වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය  හොරා පොලිස්

සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය  හොරා පොලිස්

27 දා සිට මහජන ප්‍රදර්ශනයට...

සාජන්ට් සුවඳරත්න සහ ඔහුගේ බිරිය පුෂ්පා බිම පෙරලෙමින් හඬා වැළපෙති.

අනේ මගේ රත්තරං පුතා කවුද උස්සගෙන ගියේ. අයියෝ මට දරා ගන්න බැරියෝ, මට වාවන්නේ නෑ’

පුෂ්පාගේ ඉකිබිඳුම දැන් පෙරටත් වඩා වැඩිය. සාජන්ට් සුවඳරත්නගේ හැඬුම් ස්වරය ද ඊට එක්වේ.

‘අයියෝ මගෙ පුංචි පොඩ්ඩෝ’

පුෂ්පා සිය සැමියාගේ ඇඟට කඩා පනින්නේ යක්ෂනියක් විලසිනි.

‘තමුසේ මොකද අඬන්නේ ...?’

‘පොඩ්ඩා මගෙත් ළමයා, ඇයි මට අඬන්න බැරි?’ අනේ කවුරු හරි මට ළමයා හොයලා දෙන්නකෝ’

‘ඇයි මිනිහෝ, තමුසේ පොලීසියේ නේද? පිට අයට කියන්නේ ගිහින් හොයන් එනවා...’

පුෂ්පා සාජන්ට් සුවඳරත්නව තල්ලු කර දමන්නේ ඔහු වෙත අවඥා සහගත බැල්මක් හෙළිමිනි.

මේ අපූරු දෙබස් සහිත රංගනයන් ප්‍රේක්ෂක ඔබට දැක බලා ගත හැකි වන්නේ ලඟදීම තිරගතවීමට නියමිත සුරංග අල්විස් ගේ ‘හොරා පොලිස්’ චිත්‍රපටය ඔස්සේය. මින් පෙර ‘රජ හොරු’ සහ ‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සුරංග පේ‍්‍රක්ෂකයාට අපූරු වින්දනයක් ගෙන දුන්නේය. ‘හොරා පොලිස්’ ඔහුගේ තෙවැනි සිනමා නිර්මාණයයි.

සුවඳරත්න රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් ලෙස සැලකූ අවංක පොලිස් නිලධාරියෙකි. විවිධ අභියෝගයන් හමුවේ ඔහු සිය රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නේ මහත් කැපවීමෙනි. එහෙත් සුවඳරත්නගේ බිරිය පුෂ්පා ගේ සමච්චලයටත්, ඇනුම් බැනුම්වලටත් නිරන්තරයෙන්ම මුහුණ දෙන්නට සුවඳරත්නහට සිදු වේ. එහෙත් මේ දෙන්නා දෙමහල්ලෝ සිය පුතණ්ඩියා වන පොඩ්ඩේට අසීමිතව සෙනෙහස පාති.

‘ටයිගර්’ නමැති නම් දැරූ සොරා හිරෙන් නිදහස් වන්නේ මේ අතුරතුරය. ටයිගර්, සුවඳරත්නගේ කපාපු පළුවමය. මෙම විශ්මයජනක සමානකමින් අයුතු ප්‍රයෝජන ගන්නා ටයිගර්, සුවඳරත්න සේ පෙනී සිටිමින් නීතියට පටහැනි දේ සිදුකරමින් තක්කඩි, මැර ජීවිතයක් ගත කරයි.

තම කීර්තිනාමයට හානිවන සේ ටයිගර් ගතකරන අශිලාචාර ජීවිතය පිළිබඳ සුවඳරත්න පසු වන්නේ දැඩි කනස්සල්ලෙනි. තමා මෙන් පෙනී සිටිමින් ටයිගර් කරන මේ රඟපෑම් නවතා දමන්නට උපාය මාර්ගයක් ගැන සිතමින් තම වාරය එනතුරු සුවඳරත්න මානබලමින් හිඳියි. ඒ අතර සුවඳරත්න පිළිබඳ ආල සිතකින් පසුවන කාන්තා පොලිස් පරීක්ෂකවරිය දීප්තිගෙන්, සුවඳරත්න ගේ නොසන්සුන් දිවියට ලැබෙන්නේ තරමක අස්වැසිල්ලකි. සිය බිරිය පුෂ්පාගේ රැවුම් ගෙරවුම් සහ දීප්තිගේ ආදර වදන් ඉදිරියේ ඔහුගේ හිත දෝලනය වන්නේ ඔංචිල්ලාවක් මෙනි.

‘හොරා පොලිස්’ මොවුන් වටා ගෙතුන ත්‍රාසය, භීතිය, කුතුහලය මෙන්ම හාස්‍යයද කැටි කරගත් ඔබේ පවුලේ චිත්‍රපටයයි.

ජනප්‍රිය සිනමා නළු මහේන්ද්‍ර පෙරේරා මෙහි සාජන්ට් සුවඳරත්න හා ටයිගර් ලෙස ද්විත්ව රංගනයක නියැළේ. මෙකී චරිත නිරූපණයන් පිළිබඳ ඔහු පළ කරන්නේ මෙවැනි අදහසකි.

මිට ප්‍රථම මට සුරංගත් එක්ක චිත්‍රපටයක් කරන්න ලකලෑස්ති වෙලා හිටියේ. නමුත් මොකක් දෝ හේතුවක් නිසා ඒ වැඩේ කෙරුණේ නෑ. හැබැයි කවදා හරි ඔහුත් එක්ක චිත්‍රපටයක් කරන්න ඕනෑයි කියන අදහස මට තිබුණා. ඇත්තටම සුරංග වාණිජ සිනමාවක් කරා ගමන් කරන තරුණ අධ්‍යක්ෂවරයෙක්නේ. අනෙක උවමනාවට වඩා මේ චරිත තෝරා බේරා ගෙන චිත්‍රපටවල රඟපාන්න පුළුවන් කාලෙක නෙමේ අපි මේ ඉන්නේ. ඉතින් දෙවරක් නොසිතා මම මේ චිත්‍රපටයේ රඟපාන්න තීරණය කළා. විශේෂයෙන් මේ වගේ වාණිජ චිත්‍රපටවලට අපිට කතා කරන්නේ නෑ ලොකු අයියේ. සටන් කරන්නයි, ඩාන්ස් කරන්නයි, එහෙම ලේසියෙන් අපට කතා කරන්නේ නෑ ඉතින්. මොකද අපි එච්චර ලස්සන නළුවොත් නෙවෙයිනේ. ඒ නිසා වෙන්නැති. කොහොම නමුත් හොරා පොලිස්’ චිත්‍රපටයේ ‘සුවඳරත්න’ කියන පොලිස් නිලධාරියාත් මම. හොරාත් මම. මේ දෙන්නා එකතු වෙලා තමයි ‘හොරා පොලිස්’ හැදෙන්නේ. ඇත්තටම මේක චරිත ස්වභාවයන් දෙකක්. හරියට අහසයි පොළවයි වගේ.

‘හොරා පොලිස්’ හි දීප්ති නමැති පොලිස් පරීක්ෂකවරියගේ චරිතයට පණ පොවන්නේ ගංගු රොෂානායි. ‘සමන්තා’ චිත්‍රපටයෙන් 2005 වසරේ සිනමා රංගනයට පිවිසි ගංගුගේ තෙවැනි චිත්‍රපටය මෙය වේ.

මේක ටිකක් හැඩිදැඩි චරිතයක්. චිත්‍රපටයේ හැටියට මම කැමැති වෙනවා මහේන්ද්‍ර අයියට. ඒ කියන්නේ සාජන්ට් සුවඳරත්නට. මෙවැනි චරිතයක් මම රඟපෑවේ ප්‍රථම වතාවට. මේක මට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. මම හරිම සතුටු වෙනවා මේ වගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන. මම සිනමාවට ඇවිත් දැන් අවුරුදු එකොළහක්. මේ කාලය පුරාවට මම රඟපෑවේ චිත්‍රපට තුනක විතරයි. විශේෂයෙන් මම සුරංග අයියාට ස්තුතින්ත වෙනවා මේ චරිතයට මාව තෝරා ගැනීම ගැන.

‘හොරා පොලිස්’ සංගීතා චිත්‍රපට නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධගෙනි. සුරංගගේ ආදරණීය පියාණන් වන ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබේ. චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ ගීපද රචනයෙන් ඔපවත් වූ මෙහි ගීත ගායනා බුද්ධික උෂාන් හා කේ. සුජීවා ගෙනි. සහාය අධ්‍යක්ෂණයෙන් නිම්ෂාන් වීරක්කොඩි, නදීෂ සමන් ද කලා අධ්‍යක්ෂණයෙන්, සමන් පද්මකුමාර, චමින්ද ගුණසිංහ ද වේෂ නිරූපණයෙන්, චාමර නිරෝෂ් හා සංජය ද සටන් අධ්‍යක්ෂණයෙන්, සමන්ත රංග මායාදුන්න ද ‘හොරා පොලිස්’ චිත්‍රපටයට දායක වේ.

මහේන්ද්‍ර පෙරේරා, ගංගු රොෂානා, ධනුෂ්කා ඉරෝෂණී, ප්‍රියන්ත සෙනෙවිරත්න, මාක් සැම්සන්, ජීවාන් සප්තරංග, සමන්ති ලැනරෝල්, ඩී. බී. ගංගොඩතැන්න, දෙනුවන් සේනාධි, අර්ඩ්ලි වෙදමුනි, ආරියසේන ගමගේ. සමන් පද්මකුමාර, දයා පෙරේරා, සමන්ත රංග මායාදුන්න, සුමිත් මුදන්නායක සහ හඳුන්වා දෙන සුමිත් ගෝමස්, රජිත එදිරිසිංහ, උපේක්ෂා ඉන්ද්‍රජිත්, ඔෂාන්ත රාජපක්ෂ මෙහි චරිත නිරූපණය කරති.

‘හොරා පොලිස්’ මෙම 27 වැනිදා සිට ඹ්.ජ්.ච්. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනයට නියමිතය.