන් කතා කරන ආරියදාස මහතාගේ මේසයේ නිතරම අලුතින් පිට වූ නවීනතම පොත් දෙක තුනක් ඇත. 'ටයිම්' සඟරාවේ නවතම කලාපය නිකුත් වූ විට ඔහු එහි විශේෂ ලිපිවල සාරාංශය අපට කියන්නේ අපේ දැනුම් අලුත් කිරීමටය. 'රංජිත්කාරයා, මගේ මේ ලිපිය කියවන්නම ඕනෑ. ලෝකයේ නවතම විද්‍යා ප්‍රබන්ධයක් පසුබිම් කර ගත් චිත්‍රපටයක් ගැන' ඔහු වරෙක අලුත් 'ටයිම්' සඟරාවක් මට දෙයි. සරසවියේ ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක, 'සිළුමිණේ' පර්සි ජයමාන්න, දිනමිණේ දයාසේන ගුණසිංහ නිතරම පොතපත කිය වූ තරුණ පුවත්පත් කලාව්දීන්ය. ඒ හැමටම වඩා අපේ ගෞරවය දිනූ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූයේ සිළුමිණ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පේගම මහතාය. වැඩක් නැතිනම් පෙට්ටි සුරුට්ටුවක් උරමින් දොඩම්පේගම මහතා පොතක් කියවයි. ඔහුත් ආරියදාස මහතාත් තරම් පොතපත කියවන සිංහල පත්‍ර කලාවේදීන් දෙදෙනකු මට හමු වී නැත. ආරියදාස මහතා දිවා භෝජනය සඳහා මා කැඳවා ගියේ කොටුවේ පැගෝඩා අවන්හලටය. මෙය ඓතිහාසික අවන්හලකි. 1901 දී පමණ ඒ. ඩබ්ලිව්. ඇන්ඩ්රි නම් ඡායාරූප ශිල්පියකු විසින් කොළඹ කොටුවේ (දැනට පැගෝඩා නම් හෝටලය පිහිටි ස්ථානයේ) සිනමාහලක් පිහිටුවා චිත්‍රපට ප්‍රදර්ශනය කළ බව ඩී. වී. සෙනෙවිරත්න ලියූ චිත්‍රපට කලාව කෘතියේ සඳහන් වූ බව මගේ මතකයට ආවේය. ජීවිතයේ මුල්වරට ආරියදාස මහතාගේ ආරාධනයෙන් එතැනට යාමට ලැබීම වාසනාවක් බව මට සිතුණි. පැගෝඩා අවන්හලේ ආරියදාස මහතාටම වෙන් වූ මේසයක් තිබූ බව මට එදින වැටහිණ. එපමණක් නොව ආරියදාස මහතාටම සත්කාර කරන නිත්‍ය වේටර් කෙනෙකු ද එහි විය. 'මම විශ්ව විද්‍යාලයට යන කාලේ හිටම මුන්නැහේ තමයි මට උදව් කරන්නේ' ආරියදාස මහතා තමාගේම වයසේ සිටි ඔහු මට හඳුන්වා දෙමින් කීවේය. එකල පැගෝඩා අවන්හලට එන විජය අබේදේව, අමරනාත් ජයතිලක, ජෝ දඹුලුගල, ආරියදාස මහතාගේ ගජයන් වූහ. 'මම ඔහේ ගැන, ඔහේගේ පොත් කවර ගැන 'ඩේලි නිව්ස්' පත්‍රයට ලියන්න හිතන් ඉන්නේ' ආරියදාස මහතා කියමින් තම 'නෝට් පොත' දිගහැර ගත්තේය. මගේ තොරතුරු ඇසීය. මේ 1972 වසරය. මගේ වයස අවුරුදු 25 කි. මා වැනි අංකුර චිත්‍ර ශිල්පියෙකු ගැන ලංකාවේ ලොකු ඉංග්‍රීසි පත්‍රයක ලිපියක් ලිවීම ඓශ්චර්ය නොවේද? එඩ්වින් ආරියදාස මහතා වැනි මහා පත්‍ර කලාවේදියකු මා ගැන ලිවීම විශ්වාස කළ හැකිද? 'ඔහේගේ පින්තූරයක් මට ගෙනත් දෙන්න' පසුදා ආරියදාස මහතා මට කීවේය. මම බන්දු එස්. කොඩිකාර ලවා ඡායාරූපයක් ගෙන ආරියදාස මහතාට දුනිමි. කොස්ගස් හන්දියේ මගේ නිවසට යාබද නිවස ඉංග්‍රීසි ඩිස්පෙන්සරියකි. එහි ප්‍රතිකාර කලේ බ්‍රිතාන්‍යයේ එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලැබූ විශේෂඥ වෛද්‍ය ගේබ්රියල් ද සිල්වාය. ඔහු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා සී. පී. ද සිල්වාගේ සමීපතම ඥාතියෙකි. ඩිස්පැන්සරියේ ප්‍රධාන ඇපෝතිකරු පෙරේරා මාමාත්, ඔහුගේ බිරිඳ කමලා නැන්දාත් අපේ සමීප හිතවතුන්ය. අපේ පවුලේ කාට අසනීප වුවත් ප්‍රතිකාර නොමිලයේම කළේ පෙරේරා මාමාය. දොස්තර මහතා ද තාත්තාගේ හිතවතෙකු වූයේ ඩිස්පැන්සරියේ මුද්‍රණ කටයුතු අප මුද්‍රණාලයෙන්ම සිදු වන බැවිනි. ඩිස්පැන්සරියේම පිටුපස පෙරේරා යුවළ තම දරුවන් සමඟ පදිංචිව සිටියහ. ඔවුන්ගේ වැඩිමහල් දියණිය මර්සි අක්කා ඉගෙනීමට දක්ෂ දැරියකි. ඇය මගේ ප්‍රථම හිතවතිය වූවාය. ආරියදාස මහතා හමු වී දින කිහිපයකට පසු පෙරේරා මාමා මා සොයා අපේ ගෙදරට කලබලයේම පැමිණියේය. 'ඩොක්ටර් රංජිත්ට කතා කරනවා' මම ඩිස්පෙන්සරියට යන විට එහි ලෙඩ්ඩුන්ගෙන් පිරී තිබුණ අතර කුඩා දරුවන්ගේ කෑගැසිලි වඩාත් තීව්රව තිබුණි. දොස්තර මහතා ළමා රෝග පිළිබඳ විශේෂඥයෙකි. මම සෙනඟ පීරාගෙන දොස්තර කාමරයට ගියෙමි. "උඹ යකෙක් නේ මිනිහෝ. අද 'ඩේලි නිව්ස්' පත්තරේ උඹේ පුරාජේරුවක් දාලා තියෙන්නේ. අපි උඹට සලකනවා මදිනේද? පෙරේරා. උඹලාගේ තාත්තා මේක දැක්කද?' 'නැහැ' 'මේ බලපං . . .' දොස්තර මහතා ඩේලිනිවුස් පත්‍රය පෙරළා මට පෙන්වීය. මගේ ඡායාරුපයක් සමඟ ලිපියක් පළ වී තිබුණි. මට අහිංසක ආඩම්බරයක් ඇති විය. 'තාත්තා ඩේලිනිවුස්' පත්‍රය ගෙනෙන්නේ දවල් වෙලා' මම කීවෙමි. 'උඹලගෙ අම්මා ජීවතුන් අතර හිටියා නං අද සතුටු වෙනවා. උඹට ඕනෑ උදව්වක් තියෙනවා නං මට කියපං. පෙරේරා මෙයාට ඕනෑ ටෙලිෆෝන් කෝල් එහෙම ගන්න දෙනවා' එකල දුරකථනය සුඛෝපභෝගී වස්තුවකි. 'හොඳයි දොස්තර මහත්තයා. බොහොම ස්තූතියි' කියා මම කූඩුවෙන් මුදා හළ කුරුල්ලකු සේ ගෙදර දිව්වෙමි. මුලින්ම මා ගියේ වෛත්‍යලිංගම් සුරුට්ටු කඩේටය. එහි තාත්තාටම වෙන් කර තිබූ පත්‍රයත් තව වැඩිපුර පත්‍රයකුත් රැගෙන ආවෙමි. තාත්තා මා ගැන තිබූ පිටුව හරවා පෙන්නූ විට ගුණරත්න මාමා ද උනන්දුවෙන් බැලුවේය. මම අනිත් පත්තරය මාමා අත තැබුවෙමි. 'Portrait of a Young Cover Artist By - Edwin Ariyadasa' 'මේ ලිපිය ගිහිල්ලා තියෙන්නේ එඩිටෝරියල් පිටුවෙනෙ. ලෙහෙසි පහසු වැඩක්ද?' ගුණරත්න මාමා තාත්තාට කීය. මා ගැන ලංකාවේ ලොකුම ඉංග්‍රීසි පත්තරේ මෙසේ විශේෂාංගයක් පළ කර දීම ගැන මම කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට සිය දහස් වරක් කෘතඥ වෙමි. නිහතමානී, නිර්ලෝභී, නව පරපුරට කවදත් අත දෙන මේ ශ්‍රීමතාට දිගාසිරි පතමි. |