වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ ‘සිල්වා’වරු කවුරුන්ද?

සිනමාවේ ‘සිල්වා’වරු කවුරුන්ද?

සුනිල්ලා, සරත්ලා ගෙන් පසු කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සිල්වා. සිල්වා කිව්වට එක සිල්වා කෙනෙක් නෙවෙයි. අපේ සිනමාවේ වගේම පුංචි තිරයේත් සිල්වා නාමය දරන අය නම් බොහෝය.

රෝයි ද සිල්වා කිව්වාම සිනමාවේ රංගනය විතරක් නොවෙයි චිත්‍රපට අධ්‍යක්ෂණයෙනුත් නිෂ්පාදනයෙනුත් තිරරචනයෙනුත් විශාල සේවයක් කළ ප්‍රවීණ කලාකරුවෙක්. හොඳ හිත, සුජීවා, සැඟවුණු මැණික, සූකිරි කෙල්ල වැනි චිත්‍රපටවල ඔහු කළ රංගනයන් කාටත් අමතක නැහැ. පාලිත සිල්වාත් වේදිකාවේ, ටෙලි රංගනයේ වගේම සිනමාවේත් සුවිශේෂ චරිත රැසකට පණ දුන් නළුවෙක්.

උපාලි, පාලිත සහ නිමල්

ක්ලැරිස් ද සිල්වා සිනමා නිළියක් ලෙසින් ජනප්‍රිය වුණේ ‘මාතලං’ චිත්‍රපටයෙන්. ඉන් පසුව උමතු විශ්වාසය, පුදුම ලේලි, අහංකාර ස්ත්‍රී වැනි චිත්‍රපට ඇය සිය රංගනයෙන් ඔපවත් කළා. ඒ වගේම දීපානි සිල්වාත් අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. වේදිකාවට පුංචි තිරයට ඇය නැතුවම බැරි චරිතයක්. කාටත් අමතක නොවන චරිත රැසකට පණ දුන් දීපානි සිල්වා වීදි නාට්‍ය කලාවටත් ලොකු කැපකිරීමක් කළ නිළියක්. ජුඩි ද සිල්වා නිළියක් වගේම ගායිකාවක්. සංගීත අංශයෙන් ජනප්‍රිය ගායක සමන් ද සිල්වාගේ නමත් මේ අතරට එක් වෙනවා.

කුරුළු බැද්ද චිත්‍රපටයේ රඟ පෑ ෂෙල්ටන් ද සිල්වා වගේම කෝපි කඩේ සුගතං ලෙසින් රඟන උපාලි සිල්වාත් මේ අතරට එනවා. මේ දවස්වල අදරට ගින්දරක්, සබ්බ සකල මනා ටෙලි නාට්‍ය සමඟින් ඔබ හමුවන රණසිංහ සිල්වා මේ අතරේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඔහු කොස්තාපල් පුඤ්ඤසෝම, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටවලටත් දායක වුණා. මේ සිල්වා වේදිකා නාට්‍යයකුත් නිෂ්පාදනය කරලා තියෙනවා. ලක්ෂ්මන් ද සිල්වා රංගන ක්ෂේත්‍රයේ සටන් නළුවෙක්.

රෝයි, ක්ලැරිස් සහ සමන්

සයුරු තෙර, ලස්සන දවසක් වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ නිමල් ද සිල්වා. අනුර දසිල්වා වගේම ඒන්ස්ලි ද සිල්වා චිත්‍රපට නිෂ්පාදකවරුන්. උත්තමාවී, ථේරි ගීතය, පාරමිතා, ධවල කඩුල්ල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ තුසිත ද සිල්වා. ටිල් ඩෙත් ඩූ අස් පාට් අධ්‍යක්ෂණය කළේ රාජා ද සිල්වා. තනිතරුව, අතුරු මිතුරු අධ්‍යක්ෂණය කළේ රත්නවීර ද සිල්වා. කුමාරසිරි ද සිල්වා කලා අංශයට දායක වුණේ සංස්කරණයෙන්.

ඒ විතරක් නෙවෙයි කලා ක්ෂේත්‍රයේ සිල්වා නාමය දරන කලා අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක්ම ඉන්නවා. ස්ටැනී ද සිල්වා, චිත්‍රසේන ද සිල්වා, රන්ජිත් ද සිල්වා, වන්ද්‍රලාල් ද සිල්වා, ප්‍රභාත් ජනක ද සිල්වා, නුවන් සනුරත්න ද සිල්වා මේ අතරට අයිතියි. ස්ටැනී ද සිල්වා නළුවෙක් ලෙසත් ජනප්‍රිය යි. කාලිංග ද සිල්වා, දීප්ති ද සිල්වා, දායක වන්නේ කැමරා අධ්‍යක්ෂණයෙන්. ගාමිණි සිල්වා, ජානක චාමර ද සිල්වා කලා ලොවේ සහය අධ්‍යක්ෂවරු. මේ අයට අමතරව කලා ලොවේ තවත් සිල්වවරු වේ නම් අපට කියන්න

දීපානි, ජූඩි, ස්ටැනී සහ තුසිත