වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




මම එදත් ජනප්‍රිය යි අදත් ජනප්‍රිය යි

මම එදත් ජනප්‍රිය යි අදත් ජනප්‍රිය යි

මුල්ම ජනප්‍රිය නවක නළුවා ලකී ඩයස්

සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම නවක නළුවා සම්මානය පිරිනැමුණේ ප්‍රථම වතාවටයි. 1990 වසරේ පැවැති ඒ සම්මාන උලෙළේදී සම්මාන පිරිනැමුණේ 1988 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන්. එදා පළමු ජනප්‍රියම නවක නළුවා සම්මානය හිමිකර ගන්න සමත් වුණේ වර්තමානයේ ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස්. රිදී තිරයේ පමණක් නොව පුංචි තිරයේත් ඉහළ ජනප්‍රියත්වයක් ලද ලකී ඩයස් අද Road to Prestige තුලින් ඔබ හමුවෙනවා.

* ජනප්‍රියම නවක නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාව ආයෙමත් සිහිපත් කරමු?

‘සිරි මැදුර’ චිත්‍රපටය නිසා තමයි මට මේ වටිනා අවස්ථාව උදා වුණේ. සරසවිය සම්මානයක් හිමිවීම නළුවෙකුගේ ජීවිතයේ ලොකුම භාග්‍යයක්. ඒ වෙනකොට මම සිනමාවට ඇවිත් දායක වෙලා තිබුණේ චිත්‍රපට තුනකට පමණයි. ‘අහිංසා’, ‘නැව ගිලුනත් බෑන් චූන්’ චිත්‍රපට වලට පසුව තමයි ‘සිරිමැදුර’ චිත්‍රපටයට දායක වුණේ. තෙවන චිත්‍රපටය වුණත් ඉතාම භාරදූර චරිතයකට තමයි මට පණ පොවන්න වුණේ. ඒ සම්මානය ලබන්න එදා ලොකු කැපකිරීමක් කළා. ඒ කැප කිරීම කොහොම එකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වුණේ වර්තමානයේ නවීන තාක්ෂණය එක්ක කටයුතු කරන්න ලැබුණාම තමයි. සම්මානයේ බර දැනුණේ එවිටයි.

එදා මම ජනප්‍රියම නවක නළුවා සම්මානය ලබන්න රඟපෑවේ ලංකාවේ හිටිය හොඳම වගේම ජනප්‍රියම රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟින්. රවීන්ද්‍ර රන්දෙනිය, අනෝජා වීරසිංහ, මාලිනි ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ යනාදී අය ඒ අතර වෙනවා. මා ලද ප්‍රථම සරසවිය සම්මානය මගේ සම්මාන රාක්කයේ ඉතාම විශේෂ අවධානයට ලක් වූ සම්මානයක්. එදා ඒ සුවඳ අද තවමත් එහෙමම තියෙනවා.

* එදා කළ රංගනය අනුව සම්මාන බලාපොරොත්තුවක් තිබුණාද?

මෙතැනදී මට සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා කී කතාවක් සිහිපත් වෙනවා. “අයිසේ තමුසේ මහා වාසනාවන්ත නළුවෙක්. ඉස්සර අපි පළමුවෙන්ම සම්මානයක් දිනා ගත්තේ චිත්‍රපට කීයක රඟපාලද. ඒත් තමුසේ ආපු ගමන් ජනප්‍රිය නළුවත් වෙලා, හොඳම නළුවත් වුණ මිනිහෙක්” යැයි මට වරෙක පැවසුවා. මම ගාමිණි එක්ක වගේම විජය කුමාරණතුංග එක්කත් සම්මාන අරගෙන තියෙනවා. සිනමාවටම පමණක් වෙන් නොවුණත්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මගේ ප්‍රථම රංගනය ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයේ බලදේව චරිතයේ රංගනය වෙනුවෙනුත් මම ජනප්‍රියම නළුවා වුණා. එවිට සිනමාවේ ජනප්‍රියම නළුවා වුණේ විජය. තවත් අවස්ථාවකදී ගාමිණි සිනමාවේ හොඳම නළුවා වෙනකොට මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හොඳම නළුවා වෙන්න පුළුවන් වුණා. ඒක ලොකු සතුටක් සම්මාන ගැන මට ලොකු ආඩම්බරයක් තිබුණත් මම කවදාවත් ඒවාට කෑදර වුණේ නැහැ.

ඒවගේම මෙතැනදී සිනමාව හා ටෙලිවිෂනය කියා භේදයක් ඇතිකර ගන්නේ නැහැ. මොකද එදා හොඳ රංගන ශිල්පියෙකුට හොඳ නිර්මාණයකට දායක වෙනකොට ටෙලිවිෂනයද සිනමාවද කියලා වෙනසක් තිබුණේ නැහැ. මම පැමිණි මුල් කාලයේ සිනමාව වගේම ටෙලිවිෂනයත් අදිව්තීය යි. ඒ ක්ෂේත්‍ර දෙකේ කුමක රඟපෑවත් වෙනසක් දැණුනේ නැහැ. නමුත් ඒ කාලේ බොහෝ් නළුවන්ට සිනමාව විවෘත වුණේ නැහැ. නමුත් මට එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒවගේම මම සම්මාන බලාගෙන නිර්මාණ ගොන්නක් බදා ගත්තෙත් නැහැ. එදා වගේම අදත් දායක වෙන්නේ අවුරුද්දකට එක චිත්‍රපටක් හා එක ටෙලිනාට්‍යයකට විතරයි. එහෙම කියලා මට සම්මානවලින් අඩුවක් වුණෙත් නැහැ.

* එදා ජනප්‍රිය නවක නළුවා සම්මානය කරා යන්න මඟ පෑදු චිත්‍රපට හා චරිත?

ප්‍රථමයෙන්ම පරාක්‍රම නිරිඇල්ල කලාකරුවා සිහිපත් කළ යුතුයි. මගේ මුල්ම අධ්‍යක්ෂවරයා ඔහුයි. මට ප්‍රථමයෙන්ම සම්මානයකි හිමි වුණෙන් එතුමා නිසා. මුලින්ම ජනප්‍රිම නළුවා වෙලා දෙවනුව හොඳම නළුවා සම්මානයත් ජනප්‍රිය නළුවාට හිමි සම්මානයත් අත් දෙකට මට ගන්න හැකි වුණා. මා සිනමාවට කැඳවාගෙන විත් ඉතාම භාරදූර රංගනයක් භාර කළෙත් ඔහුයි. සමහර වෙලාවට කරගන්න බැරි වුණාම මගේ ඇස්වලට කඳුළු පිරෙනවා. කොහොම හරි මම ඒක කළා. සරසවිය සම්මානය හිමි වුණා. නමුත් රංගනයේ බර දැනුණේ චිත්‍රපටය තිරගත වුණාට පසුවයි. සුනිල් ආරියරත්නයන්ගේ ‘වජිරා’ චිත්‍රපටයේ පොඩි චරිතයක් කළා. ප්‍රධාන චරිතයන් නිරූපණය කළ මගේ මුල්ම චිත්‍රපටය වුණේ ‘අහිංසා’.

* සම්මාන ඔබේ නළු ජීවිතය වෙනස් කළා ද?

මට සම්මානයක් ලැබුණා කියලා මගේ ජීවිතයේ කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. මට හොඳ චිත්‍රපට ලැබුණා, ලංකාවේ විශිෂ්ටතම සිනමාකරුවන්ගේ චිත්‍රපටවලට දායක වුණා කියලා මගේ ඔලුව ඉදිමුණෙත් නැහැ. මගේ ලේ නහර වෙන විදියට වැඩ කළෙත් නැහැ. තාමත් මේ ඉන්නේ එදා යශෝරාවයේ බලදේවගේ චරිතයට වගේම අහිංසා චිත්‍රපටයට රංගනයෙන් දැයක වුණ ලකී ඩයස්ම තමයි.

* රංගනයට එන්න පෙර රංගනය ගැන හිතුවේ කොහොමද?

රංගනය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. කැමරාවක් දැකලා තිබුණෙත් නැහැ. නළු නිළියෝ ආශ්‍රය කරලා තිබුණෙත් නැහැ. ෂූටින්වත් දැකලා තිබුණේ නැහැ. ඒ වුණත් සිංහල චිත්‍රපට වගේම හින්දි චිත්‍රපට අසීමිතව නරඹන එක නම් ප්‍රධානම දෙයක් වුණා. ගාමිණි, විජය කිව්වම අපේ සිනමාවේම කොටසක් වගේ. මංගල දර්ශන තියෙන අවස්ථා කිහිපයකදීම ගාමිණි වගේම විජය හැබැහින් දැකලා කතා කරන්න උත්සහ කළා. ඒ හැම අවස්ථාවකදීම දැක්කේ දෙන්නාගේම බොකුටු කොණ්ඩ විතරයි. ඒ තරම් ජන ගඟක්. කිට්ටු වෙන්නවත් අවස්ථාව ලැබුණේ නැහැ. ඒ කාලේ සෑබෑ රසිකයෝ, පික්චර් පිස්සෝ වගේ අපි චිත්‍රපට බලන්න ගියේ. දැන් නම් එහෙම දෙයක් දකින්නවත් නැහැ. ඒ කාලය හරිම සුන්දරයි. කොහොම වුණත් රංගනය ගැන මම කිසිම අධ්‍යනයක් කළේ නැහැ. මම හැමදාම විශ්වාස කරන්නේ අද මේ තැනට ගෙන ආවේ මොකක් හරි බලවේගයකින් කියලයි.

* එදා ලැබුණු ජනප්‍රිය කිරුළ හැමදාටම රැක ගත්තේ කොහොමද?

මම එදත් ජනප්‍රිය යි. අදත් ජනප්‍රියයි. මේ රටේ මිනිස්සු මට අසීමිතව ආදරෙයි. ඒ වගේම ඔවුන්ගේ ගරුත්වය පළුඳු වෙන්න කිසිම දෙයක් කියලත් නැහැ. කරලත් නැහැ. මම හැමදාම මගේ නම්බුව රැකගෙන ජීවත් වෙන කෙනෙක්. මම මගේ නළුකමේ ගරුත්වය හැමදාම තියාගන්න මහන්සි වෙනවා.

* රංගනයේදී අසීරුතම අභියෝගත් තියෙන්න ඇති?

අසීරුතම අභියෝගය ගැන කියනවා නම් ‘සිරිමැදුර’ චිත්‍රපටයේ රංගනය තමයි අසීරුතම අභියෝගය වුණේ. දැන් නම් මට රඟපාන එක ඒතරම් කජ්ජක් නෙවෙයි. මොන චරිතය දුන්නත් මම ඒ වෙනුවෙන් පණ පොවනවා. අද මම හාස්‍ය ලෝකයේ දැවැන්තයන් සමඟ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. පළමු චිත්‍රපටය වුණත් ‘අහිංසා’හි රංගනය මට අමාරු වුණේ නැහැ. අසීමිතව ජනප්‍රිය වුණා. දින සීයයක් චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. ‘නැව ගිලුනත් බෑන් චූන්’ චිත්‍රපටයත් දින සියය පසු කළා. ‘සිරි මැදුරත්’ එලෙසමයි. නමුත් එහිදී මම නීතිඥවරයාගේ චරිතය රඟපෑවේ සිනමාවේ දක්ෂ නළු නිළියන් රැසක් සමඟින්. ඒක මට ලොකු අභියෝගයක් වුණා.

එදා මට සරසවිය සම්මානය ලැබුණා. නමුත් මේ කතාවත් කියන්නම ඕනේ. සරසවිය සම්මාන උළෙල කාලයක් නොතිබුණු එක මට කළේ ලොකු ආසාධාරණයක්. එදා සරසවිය සම්මාන උළෙල තිබුණා නම් ගාමිණි ෆොන්සේකා මහත්මයා අධ්‍යක්ෂණය කළ අන්තිම රැය චිත්‍රපටයේ මගේ රංගනයට සම්මානයක් හිමි වෙන්න තිබුණා. එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ ‘කුල ගෙය’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට නාමයෝජනාවී සම්මානය නොලැබීම ගැන දුකකුත් තියෙනවා. ඒ වගේම හිතාමතා මට නොදුන් සම්මානත් තියෙනවා. නමුත් ඒ අතරේ මට ලැබුණු මේ සරසවිය සම්මානය දොහොත් මුදුන් දීලා පිළිගත්තේ ලොකු කැපවීමකින් මම මගේ රංගන කාර්ය ඉටු කළ නිසා.

* රංගන ජීවිතයේ ගුරුහරුකම් දුන් ප්‍රවීණයන්?

මගේ සිනමා ගුරුවරයා වෙන්නේ පරාක්‍රම නිරිඇල්ල. එතුමා මාව එකපාරටම ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර, අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණයන් මැද්දේ යශෝරාවයට දැම්මා. සිනමාවට පැමිණිදා පටන් අද අධ්‍යක්ෂවරයෙක් දක්වා පැමිණි ගමනට ගාමිණි ෆොන්සේකා මහත්තයා දුන් හැම ගුරුහරුකමක්ම හේතු වුණා. නළුවෙක් විදියට ජීවත් වෙන්නේ කොහොමද? ගරුත්වය තියාගන්නේ කොහොමද? කියන දේ මං දැක්කේ එතුමාගෙන්. එතුමා බොහොම ගාම්භීර විදියට ජීවත් වුණා. “තමුසේ හන්දියක් හන්දියක් ගානේ ඉන්න එපා. ලැබෙන හැම චිත්‍රපටයක්ම භාර ගන්න එපා. චරිතයට, පෞරුෂත්වයට ගැළපෙන චරිත තෝරා ගන්නවා” ලෙස ඔහු කළ ඔවදන් මම අකුරටම පිළිපැද්දා. එතුමා තමයි මගෙ දැවැන්තම ගුරුවරයා වුණේ. ඒ වගේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයත් හැමදාම රංගනයන් ගැන දුන් ඔවදන් මගේ හිතේ තියෙනවා.

* රූපවාහිනියේ වගේම සිනමාවේත් එක ලෙස ජනප්‍රිය ඔබේ වැඩි කැමැත්ත කුමන ක්ශේත්‍රයටද?

මගේ ප්‍රේක්ෂකයන් මාව රූපවාහිනියටවත් සිනමාවටත් වෙන් කරලා නැහැ. මමත් මේ අංශ දෙකෙන් එකකටවත් වැඩි දායකත්වයක් දීලත් නැහැ. ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටත් එක හා සමානයි. ඒ නිසා මගේ ජනප්‍රියත්වය මේ ක්ෂේත්‍ර දෙකේම එක සමානයි. ඒවගේම ඒ ජනප්‍රියත්වය ස්ථාවරයි.

* තිස්වසරකට ආසන්න ඔබේ රංගන ජීවිතයේ පැමිණි ගමන ගැන මොකද හිතන්නේ?

ඒ ගැන නම් තියෙන්නේ ලොකු සතුටක්. එදා අපි වැඩ කළ විදිය නෙවෙයි. අද හැමදේම හරිම ලෙහෙසියි. දියුණු තාක්ෂණය නිසා එදා අපි කාපු කට්ට අද අය අහළකවත් නැහැ. නමුත් අපේ මුල් සිනමා යුගයේදී දුක් වින්ඳෙත් අපේ වාසනාවට. දෙබස් කැවීමේදිත්, රූගත කිරීමේදීත් එදා අපි ලොකු කැපකිරීමක් කළා. ඒ කැපකිරීමෙන් ලැබු පන්නරය තමයි මේ ගමනට ශක්තියක් වුණේ. මට මගේ ජීවිතයේ අසීමිතව නම්බුව, ගරුත්වය, ආදරය ජනතාවගෙන් ලැබුණේ මම නළුවෙක් වුණ නිසා. බුදුන්ට, මව්පියන්ට පසුව මම දොහොත් මුදුන් දී සළකන්නේ කලාවට. ඒ නිසා කලාකරුවෙක් ලෙසින් මම මගේ ගරුත්වය උපරිමයෙන් රැකගෙන ජීවත් වෙන්න හැමදාම කැප වෙනවා.