වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඩැනීගේ පිළිකඩතුරාව හිර වෙලා

ඩැනීගේ පිළිකඩතුරාව හිර වෙලා

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයකු ද වන ඩැනී ඩබ්ලිව්. පතිරණ අපට පොඩි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහු අදහස් දැක්වූයේ ඉතා සංවේගයෙන්.

මං අවසන් වතාවට අධ්‍යක්ෂණය කළ පිළිකඩතුරාව සඳහා තිරගතවීමට කවමත් දිනයක් දුන්නේ නැහැ. එය රූගත කොට මේ වන විට වසර නවයකටත් කිට්ටුයි. මම මගේ චිත්‍රපටය ලබා දුන්නේ චිත්‍රපට සංස්ථාවේ මණ්ඩලයට. එන්න එන්නම චිත්‍රපටය තිරගත වන්නට කල් යනවා. මේ වසරේ ඉදිරියේදී තිරගත කීරීමට සූදානම්ව තියෙන්නේ ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපට දෙකක්ලු. පිළිකඩතුරාව සම්මාන නැති නිසා ඒක තව ටිකක් පස්සට දාලා. මං මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චන්දිරා, බයිසිකලේ, කවුළුව, සීත සමීරේ, අහිමි දඩමං ආදී චිත්‍රපට පෙන්වන්න ඔච්චර කල් ගියේ නැහැ. ඒවා ක්‍රමවත්ව තිරගත වුණා. පිළිකඩතුරාව තිරගත නොවුණු නිසා මට නැවතත් චිත්‍රපටයකට අතගසන්න බැරුව ඉන්නේ. ඇත්තම කිව්වොත් මට චිත්‍රපට කෙරුවාව එපා වෙලා තියෙන්නේ. මං අදාළ බලධාරින්ගෙන් ඉල්ලන්නේ මට සාධාරණයක් කරන හැටියටයි.


රන්ජන් ජයතිලකට උපහාරයක්

සංගීත ශිල්පී රන්ජන් ජයතිලක ගීත ක්ෂේත්‍රයට පිවිස 50 වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු ඵලකයක් පසුගියදා මහනුවර තරුණ බෞද්ධ ශාලාවේ පැවැති 'ගී මකරන්ද සත්සර' ප්‍රසංගයේදී ප්‍රදානය කෙරුණි.

ක්ෂේත්‍රයේ පැරැණිතම ශිල්පීන් වන නාලනි ජයසිංහ, ටියුඩර් කඳනආරච්චි, නිමල් ගුණසේකර, තිලකසිරි රත්නායක, වසන්තා තිලකාංගනී යන අයද මෙහිදී උපහාරයට ලක් විය.

නිවේදක ගයන්ත බණ්ඩාර හේරත් සහ මහනුවර ප්‍රබුද්ධ ගුවන් විදුලි සමාජය මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදී.


V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි

සුගත් සමරකෝන්ගේ නවතම වේදිකා නාට්‍ය V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරුදින පිළියන්දළ මධ්‍ය විද්‍යාලීය ශාලාවේ වේදිකාගත වේ. විනූ සිරිවර්ධන, සංජය සමරකෝන්, චන්දු ලියනාරච්චි, ලසන්න සමරකෝන්, වසන්ති සෙනරත්, රෝහිත පෙරේරා, නලින් ගුරුගේ, සුරංග රත්නසිරි, රංජන් විතරණ රංගනයෙන් දායක වන මෙහි සංගීතය රොමේෂ් ජයසිංහගෙනි. වේදිකා පරිපාලනය නෝබට් හෙට්ටිආරච්චි සහ සුරංග රත්නසිරිගෙනි. චතුරංගේ අංගරංචනයෙන් හැඩවෙන V.I.P සුන්දර බණ්ඩා සමන්ත වීරකෝන්ගේ නිෂ්පාදනයකි. චන්දු ලියනාරච්චි සහ වසන්ති සෙනරත් මෙම විශේෂ නාට්‍ය දර්ශනය සංවිධානය කරනු ලබති.