වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

කමල්ගේ රැඟුමක් හිතේ තිබ්බ ගින්දරින්

දවා මාව ඇස් කොනින්
මඟ තොට යන එන විට ඉඟි කෙරුවා
පෙම පිදුමට කෝඩුවෙන්
නුඹෙ හිත නැත මා ළඟින්
මම ආයෙත් නිකමට මඟ බැලුවා
නෙතට දැනුණ පාළුවෙන්
ඉවසා මා සීරුවෙන්
සැඟවුණු හසරැල් ආයෙත් සෙව්වා
විසිරී තිබිච්ච පෙම් මල් කිනිත්ත
සුළඟේ විසි කෙරුවා

ආයෙත් නොඑන්න යන බව දැනගෙන
මගෙ හිත තද කෙරුවා
ඔබෙ පෙමට නොපිරූ පෙරුමක්
මා ළයේ ඇත්තෙ නෑ
මම ආයෙත් නිකමට මඟ බැලුවා

ඔය නෙතු සිඹින්න මා වෙත ඇදෙන්න
කල්පයක් ඉන්න බෑ
මාගේ නොවෙන්න පෙර පින් මනින්න
වෙන හිතක් දෙන්න බෑ
ඔබේ පෙමට නොපිරූ පෙරුමක් මා
ළයේ ඇත්තෙ නෑ
මම ආයෙත් නිකමට මඟ බැලුවා
සිතේ තිබ්බ ගින්දරින්...

ගායනය - රුචිනි විජේසුන්දර
පද රචනය - ජගත් රස්නායක
සංගීතය - ජගත් රස්නායක
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - රමේෂ් මලික්

මේ රුචිනිගේ පළමු මියුසික් වීඩියෝවයි. එහෙම වුණාට එය වෙනසකුත් එක්ක ගෙන එන්නට ඇය අපේක්ෂා කළා.

ඒ විශේෂත්වය තමයි කිසි දිනෙක මියුසික් වීඩියෝවකින් නොදුටු කමල් අද්දරආරච්චිව මියුසික් වීඩියෝවකට ගෙන ඒම.

කමල් කුලුඳුලේ රඟපෑ මියුසික් වීඩියෝව තමයි මේ. ඔහු සමඟ සචිනි අයෙන්ද්‍රා මෙහි රංගනයෙන් දායක වෙනවා.

මෙහි දර්ශන තල ලෙස යොදාගෙන තිබෙන්නේ නාවල ප්‍රදේශය අවට. අප්‍රකාශිත ප්‍රේමයක් පිළිබඳව මෙම ගීතයේ අන්තර්ගත වෙනවා.

කොළඹ විශාකා බාලිකාවේ ඉගෙන ගත් රුචිනි මේ වන විට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක්.

ඇයගේ විනෝදාංශය තමයි ගායනය. එහෙයින් රුචිනි තවත් ගීතයක් ගායනා කිරීමට සූදානම් වෙනවා. එය නම් කොට ඇත්තේ ගගනත නෙත පැටලී යනුවෙන්. මහින්ද දළුගොඩආරච්චි ලියූ එය සුරේෂ් මාලියැද්ද සංගීතවත් කොට තිබෙනවා.

 


පස්වැනි විරහව

වරදක් කියන්නෙ නෑ ඔබට මා
ගියදා පටන් මගෙ ජීවිතෙන්
සතුටින්ම ඇති නම් ඔයා
මටම දුන් සෙනෙහෙ
ඔහුටත් ඔබ පුද කළේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා

ආදරය ඔබේ පණ වගේ පැවසුවත් එදා
දැනන් හිටියෙ නැහැ ඔබ කළේ විහිළුවක් කියා
මටම දුන් සෙනෙහෙ . . .
ජීවිතයෙ දුකක් ලැබුණෝතින් අලුත් පෙම නිසා
යළිත් එන්න මා වෙත රහසෙ නැතිව බැහැ ඔයා
මටම දුන් සෙනෙහෙ . . .

ගායනය - ඩිමංක වෙල්ලාලගේ
පද රචනය - සජිත් වී. චතුරංග
සංගීතය - චන්දන වල්පොල
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ප්‍රසාද් කළුපහන

එක දිගට විරහ ගී හතරක්ම ගැයූ ඩිමංකගේ පස්වැනි විරහ ගීතයයි මේ. නිදුකින් ඉනු මැන, අවසාන ප්‍රේමයයි ඒ අතරින් ඉමහත් ජන ප්‍රසාදයක් ලැබුවා. ඩිමංකව අප හඳුනා ගන්නේ ද නිදුකින් ඉනු මැන ගීතය හරහායි.

එක් දිනක පුරා කොළඹ අවට ප්‍රදේශයන්හි රූගත වුණු මෙම වීඩියෝවේහි ඩිමංක රඟපාන දර්ශන වෙනම වෙලාවක රූගත කොට තිබෙනවා. එහෙයින් වීඩියෝවේ සංස්කරණ කටයුතු ඉවර වෙන තෙක් ඔහු දැනගෙන සිටියේ නැතිලු රඟපාන නළු නිළියන් කවුද කියාවත්.

කොහොම හරි අවසානයේ සාර්ථක වීඩියෝවක් රසික රසිකාවන්ට ලබාදීමට හැකි වූ බව ඩිමංක අපිත් එක්ක කිව්වා.