වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී මාලක දේවප්‍රියගෙන් කනට පාරක්

මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී මාලක දේවප්‍රියගෙන් කනට පාරක්

මාලක දේවප්‍රියගේ ‘කනට පාරක්’ නම් ඕඩියෝ තැටි යුග්මයක් අද (07 වැනිදා) සවස 3.00 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදකියි. මේ ලිපිය සැකසෙන්නේ ඔහු සමඟ ඒ පිළිබඳ කළ කතාබහකිනි.

මගේ මේ අලුත් ම ‘කනට පාරක්’ නම් ඕඩියෝ තැටි යුග්මය එළිදැක්වෙන දිනට ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ලූෂන් බුලත්සිංහල යන විද්වතුන් කරන සංකථන කිහිපයක් පැවැත්වීම නියමිතයි.

මේ සම්බන්ධ මගේ මුල් ම කෘතිය එළිදකින්නේ මා ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු හා රංගන ශිල්පියකු විදියට කටයුතු කරන කාලයේදියි. ඒ ‘උගේ හිස ඉවරයි’ නමින් ගුවන්විදුලි නාට්‍ය එකතුවක්. ඉන්පසුව 2012 වසරේදී ‘නියෝන් සැප ලැබේවා’ යන කෘතියත් එළිදැක්වෙනවා. ලෝකයේ ගුවන්විදුලි නාට්‍ය සාහිත්‍යයක් තිබෙනවා. එයත් එක්තරා විදියකට කෙටිකතා, නවකතා වගේ කියවා රස විදිය හැකි මාධ්‍යයක්. බීබීසී එකේ නිෂ්පාදනය වන නාට්‍ය කෘති විදියට මුද්‍රණය වී පැමිණියා. ශ්‍රී ලංකාවෙත් මීට කාලයකට පෙර මේ සම්ප්‍රදාය තිබුණා. ඒ ‘තරංගනී’ සඟරාව ඔස්සේයි සිදුවුණේ. යළිත් මම මෙවැනි කාර්යයකට මුල පුරන්නේ රේඩියෝ නාට්‍ය නැවත සාහිත්‍යයක් විදියට අරගෙන එන අදහසින්. ඒ සඳහා හොඳ ප්‍රතිචාරත් මට හිමිවුණා. ඉදිරියේදී එවැනි තවත් පොතක් මුද්‍රණයෙන් පැමිණීමට නියමිතයි. එය නම් කරලා තිබෙන්නේ ‘පන් සලක්’ යන නාමයෙන්.

වසර විසි ගණනකට අධික කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍ර යේ නියැළිලා ඉන්න ශිල්පියකු විදියට මට නිතර ම උවමනා වුණේ රේඩියෝ නාට්‍ය කියන දේ විකල්ප මාධ්‍ය හරහා කොහොමද සමාජ ගත කරන්නේ කියන එක පිළිබඳ වැඩක් කරන්නයි. මා ලියූ ගුවන්විදුලි නාට්‍ය කෘති ත්‍රිත්වයෙන් ම තෝරාගත් ගුවන්විදුලි නාට්‍ය දාහතරක් එකතුකර ‘කනට පාරක්’ කියන ඕඩියෝ තැටි යුග්මයක් ලෙස අද එළිදකින්නේ එහි මූලික පියවරක් ලෙසයි. මේ කටයුත්තට දායක වුණේ අපේ රටේ සිටින දක්ෂ ශිල්පීන් හා ශිල්පිනියන් විසි හතර දෙනෙකුයි. ඒ අතර ජයලත් මනෝරත්න, ධර්මසිරි බණ්ඩාරනායක, සමන් අතාවුදහෙට්ටි, ඩබ්ලිව්. ජයසිරි, බුද්ධදාස විතානාරච්චි, චන්ද්‍රා කළුආරච්චි, හේමසිරි ලියනගේ, සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, දීපානි සිල්වා, රම්‍යා වනිගසේකර ආදී ශිල්පීන්, ශිල්පීන් රැසකගේ හඬෙන් කළ පෙරහැර මේ ඕඩියෝ තැටිවල ඇතුළත්. එන්න අද දින පැවැත්වෙන මේ එළිදැක්වීමේ උලෙළට එදිනට මේ ඕඩියෝ තැටි යුග්මය එහි පැමිණෙන්නන්ට නොමිලේ ලබාදීමටත් මා අදහස් කරගෙන සිටිනවා.

ද ජංගල් බුක් ආයෙත්

'ද ජංගල් බුක්' 1894 වසරේ ඉංග්‍රීසි ගත්කරුවකු වන රුඩ්යාර්ඩ් කිප්ලින් විසින් රචිත එදා මෙදා තුර ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ද චිත්‍රකතා, කාටූන් සහ චිත්‍රපට රැසකට පාදක වූ ද ප්‍රබන්ධයකි.

මෝග්ලි නම් කුඩා දරුවා වලසෙකු හා කළු චීටාවෙකු අතර හැදී වැඩෙමින් කැලයේ ජීවිතයට අනුබද්ධ වන්නේ කැලයේම සතුන්ගේ ආදරය හා කරුණාව මැදය. ක්‍රමයෙන් වැඩෙන මෝග්ලි කැලයේ සිදුවන රහස් පිළිබඳ කුතුහලයට පත් ව බගීරා සහ බලූ යන සතුන්ගේ මග පෙන්වීම යටතේ ඒවා සෙවීමට යයි. මේ ගමනේදී මෝග්ලි ට මුහුණපෑමට සිදුවන ත්‍රාසජනක හා වික්‍රමාන්විත අවස්ථා රැසක් කැටිකොට 'ද ජංගල් බුක්' ප්‍රබන්ධය දිග හැරෙයි.

1942 වසරේ පළමු වරට චිත්‍රපටයක් ලෙසින් එළි දැක්වුණු මෙම කතාව 1967 වසරේ වෝල්ට් ඩිස්නි සමාගම විසින් කාටූන් චිත්‍රපටයක් ලෙසින් ද, නිර්මාණය කෙරිණි. ඉන් වසර 49 කට පසු ඩිස්නි සමාගම විසින්ම නිර්මිත 'ද ජන්ගල් බුක්' හි ප්‍රතිනිර්මාණයක් පරිගණක සජීවකරණ චිත්‍රපටයක් ලෙසින් මේ මස 15 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශයට නියමිතය.

මෙම චිත්‍රපටය බොහෝ සෙයින් විචාරක පැසසුම් ලබා ඇති අතර, ඉතාම සුන්දර චිත්‍රපටයක් ලෙසත් නිවැරදිම හඬ කවන්නන් තෝරා ගෙන ඇති අතරම මෙය 1967 තිරගත වූ චිත්‍රපටය අබිබවා ඇති බවත් චිත්‍රපටය විචාරකයන්ගේ මතය යි.

ජෝන් ෆැරෝ (සතුරා, අයන් මෑන්, කව්බෝයිස් ඇන්ඩ් ඒලියන්ස්) විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය ඔහු සහ බ්‍රිගම් ටේලර් විසින් නිෂ්පාදිතය. නීල් සෙති නම් ළමා නළුවා මෝග්ලිගේ චරිතයට පණ පොවන අතර, රිතේෂ් රාජන් ඔහුගේ පියාගේ චරිතය වෙනුවෙන් රංගනයේ යෙදෙයි. බිල් මරි, බෙන් කිංස්ලි, අයිඩ්රීස් එල්බා, ස්කාලට් ජෝහැන්සන් සහ ක්‍රිස්ටෝෆර් වෝකන් හඬ කැවීමෙන් දායක වෙති. 'ද ජංගල් බුක්' 3ච් තාක්ෂණය ඔස්සේ විනාඩි 106 ක් පුරා තිරයේ දිග හැරෙණු ඇත.

කිඳුරු කුමාරයා පරණ අවුරුද්දට

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුදත් රෝහණ නිර්මාණය කළ කිඳුරු කුමාරයා අවුරුදු ටෙලි වෘතාන්තය මේ මස 13 වැනිදා එනම් පරණ අවුරුදු දා සවස 01 ට ජාතික නාලිකාවෙන් විකාශය වෙයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගරු රංගනයෙන් එක්වන මෙහි ජනක් පේ‍්‍රමලාල්, වසන්ත විට්ටච්චි, මල්කාන්ති ජයසිංහ, මධුශාන් හත්ලහවත්ත සහ ලක්ෂිකා ජයවර්ධන චරිත මවති.

ලක්ෂ්මන් වික්‍රමතිලක කැමරා අධ්‍යක්ෂණයෙන් ද නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද අංග රචනයෙන් වසන්ත විට්ටච්චි ද එක්වෙති. නිරෝෂන් එදිරිමාන්න සහය අධ්‍යක්ෂණයෙන් ද ක්‍රිෂාන්ත රත්නසිරි සහ අශෝක ලලිත පද්ම පසුතල නිර්මාණයෙන් ද ධර්මසේන හේමපාල කලා අධ්‍යක්ෂණයෙන් ද සම්පත් පාලිත ද සෙරම් විධායක නිෂ්පාදනයෙන් ද මෙයට දායක වෙයි. අනුර මාධව ජයසේකර නිෂ්පාදන කෘත්‍යාධිකාරි වන අතර මෙය ජගත් වසන්තගේ සංස්කරණයකි. සරත් ධර්මසිරිගේ තිර රචනයකි.

කිදුරු කුමාරයා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය වෙනුවෙන් දීප්ති විජේතුංගගේ නිෂ්පාදයකි.

ගාමිණී පතිරණ යළිත් ප්‍රසංග වේදිකාවේ

1986 වසරේ සිට ගම් උදාව ප්‍රසංග මාලාවේ ගී ගැයූ ගාමිණී පතිරණ යළිත් ගී ගැයීමට පැමිණ සිටියි. ඒ දිගු කාලයක් රෝගාතුර ව සිට සුවය ලබමින් පැමිණ සිටින ඔහු ළඟදීම විදේශ ගතවීමට ද නියමිත ය. ඒ මැලේසියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහායි. ගී ගැයීම පමණක් නොව ඔහුගේ මූලිකත්වයෙන් යුතුව ‘සරිගමපා’ නම් සංගීත කණ්ඩායමක් ද ගොඩනඟා ගෙන ඇත්තේ කලාවට ඔහුගේ තිබෙන ආදරය නිසාම ය. ගී ගැයීමේ දී ඔහු සදා ජනතාවගේ හදවත්වල ජීවමාන ගී කෝකිලයා ජෝතිපාල ගේ ගී ගයන අතර ම ඔහුගේ ම ගීත කිහිපයක් වන ‘ඔබට නැතිදෝ දැනෙන්නේ’, ‘ඔබ ආදරෙන් මගේ’, ‘නුරා ගී ගයාවී’, ‘ජීවිතය ගෙවෙයි’ ‘සෙනෙහස ඔබගේ’ යන ගීත ද ගයන්නට අමතක නොකරයි. මේ දිනවන විකාශය වන සමන් වීරමන් ගේ ‘මන්ත්‍රී හටන’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයන්නේ ද ගාමිණී ය. හේ ගී ගයන්නට පමණක් නොව ගී රචනයට ද දස්කම් දක්වයි. නිර්මලා රණතුංග ගයන ‘පෙම්පත් පුරා ලියූ ’ ගීතය රචනා කර ඇත්තේ ද ඔහු ම ය. මේ වනවිටත් සංගීත ප්‍රසංග රැසකට ම ආරාධනා ලැබ සිටින ඔහු ට කතා කරන්නට කැමැත්තෙන් සිටින අයෙක් වේ නම් 0716335293 යන දුරකථන අංකයට අමතන්න.

ටෙලි චිත්‍රපට දෙකක් නොමිලේ ප්‍රදර්ශනයේ

කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කළ සුදු කපුටෝ සහ සුපර් ඩාන්සර් යන ටෙලි චිත්‍රපටයන් මෙම මස 07 වැනිදා වෙන්නප්පුව ඇල්බට් පේද්‍රිස් ක්‍රීඩාංගනය අසලදී එළිදැක් වෙයි. එදින එම නිර්මාණයන් පුළුල් තිර මඟින් පේ‍්‍රක්ෂකයන්ට නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. සුදු කපුටෝ මනෝජ් විතානාරච්චිගේ සම නිෂ්පාදනයක් වන අතර සුපර් ඩාන්සර් දේශමාන්‍ය ආචාර්ය ආර්. පී. තිස්සගේ නිෂ්පාදනයකි.

‘ගී මකරන්ද’ මහනුවරදී

ප්‍රබුද්ධ ගුවන් විදුලි ශ්‍රාවක මිතුරු සමාජය මඟින් සංවිධානය කළ ගී මකරන්ද සත්සර ප්‍රසංගය මෙම මස 09 වැනිදා මහනුවර රජ පිහිල්ල මාවතේ තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැත්වේ. නිමල් ගුණසේකර වසන්තා තිලකංගනී, තිලකසිරි රත්නායක, නාලනී රණසිංහ, රංජන් ජයතිලක, ටියුඩර් කඳනාරච්චි මෙහිදී ගීතවත්වීමට නියමිතය. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ. ගයන්ත විමලසිරි බණ්ඩාර හේරත් නිවේදනයෙන් එකතුවේ.

සුනිල් ශාන්ත ගුරු උපහාර හෙට

වෛද්‍ය විශාරද මහින්ද තෙන්නකෝන් විසින් සංවිධානය කරන 'සුනිල් ශාන්ත ගුරු උපහාර' සංගීත ප්‍රසංගය හෙට (අප්‍රේල් 08) පස්වරු 6.00 ට කොළඹ 07 ග්‍රෙගරි පාරේ පිහිටි ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී නොමිලයේ පැවැත්වේ.

වෛද්‍ය තෙන්නකෝන් විසින් වාර්ෂිකව සංවිධානය කරන 'සුනිල් ශාන්ත ගුරු උපහාර' ප්‍රසංගය මෙවර පැවත්වෙන්නේ හය වැනි වතාවටය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහභාගිවීමට නියමිතය.

ගවේෂණ තුළ ගවේෂණ එළිදැක්ම 19 දා

පුරාවිද්‍යා චක්‍රවර්ති පුරාවිද්‍යා පර්යේෂණ සූරි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ලියූ 'ගවේෂණ තුළ ගවේෂණ' ග්‍රන්ථය අප්‍රේල් 19 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකෙඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වීමට නියමිතය.

'ගවේෂණ තුළ ගවේෂණ' ග්‍රන්ථයෙහි දැක්වෙන බොහෝ පුරාවිද්‍යා ස්ථාන කිසිදු කලෙක වාර්තා වී ඇති ඒවා නොවන අතර නිදන් හොරුන්ගේ ග්‍රහනයට නතු වූ එම වටිනා ස්ථාන ඛේදජනක ලෙස විනාශ වෙමින් පවතී.

නොමිලයේ නාට්‍ය හා රංග කලා වැඩමුළුවක් මාරවිල දී

නාට්‍ය හා රංග කලා විෂය හැදැරීමට උනන්දුවක් දක්වන ආධුනිකයන් වෙනුවෙන් ‘නැවුම් කරළිය’ නිර්මාණ කේන්ද්‍රය විසින් නොමිලයේ වැඩමුළුවක් සංවිධානයකර ඇත.

මෙහිදී නාට්‍ය කලාව පිළිබඳ සෑම අංශයකම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබාදීමට නියමිතය. ඊට අමතරව ‘නැවුම් කරළිය’ නිර්මාණ කේන්ද්‍රය විසින් නිර්මාණය කරන නවතම නාට්‍ය නිෂ්පාදන දෙක සඳහාද දායක වීමේ අවස්ථාවද උදා වේ. මේ වෙනුවෙන් අයදුම් පත් අප්‍රේල් 15 වැනිදාට පෙර ‘නැවුම් කරළිය’, නාට්‍ය හා රංග කලා නිර්මාණ කේන්ද්‍රය, අක්කර හතර, පල්ලිය පාර, මාවිල, නාත්තන්ඩිය යන ලිපිනයට යොමු කළ යුතුය.